ඇම්බර්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ

ඇම්බර්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ

මෙය සිදු වී දැනට වසර විස්සකි. එහෙත් තමා ළඟ සුරතල් වූ නව හැවිරිදි මිණිබිරිය සිහිකරමින් ඒ මිත්තණිය තවමත් හඬා වැළපෙන්නීය. මිණිබිරියගේ මෙන්ම මුළුමහත් පවුලේම ඉරණම වෙනස් කළ මිනිත්තු 08ක් තරම් වූ සුළු කාලය ඇයට දැනුණේ යක්ෂයාගේ හෝරාව ලෙසය. සියල්ල සිදුවුයේ ඒ මිනිත්තු අට ඇතුළතදීය.

එදා 1996 ජනවාරි 12 වැනිදා නව හැවිරිදි ඇම්බර් ඇගේ බාල සොහොයුරා රිකී සමඟ ටෙක්සාස් හී ඔවුන්ගේ ආච්චිගේ නිවෙසට ආවේ හවස තුනට පමණය.

ඇම්බර් හරි ලස්සනයි. හුරුබුහුටියි. දඟකාරයි. ඇම්බර් මල්ලි එක්ක ආච්චිලාගේ ගෙදර එද්දී සීයා හිටියේ මිදුලේ කාර් එකේ වැඩක් කරමින්. මේ පුංචි පැටව් දෙන්නාගේ බයිසිකල් දෙක සීයා තියලා තිබුණේ ගරාජ් එකේ. බයිසිකල් දැක්ක විතරයි ඇම්බර්ට ඕනා වුණා රවුමක් යන්න. එදා හොඳට ඉර පායපු දවසක්.

‘සීයේ, මම මල්ලිත් එක්ක රවුම් දෙකක් පැදලා එන්නද?” ඇම්බර් අවසර පැතුවේ සීයගෙන් වුණත් උත්තර දුන්නෙ ඇම්බර්ගෙ ආච්චි. එතැන ඇම්බර්ගෙ අම්මත් හිටියා.

“හොඳයි, ඒත් රවුම් දෙකයි. ඊට වැඩිය බෑ.”

ඇම්බර් මල්ලිත් එක්ක ඉගිළුණේ පුංචි සමනළයෝ දෙන්නෙක් වගෙයි.

ඔවුන්ගේ ආච්චිගේත් සීයාගේත් නිවෙස පිහිටා තිබුණේ ටෙක්සාස් හි ආලින්ටන් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක. ඒ අද්දර වූ කඩේ ළඟ ඉඳන් රථගාල දක්වා බයිසිකල් පදින එක ඒ ගෙවල්වල පුංචි එවුන්ට විනෝදයක්. ඇම්බර්ගෙ අම්මාත් පුංචි සන්දියේ මේ විදිහට මේ රවුමේ බයිසිකල් පැද්දා.

“මං දැන් ගෙදර යනවා. ආච්චි කිව්වෙ එක රවුමක් පැදලා එන්න කියලයි.” ඇම්බර් අක්කට එහෙම කියු රිකි ආපහු ගෙදර ගියා.

“කෝ, අක්කා? යන්න ගිහින් අක්කව එක්ක එන්න.” තනියම ආ රිකි දුටු ආච්චි යළි ඔහු පිටත් කළා.

රිකී ආයිත් ඇම්බර් බයිසිකල් පදිමින් සිටි දිහාට ගියා. ඒත් ඇම්බර් නෑ. ඔහු රවුමක්ම පැද්දා. එත් ඇම්බර් නෑ. රිකි ආපහු ගෙදර ආවා.

“මට අක්කා හොයා ගන්න බෑ.”

ඇම්බර්ගේ සීයා මෝටර් රියේ නැඟී ඇම්බර් හොයන්න පිටත් වුණේ විදුලි වේගයෙන්. සීයා ඇම්බර් බයිසිකල් පැද පැද හිටපු දිහාට යන විට එතැනට පොලිස් කාර් එකක් ඇවිත්. සීයා ඉන් හොඳටම කලබල වුණා.

“මේ ළඟ ගෙදරක කෙනෙකුට ඇහිලා තියෙනවා ළමයෙක් කෑගහනවා. බලද්දී එයා දැකලා මිනිහෙක් කවුදෝ ගෑනු ළමයෙක්ව පිකප් ට්‍රක් එකකට දාගන්නවා. එයා 911 න් අපට කතා කළා. අපි එවේලේම ආවා.”

ඇම්බර් පදිමින් සිටි බයිසිකලය එතැන බිම පෙරළී තිබිණි.

“ඒ මගේ මිණිබිරිගේ බයිසිකලේ”

සීයා කරකියා ගත හැකි දෙයක් නොමැතිව හිසේ අත ගසාගෙන බිම වාඩිවුණා.

මේ පුංචි දැරිය අහිමි වී දැනට වසර විස්සක් පමණ ඉක්මවා ගොසිනි. ඔවුන් තවමත් ඒ මොහොත සිහිපත් කරන්නේ දුකින් බර වූ සිතිනි.

“ඇම්බර් බයිසිකල් පැදගෙන ගෙදරින් ගිය වෙලාවයි අසල්වැසියා පොලිසියට කෝල් කළ වෙලාවයි අතර වෙනස මිනිත්තු 8යි. මේ පුංචි කාලයට කරන්න පුළුවන් දේ විශාලයි කියා මිනිස්සු දැනගත යුතුයි.”

මේ දැරිය අතුරුදන් වූ පුවත මුළු මහත් ඇමෙරිකාව පුරා පැතිර යාමට ගත වුයේ පැය කිහිපයකි. රට පුරා හැමෝම පාහේ සිද්ධිය ගැන අවධානයෙන් පසුවුණා. ඇම්බර්ට ආදරය කරන සැවොම වෙහෙසුණේ ඇය සොයා ගැනීමටයි. හැම තැනම ඇම්බර්ගේ සේයාරුව රැගත් පත්‍රිකා බෙදා හැරුණා.

“අනේ මගේ පුංචි කෙල්ල අහිංසකයි. හුරතල්. මං වඳින්නම් මගේ දුව මට දෙන්න” ඇම්බර්ගෙ අම්මා ඩෝනා රූපවාහිනිය ඔස්සේ් ආයාචානා කළා. ඇමෙරිකානු මාධ්‍ය දිගින් දිගටම මේ පුවත වාර්තා කළා. ඉන් රට පුරාම ඇතිවුණේ මහත් ආන්දෝලනයක්. මාධ්‍ය ඇම්බර් පැහැර ගන්නවා දුටු පුද්ගලයා හා කළ සාකච්ඡාව වරින් වර ප්‍රචාරය කළේ පැහැරගැනීම් කළ පුද්ගලයාගේ හැඩරුවත් විස්තර කරමින්.

පොලිසිය තීරණය කළේ පැහැර ගැනීම කරන්න ඇත්තේ නාඳුනන පුද්ගලයකු බවටයි. ඒ වෙනකොට ඇමෙරිකාවේ වසරකට දරුවන් 750,000ක් පමණ පැහැර ගැනීමට ලක්වන බවට වාර්තා වී තිබුණා. මින් වැඩියෙන්ම කර තිබුණේ නාඳුනන පුද්ගලයන්, ඉනුත් වැඩිපුරම පැහැර ගැනීමට ලක්වුණේ ගැහැනු ළමයි. ඉන් වැඩි දෙනෙක් අතවරයට ලක් කොට මරා දමා තිබුණා.

ඇම්බර් පැහැර ගැනීම පිළිබඳව රට පුරා ගෙන ගිය මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පැහැර ගැනීම කළ පුද්ගලයා ගැන තොරතුරු ලැබේවි යැයි පොලිසිය අපේක්ෂා කළා. අමෙරිකානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අවසානයේ දැරිය සෙවීමේ මෙහෙයුමට එක්වුණා. ඒත් ඒ කිසිවකින්වත් ඵලක් නොවී ඇම්බර් අතුරුදහන් වී දින හතරක් ගෙවී ගියා.

දිනක් උදෑසන සිය බල්ලා ද කැටිව උදේ ඇවිදීමට ගිය උතුරු ආර්ලින්ටන් ප්‍රදේශවාසියකුට අසල වන රොදක තිබී ඇම්බර්ගේ සිරුර හමුවුණා. ඇගේ හිස ගෙලෙන් වෙන්කර තිබුණා. මෙතෙක් ඇම්බර් සෙවූ පොලිසිය මීළඟට පටන් ගත්තේ මිනීමරුවා සෙවීමටයි. එහෙත් 1997 වෙනකොටත් පොලිසියට කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. අවසානයේ ඇම්බර්ගේ ඝාතනයත් ඇමෙරිකානු නොවිසඳුණු අපරාධ ගොන්නට එක්වුණා. ඒත් ඇම්බර්ගේ ආච්චි තවමත් බලාපොරොත්තු අත්හැරලා නැහැ.

“මට දැන් වයස අවුරුදු 65යි. මගේ ජීවිත කාලයේදී මගේ මිණිබිරියගේ මිනීමරුවා සොයා දෙන ලෙස ඉල්ලමින් මං හැමදාමත් දෙවියන් යදිනවා. අපට ආයිත් ඇම්බර් ලබාගන්න බැහැ. ඒත් ඇම්බර් මැරුවේ ඇයිදැයි අප දැනගත යුතුයි” ඇය පවසනවා.

“දරුවා අතුරුදහන් වී මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙද්දී පොලිසියටත්, මාධ්‍යයටත් එකට එක් වී ඒ ගැන මහජනතාව දැනුම්වත් කරන්න බැරි වුණේ ඇයි? හරියට ටොනාඩෝ හරි ලැව් ගින්නකදී හරි මහජනතාව දැනුවත් කරනවා වගේ?” ඇගේ ප්‍රශ්නය වුයේ එයයි.

ඇගේ පැනය ගුවන් විදුලි හා රූපවාහිනි බලධාරින්ගේ සිත්වලටත් කා වැදුණා. එහි ප්‍රතිඵලය වුයේ Dallas Amber plan නමින් හදිසි දැනුම් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ වීමයි.

මේ යටතේ පොලිසිය ගුවන් විදුලිය හා රූපවාහිනිය එක්ව කලින් කලට රටේ සිදුවන පැහැර ගැනීම් පිළිබඳව ඒ මොහොතේම මහජනයා දැනුවත් කරන්න පටන්ගත්තා. පැහැර ගැනීමට ලක් වූ දරුවන්ගේ තොරතුරු හා සේයාරු ඒ මඟින් වහාම විකාශය කෙරෙනවා.

නගරවල මාර්ග හරහා සවිවුණු විශාල විද්‍යුත් පුවරුවල එලෙස සිදු වු පැහැර ගැනීම් ගැන ඒ මොහොතේම තොරතුරු දැනුම් දෙනවා. මේ වැඩසටහන ආරම්භ වුයේ ඇම්බර් මියගොස් වසරකට පසුවයි.

මහජනයාට මෙහි ප්‍රතිඵල අත්විඳීමට වැඩි කලක් ගත වුයේ නැහැ.

ඉන්පසු සිදු වූ පැහැර ගැනීම්වලට ලක් වූ දරුවන් බොහොමයක් මේ Amber Alert System මඟින් මහජනතාව දැනුම්වත් කිරීම නිසා සොයා ගැනීමට හැකි වුණා.

ඒ මහජනතාවගෙන් ලද තොරතුරු ඔස්සේයි. පසුව මුළු ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්ත මේ ක්‍රමය කි‍්‍රයාත්මක කළා.

“මගේ මිණිබිරියගේ නම ඇහෙන වාරයක් පාසා මා මැරී මැරී ඉපදෙනවා. ඒත් ඉන් සිදුවෙන යහපත ගැන සිතා මං සතුටු වෙනවා”

මේ ගැන ඇම්බර්ගේ ආච්චි පවසන්නේ එලෙසිනි.

පසුව ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් Amber Alert System එය නීතියක් ලෙස සම්මත කළා. එහි සමාරම්භක උත්සවයට ඇම්බර්ගේ මව ඩෝනා ද සහභාගි වුණා.

“මෙලෙස නීතියක් නොතිබු යුගයේ මගේ කුඩා දියණිය පැහැර ගෙන ගොස් මරා දැමුණා. දැන් මෙමඟින් අපේ රටේ දරුවන්ට ආරක්ෂාව සැලසේවි” ඇය මාධ්‍යවේදීන් හමුවේ එදා ප්‍රකාශ කළා.

එහෙත්, මේ වනතුරුත් ඇම්බර්ගේ මිනීමරුවා සොයා ගැනීමට පොලිසියට හැකි වුයේ නැහැ.

ඇම්බර්ගේ අතුරුදහන්වීම නිසා ඇමෙරිකාවට අලුත් නීතියක් එක්වුණා. එසේම ඇම්බර් නමින් අතුරුදන් වූ දරුවන් සෙවීම සඳහා වැයකිරීමට අරමුදල් එකතු කළා.

පසු කලෙක දී ආර්ලින්ටන් නගර බලධාරීන් ඇම්බර් පැහැර ගැනීමට ලක් වූ ස්ථානයේ රෝපණය කළ ගස හැඳින්වෙන්නේ “ඇම්බර් ගස” නමිනි.

පවුලේ අය සෑම වසරකම ඇම්බර් සිහිපත් කරමින් ඒ ගස රෝස පාට පීත්ත පටිවලින් සරසන්නේ ඇම්බර් පි‍්‍රය කළ පාට රෝස පාට නිසයි.