ගල්බොක්කේ යාදින්නිය ඝාතනය කළේ ඇයි ?

ගල්බොක්කේ යාදින්නිය ඝාතනය කළේ ඇයි ?

අබිරහස් ලෙස මිය ගිය මහලු කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් අරණායක ගල්බොක්ක හංදිය ආසන්නයේ (පරණ පොලිසිය අසල) වූ ඉඩමක තිබි පසුගිය 18 දා පෙරවරුවේ අරණායක පොලිසිය විසින් සොයා ගත්තේය. මළ සිරුර හමුවන අවස්ථාවේ ඇයගේ යටි කය පෙදෙස සම්පුර්ණයෙන්ම නිරුවත් ව තිබී ඇති අතර ඒ ස්ථානයේම උපත් පාලන කොපුවක් ද තිබී හමු වීම නිසා මෙම කාන්තාව දුෂණයට ලක්කොට ඝාතනය කළාදැයි යන්න පිළිබඳ සැකයක් පවතී.

මෙසේ මිය ගොස් ඇත්තේ අරණායක ගල්බොක්ක හංදිය අසල පාළු නිවසක වසර ගණනාවක සිට කල්ගෙවමින් යාදින්නියක ලෙස එදිනෙදා වේල සොයාගෙන ජීවත් වූ සෝමා යනුවෙන් හඳුන්වනු ලැබු වයස් ගත කාන්තාවකි. ඇය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත්තේ එම කාන්තාව හොරේවල ප්‍රදේශයේ පංදිචිව සිටි වඩුගේ සිරියාවති ප්‍රනාන්දු (65) නැමති තැන්තියක බවය.

පසුව සිදුකළ වැඩිදුර සොයා බැලීමකදී එම කාන්තාව හොරේවල ප්‍රදේශයේ පදිංචි වත්ගෙදර වලව්වේ මුතුබණ්ඩා (68) නැමත්තෙකු සමඟ විවාහ වී සිට ඔහු විසින් අත හැර දැමිමෙන් පසු කිසිවකුගේ පිළිසරණක් නොමැතිව මහ මඟට වැටි සිටි තැනැත්තියක බවද හෙළි වී ඇත.

මෙහිදී පොලිස් නිලධාරීන් විසින් මුතුබණ්ඩා නැමත්තා එම ස්ථානයට කැඳවාගෙන පැමිණි අවස්ථාවේ මිය ගොස් සිටින කාන්තාව තමාගේ කලින් විවාහයේ බිරිඳ බවට හඳුනාගෙන ඇත.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිආනන්ද සේරසිංහ මහතාගේ උපදෙස් පරිදි අරණායක පොලිසියේ ස්ථානාධිපති සුජීව ගුණතිලක ඇතුලු නිලධාරින් පිරිසක් මෙම අබිිරහස් මරණය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පත්වාගෙන යති.

මෙම පරීක්ෂණ සඳහා කෑගල්ල අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති දෙහිමඬුගේ ඇතුලු නිලධාරීන් ද පරීක්ෂණ පවත්වාගෙන යන අතර කෑගල්ල පොලිස් නිල සුනඛ අංශයේ නිල සුනඛයාට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ ඇයගේ මළ සිරුර අසල වැටී තිබු තංගුස් නුල් කැබැල්ලකි. එය ඉවකළ රොනී මළසිරුර තිබුණු ස්ථානයේ සිට මාඔය දෙසට ගොස් ඊට ඔබ්බෙන් වූ කිරපණ ප්‍රදේශයට ඉව අල්ලමින් ගිය අතර ඒ අනුව පොලිසිය සැකකරන්නේ සිරියාවතී මරා දැමූ පුද්ගලයා එම ප්‍රදේශය හරහා පලා යන්නට ඇති බව පොලිසියේ සැකයයි.

මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් බණ්ඩාර අලුත්වත්ත මහත සහ කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්ලිව්. ඩී.එස්. ජයවීර යන මහත්වරුන් මෙහිදී ස්ථානීය පරීක්ෂණය පැවැත් වූ අතර මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කෑගල්ල ශීක්ෂණ රෝහලවෙත යොමුකරණ ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

ගල්බොක්ක හංදිය අසල ඉඩමක අබිරහස් ලෙස ඝාතනය කරනු ලැබ සිටි 65 හැවිරිදි ඇගේ මරණය ගෙල සිර කිරිමෙන් සිදුකළ මරණයක් බවට කෑගල්ල ශීක්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

ගල්බොක්ක හංදිය අසල අබලන් නිවසක සිගමන් යදිමින් දිවි රැක ගත් වඩුගේ සිරියාවතී ප්‍රනාන්දු නැමති කාන්තාවගේ මළ සිරුර හමුවන අවස්ථාවේ එම ස්ථානය ආසන්නයේම තිබී උපත් පාලන කොපුවක් හමුවීම නිසා ඇය ලිංගික අතරවරයකට ලක්කොට මරා දැමුවේද යන්න පිළිබඳව සැක පහළ වී තිබුණ ද පශ්චාත් මරණ පරීක්ෂණයේදී එවැනි අතවරයක් අනාවරණය වූයේ නැත. ඇය ඝාතනය කොට ඇත්තේ තංගුස් නුලක් වැනි යමකින් ගෙල සිර කිරීමෙන් බවට හෙලිවීම නිසා මෙම ඝාතනය කුමන අරමුණක් නිසා සිදුකළ එකක් ද යන්න පිළිබඳ අරණායක පොලිසිය දැනට පරීක්ෂණ පවත්වාගෙන යයි.

කෑගල්ල ශීක්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි රමේෂ් අලගියවන්න මහතා විසින් (20) දා පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්ථාව මාවනැල්ල අධිකරණය වෙත යොමු කිරීමට පියවරගෙන තිබිණි.

තංගුස් ලණු කැබැල්ල ඉව අල්ලා රොනී ගමන්ගත් මාර්ගය පිළිබඳ අවධානය යොමු කළ පොලිසිය ඒ ඔස්සේ ඝාතකයා සොයා පරීක්ෂණ වල නිතරව සිටී.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩි.ඒ. සේරසිංහ, සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකොන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අරණායක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක, පොලිස් පරීක්ෂක දහම්පත් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති කේ.ජී. අබේකීර්ති, පොලිස් සැරයන් වරුන් වන (22943) හරිස්චන්ද්‍ර, (48606) පි‍්‍රයන්ත, (20166) පොඩි බණ්ඩා, (40202) සේනානායක, කොස්තාපල් වරුන් වන (35754) මුණසිංහ, (56991) වේරකේ යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යති.