සමයං ඝාතන සැලැස්මට මදුෂ් ලක්ෂ 15ක් වියදම් කරලා

සමයං ඝාතන සැලැස්මට මදුෂ් ලක්ෂ 15ක් වියදම් කරලා

ඊට අමතරව පෑලියගොඩින් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබූ අතර කොළඹ අපරාධ කොට්ටසය විසින් ද තවත් සැකකරුවන් කිහිප දෙනකු අත් අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුවන් සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන චරිත නොවන බව පරීක්ෂණ වලදී හෙළිවිය.

බැලූ බැල්මට සමයං ඝාතනයට හේතුව ලෙස පෙනී යන්නේ අංගොඩ ලොක්කාගේ ලඟම ගෝලයන් දෙදෙනකු වූ අංගොඩ රත්තරං සහ අතුරුගිරියේ බණ්ඩා ඝාතන සිද්ධි මුල් වූ බවකි. මේ දෙදෙනා ඝාතනය කරන්නේ පසුගිය ජනවාරි මාසයේදීය. එහෙත් අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූයේ සමයං ඝාතනය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට කළ සැලසුමක ප්‍රතිඵලයක් බවයි. එලෙසම සමං ඝතනය දකුණේ පාතාල නායකයකු වන මාකඳුරේ මදූෂ්ගේ වැඩක් බවත් අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා ඇතුළු කණ්ඩායම මදූෂ් ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය පමණක් ලබා දී ඇති බවත් පෑලියගොඩින් අත්අඩංගුවට ගත් දෙදෙනා කළ පාපොච්චාරණ වලින් හෙළිවී ඇත.

මාකඳුරේ මදූෂ් ගේ රාජධානිය දකුණු පළාතයි. එහෙත් ඔහු දැන් කාලයක සිටම කල් ගෙවන්නේ විදෙස් ගතවයැයි කියයි . හේතුව ඔහු විසින් මෙරට පුරා සිදුකළ අපරාධ හේතුවෙන් තව දුරටත් මෙරට ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී තිබීමය. එලෙසම ඔහුට මෙරට අධිකරණ වලින් වරෙන්තු මෙන්ම විවෘත වරෙන්තු ද නිකුත් කර තිබෙන අතර එක් අතකින් ඔහුට රට පැන සිටීම වාසි දායකවේි. ඊට හේතු කිහියපකි. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකයත් ඔහු අල්ලා ගැනීමට මාන බලමින් සිටීමයි. අනෙක් කරුණ වන්නේ ප්‍රතිවිරුද්ධ කල්ලි ඔහු මරා දැමීමට බලා සිටීමයි.

විදෙස් රටවල කල් ගත කළ ද ඔහුට මෙරට සිටින සිය කල්ලි සාමාජිකයන් මෙහෙයවමින් අපරාධ සිදුකිරීම නම් ඉතාම පහසු කටයුත්තක් බව පෙනී යන්නේ මාස කිහිපයක් තිස්සේ ඉතා සියුම් ලෙස සැලසුම් කොට කලුතර බන්ධනාගාර බස් රථයට පහර දී සමයං ඇතුලු කල්ලි සාමාජිකයන් පස් දෙනා මරා දැමීමෙන් අනතුරුවය.

මෙරට ක්‍රියාත්මක පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් ගැන හොඳින් දන්නා කාගේත් අදහස වී තිබුණේ රණාළේ සමයං ගේ ප්‍රධානතම විරුද්ධවාදියා වූයේ අංගොඩ ලොක්කා ලෙසටය. එහෙත් මාකඳුරේ මදූෂ් ඊටත් වඩා සමයංගේ ප්‍රතිවාදියකුව සිටි බව හෙළිවූයේ පෑලියගොඩින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු වලිනි.

මේ අනුව තවත් පැනයක් මතුවේ. ඒ මාකඳුරේ මදූෂ් ට රණාළේ සමයං සමඟ මෙතරම් බද්ධ වෛරයක් ඇතිවීමට මුල් වූ කරුණ කුමක් ද යන්නයි.

දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ දීර්ඝ කාලීනව පවතින පාතාල ගැටුම් පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් මෙම ගැටුම් වලට මුල් වූ කරුණු ද හෙළි කරගෙන ඇත. මදූෂ්, රණාළේ සමයං සමඟ වෛර බැඳගැනීමට මුල්ම හේතුව වන්නේ බන්ධනාගාර ඇතුලේ දී සමං, මදූෂ්ගේ ගෝල බාලයන්ට පහර දීම නිසාය. එපමණක් නොව මෙම බද්ද වෛරයට “ගෑනු “ බෙදා ගැනීම සඳහා වූ සිදුවීම් ද බලපා ඇති බව හෙළිවී ඇත.

හර්ෂ යසස් යනු මදූෂ්ගේ ලඟම ඥාතියෙකි. එලෙසම ඔහු මදූෂ් ගේ කුඩු ජාවාරමට මෙන්ම අනෙකුත් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ලඟම සගයෙකි. වරක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිය දී රණාළේ සමයං ද එම බන්ධනාගාරයේම සිට ඇත. බන්ධනාගාරය ඇතුලේ පවා සිය ආධිපත්‍යය පතුරුවා හැරීමට උත්සාහ කළ සමයං සේම හර්ෂ යසස් ද කල්ලි ගැසී බලය පෙන්වීමට උත්සාහ කර ඇත. වරක් හර්ෂ යසස්, සමයං දන ගස්සවා පහර දීමට තරමි චණ්ඩියකු විය.

මෙම පහර දීමේ සිද්ධියෙන් අනතුරුව හර්ෂ යසස් සමඟ තදින්ම වෛර බැඳගන්නා සමයං දිගින් දිගටම කියා තිබුණේ කොයි මෙහොතක හෝ කෙලෙස හෝ හර්ෂ මරාදමන බවය. මෙලෙස බන්ධනාගාරගතව සිටි හර්ෂ ඇප මත එලියට එන්නේ පසුගිය වර්ෂයේ මුල් භාගයේදීය.

ඔහුගේ ගම් පළාත මාතර වූව ද හිරෙන් එලියට ඒමෙන් අනතුරුව ඔහු දිනකට දෙකකට වඩා මාතර කල් ගෙවන්නේ නැත. එලෙස ගම් පළාතේ නොසිට කොළඹට ඒමට ඔහුට විශේෂ හේතුවක් තිබිණි. ඒ ඔහුගේ අනියම් බිරිය රාජගිරියේ ජීවත් වීමයි. රාජගිරිය අරුණෝදය මාවතේ මුඩුක්කු නිවාස සංකීර්ණයක පදිංචිව සිටින ඇය වෙත එන ඔහු ඊට දින දෙකකට පමණ පසු ඇය ඇතුළු පවුලේ අය ද සමඟ ශ්‍රීපාද වන්දනාවේ යන්නේ හොඳ මිනිසකු වන්නට සිතාගෙනදැයි අපි නොදනිමු. එලෙසම කාලාන්තරයක් තිස්සේ කළ පවු සෝදා ගෙන එන්නට ව්ය යුතුය.

ඔහු ශ්‍රීපාද වන්දනාවේ ගොස් පැමිණියේය. පවු සෝදාගෙන පැමිණ ගෙවී ගියේ දින දෙකකි. එදා ඔහු මුඩුක්කු නිවාසයේ සාලයේ හිඳගෙන දිවා ආහාරය ගනිමින් සිටිය දී නාඳුණන පිසිතෝල කරුවකු එල්ල කළ වෙඩි පහර වලින් ජීවිතක්ෂයට පත් වන්නේ ශ්‍රී පතුල නැමැදි මුත් කළ පවු සේදී ගොස් නොමැති බව පසක් කරමිණි. එනම් දන ගස්සවා තමාට කළ පහරදීමේ පලිය සමයං විසින් එලෙස ගෙන තිබිණි.

හිරගෙදර ඇතුලේ සිටිමින් සමයං මෙම ඝාතනය සිදුකර තිබුණේ තම ලඟම ගෝලයන් කිහිප දෙනකු යොදවා ගනිමිණි. මෙම ඝාතනයත් සමඟ මදූෂ් ගේ සිතේ සමයං පිළිබඳ තිබූ වෛරය දස දහස් ගුණයකින් ඉහළ ගියේය.

හැකි ඉක්මනින් සමයං මරා දැමීමට අවශ්‍ය වුවද එය කරගැනීම එතරම් පහසු කටයුත්තක් වූයේ නැත. ඒ දිගින් දිගටම සමයං බන්ධනාගාරයේ කල් ගත කිරීම නිසාය.

විදෙස් ගතව සිටිමින්, රටින් රටට යමින් මදූෂ් ජයටම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. විදෙස් රටවල් අතර ද කුඩු බෙදා හරින ඔහු රහසිගත මාර්ග ඔස්සේ ලංකාවට ද කුඩු එවමින් කෝටි ගණනින් මුදල් උපයන බවටත් පොලිස් බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත. මෙරට පුරා ක්‍රියාත්මක ඔහුගේ කුඩු ජාවාරම අනියම් බිරිය වන හිටපු පාතාල කල්ලි නායකයකුගේ දියණිය විසින් කරගෙන යන බවටත් තොරතුරු දැනගෙන සිටියත් පොලිසිය මෙම කුඩු ජාවාරම මැඩ පැවැත්වීම සඳහා ක්‍රියා මාර්ග නොගෙන සිටීම විශාල ගැටලුවකි.

මදුෂ්ට ඕනෑ තරම් සල්ලි ඇත. මෙරට දී ඕනෑම ආකාරයේ “ගේම් “දීමට හැකි ගෝලයෝ ද සිටිති. රණාළේ සමයං ඝාතනය ඔහු සැලසුම් කරන්නේ මෙම මුදල් බලය සහ පිරිස් බලය උපයෝගී කර ගණිමිනි.

රණාළේ සමයං ඝාතනය පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ වලදී දැනට හෙළිවී ඇති තොරතුරු වලින් වැටහෙන්නේ මේ සඳහා මදූෂ් විශාල මුදලක් වියදම් කර ඇති බවයි. මෙම ඝාතන සැලසුමේ මූලික පියවර වන්නේ කලුතරට ආසන්න ප්‍රදේශයකින් නිවෙසක් කුලියට ගැනීමයි. බණ්ඩාරගම ප්‍රදේශයෙන් මෙලෙස ආරක්ෂිත නිවාසයක් බද්දට ගැනීම සඳහා අත්තිකාරම් බැඳීමට රුපියල් එක් ලක්ෂ හතලිස් හතර දහසක මුදල ලබා දෙන්නේ මදූෂ් විසිණි.

ඉන් අනතුරුව නිවෙසේ මාසික කුලිය ගෙවීම සඳහා මුදල් ලබා දෙන්නේ ද මදූෂ්ය.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකමි සැපයීම වෙනුවෙන් ඔහු වියදම් කරන මුදල රුපියල් ලක්ෂ හතක් පමණ වේ. එලෙසම සැලසුමට දායක වූවන්ට මෙන්ම ප්‍රහාරය එල්ල කිරීම සඳහා එක් වූ දසදෙනා වෙනුවෙන් ද මොහු ලක්ෂ හත අටකට වැඩි මුදලක් වියදම් කර තිබිණි. ඒ අනුව ගණන් බලන විට රණාළේ සමයං ඝාතනය සඳහා මදූෂ් වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ පහළොවකට වඩා වැඩිය.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය ගිනි අවි සපයන්නේ ද මදූෂ් ය. ඒ සඳහා මදූෂ් ටී 56 අවි හතක් ලබා දී තිබූ බව සමයං ඝාතනයේ වෙඩික්කරුවකු වූ බන්ටි පවසි තිබිණි.

පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදුකළ පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස සමයං ඝාතනයේ සුලමුල දැන් හෙළිවී අවසානය. එහෙත් පිළිතුරු සොයා ගැනීමට නොහැකි වූ ප්‍රශ්න දෙකක් ඇත. ඉන් එකක් වන්නේ කැස්බෑව වර්ණ සංඥා වලට එපිටින් “ඇඹිලිපිටියේ පොඩී” දමා ගිය වෑන් රථය රැගෙන ගිය දෙදෙනා කවුරුන් ද යන්නයි.මදූෂ් පොඩීට පවසා තිබුණේ සර්විස් කිරීමෙන් අනතුරුව වෑන් රථය ඉහත කී ස්ථානයේ දමා යන ලෙසටය. ඒ නියෝගයට අනුව පොඩී එම ස්ථානයේ වාහනය අතැර දැම්ම ද මදූෂ් කී ආකාරයට එතැනින් යන්නට ගියේ නැත. මෙම වෑන් රථය රැගෙන යන්නේ කවුරුන්ද යන්න ඔහු සැඟව බලා සිටියේය. එහෙත් රැගෙන යාමට පැමිණි දෙදෙනාගේ හැඩහුරු කමක් වත් බලා ගැනීමට පොඩීට හැකිවූයේ නැත. ඒ යතුරු පැදියකින් පැමිණි ඔවුන් දෙදෙනාම ෆුල්ෆේස් හෙල්මට් දමා ජැකට් හැඳ සිටි නිසාත් පිටුපස අසුනේ පැමිණි අය වාහනයට ගොඩවන්නේ ද හෙල්මට්, ජැකට් සමඟ නිසාය.

නොවිසඳුන අනෙක් කාරණය වන්නේ ප්‍රහාරය එල්ල කළ ගිනි අවි වලට සිදුවූයේ කුමක් ද යන්නයි. ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව පානදුර බස් නැවතුම පිටුපස දමා ගොස් තිබූ වෑන් රථය ගන්නේ මිරිස්සේ ප්‍රියන්ත විසිණි. ඔහු පවසන්නේ තමා වාහනය ගන්නා විට එහි අවි ආයුධ කිසිවක් නොතිබුණ බවයි. එය එසේ නම් කලුතර දී ප්‍රහාරය එල්ල කොට පානදුරේට පැමිණෙන අතරමඟ දී ආයුධ කොතැනක හෝ සැඟවූවාද? නොඑසේ නම් තව වාහනයකින් ආයුධ රැගෙන ගියේ ද යන්නයි.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා සහභගී වූ බව කියන අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා ප්‍රහාරයෙන් අනතුරුව විදෙස් ගතවූ බව පරීක්ෂණ පවත්වන එක් කණ්ඩායමක් පවසයි. තවත් කණ්ඩායමක් කියන්නේ ඔවුන් මෙරට සිටින බවයි. ඒ අනුව ඔවුන් සිටින්නේ කොහේ ද යන්න ගැටලුවක් වී ඇත.

බලයේ ආධිපත්‍යය පතුරුවා ගැනීම උදෙසා එක් පාතාල කල්ලියක් තවත් පාතාල කල්ලියක් නැත්තටම නැති වන තරමට විනාශ කර දැම්මේය. එම ප්‍රහාරය අවසන් වී සති දෙකක් පමණ ගෙවී යද්දී තවත් දරුණු ගැටුමක පෙර ලකුණු පහළ වී ඇත. ඒ දකුණේ කුඩු රජා සේම පාතාල කල්ලි නායකයකු වන දෙවුන්දර චමිල් නොහොත් කුඩු චමිල් ඇප ලබා එලියට පැමිණීමයි. ඔහුට විරුද්ධ කල්ලි කිහිපයකි. ඉන් එක් කල්ලියක් වන්නේ මදූෂ්ගේ කල්ලියයි. එලෙසම ඔහුට ජන්මාන්තර වෛරක්කාරයකු ද සිටී. ඒ ඔහුගේ බිරිය රැගෙන පලාගිය පුද්ගලයාය.

මෙලෙස පාතාල කල්ලි අතර පවතින වෛරය හේතුවෙන් ද එකිනෙකා මරාගෙන තමාගේ බලය පතුරුවා ගැනීමට යාම නිසා ද ඉදිරියේදී පාතාල ගැටුම් රැසක් ඇතිවිය හැකි බව තතුදත්තන්ගේ මතයයි.