රාජකාරි අතරතුර පොත් ලියන රාලහාමි

රාජකාරි අතරතුර පොත් ලියන රාලහාමි

පොලිස් නිලධාරියා විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය රාජකාරිය ඉටු කරයි. නිශ්චිත කාලයක් නිශ්චිත ස්ථානයක් නොමැතිව පැය විසිහතර පුරාවට ඔහු සිය රාජකාරියේ යෙදෙයි. ජීවිත හා දේපල සුරැකීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයි. සාමය හා නීතිය සුරැකීම මොවුන්ගේ වගකීම වුවත් මහජනයාගේ ජීවිත හා දේපල රැක ගැනීම ඔවුන්ගේ කාර්යභාරය වුවත් තම අයිතිවාසිකම් වෙනුවෙන් සාමුහිකව හෝ තනිව සටන් කිරීමට ඔවුනට නොහැකි වේ. කාකි ඇඳුම ඇන්දද සංවේදී පොලිස් නිලධාරිහුද අප අතර වෙති. රාජකාරියට අමතරව සමහරු කලාවේද නියැලෙති.එවැන්නෝ සමාජය විනිවිද දකිති. මෙවන් කලාකාමි හදවතක් ඇති පොලිස් නිලධාරියකු පසුගියදා අපට හමුවුනෙමු. තම සිතට නැගෙන දේ ඔහු පෑන් තුඩින් සමාජ ගත කරයි. සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ සැරි සරණ නොයෙකුත් සිදුවීම් මාලාවන් අකුරු හෝ සිත්තම් බවට පරිවර්තනය කරයි.

අජිත් රංජන් නමැති මොහු මීට දින කිහිපයකට ඉහත සිය පෑන් තුඩින් සමාජයට දායාද කළ කෘතියක් එළි දැක්වීය.

ඒ “අභිමානයක අවමානය” නම් කෘතියයි. මේ ඔහුගේ හත්වෙනි නවකතාවයි.

ඔබ පොලිසියේ සේවය කරමින් නිර්මාණකරුවකු වශයෙන් මෙම බාරදූර කටයුත්ත සිදුකරන්නේ කෙසේද?

“මම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණේ 1990 වර්ෂයේ. මුලින්ම සේවය කළේ වෙන්නප්පුව - කොස්වත්ත පොලිසියේ. පස්සේ 1993 මම ඇමති ආරක්ෂක අංශයේ සේවය කළා. මේ ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ ගණනාවක සේවය කළා. මම දැන් සේවය කරන්නෙ හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ, උතුරේ ක්‍රියාන්විත රාජකාරියේ දීර්ඝ කාලයක් රැඳී සිටියා. එහිදි විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබුණා. ඒ නිසාම විවිධ වූ අත්දැකීම් ලැබුවා. මම ලැබූ අත්දැකීම් වල හරය සමාජයට ලබාදෙන්න අවශ්‍යයි කියලා හිතල තමයි මම මේ කෘති නිර්මාණය කළේ. රාජකාරියට කිසිම බාධාවක් නැතිව ඒවා ඉදිරිපත් කරන්න මම නිතරම උත්සාහ ගත්තා. අද ඒ ගමන සාර්ථකව ඉදිරියට ගෙනියනවා.”

ඔබගේ නිර්මාණයන් ගැන සඳහන් කළොත්

“මගේ මුල්ම නිර්මාණය වුණේ ආලෝකො උදපාදි නව කථාවයි. හමුදා සොල්දාදුවෙක් හා පොලිස් කොස්තාපල්වරියක් අතර ඇති වූ පේ‍්‍රම සම්බන්ධයක් මීට පාදක වුණා. මේ හමුදා සොල්දාදුවා එල්.ටී.ටී. ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා මුහුණ විරූපී වෙලා තිබුණේ. මේ දෙන්නගේම ගෙවල් වලටත් මේ සම්බන්ධය ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ දෙන්නට ප්‍රශ්නයක් නොවී එම සිද්ධිය වටා මා කථාවක් ප්‍රතිනිර්මාණය කළා.”

“මගේ දෙවැනි කෘතිය වුණේ “පෙන බුබුළු” 1988 - 90 වර්ෂ වල කැරලිකරුවකුගේ චරිතයක් පසුබිම් කරලා තරුණ කැරැල්ලේ අතුරු සිදුවීමක් කථාවකට පරිවර්තනය කළා.”

“මගෙ තෙවැනි කෘතිය වුණේ “ඉරා අඳුරු පට” එයට 1988 - 89 කාලයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සිදු වූ සිදුවීම් මාලාවක් පාදක වුණා. හතර වැනි කථාව තමයි “සුදු අරවින්දය” පියා හා මවගේ ගැටුම් නිසා ජීවිතය ජයගන්නා ගැහැනියක් ගැන එය ලියැවුණේ. පස්වැන්න තමයි “උත්තම පූජා” උතුරේ යුද්ධයෙන් අතරමං වූ යුවතියක් ගැන එහි සඳහන්. සයවැනි කෘතිය “උත්තම පුරුෂ” “ආලෝකො උදපාදි” නව කථාවේ දෙවැනි කොටසයි.

“මෙවර එළි දැක් වූ අභිමානයක අවමානය” තුළින් සෑම රාජ්‍ය ආයතනයකම, ආරක්ෂක අංශයේ මෙන්ම පොලිසියේ අයගේත් පවුල් සංස්ථාව බිඳ වැටීම එළි දක්වා තියෙනවා.”

මේ කෘතින් තුළින් වඩාත් පාඨකයාට සමීප වුයේ කුමක්ද?

“සුදු අරවින්දය” සහ “උත්තම පූජා” පාඨකයන් අතර වඩාත් ජනපි‍්‍රය වුණා. බොහෝ දෙනෙක් මෙම කෘතින් දෙක සම්බන්ධව මට ප්‍රශංසා කලා. ඒ වගේම මමත් ඒ නවකථා දෙකට දැඩි රුචියක් දක්වනවා. ”

“අභිමානයක අවමානයක් තුළින් පොලිස් නිලධාරියා ගැනවැඩි ඉඩ කඩක් වෙන් කරලා තියෙනවා.”

ඒ ගැන යමක් සඳහන් කළොත්?

“පොලිස් නිලධාරියා කෙරෙහි මුළු සමාජයම බලන්නේ පහළ අගයකින් වෙනස්ම කෝණයකින් බොහෝ විට අඩු තක්සේරුවක් කරන්නෙ. ඔහුත් සමාජයේ සාමාන්‍ය චරිතයක් ඇතැම් අය ඔහු කෙරෙහි බලන්නේ වෛරයෙන් එහෙත් පොලිස් නිලධාරියාට මානව හිමිකම්, වෘත්තීය අයිතිවාසිකම් වැනි දේ දිනාගන්න අරගල කරන්න බෑ. ”

පොලිස් සේවයට බැඳීමට ගත් තීරණය හා ඔබගේ පාසල් අවදිය සම්බන්ධව කථා කළොත්....

“මම මුලික අධ්‍යාපනය ලැබුවේ පුත්තලම ප්‍රදේශයේ ඉතා දුෂ්කර පාසලක් වන තබ්බෝව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ. එහි පහ වසර ශිෂ්‍යත්වය සමත් වෙලා කුලියාපිටිය මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළු වුණා. එහි නේවාසිකාගාරයේ නැවතිලා අධ්‍යාපන කටයුතු කළා. අපොස උසස් පෙළ කරන්න සාන්ත ඇන්ඩෘ විද්‍යාලයට ඇතුළත් වුණා. එදා පටන් මගේ ් ඉලක්කයක් තිබ්බා. ඒ අතර විවිධ බාධා ආවා ඒ නිසා මගේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුණා. ඉලක්කයෙන් මම පරාද වුණා. පස්සේ මම තීරණය කළා. පොලිසියට බැඳෙන්න. අද සතුටු වෙනවා පොලිසියේ සේවය කිරීම ගැන.”

මෙම කෘතීන් ලිවීමේදී දෙපාර්තමේන්තුවෙන් බාධා ආවෙ නැද්ද?

“විශේෂයෙන් කියලා බාධාවන් ඇතිවුණේ නෑ. එකම බාධාව වුණේ රාජකාරිය කරලා ඉවර වෙලා ලැබෙන කාලය කළමනාකරණය කර ගන්න එක. ඊට මගේ බිරිඳගෙන් දරුවන්ගෙන් විශාල සහයක් ලැබුණා. ඒ වගේම පොලිසියේ මගේ හිතුවතුන් විශාල සහයක් ලබාදුන්නා. මගේ පාසල් හිතවතුන් මෙන්ම අනෙක් අයගෙන් ලැබුණ සහයෝගයත් මෙහිදී මම අගේ කොට සලකනවා. ”

ඉදිරියේදී තවත් මෙවැනි කෘති එළි දක්වනවාද?

“ඔව් මම මුලින්ම ලිව්ව නව කථාව තාම එළි දැක්වුවේ නෑ. ඊට යම් යම් කරදර බලපෑවා. ලබන වසරේ එය එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ නිර්මාණ සඳහා මේ දවස්වල ලැබෙන සෑම විවේයක්ම ප්‍රයෝජනයට ගන්නවා.”