චින්ත්‍යා ගිනි තියා ගත්තද?

චින්ත්‍යා ගිනි තියා ගත්තද?

ආදරයෙන් බැඳී ගිය මිනිසුන් තවත් කලක දී දෙපසට වී කල්ගත කරන්නේ වෛරයේ ගිනිදැල් හදවතේ පුරවාගෙනය. කලකදී ‘රහ’ වන දේ කලකදී ‘වස’ වන බවට පැරැණි කියමනක් ද තිබේ. එහෙත් එය ජීවිතයකින් වන්දි ගෙවීමට තරම් අතිශය භයානක වුවානම් සැබැවින්ම එය මිනිස්කමට නොමනා තරම්ය. මෙතරම් පෙරුම් පුරා ලැබගත් මිනිස් ජීවිතයක් නැතිනම් මනුෂ්‍යත්වයක් එලෙස අත්හල දැමිය හැකිද? කිසිවකුගේ පණ නළක් සුන්කර දැමීමට අයිතියක් මෙලොව තවත් කෙනකුට තිබිය හැකිද? මෙලොව මවකට පියකුට තමන්ගේ ලෙයින් උපන් දරුවකු පිළිබඳ ඇත්තේ නොනිමෙන බැඳීමකි.

ධාරක බැම්මකි. සැමියා වුවත් බිරිය වුවත් එකී පිටස්තරයකුට එය නසා දැමීමට අයිතියක් කෙලෙසවත් නැත. අඹු සැමි පේ‍්‍රමයෙන් සැබෑවටම බැඳී ගිය ගැහැනියකට / මිනිසකුට වුව ජීවිතය බෙදා හදාගත් එකිනෙකාට අනෙකා අමානුෂික ලෙස නසා දැමිය හැකි ද?

එහෙත් මිනිසා සැනෙකින් වෙනස්වන සුලුය. සිතිවිලි සැහැසිවන්නේ හිටි හැටියේමය. ආත්මාර්තකාමී ඒ සියල්ලන්ටම වඩා වැඩිය. එවන් සිදුවීමක් තුළ බොහෝ මිනිසුන් අතින් මෙවැනි අපරාධයන් සිදුවීම වැළැක්විය නොහැකිය. එහි වේදනාව ඉතිරිවන්නේ තම ලේ උරුමක්කරුවන්ට පමණය.

බලංගොඩ, වැවේවත්තේ උද්‍යානයෙහි දෙමහල් නිවෙසක කුලී පදනම මත පදිංචිව සිටි චින්ත්‍යා, සිය සැමියාත් දියණියත් සමඟ එහි විසුවේ බාහිර කරදර කම්කටොලු කිසිවක් නොමැතිවය. විසිපස් වියැති චින්ත්‍යා සුරූපීය. ඇගේ දියණියද වසර එකහමාරක් වයසැති කාගේත් සිත් ඇද බැඳ ගන්නා සුරතලියකි. ඇගේ සැමියා ද ප්‍රියමනාප ළාබාල තරුණයෙකි.

චින්ත්‍යා යුග දිවියට එළැඹ තිබුණේ මෙයට වසර තුනකට පමණ පෙරදීය. ඒ වන විට චින්ත්‍යා සේවය කළේ බලංගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ය. ඒ අතරතුරදී දැන හඳුනාගත් ඇගේ පෙම්වතා ඒ වන විට රැකියාව කළේ රක්ෂණ නියෝජිතයකු ලෙසය. කිසිදු භේදයක් නොමැතිව දෙදෙනා පෙම්වතුන් වූහ. සාමාන්‍ය ව්‍යාපාරිකයකු වූ චින්ත්‍යාගේ පියා තරමක ධනවතකු විය. තම දියණියගේ කැමැත්තට ඉඩදුන් ඔහු අලුත් බෑණා තම පවුලට ගොනු කර ගත්තේ හිතේ උපන් සැනසිල්ල සමඟය. “එක දරුවෙකුගේ බරින් නිදහස් වුණා” ඔහු සැනසීමෙන් සිතුවේය. පේ‍්‍රමයේ පිවිතුරු හැඟුමින් සංතුෂ්ටියට පත් තම යුවල එක වහලක් යටට වුයේ ජීවිතේ නොපෙනන දුරක් යන්නට සිතාගෙනය.

විවාහ වූ අලුත සතුටින් දිවි ගෙවු දෙදෙනා දියණියගේ උපතත් සමඟ තවත් පි‍්‍රතියට පත්ව දිවි ගෙවුහ. එහෙත් අවාසනාවක තරම, තම බිරිය කෙරෙහි නිරතුරුව ඔහු සැකයෙන් පසුවන්නට වුයේ මුළු පවුලටම කණකොකා හඬන දිනයක් ළඟ එන බව නොදැනය. අඹුසැමියන් අතර අසන්නට දකින්නට ලැබෙන අඩදබර මේ පවුලට ද පොදු වුවාය. පදනම් විරහිත චෝදනා හා අවිශ්වාසය මේ සියල්ලටම හේතුව විය.

එක්තරා දවසක අවාසනාව රජ වූ මොහොතක සුරූපී චින්ත්‍යා මහා ව්‍යසනයකට මුහුණ දුන්නාය. චින්ත්‍යා ඉතා දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලැබුවේ ඇය පදිංචිව සිටි දෙමහල් කුලී නිවෙසේ ඉහළ මාලයේදී ය. දරුණු පිලිස්සුම් තුවාලවලින් විරූපී වී ගිය ඇය රෝහල් ගත කෙරුණේ අසල්වැසියන්ගේ ආධාරයෙනි. දින කිහිපයක් ඉවසිය නොහැකි ශාරීරික වේදනාවලින් පීඩිතව දුක්විඳිමින් සිටි චින්ත්‍යා දින කිහිපයකට පසු රෝහලේ දීම මිය ගියේ සිඟිති දියණියට ආදරණීය මවක් අහිමි කරමිනි. ඇගේ සැමියා ද ඇයට ගිනි ඇවිලුණු මොහොතේ නිවෙසේ සිටිය මුත් සැමියකු ලෙසින් ඒ මොහොතේ නොවිය යුතු අකටයුතුකම් ද ඇයට සිදුව තිබු බවට චෝදනා හෙළිවන්නේ පසුවය.

අසල්වැසියන්ගේ දැනුම් දීම මත චින්ත්‍යාගේ පියාද දියණිය බැලීමට රෝහලට දිව ගියේය. ඒ මොහොතේ ඇය මරුවා පෙනි පෙනී සිටිය ද තම පියාට කනට ළංකොට කී රහ්‍යසක් ද තිබිණි. සිද්ධිය වීමට පෙර දින දෙදෙනා අතර බහින් බස්වීමක් ඇසුණු බව අසල්වාසීහු ද පැවසුහ. ඒ කිරිපිටි පැකැට්ටුවක් සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුවකි. මෙහිදී වඩාත්ම බරපතළ සාක්ෂි ලැබුණේ නිවෙසේ හිමිකරුවන්ගෙනි. ඔවුන් ජීවත් වුයේ නිවෙසේ පහත මාලයේය.

“ඇන්ටි මාව බේරගන්න.... අංකල් මාව බේරගන්න කියලා එය කෑ ගැහුවා. ඒ සද්දෙට තමයි මම උඩතට්ටුවට දිව්වේ. එතකොට චින්ත්‍යාව ගින්දරවලින් වෙලිලා තිබුණා. මට බෙඩ්ෂිට් එකකින් ගහලා යන්න කිව්වා. එතකොටම වතුර පනිට්ටුවක් අරන් එයාගේ සැමියා නාන කාමරේ ඉඳලා එළියට ආවා. ඒත් එයාගෙ කිසිම කලබලකාරී බවක් තිබුණේ නැහැ. බියක් තිගැස්මක් පේන්න තිබුණේ නෑ. අපට පුදුම හිතුණා චින්ත්‍යාගේ කටහඬ හැරෙන්නට එයාගේ මහත්තයාගේ කටහඬවත් අපට ඇහුණේ නෑ. ගින්න නිවලා අපි එයාව ත්‍රිවිලර් එකකින් රෝහලට ගෙනිච්චා.”

තවත් අසල්වැසියකු කීවේද එවැනිම කතාවකි.

“ මං එතැනින් ගමනක් යමිනුයි හිටියේ. ගැහැනු කෙනෙක් විලාප තියනවා ඇහුණා. කිට්ටුවට ගිහින් බැලුවා. එතැන එයාගේ ස්වාමි පුරුෂයත් හිටියා. එයා කිව්වා පහන තියන්න යද්දී ගිනි ඇවිළුණා කියලා. එයා කෑ ගැහුවා. ‘අනේ අංකල් මාව බේරගන්න කියලා’ මම එයාගේ පියාට දැනුම් දුන්නා. පසුව රෝහලට රැගෙන ගියා.”

මේ සාක්ෂිවලින් පොලිසිය බොහෝ දේ වටහා ගත්තේය. ඇගේ සැමියා සිතාමතාම තම බිරිය බේරාගැනීමට කටයුතු නොකළ බවට කාගේත් නිගමනය වී තිබිණි. චින්ත්‍යාගේ පියාගෙන් ද සාක්ෂි සටහන් කරගත් පොලිසිය මරු සමඟ පොර බඳිමින් රෝහල් ඇඳන් මත වැතිර සිටි තම දියණිය ඔහුට පැවසු රහස කුමක් දැයි යන්න හෙළිදරව් කර ගත්තේය. පොලිස් පරීක්ෂණ වලදී ඇගේ මරණය පිළිබඳ එය බෙහෙවින් වැදගත් හෙළිදරව්වක් වුවාට සැක නැත. මෙතුවක් කළක් ඇති දැඩිකරගත් දියණියක් අකාලයේ මරු තුරුළට කැඳවීම ඔහුට දැරිය හැක්කක් නොවීය. වේදනාව සඟවාගෙන ඔහු පොලිසිය ඉදිරියේ කළ ප්‍රකාශය කාගේත් හදවත රිදවනු සුලු විය.

“චින්ත්‍යා මගේ පවුලේ දෙවැනි දරුවා. එයාට තව සහෝදර සහෝදරියන් හතර දෙනෙක් ඉන්නවා. චින්ත්‍යා විවාහ වුණේ එයාම හොයාගත්ත කෙනෙක් එක්ක ආදර සබඳතාවකින්. එයාට පුංචි දුවක් ඉන්නවා. ඒ තුන්දෙනාම ජීවත් වුණේ වෙනම කුලී ගෙදරක. ඒ ආරංචිය ලැබෙනකොට මම හිටියේ හැටන් වල ව්‍යාපාරික වැඩකට ගිහිල්ලා. මං චින්ත්‍යා දුවව බලන්න ගියා. දුව මට කිව්වේ එයාගේ මහත්තයා ගිනිකුරක් පත්තු කරලා එයාගේ ඇඟට වීසිකළා කියලා. ඒ ගින්දරට තමයි දුවව ඇවිලිලා පිච්චලා තියෙන්නේ.” ඇගේ පියාගේ සාක්ෂිය දුක හිතෙන එකක් විය.

එහෙත් චින්ත්‍යාගේ සැමියා පවසන්නේ ඇය ගිනි තබාගත් බවයි. චින්ත්‍යා තමාට ගිනි තැබු බව පැවසු බව ඇගේ පියා පවසයි. කෙසේ වුවද විසිපස් හැවිරිදි චින්ත්‍යා අකාලයේම මරු වැළඳගත්තේ ඇගේ සියුමැලි සිරුර දරුණු ලෙස පිලිස්සීමෙන් ලැබු තුවාල හේතුවෙනි. චින්ත්‍යාගේ පිලිස්සුම් තුවාලවලින් සිදු වූ මරණය ද ඉතා සැක කටයුතු දෙයක් විය. චින්ත්‍යා විසින් ගිනි තබා ගත්තාද. ඇයට ගිනි තැබුවාද, නැතිනම් අහම්බෙන් ගිනි ඇවිලිනි ද යන්න පොලිසියට මෙන්ම කාටත් විසඳිය නොහැකි ගැටලුවක්ම විය. පොලිසිය සතු වූ විමර්ශන තොරතුරු මත ඇගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවිය.

චින්ත්‍යාගේ සිඟිති දියණිය ඇගේම සොහොයුරියක බාරයට පත්කෙරෙන්නේ මවත් පියාත් අහිමි ලෝකයක ඇගේම යහපත උදෙසාය. හුළං කපොල්ලක තැනු චින්ත්‍යාගේ කුරුළු කැදැල්ල අද කැඩි බිඳී සුනුවිසුණු වී හමාරය. ඇගේ එකම සිඟිති කුරුළු පැටවියට අද හව්හරණ දෙන්නේ ඇගේ පුංචි අම්මාය. ඇය තුරුලේ හොවාගෙන කිරි පෙවු ආදර අම්මා කුරුලු අම්මා අද මලවුන් සමඟය. සිඟිති දියණියක් තමන්ට දායාද කළ තම ආදරබර බිරිය සාහසික ලෙස අවසන් ගමන් ගියේ කෙලෙස ද?

ඇගේ සැමියා සැකය මත අත්අඩංගුවට ගත්ත ද ඔහු දිගින් දිගටම කියා සිටියේ ඇය ගිනිතබාගත් බවය.

රත්නපුර ධ්ධ් කොට්ඨාසය බාර සහකාර පොලිස් අධිකාරි තිලකරත්න මහතාගේ උපදෙස් මත බලංගොඩ පොලිසියේ ස්ථානාධිපති රංජිත් දසනායකගේ මෙහෙයවීමෙන් යුතුව අපරාධ අංශයේ ස්ථානාධිපති ෂෙල්ටන් උඩුවකගේ මුලිකත්වයෙන් යුතුව උප පොලිස් පරීක්ෂක සමරවීර සහ සැරයන්වරුන් වන 20183 වඩුගේ, 20880 ගුණරත්න ද කොස්තාපල් 39448 නුවන් ආදීහු බලංගොඩ පොලිසිය වෙනුවෙන් වැඩිදුර විමර්ශන පවත්වති.

රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක මායදුන්න, සමන්පාලිත සැරයන් 30620 බණ්ඩාර ආදීහු මේ අපරාධ ස්ථානය සෝදිසි කර තිබිණ. එවිට තැන තැන විසිරුණු චින්ත්‍යාගේ කෙස් රොදක් මෙන්ම ගිනි පෙට්ටියක් ද සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබිණි.

මෙය 2013 වසරේ බලංගොඩ පොලිස් වසම තුළ සිදු වූ අනුවේදනීය සිදුවීමකි.