රණාලේ සමයං ට ජේලර්ලා මොබයිල් ෆෝන් දීලා

රණාලේ සමයං ට ජේලර්ලා මොබයිල් ෆෝන් දීලා

රණාල සමයං බන්ධනාගරයේ සිට කළ සෙල්ලම් පිළිබද මෙතෙක් කල් තොරතුරු හෙළි වූවේ පොලිස් පරික්ෂණවලිනි. ඔහු සිරගෙදර සිටින අතරතුරේ ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් කුලී පදනම මත පවා මනුෂ්‍ය ඝාතන සිදු කර වූ බවටත්, සිය අපරාධ කල්ලි සාමාජිකයන් මනාව හැසිර වූ බවටත් තොරතුරු ලැබුණේ පොලිස් පරීක්ෂණවලට අනුව පමණි.

එලෙසම ඇතැම් බන්ධනාගාර ලොක්කන්ගේ සිට නියාමකයන් දක්වා මොහු විසින් මිල දි ගෙන තිබුණ බවත් එලෙස එම නිලධාරින් මුදලට විකිණීම හේතුවෙන් සමයංට බන්ධනාගාරය ඇතුළේ ඕන ඕන සෙල්ලම් දැමිමට අවස්ථාව උදාව තිබූ බවක් දැනගන්නට ලැබුණේ පොලීසියෙනි.

එලෙස පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබුණ ද එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ සියයට සියයක්ම විශ්වාසයක් නොතිබිණි.

පසුගිය දාසය වැනි බ්‍රහස්පතින්දා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති රණාලේ සමයං ඇතුලු පාතාල කල්ලි සාමාජිකයන් ඝාතන සිද්ධියේ මරණ පරීක්ෂණයේදී මේ බව සියයට සියයක්ම තහවුරු වූයේ මොවුන්ගේ බිරින්දෑවරු ඇතුලු ඥාතීන් ලබා දුන් කටඋත්තර වලිනි.

ඒ අනුව සමයං ඇතුලු කණ්ඩායම ඝාතනය වීමට පෙර හිරේ සිට දාපු සෙල්ලම් මෙන්ම ජේලර්ලා නටපු නාඩගම් ද සාක්ෂි සහිතව ඔප්පු වීම දැන් ආරම්භ වී ඇත.

සමහර බන්ධනාගාර නියාමකයන්, ජේලර්වරු මෙන්ම උසස් නිලධාරින් පවා සිරගතව සිටින පාතාල කල්ලි නායකයන් ඇතුලු අපරාධකරුවන්ගේ මුදලට යටව නොයෙක් අකටයුතුවල යෙදෙන බව මාධ්‍ය ඔස්සේ පෙන්වා දුන් අවස්ථා බොහෝය.

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් අතට ජංගම දුරකථන පත්වන අයුරු, ඒවාට රීලෝඩ් ලැබෙන අයුරු මෙන්ම ඒ සඳහා ආධාර අනුබල ලබාදෙන නිලධාරින් අතට මේ අපරාධකාරයන්ගෙන් මුදල් ගලා එන ආකාරයත් සාක්ෂි සහිතව මුලු රටටම පෙනෙන ලෙස හෙළි කළ ද අදාල බලධාරින් ඒවා නතර කිරීමට හෝ ඒවාට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට හෝ ඉදිරිපත් වූයේ නැත.

ඒ මාධ්‍ය හෙළි කරන තොරතුරු පිළිබඳ විශ්වාසයක් නොතිබූණ නිසා ද නොඑසේ නම් මේ අපරාධ කල්ලි කාරයන්ගෙන් ඔවුන්ට ද දෝත පුරා ‘සම්තිං’ ලැබුණු නිසාදැයි අපි නොදනිමු.

එහෙත් දැන් නම් මේ බලධාරින්ට එම තොරතුරු නොඇසුණා සේ සිටිමට අවකාශයක් නැත. ඒ සමයංලා සමඟ එක්ව බන්ධනාගාර නිලධාරීන් ගැසූ කරනම් අධිකරණය ඉදිරියේදී හෙළි වී ඇති බැවිනි.

රණාලේ සමයං ඇතුලු කල්ලි සාමාජිකයන් පස් දෙනාගේ ඝාතන පිළිබඳ කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික මරණ පරික්ෂණ විභාගයේදී සාක්ෂි දීම සඳහා පැමිණ සිටි ඔවුන්ගේ බිරියන් පවසා තිබුණේ ජංගම දුරකථනවලට රිලෝඩ් දමන ලෙස පමණක් නොව බන්ධනාගාර නිලධාරින්ට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙසට ද දුරකථන ඇමතුම් දී දැනුම් දෙන බවයි.

එපමණක් නොව සමහර අවස්ථාවලදී මේ රැඳවියන් පවුල්වල අයට දුරකථන ඇමතුම් ලබාගෙන තිබුණේ ඇතැම් බන්ධනාගාර නියාමකයන්ගේ, ජේලර්වරුන්ගේ ජංගම දුරකථන වලිනි. තමා කතා කරන ජංගම දුරකථනයේ හිමිකරුවන් පිළිබඳ ද රැඳවියන් පවුලේ අය සමඟ තොරතුරු හෙළි කර තිබූ අතර ඒ සියලු තොරතුරු මේ වන විට අධිකරණය හමුවේ ද ප්‍රකාශ වී ලිපි ලේඛනවලට ද ඇතුළත්ව අවසානය.

එලෙසම සමයං ඇතුලු පාතාල කල්ලි සාමාජිකයන් පස් දෙනා ඝාතනය කිරීම බන්ධනාගාරවල ජංගම දුරකථන භාවිතය නිසා සිදු වූ බව ද බිරින්දෑවරු ප්‍රකාශ කිරීම නිසා මෙම ඝාතනවල වගකීම ද බන්ධනාගාර නිලධාරින් මතම පැටවීම බැහැර කළ නොහැකිය.

සමයං ඇතුලු පිරිස ඝාතන පරික්ෂණවලදී බන්ධනාගාර නිලධාරීන් කළ තවත් දූෂිත ක්‍රියාකාරකම් හෙළි වී ඇත. ඒ මිය යන විට සමයං රන් හා රිදී මුදු පැළඳ සිටිමය. යම් පුද්ගලයකු බන්ධනාගාර ගතවෙද්දී කිසිදු ආභරණයක් පැලඳ සිටිමට තහනම්ය.

සිරගෙට නියම වූ පුද්ගලයා බන්ධනාගාර නිලධාරින්ට භාර දීමේන් අනතුරුව ඔහු සතුව ඇති ඇඳුම්, පැලඳුම්, දත් බුරුසුව සබන් ආදියට අමතරව වෙන කිසිම භාණ්ඩයක් ආභරණයක් ඇතුළට ගෙනයාමට ඉඩ දෙන්නේ නැත. එවැනි දෑ වෙතොත් ඒවා භාරකරුවන්ට දීම හෝ සුරක්ෂිතව තබා ගැනීමට බන්ධනාගාර නිලධාරින් වගබලා ගත යුතුය. එහෙත් මුදලට යටවන බන්ධනාගාර නිලධාරීන් ඒ නීති රීතිවලට පටහැනිව තමන්ට රිසි පරිදි රාජකාරිය කරගෙන ගියේ කෙලෙස ද යන්න ගැටලුවකි.

‘පාතාල නායකයෝ හිර ගෙදර හිටියට රජ සැප විඳිනවා’ යැයි සමහරු කියති. හිරේ සිට රජ සැප විඳින්නේ කෙලෙසදැයි එය අසන සමහරුන්ට සිතෙනු ඇත. එහෙත් මුදලින් ස්වයංපෝෂිත පාතාල නායකයන්ට හිර ගෙදරදී ලබා ගත නොහැක්කේ කම් සැප පමණි.

එය එසේ වුව ද සිරගතව සිටියදී බිරිය සමඟ කම් සැප විඳ පිය පදවිය පවා උදා කරගත් පාතාල කල්ලි සාමාජිකයන් පිළිබඳ ද තොරතුරු හෙළි වී ඇත.

හෝමාගම ප්‍රදේ්ශයේ පුද්ලයකුට වෙඩි තබා ඝාතනය කළ බවට අතුරුගිරිය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පාතාල කල්ලි නායකයකු හිරේ සිටියදි දරුවන් සැදූ අකාරය හෙළි වී තිබිණි. ඔහු එතරම් ප්‍රසිද්ධ නමක් ඇති මුදල් සම්භාරයක් ඇති අයකු නොවූ අතර එවැනි අයකුටත් බන්ධනාගාර නිලධාරින්ගෙන් මෙතරම් උදව් උපකාර ලැබුණේ නම් සමයං වැනි කෝටිපති පාතාලයන්ට ලැබෙන පහසුකම් පිළිබඳ කවර කතාද?

රණාලේ සමයං උසාවියට කැඳවාගෙන යාමේ රාජකාරිය සඳහා සමහර බන්ධනාගාර නිලධාරීන් ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුු බවට ද තොරතුරු අසන්නට ලැබේ. එයට හේතුව වන්නේ සමයං හමුවීමට අධිකරණ භූමියට පැමිණෙන සමයංගේ කට්ටිය ගෙන් ලැබෙන ‘සම්තිං’ බව කියයි. එනම් එලෙස පැමිණෙන බන්ධනාගාර නිලධාරින්ගේ අතට රුපියල් විසි දහසේ සිට තිස් දහස දක්වා අතර මුදල් ප්‍රමාණයක් ලැබෙන නිසා බවත් ඒ මුදල්වලට කෑදර බන්ධනාගාර නිලධාරින් සමයං අධිකරණ භූමියට කැඳවාගෙන යන රාජකාරිය සඳහා බොහෝ කැමැත්තෙන් ඉදිරිපත් වන බවත් කියති.

මේ පිළිබඳ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඇති අතර ඉදිරියේ යම් විටෙක අධිකරණය හමුවේ ද මේ තොරතුරු හෙළවීමට ඉඩකඩ ඇත.

මුදලට යටව සිටින බන්ධනාගාර නිලධාරින් පිළිබඳ එලෙසින් හෝ තොරතුරු හෙළි වී ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීහු කටයුතු කරන්නේ නම් ඇතුළේ සිට එළියේ අපරාධ මෙහෙයවීම නතර වී කල්ලි අතර සිදුවන මරා ගැනීම් සියයට අනුවකින් පමණ පහළ යනු ඇත. එනම් එසේ වුවහොත් මෙරට අපරාධ සිදුවීම සීඝ්‍ර ලෙස පහළ බසිනු ඇත.