'ගුණදාසගේ මරණය අපට නම් සැකයි'

'ගුණදාසගේ මරණය අපට නම් සැකයි'

බොහෝ තැබෑරුම් ගෝරි ගුහාවල් බව අමුතුවෙන් කියන්නට ලියන්නට වුවමනා නැත. ඒ එතැනට අඩි පුඩි ගසන්නට එන එක එකාගේ ගති පැවතුම් නිසාය. කට මැත දෙඩවීම් නිසාය. එහෙත් ගුණදාස එවැන්නෙක් නොවීය. එහෙත් ගුණදාස මිය ගොසිනි. ඒ තැබෑරුමක් අසලදී සිදු වූ ආරවුලක් නිසාය. මොහු පිළිබඳ කතාව ඇසෙන්නේ කුලියාපිටිය පොලිස් කොට්ඨාශයට අයිති ගිරිඋල්ල පොලිස් වැයික්කියෙනි.

ගුණදාසගේ මරණය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අංශය මගින් නිකුත් කොට ඇත්තේ ද විවෘත තීන්දුවකි. ගුණදාසගේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් කියන ආකාරයට එම සිද්ධිය මෙසේය.

ගිරිඋල්ල පොලීසියට කිට්ටුව පිහිටා තිබෙන රා තැබෑරුම ඒ ප්‍රදේශයේ ගම්මු හොඳින් දන්නා කියන තැනකි. මීට ටික කලෙකට පෙරදී පුද්ගලයකුගේ ගෙල කපා මරා දමා තිබුණේත් මේ තැබෑරුම අසලදීමය. ගුණදාස පහර කා තිබුණේත් මෙම තැබෑරුම ළඟය. පහර කෑමෙන් සිහිසුන් වූ ඔහුව වෙනත් තැනකට ගෙන ගොස් දමන්නට ඇති බව ගුණදාසගේ ඥාති හිිත මිතුරෝ සැක කරති.

ගිරිඋල්ල මෙන්ම ඒ අවට බොහෝ ප්‍රදේශවලත් දක්ෂ මේසන්වරයකු ලෙස ගුණදාස ප්‍රකටය. වැඩ නිම වී සැන්දෑ යාමයට රා තැබෑරමට යාමට පුරුදුව සිටියත් ගුණදාස එතැනට යනෙන අන් බොහෝ දෙනාට වඩා වෙනස් පුද්ගලයෙකි.

සවසට රා තැබෑරුමට එන ගුණදාස වෙන අයවලුන් මෙන් වරු ගණන් රා තැබෑරුම අසල රැඳී නොසිට තමන්ගේ වැඩේ කරගෙන පිටව යන්නේ කාටත් කරදරයක් නොවන්නකු ලෙසිනි. ඔහුගේ පුරුද්ද වී තිබුණේ තැබෑරුමෙන් මිලට ගන්නා රා නිවෙසට ගොස් පානය කිරීමයි.

වෙනදා මෙන් මේසන් වැඩ නිමවා පසුගිය 14 වැනිදා තැබෑරුමට ගිය ගුණදාස රෑ බෝ වනතුරත් නිවෙසට ගොස් තිබුණේ නැත. ඒ නිසා මාහරගම පොත්ගුල් මාවතේ පිහිටි ගුණදාසගේ දියණිය බිරිය සහ පුතු ද සිටියේ තරමක බියකිනි. ඒ තාත්තා කොහේ හිටිය ද වැඩ අවසන්ව තැන තැන නතර නොවී ගෙදර එන බව හොඳින් දන්නා නිසාය.

ටික වේලාවක් ගත වන විට ඔවුන්ට දැනගන්නට ලැබුණේ අසුබදායක ආරංචියකි. ලේ ගලන හිසින් යුතුව ගිරිඋල්ල දෙස සිට මාහරගම ගම්මානය දෙසට පයින් ගමන් කරමින් සිටි ගුණදාසව ගම්මු එක්ව දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කළ බව එම ආරංචියෙන් කියැවිණි.

ආරංචිය ලැබුණු විගස දඹදෙණිය මූලික රෝහලට පැමිණෙන ගුණදාසගේ ඥාතීන් දකින්නේ ගුණදාසගේ හිස වෙළුම් පටිවලින් ඔතා ඇති අයුරුය. එහෙත් ගුණදාස පවුලේ ඥාතීන් සමඟ හොඳින් කතාබස් කිරීම හේතුවෙන් ඔහුට ජීවිත අවදානමක් ඇති බවක් ඥාතීන් ද දුටුවේ නැත. නමුත් ගුණදාසගේ හිසේ තුවාලය බරපතල බවත් එය හිස අභ්‍යන්තරයටත් බලපා තිබිය හැකි බවත් වෛද්‍යවරුන්ගෙන් ඥාතීන්ට දැනගන්නට ලැබිණ. රෝහලේදී අසන්නට ලැබුණු තවත් දෙයක් වූයේ කිසිවකු ගුණදාසට පහර දී බිම දමා පාගා ද ඇති බවකි. මෙවැනි සැක සහිත කරුණු මතුව තිබියදී ඊට පසුදින (15 වැනිදා) ගුණදාස එම රෝහලේදීම මිය යන්නේ කා තුළත් ඔහුගේ මරණය ගැන කිසියම් අබිරහසක් ඇති කරවමිනි.

රෝහල් පොලීසිය මඟින් මේ බව දැනුවත් වීමෙන් පසුව ගිරිඋල්ල පොලීසිය මේ පිළිබඳ විමර්ශන අරඹා තිබිණි. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙමින් තිබුණ ද ගුණදාසගේ මරණය පිළිබඳ සත්‍ය තොරතුරු මෙතෙක් හෙළිවී නොතිබිණි. ඊට සම්බන්ධ කිසිවකු ද අත් අඩංගුවට ගෙන නොතිබිණි.

ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම ගම්මු ද කළ හෙළිදරව් කිරීම්වලට අනුව ගුණදාසට කිසිවකු පහර දුන්නේ නම් එය සැලසුම් සහගතව කරන ලද්දක් විය හැකි බව ඔවුහු පවසති.

නිතර දෙවේලේ ගමන් බිමන් ගිය ගුණදාසගේ බයිසිකලය ඊට එක් හෝඩුවාවකි. පවුලේ ඥාතීන් කියන්නේ තැබෑරුමට ගිය ගුණදාසගේ බයිසිකලය මේ සිද්ධියට පසු දින හමු වූයේ එම තැබෑරුමට මිටර් පන්සියයක් තරම් දුරකට දමා ගොස් තිබියදී බවයි. ගුණදාස වැටී සිටි තැන ඔහුගේ බයිසිකලය තිබී නැත.

බයිසිකලය කිසිවකු වුවමනාවෙන්ම රා තැබෑරුම ළඟින් ඉවත්කර එතැනට ගෙන ගොස් දමන්නට ඇති බව ඥාතීන්ගේ සැකයයි. බයිසිකලය පමණක් නොව තැබෑරුම තුළ ඇති වූ කිසියම් සිද්ධියකින් පසුව පහර කෑ ගුණදාසවත් කිසියම් පිරිසක් එක්ව රැගෙන ගොසින් වෙනත් තැනකට දමන්නට ඇති බවත් ඒ නිසා ගුණදාසගේ මරණය මිනීමැරුමක් බවට සැක කරන බවත් ඔහුගේ ඥාතීහු කියති. ඊට හේතු වශයෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තැබෑරුම ළඟදී හිසට එල්ල වූ බරපතල තුවාලයට අනුව ගුණදාසට තැබෑරුමේ සිට ඔහු වැටී සිටි ස්ථානයට කෙසේවත් ගමන් කිරීමට හැකියාවක් නැති බවයි. ගුණදාස එදින තැබෑරුමෙන් රා මිලදීගෙන නිවෙසට එන්නට හැරෙන විට මේ සිද්ධිය සිදුව ඇති බව දැනගන්නට ඇත. එය එසේ නම් පහරකෑමට ලක්වන විටත් ගුණදාස බීමත්ව නොසිටින්නට ඇති බවත් ඔහුගේ ඥාතීන්ගේ අවධාරණය කරයි.

එදින ගුණදාස රා කඩයේ බංකුවක අසුන්ගෙන සිටිනු ගමේ දෙතුන් දෙනකු ද දැක තිබිණ. එයින් කෙනෙක් ගුණදාසට නිවෙසට යන්නට එන්නැයි කතාකර ඇතත් ‘මං පස්සෙ එන්නම්’ කියමින් ගුණදාස ඒ ඉල්ලීම අහක දැමූ බවත් ඔහුගෙන් අසන්නට ලැබෙයි. ඊට අමතරව මේ සිද්ධියෙන් පසුදින එම රා තැබෑරුමේදී කිසියම් පිරිසක් මෙලෙසින් කතාබහක යෙදී ඇතැයි ඥාතීන් දැනගන්නට තිබේ. ‘මිනිහට ගැහැව්ව පාරට මැරිලාමයි වැටුණේ . . .’

‘මේ නිසා අපිට හොඳටම සැකයි එයාව කවුරු හරි ගහලා මරලා කියලා. ඒ වෙලාවේ එයාගේ සාක්කුවේ තිබිච්ච රුපියල් 9000 කින් රුපියල් 600 විතර තමයි එයා වියදම් කරලා තිබුණේ. ඉතිරි සල්ලිත් එයා ළඟම තිබිලා හම්බ වුණා. කිසිම තරහාකාරයෙක් ගුණදාසට නැහැ. එයා කවුරුවත් එක්ක සණ්ඩු කරන කෙනෙකුත් නෙවෙයි. සණ්ඩු සරුවල් වෙන තැන්වල එයා ඉන්නෙත් නැහැ. නිතර විහිළු තහලු කර කර ඉන්න අහිංසක කෙනෙක් ගුණදාස. එයාට කවුරු හරි අපරාධයක් කරලා කියලා අපිට හොඳටම සැකයි. එයාම අපට ඉස්පිරිතලෙදි කිව්වා එයාට කට්ටියක් ගැහුවා කියලා. ඒ නිසා මේ අපරදෙට සම්බන්ධ අයව අත් අඩංගුවට අරගෙන ඒ අයට උපරිම දඬුවම් දෙන්න කටයුතු කරන්න කියලයි අපි ඥාතීන් විදියට පොලීසියෙන් වගේම නීතියෙනුත් ඉල්ලන්නේ.’

ගුණදාසගේ පවුලේ ඥාතීහු කියන මේ කතාව සත්‍යක්දැයි සෙවීම පොලීසිය සතු යුතුකමකි. එය නිවැරැදිව සිදුවනතුරු ගිරිඋල්ල ගම්මු බලා සිටිති.