මහජන විශ්වාසය දිනාගත් මීගමුව මූලස්ථාන පොලීසිය

මහජන විශ්වාසය දිනාගත් මීගමුව මූලස්ථාන පොලීසිය

මීගමුව පොලිස් බලප්‍රදේශය ඉතා ජනාකීර්ණ භාවයකින් යුක්තවේ. ඊට හේතුව වී ඇත්තේ නොයෙකුත් ජාති ආගම් වලින් යුක්ත පිරිස් මෙම වසමේ ජීවත් වීමයි. ජනගහනය අනුව 1,11,663 ක පිරිසක් මීගමුව පොලිස් වසමේ ජීවත් වෙති. ප්‍රධාන පෙළේ ජාතින් අනුව සිංහල පවුල් 21837 කි. දෙමළ පවුල් 2830 කි. මුස්ලිම් පවුල් 2830 කි. වෙනත් පවුල් 312 කි. ප්‍රධාන පෙළේ ආගම් අනුව බෞද්ධ පවුල් 2720 කි. කතෝලික පවුල් 19916 කි. හිංදු 2196, ඉස්ලාම් පවුල් 3052, වෙනත් ආගමික පවුල් 32 කි.

මීගමුව මූලස්ථාන පොලිසියට අයත් වන වසම් ගණන 32 කි. වසමේ මුළු ඉඩ ප්‍රමාණය වර්‍ග¡ කිලෝ මීටර් ප්‍රමාණය 31 කි. මේ අනුව මෙම වසමේ ජීවත්වන බොහොමයක් පිරිස් කතෝලිකයන් වේ. ඔවුන් සඳහා ඇති පල්ලි ගණන 33 කි. ප්‍රධාන කෝවිල් 3 කි. මුස්ලිම් පල්ලි 9 කි. බෞද්ධ වෙහෙර විහාර තුනයි.

ඉතා විශාල ජනගහනයක් සිටින මෙම වසම තුළ පොලිස් රාජකාරි කිරීම ඉතාමත් අපහසු කාර්යයකි. ඒ නොයෙකුත් ප්‍රශ්න ආරවුල් විසඳීම නිරන්තරයෙන් සිදුවන නිසාය. වැඩි වශයෙන්ම මෙහි ජීවත්වන්නේ ධීවරයන්ය. ඔවුන් නිතරම පාහේ ගැටුම් ඇතිකර ගන්නවුන්ය. එතරම් අධ්‍යාපනයක් නොලැබූ බොහොමයක් ඔවුන් ගේ දූ දරුවන්ද වැඩිහරියක්ම කරනුයේ ධීවර රස්සාවය. ධීවර මාපියන්ගේ දූදරුවෝ බොහොමයක් පහ, හය ශ්‍රේණිවලින් පසු පාසල් ගමනට ආයුබෝවන් කියති. ධීවර ව්‍යාපාරයේ කුමන හෝ කටයුත්තකින් අතට මුදල් සොයාගත හැකිවන නිසාදෝ ඔවුහුද තම පියවරුන් මෙන් වෙරළට බසිති. නැතහොත් සංචාරක ව්‍යාපාරයේ යෙදෙති.

මෙම පවුල් බොහොමයක් ධීවර රස්සාව කරනුයේ නොයෙකුත් ආකාරයෙනි. මේ නිසා ඔවුන් අතර ඇතිවන ආරවුල් සුළුපටු නොවේ. තෙප්පම් ධීවරයෝ් පුංචි බෝට්ටුවල මසුන් මරණ ධීවරයන් සමඟ ගැටළු ඇතිකර ගනිති. මාළු විකිණීමේ යෙදෙන පිරිස් කරවල විකුණන ධීවරයෝ් සමඟ ආරවුල් ඇතිකර ගනිති. පිටින් මසුන් ගෙනැවිත් විකුණන පිරිස් සමඟ මීගමුව ධීවරයන් අතර ඇතිවන ගැටුම්ද මේ අතර වේ. මෙම ගැටුම් උත්සන්න වීම තුළින් ඇතිවන ආරවුල් කෙළවර වන්නේ මරණයකිනි. නැතහොත් පහරදීමෙනි. මෙම ආරවුල් නිමා වන්නේ පොලිසිය සමඟද ගැටුම් ඇති කර ගැනීමෙන් පසුවය. මේ නිසා පොලිසිය හා මහජනයා අතර තිබුණේද පළුදු වු හිතවත්කමකි. මීගමුවට මෙය උරුම වූවකි.

පොලිසියකට අද වැඩි වශයෙන් එල්ලවන්නේ ගල්මුල්ය. එනිසා පොලිසිය නිතරම මහජන විවේචනයට ලක්වන තැනකි. මීගමුව පොලිසියද එවන් විවේචනවලට ලක්වූ පොලිසියකි. ඊට හේතු වූයේ මීගමුව පොලිසියට එන නිවැරදි රාජකාරියක් නොවුණු හෙයිනි. අල්ලස් ලබාගැනීම පිළිබඳ චෝදනාවන්ද මීට ඉහතදී මීගමුව පොලිසියේ කිහිප දෙනකුට එල්ල වී තිබිණ.

වැඩක් කරගැනීමට පොලිසියට එන මහජනයා පොලිසියේ මහත්තුරුන්ගේ ගෝරනාඩු ඉදිරියේ බියට පත්වෙති. නිලධාරීන් නොමැතිවීම, නිලධාරීන්ගේ රාජකාරි බහුලවීම, නිලධාරින් ළඟට හිඟකම නිසා ඔවුන් පැය ගණනක් පොලිසියේ රස්තියාදු වී නිවෙස් බලා යන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බැන වදිමිනි.

කොතරම් මහජන මිත්‍රශීලී පොලිසියක් කියා කීවද පොලිසියක් තුළට ගියවිට එවැන්නක් නැති බව හොඳින් පෙනේ. මෙය බොහොමයක් පොලිසිවල දකින්නට ඇති දෙයකි.

එවන් මනසකින් යුතුව පසුගියදා මීගමුව පොලිසියට ගිය අපිට දකින්නට ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. කවුරුන් හෝ පොලිසියට ඇතුළු වූ වහාම ඔහු පැමිණි කාරණය ගැන විමසා අදාළ අංශයන්ට යොමු කිරීමට එහි පිළිගැනීමේ නිලධාරිනියක් හෝ නිලධාරියෙක් සිටී. පොලිස් සහතිකයක් හෝ වෙනයම් සහතිකයක් ලබා ගැනීම සඳහා පාලන අංශයේ පහසුකම් සහිත ආසන තුනකි. තමන්ගේ ගැටළුව ඇසීමට එක් එක් කවුළුවක නිලධාරියකු සිටී. තම පෞද්ගලික ප්‍රශ්නය අනෙක් නිලධාරියාට නෙඇසෙන සේ කීමට ඒ නිසා ඔහුට හැකියාවක් තිබේ. කිසිදු අවහිරයකින් තොරව ඉක්මනින් සිය කර්තව්‍යය ඉටුකරගෙන යාමට අද ඔවුන්ට හැකිය. රථවාහන දඩ පත්‍රිකා ලබාගැනීම, ඇතුළු ඕනෑම රථවාහන ප්‍රශ්නයකට එම අංශයේ කවුළු කිහිපයකම නිලධාරිහු රැඳී සිටිති. මේ ක්‍රියාවන් හරිහැටි සිදුනොවන්නේ නම් ඕනෑම වේලාවක මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හමුවිය හැකිවේ. ඒ සඳහා කාගෙන්වත් අවසරයක් ගත යුතු නොවේ.

මේ ක්‍රියාදාම වෙනස ඇත්තෙන්ම සිදුකර ඇත්තේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසිනි. මීගමුව පොලිසියේ තිබූ ‘මොඩලය’ වෙනස්කර ඇත්තේ ඔහුය. පොලිසිය මෙවන් තත්ත්වයකට ඇති කළේ ඔහු බව සෙසු පොලිස් නිලධාරීහු ද කියති.

මහජනයා හා පොලිසිය අතර කැඩී බිඳී තිබූ විශ්වාසය ඇති කිරීමේ පුරෝගාමියා ඔහුය. ඔහු මහජනයාට මෙන්ම නිලධාරීන්ටද එක සමානය. නොයෙකුත් ආකල්ප මත රාජකාරි කරන පොලිස් නිලධාරීන්ගේ ආකල්ප අද සුබවාදී තත්ත්වයට පත්ව ඇත්තේ ඔහු නිසාය.ඒනිසා බත් පැකට්ටුව ගෙනැවිත් තැන් තැන්වල තියාගෙන ගිලින නිලධාරියා වෙනුවෙන් අද සුපිරි භෝජනාගාරයකි. ඉතා පහසුවෙන් වාඩිවී තමන්ට අවශ්‍ය වෑංජනද සහිත රස්නෙන් බත් පිඟානක් කෑමට අද ඔවුනට හැකියාව ලැබී ඇත.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ආහාර වේලද සැකසෙන්නේ එම භෝජනාගාරයේදීය.

“කැන්ටිමෙන් රාළහාමිලාට දෙන බත් එකම තමයි මමත් කන්නේ. බලන්න මම නිදාගන්න කාමරේ. ඒකත් එහෙමයි. මම ආදර්ශයක් නොවී අනිත් අයට උපදෙස් දීල වැඩක් තියෙනවද?

එය ඇත්තකි. මීගමුවේ මීට කලින් හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ගේ කාමර දිහා බැලූ කල මේ කාමරය ඊට හාත්පසින්ම වෙනසක් ගෙනදෙන්නකි. හිටපු බොහොමයක් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ගේ කාමරවල ශීතකරණ තිබිණි. වායු සමීකරණ යන්ත්‍ර තිබිණි. ඒ ශීතකරන තුළ ඇපල්, පෙයාස්, දොඩම්, චොක්ලට් තිබිණි. නොයෙකුත් වර්ගයේ සුපිරි මත්පැන් බෝතල් තිබිණි. මේ කාමරයේ ඒවා නැත. ඇත්තේ කැන්ටිමෙන් දවාලට ගෙනා බත් වේල පමණි.

කාමරය මෙන්ම මීගමුව පොලිසියද වෙනස් වී ඇත. නිලධාරින්ගේ ආකල්පද වෙනස්ය.

“ඇයි මේ වෙනස...”

මම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවෙමි.

“මම මේ පොලිසිය බාරගත්තේ 2014 ජුනි 9 වනදා. යුද වාතාවරණයට දායකත්වය දුන්න පොලිස් නිලධාරින් තමයි මෙහෙ හිටියේ. ඔවුන් ඉගෙන ගෙන තිබුණු ක්‍රමවේදය වුණේ නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් දඬුවම් ලබාදීම පමණි. ඒක අදට ඔබින්නේ නැහැ. මේ ක්‍රම නිසා පොලිසියත් මහජනයාත් අතර තිබුණු ආකල්පය වෙනස්. මහජනයාට පොලිසිය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මම මෙහෙට පස්සේ මේ ගැන විමර්ශනයක් කළා. නිලධාරින්ගේ මතය වෙනස් කළ යුතු වුණා. ඔවුන්ගේ ආකල්පමය හැඟීම් වෙනස් විය යුතු බව මට හැඟුණා. මහජන විශ්වාසය අඩු මට්ටමක තිබුණේ. නිලධාරීන්ට ටිකෙන් ටික ධනාත්මක චින්තන ලබා දුන්නා.

ඉන් පස්සේ මහජන ආකල්පය වෙනස් කරන්න මට ඕනෑ වුණා. අපිට බය නැතිව පොලීසියට ගිහින් වැඩක් කරගන්න අද පුළුවන් කියන තත්ත්වය ඇති කරන්න ඕනෑ වුණා. මේකට මුල්ම කර්තව්‍ය හැටියට ් පරිසරමය වෙනසක් ඇති කළා.

ප්‍රශ්නයක්, ආරවුලක් බේරගන්න පොලීසියට එන මහජනයාගේ නෙත, හිත වෙනස් වෙන ක්‍රමයට සුබවාදී පරිසරයක් පොලීසිය තුළ හැදුවා. ඔහු හෝ ඇය පොලීසියට පැමිණි වහාම ඔහුගේ ප්‍රශ්නයට ඇහුම්කන් දීලා ඒ ප්‍රශ්නය ඒ මොහොතේම විසඳා ගන්නට අවශ්‍ය කර්තව්‍ය සිදු කළා. අවශ්‍ය තැනට යොමු කළා. අන්න එතනදි මහජනයා කිසියම් විශ්වාසනීය බවක් පොලීසිය කෙරෙහි දුටුවා. පැමිණි කාරණය පැයක් දෙකක් තුනක් ඇතුළත ඉෂ්ට වුණා. ඔවුන් පොලීසියෙන් පිටව ගියේ සතුටින්.

මේ සියල්ල සාර්ථක කරගන්න පොලිස්පතිතුමාගේ ප්‍රජා පොලිස් සංකල්පය මට මහඟු දායකත්වයක් ලබා දුන්නා. ඉස්සර සිවිල් ආරක්ෂක කමිටුව අද පොලිස් ප්‍රජා කමිටුව වෙලා. ඒ සම්බන්ධයෙන් කමිටු නිලධාරින් පත් කරලා ඔවුන්ට මේ සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දුන්නා. තමන්ගේ වසම, ගම, නගරය දුෂිත නොවී තියා ගන්නේ කොහොමද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, කුඩු විකුණන්නන්, කසිප්පු ගැන තොරතුරු ලැබුණා. ඔවුන් පොලීසියත් එක්ක එකතු වෙලා සුහදව අන්‍යොන්‍ය විශ්වාසයෙන් කටයුතු කළා. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු මත ග්‍රෑම් එක දෙක ගානේ පැකට් කරලා විකුණන මත් ද්‍රව්‍ය ජාවාරම පවා අහු වුණා. මීට අන්තරාදායක ඖෂධ මණ්ඩල නිලධාරීන් ලොකු සහයක් දුන්නා.

රථ වාහන අංශය

භෝජනාගාරය

පාලන අංශය

කසිප්පු පෙරන තැන්, විකුණන තැන්, පානය කරන්නවුන් පොලීසියට කොටු වෙන කොට ගමේ අපරාධ අඩු වුණා. පවුල් ආරවුල් නැති වුණා. ගහමරා ගැනීම් අඩු වුණා. හොරකම් අඩු වුණා. මිනිස්සු සතුටින් ජීවත් වෙන්න පටන් ගත්තා. ගම ඇතුළේ වරදක් වෙනවා කියලා දැනගත්ත ගමන් වසමේ රාළහාමිට නැත්නම් මට කියන තත්ත්වයක් ඇති වුණා. අපි වහාම ක්‍රියාත්මක වුණා. අන්න පොලීසියයි මහජනයා අතරයි විශ්වාසය ගොඩ නැඟුණ තැන.

මේ ගමේ පිරිස් සමඟ එකතුවීම නිසා ජාතීන්, ආගම් අතර ගැටළුවක් මතු නොවන විදිහට තොරතුරු ජාලයක් හදාගන්න හැකි වුණා. සිද්ධියක් ඇතිවෙන්න කලින් ඊට විසඳුමක් සොයා ගන්න ඒ නිසා හැකි වුණා. ජන ජීවිතයට අකරතැබ්බයක් මහජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් කියලා තොරතුරු ලැබුණු වහාම ඊට විසඳුම් සොයා දීලා ඒ අකරතැබ්බය නැත්නම් උද්ඝෝෂණ තත්ත්වය පැහැදිලි කරලා දීලා නතර කර ගැනීමට හැකියාව ලැබුණා.

ප්‍රජා පොලිස් සංකල්පය නිසා පොලීසිය ගමට යනවා. පොලීසිය කෙරෙහි විශ්වාසයකින් ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න පොලීසියට කියනවා. අපි ඒවා මාසික රැස්විමක් මඟින් ඊට අදාළ නිලධාරිනුත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. මේක අති විශාල සාර්ථක ක්‍රමයක්. මේ ක්‍රමය නිසා ඔවුන්ගේ පෞද්ගලික ආරවුල්, පවුල් ගැටළු පවා කියන්න වුණා. පුද්ගලිකත්වයට බාධාවක් නොවන විදිහට ආත්ම ගෞරවය නැති නොවන විදිහට ඒ පැමිණිල්ල නිලධාරියා විසින් විසඳීමට තරම් ඇප කැප වුණා. ඒ සියල්ල ලැබුණේ මහජනයා තුළ අපි කෙරහි ඇති විශ්වාසනීයභාවය නිසා.

මේ විශ්වාසය දිගටම දිනාගන්න ඔබ යටතේ සේවය කරන නිලධාරින්ට හැකි වේවිද?

"මම විශ්වාස කරනවා ඒක කරන්න පුළුවන්. ඒ සඳහා අපි නිරන්තරයෙන් නිලධාරීන් දැනුම්වත් කරනවා. ඔවුන්ට ධනාත්මක චින්තනය ලබාදීමට භාවනා වැඩ සටහන් පවා පවත්වාගෙන යනවා. ඒක මානසික වර්ධනය වගේම චිත්ත වර්ධනයටත් හොඳයි. නිලධාරීන් හැම දෙනාම දිනපතා උදේ වැඩ පටන් ගැනීමට කලින් විනාඩි පහක භාවනාවක යෙදෙනවා. ආකල්ප ධනාත්මක වීමෙන් පසු ඔවුන් මහජනයාට ගරු කරන්න පුරුදු වෙනවා. කාරුණිකව කතා කරනවා. අනුන්ගේ කරදරය තමන්ගේ කරදරයක් බවට තේරම්ගෙන ඔහුගේ කරදරය විසඳීමට අවශ්‍ය පියවර ගැනීම තමයි අපි ඇති කරන ආකල්පමය වෙනස. ඒ දේ තමන්ට වුණා නම් කියලා හිතන එක තමයි අවශ්‍ය. මම හැමදාම පාන්දර තුනට නැගිටිනවා. රෑ 10 වනතුරු මේ කාර්යාලයේ ඉන්නවා. මමත් ඔය සියලුම වැඩ සටහන්වලට සෙසු නිලධාරින් සමඟ සම්බන්ධ වෙනවා. මම කතෝලිකයෙක්. මේ කර්තව්‍යයට ඒක ප්‍රශ්නයක් නැහැ."

මීගමුව නගරය පවා වෙනස් වෙලා?

" ඔබ මීට කලින් නගරය දැකලා ඇති. එහි තිබුණු මාර්ග තදබදය මතකද. අද ඒක නැහැ. මේක හරිම ප්‍රශ්නයක්. වුණා අපි ඒ ගැන විමර්ශනයක් කළා. පස්සේ නාගරික කොමසාරිස් එක්ක කතා කරලා ‘වන්වේ සිස්ටම්’ එකක් හැදුවා. ඒක සාර්ථක වුණා.ප්‍රධාන පාරවල් හයකින් නගරයට රථවාහන ඇතුළු වෙනවා. ඒ වාහන පාරවල් දෙපැත්තේ නතර කිරීම නිසා මේ තදබදය ඇති වුණා. දැන් එක පැත්තයි ගමන් කරන්න පුළුවන්. වාහන තදබදයක් නැහැ. හුඟක් ප්‍රශ්නය වුණේ වාහන පාර දෙපස නතර කිරිම. මේ ක්‍රමය නිසා පාකින් එකට හොඳ විසඳුමක් ලැබුණා. අවුරුද්දයි මාස පහක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. රථවාහන ස්ථානාධිපතිවරයා මේ ගැන මූලිකව ක්‍රියා කරනවා."

ඔබ හිතනවා ඔබගේ පොලීසිය කරන මෙවන් රාජකාරි තුළින් මහජනතාවට හිතකාමී පොලීසියක් නිර්මාණය කිරීමට හැකියාව තියෙනවා කියලා.

"අපි ගමන් කරන්නේ පොලිස්පතිතුමාගේ සංකල්පය යටතේ. මම හිතනවා මම ගත්ත තීරණ නිසා මීගමුව වසම අද හොඳ තත්ත්වයක තියෙනවා කියලා. ඒක මට බය නැතිව කියන්න පුළුවන්. පොලීසියත් මගේ නිලධාරීනුත් ඒ සඳහා පූර්ණ දායකත්වය දුන්නා. මේ ප්‍රජා පොලිස් සංකල්පය නිසා අපරාධ අඩු වෙලා. පොලිස්පතිතුමාගේ අවශ්‍යතාවය තමයි දේපල පිළිබඳ අපරාධ 70% දක්වා ගෙන ඒම. අපි ඒ තත්ත්වයෙන් ඉන්නේ. ඉදිරියේදී 75% දක්වා ටාකට් එකකට අපි යනවා."

"ඒ වගේම අද නගරය ආරක්ෂිතයි. අද නගරයේ තියෙන මූල්‍ය ආයතන සියල්ල එකතු වෙලා එයාලගේ ආධාරයෙන් උකුස්සා කියන සංකල්පය යටතේ නගරය ආරක්ෂක කලාපයක් ලෙස පවත්වාගෙන යනවා. ඉන් කෙරෙන්නේ නගරය තුළ හොරකමක්, කොල්ලකෑමක්, මංකොල්ලකෑමක් සිදුවීම නතර කිරීමයි. ඒ සඳහා දිනපතා ජංගම සංචාර දෙකක් හා පා ගමන් සංචාර 10 ක් ක්‍රියාත්මක වෙනවා."

"තව එකක් කියන්නම්. මීගමුවේ තිබුණු තවත් ප්‍රශ්නයක් තමයි ළමා අපචාර. මුන්නක්කරය, සිරිවර්ධන පෙදෙස කියන ප්‍රදේශ තුළ මේක විශාල ලෙස වර්ධනය වුණා. කොටින්ම කියනවා නම් තාත්තා තම දරුවා දූෂණය කරන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. අපි පියතුමන්ලා සුබසාධන නිලධාරීන් සමඟ එකතු වෙලා දේශන පැවැත්වූවා. දරුවන්ට වෙනම දෙමාපියන්ට වෙනම දේශන පැවැත්වුූවා. ඒ සඳහා කාන්තා කාර්යාංශ නිලධාරින් එක් වුණා. දිගින් දිගටම දැනුවත්වීම් කිරීම තුළින් අද ළමා අපචාර වාර්තාවීම විශාල ලෙස අඩු වෙලා."

"ඊට අමතරව රථවාහන මුල්ස්ථානය සම්බන්ධ කරගෙන බස් රථ, ත්‍රීවිලර් රියදුරන් දැනුම්වත් කළා. මේ දැනුම්වත් වීම් කරන අතරතුර වැටලීමත් සිදු කළා. බීමත් රියදුරන් ඇල්ලීම, නීති කඩන රියැදුරන් කොටුකර ගැනීම, දූෂණ වැටලීම් නිසා අද මගේ වසම ඉතා ඉහළ මට්ටමක තියෙන බව මට විශ්වාසයෙන් යුතුව කිව හැකි වෙනවා.මේ සඳහා පරිපාලන අංශය බාර ස්ථානාධිපති ආර්. ඩී. එම් සිරිල්, අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති සෙනෙවිරත්න, රථවාහන අංශය බාර ස්ථානාධිපති ජී. කේ. එම්. යූ. ගජනායක ඇතුළු සෙසු ස්ථානාධිපතිවරුන් මෙන්ම සියලුම ශ්‍රේණිවල නිලධාරීන් පූර්ණ සහාය දෙනවා."

මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතා ඔහුගේ කර්තව්‍යය එසේ පැහැදිලි කළේය.

මූලස්ථාන පරික්ෂකවරයා මීගමුව පොලිසීය හා වසම්වල පදිංචිකරුවන් සමඟ ඇති කරගත් ආකල්මය වෙනස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ද ඇගයුමට ලක් වී ඇත. ඒ අනුව මහජන මිත්‍රශීලිී පොලිස් සේවයක් ලබා ගැනීමට මීගමුවේ වැසියන්ට අද හැකියාව උදා වී ඇත. එස් පහ සංකල්පය යටතේ ක්‍රියාත්මක වන පොලීසියක් ලෙස මීගමුව පොලීසිය හැඳින්විය හැකි අතර එම සංකල්පය නියෝජනය කරමින් මහජනයාට මහඟු සේවයක් ලබාදීම වෙනුවෙන් මීගමු පොලිසිය ඉහළම ස්ථානයක සිටින බව ද ආරංචි මාර්ග පෙන්වා දේ.