“සොහොන වටේ මල් අතුරලා කළ වරදට සමාව ඉල්ලන්න”

“සොහොන වටේ මල් අතුරලා කළ වරදට සමාව ඉල්ලන්න”

ලෝකයේ සත්ත්ව විෂය අචින්ත්‍යය. අපේ ශරීරය තුළ අසූ කුලාධික පණුවන් (ජීවින්) ඇතැයි දහමෙහි කියැවේ. අපේ ඇසට පෙනෙන ජීවීන් මෙන් ම ඇසට නොපෙනෙන ජීවීන් ද බොහෝ ය. විෂ සහිත ක්ෂුද්‍ර ජීවියෙකුට ශරීර ගත වී මිනිසකු මරා දමන්නට පවා හැකි බව වෛද්‍ය විද්‍යාවෙන් ද තහවුරු වෙයි. විශාල කඳු මෙන් මහත් වූ ශරීර ඇති සත්ත්වයෝ ද යොදුන් අටක් - දහයටත් වඩා විශාල වූ සත්ත්වයෝ ද මේ විෂයෙහි සිටින බව දහම් පොත පතෙහි දැක් වේ. ඔවුන් අපේ පියවි ඇසට නොපෙනේ. මෙසේ පෙනෙන නොපෙනෙන සියලු සත්ත්වයන්ට ජීවත්වීමේ අයිතියක් ද ඇත. මේ නිවස, මේ ඉඩම මගේ යැයි අප සිතුවාට ඔප්පු තිරප්පු ලියාගෙන අයිතිය තහවුරු කළාට ඒ නිවෙස් තුළ ඒ ඉඩම් වල නොපෙනෙන සත්ත්වයෝ සිටිති.

අපේ පියවි ඇසට නොපෙනෙන මෙවැනි සත්ත්වයන්ට මිනිසාගෙන් බොහෝ දුරට සිදුවන්නේ කරදරයන්ය. කෙනෙක් පරිසරය විනාශ කරයි තවකෙක් පරිසරයට හානි කරයි. එයින් සියුම් සත්ත්වයන්ට සිදුවන හානි බොහෝය. එසේ පීඩාවට පත්වන ජීවින්ගෙන් ආපහු මිනිසා වෙත එල්ල වන ප්‍රතිවිරෝධතාවන් ද නැතුවා නොවේ. ඒ නිසා වායුව, ජලය හා පස දුෂණය වන අයුරින් කටයුතු කිරීම බරපතල වරදකි. අපරාධයකි. මහා පාපයකි. ඒවාට අකුසල විපාක අනිවාර්යෙන්ම හිමි වෙයි.

සේපාල හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු පෞද්ගලික ආරක්ෂක අංශයක විධායක නිලධාරයෙකි. විසි අට හැවිරිදි ඔහු තවමත් අවිවාහකය. දැනට මාස තුනක පමණ කාලයක සිට විටින් විට ඔහු ලේ වමනය කරන්නට විය. හිටි හැටියේ සිහිය විකල් වී දුවන්නට වෙයි. දිනපතා ලේ වමනය කිරීම නිසා සතියකට වරක් රෝහල් ගතව ලේ දෙන්නට සිදුවෙයි. මේ පිළිබඳ ප්‍රතිකාර කරන වෛද්‍යවරු පරීක්ෂණ කොට ඔහුට රෝගයක් නැතැයි කියා තිබිණ.

වෛද්‍ය ප්‍රතිකාරවලින් නිත්‍ය සුවයක් නොලද බැවින් පවුලේ අය සේපාලට අභිචාර විධි කලහ. ඒ වත් පිළිවෙත් වලින් ද සුවයක් නොලද බැවින් ඔහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවාගෙන යනු ලැබීය.

පළමු ප්‍රතිකාරයේ දී ම ඔහු තුළින් අමනුෂ්‍ය දෝෂයක ලකුණු පහළ වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ ද අමනුෂ්‍ය දෝෂය මතු වූ නමුත් එය අවදි කරන්නට නොහැකි වුයේ ඔහුගේ ශාරීරික දුර්වලකම් නිසාය. එදින ඔහුට ආරක්ෂක ප්‍රතිකාරයක් කොට පෝෂ්‍යදායී ආහාර ගෙන තවත් සති දෙකකින් නැවත එන්නැයි ගවේෂකවරයා කීවේය.

නියමිත දිනයේ ඔවුන් නැවත පැමිණියේය. එදින ද භූතාත්මය මතු වී ආවේය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම ‘ගුණසිංහ’ “

“කවුද ගුණසිංහ කියන්නේ?”

“මම පි‍්‍රන්සිපල් කෙනෙක්. බොහොම වැදගත් විදිහට ජීවත් වුණ කෙනෙක්. ගමට රටට සේවයක් කරපු කෙනෙක්. මට කවුරුත් සැලකුවා. ගෞරව කළා.”

“ඉතින් ඔබ වගේ වැදගත් කෙනෙක් ඇයි මේ සේපාලට කරදර කරන්නේ?”

“කරදර? කරදර නොමෙයි මූ කරපු පාහර වැඩේට මූව මරලත් මදි”

“මොකක්ද මෙයා කරපු වරද?”

“මූ තව මුගේ යාළුවෙක් එකක් ඇවිත් මගේ සොහොන උඩ වාඩිවෙලා ඌරු මස් කකා අරක්කු බිව්වා. ඒ මදිවට මේකා මගේ සොහොනට මුත්‍රා කළා. මූ එක්ක හිටපු අනිත් එකා එපා කියද්දියි මූ ඒ බලු වැඩේ කළේ.”

“යකෝ මළවුන්ට අපහාස කරන්න එපා” කියලා අනිත් එකා කියද්දී මූ කිව්වා. “මූ මැරිලා මූ මොන යකෙක් ද කියලා. මම ගමේ වැදගත් විදිහට හිටපු කෙනෙක්, එහෙම කෙනෙකුට මූ මොන තරම් අපහාසයක් ද කළේ? මූට ඉතින් මොනවා කළත් වැරදිද?”

භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ කියාගෙන ගියේය.

“බරපතල වරදක්. බරපතල වරදක්. මමත් පිළිගන්නවා. මැරිච්ච කෙනෙකුගේ සොහොනට අපහාස කරමින් මුත්‍රා කිරීම ඉතාම නින්දිත වැඩක්. ඔබ තුමා වගේ වැදගත් කෙනෙක් මේ වගේ හිවලෙකුගෙ ඇඟට රිංගන එකත් ඒ තරම් හරි නෑ. සෙහොනකට මුත්‍රා කරන එක වරදක් තමයි. ඒ වරද නිසා ඔබතුමා වගේ වැදගත් කෙනෙක් වරදට බැඳීම හොඳ නෑ. බුදු දහමේ උගන්වන්නේත් එහෙමයි.”

ගවේෂකරවරයා භූතාත්මයට ඇහෙන ලෙස කියන්නට විය.

“මේ රෝගියාගේ හැටියට කරන ලද කර්මයට විපාක වශයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න තව අවුරුද්දක් විතර ගත වේවි. ඒ දඬුවමත් මදැයි” ගවේෂකවරයා භූතාත්මය ඉදිරියේ කීවේය.

“බැහැ... බැහැ... මහත්මයා මම පි‍්‍රන්සිපල් කෙනෙක් බව අමතක කරන්න එපා. මැරුණත් චිත්ත සන්තානයේ ඒ ගති ලක්ෂණ මතු වෙනවා. මුන් දෙන්නට අරක්කු බෝතලයකට වියදම් කරන්න පුළුවන්. ඌරුමස් වලට වියදම් කරන්න පුළුවන්. ඒවා කන්න බොන්න සුදුසු තැනක් නැද්ද? මගේ සොහොනට ම එන්න ඕනද?. ඒ ඇවිදිලත් කරපු නොසන්ඩාල වැඩේ. මුන් දෙන්නට දඬුවමක් දෙන්නම ඕනෑ”

භූතාත්මය කීවේය.

“හොඳයි මම ඔබට සාධාරණයක් ඉටු කරන්නම්.”

කී ගවේෂකවරයා තවත් සතියකින් එදා සොහොනේදී එකට මත්පැන් පානය කළ යහළුවා ද සමඟ එන්නැයි සේපාලට ප්‍රකෘති සිහිය ලබාදෙමින් කීවේය.

සතියකට පසු සේපාල ද මිත්‍රයා ද සමඟ ගවේෂකවරයා හමුවට පැමිණියේය. ඒ මිත්‍රයා ද සිහිනෙන් බියට පත් වීම නිසා හරි හැටි නින්දක් නොලබන බව ද එහිදී අනාවරණය විය.

එදින ද සේපාලගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන්වීය. භූතාත්මය සිනාසෙන්නට විය.

“හඞ..... හඞ.... අද අනිත් එකත් ඇවිල්ලා. හැබැයි මහත්මයා මේ හාදයා සුරාපානය කළාට හරි වැරැද්ද දන්නවා. එදා මේ තිරිසනා මගේ සොහොනට මුත්‍රා කරන කොට මෙයා ඒක වළක්වන්න හැදුවා.”

භූතාත්මය කීවේය.

“ඔව් මේ දෙන්නා එකට අඩි ගහනවා වගේම එකට බෝධි පුජා තියන්නත් ඕනෑ. සෑම සෙනසුරාදා දවසකම හැන්දෑවට පන්සලට ගිහින් බෝධි පූජා පවත්වා ඔබතුමාට පින් අනුමෝදන් කරන්න මම නියම කරනවා. ඒක තුන් මාසයක් නොකඩවා කරන්න ඕනෑ. ඒ වගේම දෙන්නත් එක්ක පි‍්‍රන්සිපල් මහත්මයාගේ සොහොන පිරිසුදු කර දවස් හතක් සොහොන වැහෙන්න මල් අතුරන්න ඕනෑ. සොහොන වටේ පහන් හතරක් දල්වා තමන් කළ වරදට සමාව ඉල්ලන්න ඕනෑ.”

“බොහොම හරි. බොහොම හරි. එහෙම කළොත් මම සමාව දෙනවා. නොකළොත් මූන් දෙන්නවම පිස්සු වට්ටනවා. ”

භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ සතුටින් කියන්නට විය.

සේපාලට ප්‍රකෘති සිහිය ලබා දුන් ගවේෂකවරයා කළ යුතු දේ යළි මතකයට නැගුවේය.

“අනේ මහත්මයා, බෝධි පූජාව නම් තියන්නම්. සොහොනේ මල් අතුරන්න නම් බෑ. ලැජ්ජයි. අපි කොහොමද පාරට බැහැලා රස්සාවට යන්නේ? සේපාල කීවේය.

“මම කීවාට මේවා කරන්න එපා. තමන් හිතලා කැමැත්තෙන් කරන්න ඕනෑ. ඒක හැඟීමෙන් කරන්න ඕනෑ. අරක්කු බීලා ගමේ ප්‍රභූවරයෙකුගේ සොහොනට අපහාස කරමින් එදා කරපු වැඩේ හරිද? ඒවාට ලැජ්ජා නැද්ද? අකමැති නම් නොකර ඉන්න. දැන් මාස තුනක් රස්සාවට ගියේ නැතුවා වාගේම ගෙදරට වෙලා ඉන්න. භූතාත්මය එක්ක තියෙන ගනුදෙනුව තමන් ම බේරා ගන්න”

ගවේෂකවරයා සේපාලට කීවේය.

පවුලේ අයගේ ද මිත්‍රයාගේ ද අවවාද අනුව සේපාල ඒ නියමයන් ඉටු කරන්නට එකඟ විය.

නියමිත පරිදි දින හතක් නොකඩවා ගුණසිංහ මහතාගේ සොහොන පිරිසුදු කර මල් අතුරා පහන් දල්වා මිතුරන් දෙදෙනා විසින් දෑත් එකතු කොට මියගිය ඔහුගෙන් සමාව අයැදූහ.

ඒ වන විට දෙදෙනාම මත්පැනෙන් වැළකී සිටියහ. ඒ ගැන පවුල් දෙකේම අය සතුටට පත්ව සිටියහ.

මාසයකට පසු ඔවුහු නැවත ගවේෂකවරයා හමුවට පැමිණියහ. ඒ වන විට භූතාත්මය ඉවත්ව ගොස් තිබුණි. ගවේෂකවරයා එදින භූතාත්මය සේපාලට දිෂ්ඨි ගැන්වුවද සේපාලට භූතාත්මය ආවිශ්ට නොවීය. ලේ අඩුවීම නිසා දුර්වල වූ සේපාලට පෝෂ්‍යදායී ආහාර ගන්නා ලෙස උපදෙස් දුන් ගවේෂකවරයා පන්සිල් ආරක්ෂා කරමින් ජීවත් වෙන්නැයි ඉල්ලීමක් ද කළේය.