සුන්දර රාත්‍රිය

සුන්දර රාත්‍රිය

වේලාව රාත්‍රී අටට පමණ ඇත. රාජකාරි කටයුතු අවසන් කළ මා පොලිසියට ගොඩවුයේ එහි ඕ.අයි.සී. හමුවීමටය. ඒ අප අතර ඇති හිතවත්කමක් නිසාය. එහෙත් ඒ වනතුරුත් ඔහු පැමිණ සිටියේ නැත. ඔහු එනතුරු මම එතැන තිබු පුටුවකට බර වුයෙමි. ඊට නුදුරින් ඇති සුළු පැමිණිලි අංශය තුළ කිසියම් කලබලයකි.

“කැරෝකේ එකක් රේඩ් කරලා. පව් අහිංසක කෙල්ලෝ.”

එතැන සිටි ජැන්ඩියට හැඳ පැලඳගත් තරුණයෙක් මා දෙස බලමින් කීවේය. ඔහුගේ කතාව ඇත්තකි. ළාබාල වියේ තරුණියන් දහ දොළොස් දෙනෙක් එතැන වුහ. ඔවුන් වටකරගත් පොලිස් කොස්තාපල්වරුන් ඔවුන්ට උසුළු විසුළු කරමින් ප්‍රශ්න අසනු පෙනේ.

“මෙච්චර කුඩු කාරයෝ.... කසිප්පුකාරයෝ ඉන්නවා. උන්ව අල්ලන්න බැහැ. අහිංසක කෙල්ලෝ ගෙනත්... බොරු ෂෝ දානවා.”

ළඟ සිටි තරුණයා යළි කීවේ නොමනාපයෙනි.

“කැරෝකේ අල්ලන්න බැහැ නේද?...”

මම ඔහුගෙන් ඇසුවෙමි.

“පොලිසියට මොනවද බැරි...?”

සමහරවිට මාසෙ ගාන දීලා නැතුව ඇති... ඒකයි ඔය...”

ඔහු කී කතාව මට නොවැටහිණි.

“ගාන කිව්වේ.....?”

“ඇයි, දන්නෙ නැද්ද, ඕවා කරනවානම් ලොකු එවුන්ට මාසෙට ගතමනාවක් දෙන්න එපැයි...”

එය සැබෑවකි. ඒ මා දන්නා හඳුනන අවන්හල් හිමියන් කිහිපදෙනෙකු ද එසේ කරන නිසාවෙනි.

එතැනින් නැගිට ගත් මා සුළු පැමිණිලි අංශයට එබිකම් කළේ අල්ලාගත් කෙල්ලන් වඩාත් හොඳින් දැක බලා ගැනීමේ අටියෙනි. කෙල්ලන් අතර සිටි එක් කෙල්ලක ළඟ මගේ නෙත් නතරවිණ. ඇය හොඳට දැක පුරුදු එකියකි. මා දෙස බැලු ඇය එකවරම හිස පහතට නැඹුරු කර ගත්තේ මා දැනහඳුනන්නාක් මෙනි. මම ඇය දෙසම බලා උන්නෙමි. එහෙත් ඇය හිස ඔසවනුු බවක් පෙනෙන්නට නොවිය. ඇය මුහුණ වසන් කරගත්තේ මන්දැයි මට නොවැටහෙයි. මම තව තවත් ඕනෑකමින් ඇය දෙස බැලුවෙමි.

“දෙවියනේ ... මේ චමරි....නේද?”

මම පුදුමයට පත්වුයෙමි. අනෙක් කෙල්ලන් අතර සිටි චමරී මම හැඳිනගත්තෙමි.

“මේ කෙල්ල මං කිව්ව දේවල් ඇහුවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ.”

මම සිතින් දුක් වුයෙමි.

චමරි මට මුණ ගැසුණේ ගල්කිස්සේ පිහිටි කැරෝකේ ශාලාවකදීය. ඇත්තෙන්ම ඇය අහිංසක කෙල්ලකි. ඇය ජිවිතේ වරක්, දෙවරක් නොව කිහිප වතාවක්ම බැට කෑ කෙල්ලකි. ඇය පිරිමින්ට රැවටුණු වාර අනන්තය.

“අයියා වෙන අය වගේ නෙමේ...”

“ඇයි ඔයා එහෙම කියන්නේ...?”

“මම පිරිමි ගැන හොඳට දන්නවා අයියේ...”

“ඒ කිව්වේ...?”

“මෙතැනට එන හැම පිරිමියාම අපෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන වෙන දේවල්... ඒත් අයියා එහෙම නෙමේ...”

ඇය කී කතාව මගේ මතකයට එයි. ඇය මට ඇගේ ජීවිත කතාවද කියා තිබුණි. එදා පටන් ඇය මුණ ගැසුණු හැම මොහොතකම මා කළේ ඇයට උපදෙස් දීම පමණි.

“කොයි වෙලාවක හරි ඔයා පොලිසියට අහු වෙනවා...”

“අයියේ මෙතැනට පොලිසියෙන් පනින්නේ නැහැ නේද...?”

“ඒවා කියන්න බැහැ...පොලිසිය ඉතින් කියලා පනින්නේ නැහැනේ... එයාලට හිතුණු වෙලාවට ඒවි...”

“නැහැ අයියේ, අපේ බොස්... ඕ.අයි.සී. මහත්තයා අල්ලගෙන ඉන්නේ. මම හිතන්නේ මහත්තයාට මාසෙට ගාණක් යවනවා”

“එහෙනම් කමක් නැහැ. ඒත්.. පොලිස්කාරයා ෂුවර් කරන්න පුළුවන් මිනිහෙක් නෙමේ.”

මම ඇයට කිවෙමි. එදා පටන් ඇය මා විශ්වාස කළා ය.

ඒත් චමරිගේ සෙල්ලක්කාර ගති පැවතුම් වලට මම පි‍්‍රය නොකළෙමි. මා ඇයට දුන් ඔවදන් ඇය පිළිගත්ත ද ඒවා ක්‍රියාවට නැංවු කෙල්ලෙක් නොවේ. ඒ නිසා ඇය අමාරුවේ වැටුණු අවස්ථා එමටය.

“මේකිට කොල්ලෙක් අහු වුණොත් ඉවරෙටම ඉවරයි.”

ඇගේ හොඳම මිතුරිය වන තනුජා ද මට කිහිප වතාවක්ම එසේ කියා තිබිණි. ඒ ඇගේ ක්‍රියා පටිපාටි ය නිසාය. චමරී ඇත්තටම පි‍්‍රය මනාප කෙල්ලකි. ඇගේ රූපය ඇත්තටම හින්දි නිළියකගේ රූපයට සමානය. මුහුණට වැටුණු කෙස් රොද ඇගේ පියකරු බව දෙගුණ තෙගුණ කළා ය. ඒ නිසා ඇය කෙරෙහි මා සිතෙහි ආදරයක් ද ඉපදිණි.

“ඇත්තටම චමරී මට හිතෙනවා ඔයාව බඳින්න.”

මම දවසක් ඇයට කීවෙමි.

“අපෝ පිස්සුද... එතකොට මගේ අනික් කොල්ලෝ... උන්ට මොකද වෙන්නේ”

ඇය සිනහසෙමින් එසේ කීවේ නක්කලයට මෙනි. මට ඇය ගැන පුදුමු සිතුණි.ඒ මගේ කතාව ඇය ගණනකටවත් ගත්තේ නැති නිසාය.

“මට ඕන අයියේ කාලා බීලා ජොලියේ ඉන්න.”

“ඒ වුණාට ඕවා හැමදාම බැහැනේ.”

“අයියට පිස්සුද...”

ඇයට ඔවදන් දී ඵලක් නැතැයි මම සිතුවෙමි. එහෙත් ඇය කතා කරන විලාසය ඇගේ විවෘත බව නිසා මම ඇයට බෙහෙවින් ආසා කළෙමි.

දැන් සියල්ල සිදු වී හමාරය. ඇය පොලිසියට කොටු වී ඇත. දැන්වත් ඇයට මා කී දේ ඇත්තක් බව වැටහෙනු ඇත.

“මොකද නැදෑයෝ බලන්න ආවද...?”

මගේ උරහිසට තට්ටුවක් දමමින් කෙනෙකු ඇසුවේ නක්කලයට මෙනි. මම පසුපස හැරුණෙමි. ඒ මා මිතුරු පොලිස් ලොක්කා ය.

“හඳුනන අය එහෙම ඉන්නවද... ඉන්නවනම් ගිහින් කතා කරලා එන්න...”

ඔහු යළිත් වරක් මා දෙස බලමින් කියන්නට විය. මට සිහින් ලැජ්ජාවක් ඇතිවුව ද මම එය ඔහුට නොපෙන්වුවෙමි.

“කතා කරලා වරෙන්. මම ‘සීට්’ එකේ ඉන්නවා.

“මේ මහත්තයාට කතා කරන්න දෙන්න” ඔහු නිලධාරියෙකුට කීවේය.

ඒ සැනින් මම චමරීට ළංවුයෙමි.

‘චමරි..’

ඇය හිස පහත් කරගෙන සිටියාය.

ඇය වරක් මා දෙස බලා යළි හිස බිමට නැඹුරු කර ගත්තාය. ඇගේ දෙනෙත් පුරා ඇත්තේ කඳුළු ය.

‘මම ඔයාට කොච්චර කිව්වද... ඒත් ඔයා ඇහැව්වේ නැහැනේ...’

කොතෙකුත් දෑ කීවද ඇය වචනයකුදු හෝ කතා නොකොට මුහුණ බිමට බර කරගෙන ඉකිගසමින් හඬන්නට වුවාය.

මම ඇයගෙන් ඉවත් වී ඕ.අයි.සී. සිටි කාමරය වෙත ගියෙමි.

“මොනවා හරි උදව්වක් කරන්න...”

“මොකක්ද?”

“එතැන මම දන්න කෙල්ලෙක් ඉන්නවා. උසාවි නොදා ඇපයක් දෙන්න බැරි ද?”

“එහෙම කරන්නේ කොහොමද. මචං අපි උසාවි දාන්න ලියලත් ඉවරයි. අනික උඹගේ කෙල්ලට විතරක් ඇප දුන්නාම අනෙක් කෙල්ලෝ මම ගෙදර ගෙනියන්නද...?”

ඔහු කියන කතාවේ ඇත්තක් ද තිබේ. ඒත් මට අන් කෙල්ලන්ගෙන් වැඩක් නැත. මට අවශ්‍ය චමරි බේරාගැනීමටය. ඇය උසාවි දැම්මොත් අනිවාර්යෙන්ම රිමාන්ඩ් වන බව මම දනිමි.

“එහෙම කරන්න එපා... කොහොම හරි ඒ කෙල්ල බේරලා දෙන්න..”

මම ඕ.අයි.සී. මිතුරාට පෙරැත්ත කළෙමි.

“හරි... උඹ එහෙනම් ඇප වෙනවද...?”

ඔහු ඇසුවේ අමනාපයෙනි.

“හරි.. මම ඇප තියන්නම්...”

“ඒකි හරි හොඳ කෙල්ලක්... ඒකයි මට එහෙම කියන්නේ”

මම ඔහුට ඇය ගැන විස්තර කළෙමි.

“අනේ උඹ බයිලා ගහන්න එපා... දැන් ඔහොම හිමිච්චියෝ වගේ හිටියට බලන්න එපැයි එතැනට ගියාම මුන් දාන සෙල්ලම... මම මොකද මේ...”

“හරි.... හරි ඕවා ගණන් ගන්න එපා... “

කෙසේ හෝ මම ඇයට ඇප ලබාගත්තෙමි. මම චමරි ළඟට යළි ගියෙමි.

“ඔයාට ඇප දුන්නා... බය වෙන්න දෙයක් නැහැ...”

ඇය එවර නම් හිස ඔසවා මා දෙස බලා සිටියා ය. ඇගේ දෙනෙත් පුරා ඇත්තේ ආයාචනයකි. ඒ දෑස් දීපත්මත්ය. මට ඇය අයිති කරගන්න තරම් සිතෙයි.

“මොකද කරන්නේ. දැන් කොහේද යන්නෙ...?”

ඇය යළිත් හිස පහත් කර ගත්තාය.

“කොහේද දැන් යන්නේ...?”

ඇය ඊට ද පිළිතුරු නුදුන්නාය. මම ද ඉන් අපහසුතාවට පත් වුයෙමි. අනෙක් කෙල්ලෝ කන්න මෙන් අප දෙස බලා සිටිති.

“ඔයා මේ අයත් එක්ක යනවද?”

“නැහැ.”

“එහෙනම් කොහේ ද යන්නේ...?”

“මට යන්න තැනක් නැහැ...”

“ඇයි ඉන්න බෝඩිම...?”

ඇය එකවරම හිස ඔසවා මා දෙස බැලුවාය.

“බෝඩිමට යනවද?”

“නැහැ.”

“එහෙමනම්”

ඇය ඊට පිළිතුරු නොදෙයි. කළ යුත්තේ කුමක්දැයි මට නොතේරේ.

“එහෙනම් මාත් එක්ක යන්න එනවද?”

ඇය හීන් සැරේ හිස වැනුවාය.

ඒ සමඟම ඇය මගේ අතින් අල්ලා ගත්තාය.

එදා රාතී‍්‍රය මම ගතකලේ ඇය සමඟය. එය මගේ ජීවිතයේ තවත් එක් සුන්දර රාත්‍රියක් විය.