'වෙද මහත්තයා කියපු දේ නොකරපු නිසා මට අම්මත් එක්ක තරහ ගියා '

 'වෙද මහත්තයා කියපු දේ නොකරපු නිසා මට අම්මත් එක්ක තරහ ගියා '

‘කුඹල්ඔලුව සඳතැන්න වත්තේ අංක 334 ලිපිනයේ පුතා අම්මට පහර දීලා අම්මා වැටිලා ඉන්නවා කියලා අපිට දැන් තොරතුරක් ආවා’ පොලිස් හදිසි ඇමතුම් 119 අංශය වේයන්ගොඩ පොලීසියට මෙම තොරතුර ලබා දුන්නේ පසුගිය දහතුන් වැනිදා සවස හතරයි දහයටය. ලැබණු පණිවිඩය අනුව පොලිසීයේ කණ්ඩායම සඳතැන්න වත්ත බලා පිටත් වන්නට සූදානම් වෙද්දී තව ඇමතුමක් ලැබිණි. එය ද 119 අංශයෙනි. එම ඇමතුමෙන් කියා සිටියේ පහර කෑමට ලක් වූ කාන්තාව මියගොස් ඇති බවයි.පොලිස් ස්ථානයේ සිට කිලෝ මීටර් පහමාරක පමණ දුරින් පිහිටි මෙම නිවෙස වෙත යාමට පොලිස් කණ්ඩායමට වැඩි වෙලාවක් ගත වූයේ නැත. පොලිස් කණ්ඩායම යන විට සිද්ධිය වූ නිවෙස වටා අසල්වාසීන් විසි තිස් දෙනකු එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.

එම නිවෙස සාදමින් පවතින එකකි. ජීවත් විය හැකි ලෙස සාදා තිබුණේ මුලුතැන්ගෙයත්, කාමරයකුත් පමණි.

පහරකෑමට ලක්ව මිය ගිය කාන්තාව මුලුතැන්ගෙයි උඩුබැලි අතට වැටී සිටිනු නිරීක්ෂණය විය. ඇයගේ හිස අසලින් රුධිරය ගලා ගොසිනි. ඇය වැටී සිටි ස්ථානයට අඩි හයක් පමණ ඈතට වන්නට නිදන ඇඳක් තිබිණි. එහි ද රුධිරය තැවරී තිබෙනු දිස් විය.

ඇයට පහර දුන් බව කී පුත්‍රයා අන්ද මන්ද ලීලාවෙන් නිවෙසේ සිටියේය. පොලීසිය ඔහු අත් අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ ආරම්භ කළේය.

මෙලෙස ඝාතනය වූයේ අමරසිංහ පේඩිගේ විමලාවතී නම් වු හැත්තෑ තුන් හැවිරිදි දෙදරු මවකි. ඇය ඝාතනය කළ බවට සැක කෙරෙන ඇයගේ බාල පුත් සරත් කුමාර පනස් දෙහැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ බිරිය රජයේ රෝහලක සාත්තු සේවිකාවකි. වැඩිමල් දියණිය විවාහ වී සිටින අතර විසි එක් හැවිරිදි බාල දියණිය ජිවත් වන්නේ මවගේ සහෝදරයා එනම් මාමාගේ නිවෙසේය.

සැකකාර සරත් කුමාර රජයේ සාත්තු සේවකයකු ලෙස රැකියාව කළ අයෙකි.

බේබදුකම හේතුවෙන් දෙතුන් වතාවක්ම වැඩ තහනමට ලක් වූ ඔහු අවසන් වතාවේදී ගෙදරම යැවීමට රෝහල් බලධාරීහු කටයුතු යොදා තිබිණි. එලෙස රැකියාව අහිමි වන සමයේ ඔහු සේවය කර තිබුණේ මහරගම පිළිකා රෝහලේ මෘත ශරීරාගාරයේය.

ඔහු බිරිය සහ මව සමඟ පදිංචිව සිටි නිවෙස පිහිටි ඉඩම මිලදි ගෙන තිබුණේ මේ තිදෙනාගේම මුදල් දායකත්වයෙනි. ඒ සඳහා මව විමලාවතී ලබා දි තිබූ මුදල රුපියල් හතලිස් දහසකි.

මිලදී ගත් ඉඩමේ තිදෙනාම එක්ව නිවෙස ඉදිකිරීම ආරම්භ කළ ද සරත් කුමාරගේ බේබදුකමත්, රැකියාව අහිමිව යාමත් නිසා ඉදිරි වැඩ කොටස් කරගෙන යාමට හැකි වූයේ නැත.

රැකියා විරහිත සරත් කුමාරගේ සියලු වියදම් දැරිමට සිදු වූයේ ඔහුගේ බිරියටය. එලෙසම මව විමලාවතීගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ද මුදල් වැය කිරීමට සරත්ගේ බිරියට සිදු විය.

මීට ටික දිනකට පෙර මව ළිඳ ළඟ වැටී අතක් කැඩි කොන්දට ද හානි සිදුව තිබිණි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ද සරත් කුමාරගේ බිරිය මුදලින් ආධාර කළ අතර විමලාවතී ඝාතනය වන්නේ ද ගම්පහ පල්ලේවල පැත්තේ සිටින කැඩුම් බිඳුම් වෙදකුගෙන් ප්‍රතිකාර ලබාගෙන පැමිණීමෙන් අනතුරුවය.

‘අම්මගේ කොන්දට බෙහෙත් අරගන්න මම උදේ අම්මව පල්ලෙවෙල එක්කගෙන ගියේ ත්‍රීවිල් එකකින්. මගේ පවුලේ අය මට බෙහෙත් ගේන්න යන්න රුපියල් නමසීයක් දුන්නා. වෙද මහත්තයා අම්මගේ අතට බෙහෙත් බැඳලා කොන්දට තෙල් ගාලා කිව්වා ගෙදර ගියාම ඇඳට වෙලා ඉන්න දෙන්න එපා. ඇවිද්දවන්න කියලා.’

‘බෙහෙත් අරගෙන අම්මත් එක්ක එන ගමන් අරක්කු කාලකුත් අරගෙන බිව්වා. ගෙදර ආපු ගමන් අම්මා ඇඳට වැටිලා නිදා ගත්තා.’

‘තොට දැන් වෙද මහත්තයා කිව්වේ ඔහොම නිදාගන්නද, ඇවිදින්න නේද කිව්වේ කියලා මම අම්මට බැන්නා. අම්මත් මට බැන්නා. ඒ වලොවේ මට තරහ ගියා. අම්ම පොරවන චීත්තේ අරගෙන මූණට තියලා තද කළා.’

‘ඊට ප්සසේ කන්න තියන්නේ මොනවද බැලුවා. පවුල උයලා ගිහින් තිබුණේ බණ්ඩක්කයි, කැකිරියි. ඒවා කන්න බැරි නිසා කන්න මොනවා හරි ගේන්න මම කඩේට ගියා. ගිහින් මඤ්ඤොක්කයි, බිත්තර තුනකුයි අරගෙන ගෙදර එද්දී අම්මා බිම වැටිලා ඉන්නවා දැක්කා. අම්ම මැරිලා කියලා හිතුවා’

‘ඒ වෙද්දී වෙලාව උදේ එකොළහ විතර ඇති. මම අම්මගෙ මිනිය උස්සලා එහායින් තියලා පැය ගණනක් තිස්සේ කල්පනා කර කර හිටියා මොකද කරන්නේ කියලා.’ ‘හවස දෙකහමාරට විතර දුවට කෝල් එකක් දීලා බාප්පච්චි (ආච්චි අම්මා) මැරිලා කියලා කිව්වා. දුව එයාගේ අම්මට (මොහුගේ බිරියට) කෝල් කරලා කියලා තිබුණා. ඊට පස්සේ තමයි පොලීසියෙන් ආවේ.

සැකකාර පුත්‍රය එලෙස විස්තර කළේය. පොලිස් පරික්ෂණවලදි හෙළි වූ තොරතුරුවලට අනුව මොහු මව මැරී වැටී සිටි ස්ථානයෙන් ඔසවා මුලුතැන්ගෙයි දොර ආසන්නයට රැගෙන ගොස් ඇත. ඒ මළ සිරුර සැඟවීමට හෝ එම ඝාතනය පිටස්තරයකු මත පැටවීමේ අරමුණ ඇතිවය.

විමලාවතීගේ පුතුන් දෙදෙනාම එකම වර්ගයේ අජාසත්තයෝ යැයි කීම නිවැරැදිය ඊට හේතු සාධක කිහිපයකි. ඇයගේ වැඩිමල් පුතා පදිංචිව සිටින්නේ කුලියාපිටිය ප්‍රදේශයේය. මේ අම්මා මීට ටික කලකට පෙර කල්ගෙවා තිබුණේ කුලියාපිටියේ ලොකු පුතා ළඟය.

එලෙස කල් ගත වෙද්දී ලොකු පුතා මව රැගෙන විත් මහ මඟ දමා ගොස් තිබූ බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබිණි. ඉන් අනතුරව යළි සිය පුතුගේ නිවසේ වාසයට එන මවට බාල පුතාගෙන්ද විඳින්නට වූයේ කරදර හිරිහැරම පමණි.

කල් ගතවෙද්දී බෝධිසත්වයකු වූ අජාසත්තයා (වැඩිමල් පුත්) මීට සති දෙකකට පමණ පෙර මව පදිංචි නිවෙසට පැමිණ මල්ලීට අවවාද කර ගොස් තිබිණි. ඒ මවට කරදර නොකොට හොඳින් සලකන ලෙසටය.මවුපිය අගය නොදත් දරුවන් දෙදෙනකු මෙලොවට බිහි කළ විමලාවතී එම පුතකු අතින් ඝාතනය විය. පුතා රක්ෂිත බණ්ධනාගාර ගත විය. ඔහු ඇතුලට යාම ඔහුගේ බිරියට ද යම් සැනසිල්ලක් වනු ඇත. ඒ ඔහුගෙන් විඳි දුක් ගැහැටත්, බීමට පවා මුදල් දීමට සිදුවීමත් තාවකාලිකව හෝ නතර වූ නිසාය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරී ධ්ධ් ක්ලෙමන් ප්‍රනාන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත වේයන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති චන්දන කුමාරගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රභාත් කුලතුංග, උප පරීක්ෂක සුනිල්, සැරයන් 31541 සුමිත් ඇතුළු අපරාධ අංශය පරීක්ෂණවල නිරත විය.