නැන්දම්මා මැරූ බෑණා මාමණ්ඩිය අතින් මැරුම් කයි

නැන්දම්මා මැරූ බෑණා මාමණ්ඩිය අතින් මැරුම් කයි

ඇය.... සුමුදු මහේෂ් යන අය සමඟ විවාහ දිවියට එළැඹියේ ඔහු කෙරෙන් දුටු කුමන ගුණාංග නිසා දැයි අපි නොදනිමු. එහෙත් විවාහ ජීවිතයේ වැඩි කාලයක් ගෙවී යන්නට මත්තෙන් ඇති වූ ආරවුලක් නිසා සුමුදුඅතින් ඇයගේ මව ඝාතනයට ලක් විය. සුමුදු බන්ධානගාර ගත විය. ඉන්පසු ඇය ජීවත් වුයේ පියාගේ රැකවරණය යටතේය.

මීට වසර දෙක තුනකට පමණ ඉහත දී ඇය සමඟ විවාහ වන විට සුමුදු මහේෂ් ගේ වයස අවුරුදු විසි තුනක් පමණ වන්නට ඇත. විවාහ වූ දා සිටම මේ දෙන්නා දෙමහල්ලන් අතර ගැටුම් ඇතිවුයේ කුමන හේතුවක් මුල් කරගෙන ද යන්න පැහැදිලි නැත. එහෙත් දිගින් දිගටම ගැටුම් පැවැති බව නම් සත්‍යයකි. ඒ බව කිරිඇල්ල පොලිසියේ පොත්වල ද සටහන්ව ඇත.

ඒ... දෙදහස් පහළොව වර්ෂයේ අගෝස්තු මස විසිතුන් වැනිදා දිනයකි. එදින ඇයත්, ඇයගේ මවත්, සුමුදු මහේෂුත් කිරිඇල්ල පොලිසියට ගියේ පැමිණිලි විභාගයකට පෙනී සිටීම සඳහාය.

පැමිණිල්ල කර තිබුණේ සුමුදුගේ බිරිය විසිනි. ඒ ගෙවන පවුල් ජීවිතයේ දී ඇති වූ ආරවුලක් සම්බන්ධයෙනි. මේ දෙදෙනා ගේ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා එදා එම පොලිසියේ සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා දැඩි උත්සාහයක යෙදිණි.

එහෙත්... ඔහුගේ ඒ උත්සාහය සාර්ථක වුයේ නැත. දුන් අවවාද පිළිගැනීමට ඇය එකඟ වුයේ නැත. යළි ඔහු සමඟ එක වහළක් යට ජීවත්වන්නට යාම ඇය තරයේ ප්‍රතික්ෂේප කළාය. එබැවින්.... එදා පොලිසියට සිදුවුයේ දෙදෙනාට දෙපසට වී රණ්ඩු සරුවල් කර නොගෙන සිටින ලෙසටත්, තව දුරටත් එකට ජීවත් වීමට නොහැකි නම් දිසා අධිකරණයේ නඩුවක් ගොනු කොට දික්කසාද වන ලෙසටත් උපදෙස් ලබා දීම පමණි.

පැමිණිලි විභාගයෙන් අනතුරුව ඇය... සිය මව සමඟ නිවෙස බලා පිටත් වුයේ ත්‍රිරෝද රථයකිනි. සුමුදු පිළිබඳ සොයා බලන්නට එදා මවටත් දියණියටත් කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැත.

එලෙස මවත් දියණියත් නිවෙස බලා යන අතරතුරේ ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය පිටුපස ත්‍රිරෝද රථයක් හඹා එනු ඔවුන් දුටුව ද ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට වුවමනාවක් ඔවුන්ට නොවන්නට ඇත.

එහෙත්..... එලෙස මේ දෙදෙනා ගමන් කළ ත්‍රිරෝද රථය පසුපස, තවත් ත්‍රිරෝද රථයකින් හඹා ආ සුමුදු.. බිරියත්, නැන්දම්මාත් ගමන් කරන ත්‍රිරෝද රථයට ඉස්සර කොට පාර හරහා නැවැත්වීය.

මේ දෙදෙනා පැමිණි ත්‍රිරෝද රථයේ වේගය බාල වී එය නතර වෙද්දී පාර හරහා නැවැත් වූ ත්‍රිරෝද රථයෙන් බැස ආ සුමුදු, බිරියටත් නැන්දම්මාටත් දිගට හරහට පිහි පහර එල්ල කරන්නට විය.

මාරාන්තික පිහි පහර වලින් නැන්දම්මා එම ස්ථානයේදීම මිය යන අතර බරපතල තුවාල ලැබු බිරිය රෝහල් ගත කැරිණි. ඇයගේ සිරුරේ ද මාරාන්තික තුවාල තිබුණ ද ඇයට ජීවිතය බේරා ගැනීමට වාසනාව තිබිණි.

පිහියෙන් ඇන නැන්දම්මා මරා බිරියට මාරාන්තික තුවාල සිදුකිරීමේ චෝදනාවට සුමුදු සිරගත විය.

තම සැමියා ගේ පිහි පහර වලින් මව මිය යාම ඇයට දරා ගැනීම අපහසු වන්නට ඇත. එහෙත් කළ හැකි දෙයක් නැත. මව නොමැති ලෝකයේ ඇයට පිහිටට සිටියේ පියාය. සැමියාගෙන් වෙන්ව මව නොමැති ඇයට පියාගෙන් ලැබුණු පිළිසරණ වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්ය.

නැන්දම්මා මරා බිරියට බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ බන්ධනාගාර ගත වූ සුමුදු වසරකට වැඩි කාලයක් ඇතුළේ කල් ගත කළේය.

ඔහු... මීට මාස හතරකට පමණ ඉහත දී ඇප මත එළියට ආ නමුත් වෙන්ව සිටින බිරිය හමුවීමට වත් පැමිණියේ නැත.

ඔහු.... හිර ගෙදරින් එළියට පැමිණිය ද තමාට කරදර කිරීමට නොපැමිණිම ඇයට පුදුම දනවන්නක් වන්නට ඇත. එහෙත්... ඇය... ඒ ගැන නොසිතා නිවී සැනසිල්ලේ කල් ගෙවන්නට ඇත.

හිර ගෙදර සිට එළියට ආ සුමුදු ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා ගත්තේය. එලෙස මාස හතරක කාලයක් ගෙවී ගියේය.

ඒ පසුගිය දහතුන් වැනිදා සවස් කාලයයි. නොසිතූ ලෙස නොසිතූ මොහොතක සුමුදු ඇය සොයාගෙන ඇයත් පියාත් වෙසෙන නිවෙසට පැමිණියේ මරණ තර්ජන ද එල්ල කරමිනි. ඔහුගේ එක් අතක ඇසිඩ් බෝතලයකි. අනෙක් අතේ පිහියකි.

“අද තොපිට මගෙන් ගැලවිල්ලක් නෑ. තොපි මරනවා.” කියාගෙන ඔහු නිවෙසට ගොඩ වෙද්දී පියාත් දියණියත් දැඩි ලෙස බියට පත්වුහ. ඒ... මොහු එක් ඝාතනයක් සිදුකළ අයකු බැවින් තවත් අයකු ඝාතනය කිරීම මොහුට එතරම් අමාරු දෙයක් නොවන බව වැටහුණු නිසාය.

එන පොට හොඳ නැති බැවින් පියාත් දියණියත් නිවෙස හැර පලා ගියේ දිවි බේරා ගැනිමේ අරමුණ ඇතිවය.

ඒ දෙදෙනා නිවෙසින් පිටව ගිය පසු ගෙට වැදුණ සුමුදු දොර ජනේල සියල්ල වසා ඇතුලතින් අගුලු දමා ගත්තේය.

නිවෙසින් පැන ගිය පියාත් දියණියත් අසල්වාසි ඥාති හිතමිත්‍රාදින්ට සිදු වූ අකරතැබ්බය කියන්නට වුහ. ඒ බව ඇසු ඥාතින් පියා ද සමඟ නිවෙස වෙත පැමිණියේ දෙකින් එකක් බේරා ගැනීම සඳහාය.

දොර විවර කරන ලෙස කිහිප වතාවක්ම කීව ද සුමුදු දොර විවර කළේ නැත. ඉන් අනතුරුව නිවෙසේ දොරක් කඩාගෙන ඇතුළට ගිය පිරිස පොලු වලින් සුමුදුට පහර දෙන්නට පටන් ගත්තේ ගමට පැමිණ තව දුරටත් චණ්ඩිකම් කිරීමට ඉඩ නොදෙන බව කියමිනි.

එලෙස.... එල්ල වූ පොලු පහර වලින් සුමුදු අඩපණ වෙද්දී පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට ඇමතුමක් ලැබිණි.

එම ඇමතුම දුන් අය කියා සිටියේ කිරිඇල්ල පොලිස් වසමේ පහළගම නිවෙසක පුද්ගලයකුට පහර දෙන බවය.

මෙම පණිවුඩය කිරිඇල්ල පොලිසියට ලැබුණ වහාම පොලිස් කණ්ඩායමක් පහළගම බලා පිටත් විය. පොලිසියේ සිට මෙම ගම්මානයට ඇති දුර කිලෝමීටර් දහතුනකි. එහෙත්.... මාර්ගය ඉතා දුෂ්කර බැවින් මෙම කිලෝමීටර් දහතුන යාම සඳහා පොලිසියට පැයකට ආසන්න කාලයක් ගතවිය. පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විට පහරදීම අවසානව තිබිණි. පහර කෑමට ලක් වූ පුද්ගලයා සිහිසුන්ව වැටී සිටියේය.

ඔහු රෝහලට රැගෙන යාමට පොලිසිය වහා කටයුතු කළේය. එහෙත්.... කිරිඇල්ල රෝහලට ඇතුලු කරන විට ද ඔහු මිය ගොසිනි.

මෙම ඝාතනය සඳහා සැකපිට පොලිසිය විසින් ඇයගේ පියා එනම් සුමුදු ගේ මාමණ්ඩිය අත් අඩංගුවට ගනු ලැබීය. සුමුදු ට පහර දීමට සහාය දැක් වූ කිහිප දෙනකු ද සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.

මිය යන විට සුමුදුගේ වයස අවුරුදු විසි පහකි. ජීවිතයේ හොඳම කාලයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට සිරබත් කෑ සුමුදුට අවසානයේ ඒ..හිරිමල් වයසේදීම වළපල්ලට යාමට සිදුවුයේ ඔහුගේ සිතුවිලි වල වූ වරදක් නිසාය. මින් තනිවුණු සුමුදුගේ බිරියට අද සිය මවද නැත සැමියා ද නැත. ජීවිතයේ රැකවරණය ලබාදුන් තාත්තාද නැත.

රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන, සහකාර පොලිස් අධිකාරී ජයරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත කිරිඇල්ල පොලිසියේ ස්ථානාධිපති ජී.ගුණසේන ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ වල නිරතව සිටි.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් සකස් කැරිණි.