කාන්තාවන් 6ක් මරා දැමූ 'සයිනයිඩ් මල්ලිකා'

කාන්තාවන් 6ක් මරා දැමූ 'සයිනයිඩ් මල්ලිකා'

එම සිර ගෙදරට ගිය ඇයට හිමිවූයේ ඇයගේ ඥාතියා වූ ජලලිතාගේ ළඟම ආධාර කාරියක තබා සිටි සිර මැදිරිය අසල කාමරයකි. ඇය කාන්තාවන් හයකට මරු කැඳවූ මිනීමරු කාන්තාවකි. ඒ නිසා බොහෝ පිරිස් ඇය හඳුන්වනු ලැබුවේ “සයිනයිඩ් මල්ලිකා” යන නමිනි.

සසිකලා ගේ ආරක්ෂිතභාවය ගැන අවධානය යොමු කළ ඇයගේ පක්ෂයේ නායකයින් ඒ නිසා ඇය වෙනත් සිර ගෙදරකට මාරු කර යවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඇය මාරු කරනු වෙනුවට අධිකරණය සිදු කළේ “සයිනයිඩ් මල්ලිකා” වෙනත් සිරගෙට මාරු කර යැවීමයි.

දිවි ඇති තෙක් එම සිර ගෙදර ගත කිරීමට නියමිත “සයිනයිඩ් මල්ලිකා” කාන්තාවන් සය දෙනෙකු මරණයට පත් කළ අපරාධකාරියකි. මෙවැනි එක දිගට මිනීමැරුම් සිදු කළ අපරාධකරුවන් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල “සීරියල් කිලර් “ ලෙස හඳුන්වනු ලබන අතර ඔවුන් මානසික රෝගීන් ලෙස ද හංවඩු ගසනු ලබයි.

“සයිනයිඩ් මල්ලිකා” ඉන්දියාවේ “සීරියල් කිලර්” කෙනෙක් ලෙස හඳුන්වනු ලබන නමුත් ඇයට කිසිදු මානසික ආබාධයක් නොවූවාය.

“සයිනයිඩ් මල්ලිකා” දුප්පත් පවුලක උපන් දැරියක් වූවාය. ඇය නිවෙස්වල සේවයට ගියේ යමක් හම්බ කර ගැනීමටයි. එවන් තැන්වලින් වටිනා දේවල් සොරකම් කිරීමත් සමඟ ඇය අපරාධ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූවාය.

කග්ගලිපුරයේ පදිංචි දේවරාජ නමැති ඇඳුම් මසන්නා සමඟ විවාහයට පත් වනවිට ඇයට වයස අවුරුදු 18කි. ඔහු සමඟ කුඩා ව්‍යාපාරයක යෙදී සිටි ඇය පසුකාලයේදී දියණියන් දෙදෙනෙකුගේ මවක් ද වූවාය. එහෙත් ඇති වූ ණය තුරුස් නිසා පවුලේ ආරවුල් ඇති වූ අතර අවසානයේ සැමියා හා දියණියන් විසින් මල්ලිකා පවුලෙන් ඉවත් කරනු ලැබීය.

මින් අනාථ තත්ත්වයකට පත් වූ ඇය ජීවත්වීම සඳහා පුරුදු රැකියාව වන සොරකමට සිත යොමු කළාය. වයසත් සමඟ ලැබූ අත්දැකීම් නිසා එම සොරකම් කිරීමේ ක්‍රමය අළුත් මඟකට යොමු කිරීමට ඇය සමත් වූවාය.

කරදර හිරිහැර නිසා අසරණව දේවාල කෝවිල් ගානේ ගොස් දෙවියන්ගේ උපකාර අපේක්ෂා කරන ධනවත් කාන්තාවන් කොටුකර ගැනිම ඇගේ කුරුමානම වූවාය. ඒ නිසා එවැනි කාන්තාවන් සොයමින් ඇය අවට පිහිටි සෑම දේවාලයකටම කෝවිලකටම ගියාය. තමා ද දේව දාසියක් බව පෙන්වමින් දෙවියන්ගෙන් ආධාර ලබාදීම සඳහා විශේෂ පූජා පැවැත්වීමේ ඇති හැකියාව ද ඇයගේ කුරුමානම් සාර්ථක භාවයට පත් වීමට බෙහෙවින් හේතු විය.

බැංගලෝරයේ දේවාල වල අතිශය භක්තිවන්තියක් ලෙස හැසිරෙමින් නිතර ගැවසුනු ඇයගේ උකුසු ඇස් නිරතුරුවම යොමු වී තිබුණේ අසහනයෙන් දුක් වේදනා විඳගෙන දෙවියන් යදින කාන්තාවන් වෙතය. එවැන්නියක් දුටු සැනෙකින් ඈ වෙත යන මල්ලිකා ඇයගේ සිතේ පවතින වේදනාව තුරන් කිරීම සඳහා සියලු තොරතුරු ලබා ගන්නීය. ඔවුන්ගේ දැඩි විශ්වාසය දිනාගන්නා ඇය මුහුණ පා තිබෙන සියලුම කරදර තුරන් කර ගැනීම සඳහා “මන්ඩල් පුජාව“ පවත්වන ලෙසට උපදෙස් දෙන්නීය.

එය විශේෂ පූජාවක් වූ අතර තමාට එය ඉතාම හොඳින් පිරිසිදු ලෙස පැවැත්විය යුතු බව පවසා එම පූජාව සඳහා විශේෂ ස්ථානයකට එන ලෙසටත් දෙවියන් පිනවීම සඳහා ඔවුන් සතු වටිනා ආභරණ ද පැළඳ එන ලෙසටත් දැනුම් දෙන්නීය.

නියම කරගත් දිනට එතැනට යන මල්ලිකා එම පූජාව අරඹා නොයෙකුත් ස්තෝත්‍ර ගායනා කරමින් දේව කන්නලව්වක යෙදෙමින් එම කාන්තාව මුහුණ පා ඇති කරදර දෙවියන් ඉදිරියේ පවසන්නීය. ඉන් පසුව අසරණ වූ කාන්තාවට සයිනයිඩ් මිශ්‍ර ජලය බොන්නට දීම ඇය පුරුද්දක් කරගෙන සිටියාය. යම් හෙයකින් එය ප්‍රතික්ෂේප කළහොත් බලෙන ් හෝ පෙවීමට ද ඇය වග බලා ගන්නීය.

සයිනයිඩ් මිශ්‍ර ජලය පානයෙන් පසු මරණයට පත්වන කාන්තාවන් පැළඳ සිටින සියලුම වටිනා ආභරණ ගලවා ගන්නා ඇය එතැනින් අතුරුදහන් වී යන්නේ ඉන් පසුවය.

මෙසේ ඇයට ගොදුරු වූ සමහර ධනවත් කාන්තාවන් දරුණු රෝගවලට භාජනය වූ අතර තවත් සමහරු දරුඵල නොමැති අය වූහ. මන්ඩල පූජාව පවත්වමින් අසරණ වූ කාන්තාවන් සමඟ එකතු වී ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වූ යේ ඇය ඉන් පසු මිනිමරු ක්‍රියාවලියට අවතීර්ණ වන්නීය.

ලක්මි, ජයම්මා, සවිත්‍රාම්මා, ශිවා මොග්ගා කෙම්පම්මා, යසෝද්‍රමා, ආදී අන්වර්ථ නාම රැසකින් යුක්ත වු “සයිනයිඩ් මල්ලිකා” ගේ එක් ගොදුරක් වූයේ නාගවේනි නමැති දරුඵල නොමැති විවාහක කාන්තාවකි. 2007 දෙසැම්බර් 18 වැනිදා ඩොඩ්අබල්ලාපුර්, ප්‍රදේශ දේවාලයක කාමරයක් තුළ තිබී මෙම කාන්තාවගේ මළ සිරුර සොයාගනු ලැබූ අතර එහිදී පවත්වනු ලැබූ මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇයට සයිනයිඩ් විෂ ශරීරගත විම නිසා මරණය සිදු වූ බවය.

එයට පෙර 2006 දෙසැම්බර් 29 වැනිදා ශකෙර් නමැත්තෙකු විසින් තම බිරිඳ වූ 23 හැවිරිදි රේණුකා අබිරහස් ලෙස අතුරුදහන් වී ඇතැයි චින්තාමනී ප්‍රදේශයේ පොලිසිය වෙත පැමිණිලි කරන ලදී. ඩුබායි සංචාරයෙන් අනතුරුව තමා ආපසු පැමිණි විට තම බිරිඳ එසේ අතුරුදහන් වී තිබූ බව පැවසීම ගැන පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරින්ට කොලාර් ප්‍රදේශයේ කායිවාරා යෝගි නාරායන් ආශ්‍රමයේ කාමරයක තිබී රේණුකාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ අතර ඇයගේ මරණය ද සයිනයිඩ් විෂ ශරීර ගත වීම නිසා සිදු වූ බවට හෙළිකර ගත හැකි විය. මෙම මරණය පිළිබඳ පවත්වනු ලැබූ පරීක්ෂණවලදී එම ආශ්‍රමයේ සිටි අය විසින් මල්ලිකා, ජයම්මා නමින් පෙනී සිටි බවට හඳුනාගෙන තිබූ නමුත් එම මරණයට ඇයගේ සබඳතාවයක් තිබුණාදැයි සොයා ගැනීමට පොලිසියට අපහසු විය.

මේ අයුරින් ධනවත් කාන්තාවන් හයදෙනෙකු සයිනයිඩ් විෂ ශරීරගත වීමෙන් මරණයට පත් වී තිබීම මහත් භාරතය පුරාම භීතියක් ඇති කරවන්නට සමත් විය. 1999 දී හෝස්කෝට් ප්‍රදේශයේ දී මමානා නමැති කාන්තාව ඝාතනය මල්ලිකාගේ අවසන් මිනීමැරම විය.

බැංගලෝරයේ පොලිස් අධිකාරි නීලම් අචයුත් රාවෝ පවසන අන්දමට පොලිසිය විසින් සොයාගනු ලැබූ තොරතුරු අනුව මල්ලිකා මේ අයුරින් සයිනයිඩ් විෂ පාවිච්චි කරමින් බැංගලෝරයේ ගම්බද ප්‍රදේශයේ රාමනගර, ටුම්කුර් යන දිස්ත්‍රික්කවල මෙවැනි ඝාතන සිදු කර ඇත.

එසේම ඇය විසින් මරණයට පත් කළ කාන්තාවන්ගෙන් පැහැර ගනු ලැබූ වටිනා රන් ආභරණ විකිණීම සඳහා ක්‍රියා කළ අවස්ථාවේ කලාසිපාල්යම් පොලිසියේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් අනුව ඇය අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඈ විසින් එම කාන්තාවන් මරණයට පත් කළ ආකාරය පාපොච්චාරණය කරන්නට වූවාය.

ඒ අනුව “සයිනයිඩ් මල්ලිකා” නොහොත් කෙම්පම්මා කර්නාටක ප්‍රදේශයේ ඉහළ උසාවියට ඉදිරිපත් කරන ලදී.

එහිදී අධිකරණය විසින් ඇයට මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ අතර පසුව ඇය විසින් ඇපෑලක් ඉදිරිපත් කළාය. ඇයට ජිවිතාන්තය දක්වා දී තිබූ සිර දඬුවම ලෙස ඉහත කී මරණ දඬුවම වෙනස් කරන ලද්දේ ඉන් පසුවය.