ඇස් රතු වුණු විහිළුව මිතුරාට මරණය උදාකරයි

ඇස් රතු වුණු විහිළුව මිතුරාට මරණය උදාකරයි

තනිකඩකම සැපක් යැයි සමහරු කියති. එහෙත් හැමෝටම එය එසේ නොවේ. එසේ ඒත්තු ගැන්වුණු එක් සිද්ධියක් පසුගියදා හොරණ පොලිස් වැයික්කියේ මීවනපලානෙන් වාර්තා විය.

ඔහු අවිවාහකයෙකි. අනෙකා විවාහකයෙකි. දෙන්නා අතර තිබූ මිතුරුකම ඊට බාධාවක් නොවිණි. ඒ මිතුරුකම ඇති වූයේද ඈත අතීතයේ සිට නොවේ. කෙටි කාලෙකදි දැන හඳුනාගෙන හිතවත් වූ මිතුරන් දෙදෙනාගේ අවිවාහකයා වූයේ රාජාය. රාජාගේ මිතුරා ෂෙල්ටා විවාහකයෙකි. මීවනපලාන ෂෙල්ටාගේ ගමය. අඹු දරුවන් සමඟ මීවනපලාන ගමේ පදිංචිව සිටි ෂෙල්ටා අතහැර ඔහුගේ නීතියානුකූල බිරිය වෙන් වී තිබුනේ මීට කලෙකට පෙරය. එතැනින් පසුව ෂෙල්ටා තනිකඩව ජිවිතයක් ගත කළේය.

තදින් බීමට ඇබ්බැහි වී සිටි ෂෙල්ටාට රාජාව මුණ ගැහෙන්නේ ඔය අතරය. කුලී වැඩ කරමින් ජිවිතය ගත කරන රාජාට මීවනපලානේ තම නිවසේ නවාතැන් දුන්න ද රාජා කාගේ කවුදැයි කියන්නට ෂෙල්ටා හරියට දැන සිටියේ නැත. රාජා කියනවා ඇරෙන්නට ඔහුගේ නියම නම කුමක්ද ඔහු කොහේ කෙනෙක්ද?, කාගේ කව්දැයි දැන ගැනීමට ෂෙල්ටාට ඕනෑ කමක් ද නොවීය. දෙදෙනාටම වුවමනා වූයේ මොකක් හෝ දවසේ වැඩක් සොයා ගෙන ඉන් හම්බ කරන මුදලෙන් කෑමට මොකවත් මිලදීගෙන ඉතිරිය මත්වතුර වෙනුවෙන් දියකර හරින්නටය. දෙදෙනා ජිවිතය ගත කළේ ඔය විදිහටය.

පසුගිය 24 වැනිදාත් දෙදෙනාම සුපුරුදු පරිදි අතට හම්බුවුණු මුදලෙන් බෝතලයක් ගෙන එය සප්පායම් වන්නට පටන්ගෙන වැඩි මොහොතක් ගියේ නැත. පදමට සූර්වූ ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීම වෙනදා මෙන් නොව එදා දුරදිග ගියේය. ඊට හේතු වුණේ ෂෙල්ටා කළ විහිළුව රාජාගේ හිතට නොඇල්ලීමය. ෂෙල්ටා ඇස් රතුවන විහිළු කරන්නට හපනෙකි.

ෂෙල්ටා රාජාව කොලොප්පමට ගනිද්දි රාජා ද එකට එක කියමින් ඔහු හා පටලැවෙන්නට විය. මත්පැන් බෝතල හිස් කරන්නට මේ දෙදෙනා සමඟ තවත් මිතුරන් දෙදෙනකු ද ෂෙල්ටාගේ නිවෙසට පැමිණ සිටියහ. ඔවුහුද ෂෙල්ටාගේ විහිළු තහළුවලට සිනාසෙමින් ඊට උල්පන්දම් දුන්හ. විහිළුව ඇස් රතුවෙන ගාණට දුරදිග යනවිට ෂෙල්ටාගේ නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනා එතැනින් තරමක් ඈත් වී සිටීයහ. ඒ වැඩේ දුරදිග යන බව දත් නිසාය.

වැඩකට නැති කතාවක එල්ලි එල්ලී බැන ගත් රාජා සහ ෂෙල්ටා අතරින් ෂෙල්ටාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ ඔය අතරය. එතැන තිබූ පිහියක් ෂෙල්ටා අතට ගැනීමත් සමඟය.

පිහියක් අතට ගත්ත ද ෂෙල්ටා ඉන් අනීවි යැයි රාජා හීනෙකින්වත් සිතුවේ නැත. ෂෙල්ටා කරන්නේ එක්තරා රඟපෑමක් බව බීමට පැමිණි පිටස්තරයන් දෙදෙනා සිතූහ. එහෙත් ෂෙල්ටා අත තිබු පිහිය රාජාගේ ගෙලෙහි වැදිණි.

මත්වතුර බෝතල හිස්කළ තැනට කටගැස්මට ගත් යම් යම් දේ කැපීමට ගෙනා ඒ පිහිය ෂෙල්ටාගේ නිවසේම තිබූවකි. පිහිය වැදී ගෙල කැපී ගිය රාජා ලේ විලක් මැද ඇද වැටෙන්නේ පිස්තරයන් ද පුදුමයටත් බියටත් පත් කරවමිනි.

පිහි පහර වැදුණු රාජා එතැනම මිය ගියේය. මියගිය රාජා කාගේ කවුද ? කොහේ සිට මීවනපලානට පැමිණියේ ද කියන්නට දන්නා කෙනකු නොවීය. ඒ හේතුවෙන් මේ මිනීමැරුම සම්බන්ධ විමර්ශනවලදී පොලිසියද අපහසුතාවට පත් විය. මියගිය අයගේ ස්ථීර නමක් , ගමක්, වයසක්, ජාතික හැදුනුම්පතක් හෝ ඥාතියකු පිළිබඳ කිසිවකු දැන නොසිටිද රාජාගේ මරණය පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසිය දිගින් දිගටම විමර්ශන සිදු කළේය. සිද්ධිය වූ ස්ථානයට පැමිණ පොලිසිය අහල පහල අයගෙන් සිද්ධිය විමසද්දි ෂෙල්ටා ගේ නිවසේ මත්පැන් පානය කළ සෙසු පුද්ගලයන් කවුදැයි පොලිසිය දැනගත්තේය. ෂෙල්ටා ඒ වනවිටත් ගෙදරින් පලා ගොස් තිබිණ. එදා හවස් වනවිට දිරාජා හා ෂෙල්ටා සමඟ මත්පැන් පානය කළ දෙදෙනාම පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී ෂෙල්ටා කළ දේ ඔවුන් පොලිසිය හමුවේ කීවේය. දෙදෙනාම කූඩුවට දැමූ පොලිසියට ඊළඟට ෂෙල්ටා ද කොටුවිය.

සැකකාර ෂෙල්ටාට හොරණ පොලිසීය මාංචු දමන විටත් ඔහු සිටියේ තද වෙරිමතින්ය. තමන් සමඟ අරක්කු බිව් අනෙක් මිතුරන් දෙදෙනා කූඩුවේ සිටිනු ෂෙල්ටා දුටුවේ එවිටය. ඒ වනවිට ෂෙල්ටාගේ මත්ගතිය පහවී තිබිණ.

“රාජාට මම ඇන්නා කියන්න එපා. ඌම පිහියෙන් ඇනගත්තා කියපං.”

ෂෙල්ටා කූඩුවේ සිට මිතුරන් දෙදෙනාට කීවේය.

සහකාර පොලිස් අධිකාරි නන්දන මහතා ද ඒ වනවිට හොරණ පොලිසියට පැමිණ සිටියේය. කූඩුවේ සිටි ෂෙල්ටාගේ මිතුරන් දෙදෙනා කැඳවූ ඒ. ඇස්. පී. මහතා ඔවුන් ගෙන් ප්‍රශ්න කරන්නට විය. එවිට ඔවුන් ෂෙල්ටා කූඩුවේදී කී කතාව සහකාර පොලිස් අධිකාරිවරයාට කීවේය. ඔවුන්ව යළි කූඩුවට දැමූ ඒ.ඇස්.පී. මහතා ඉන්පසුව ෂෙල්ටා ගෙනවිත් ඒ ගැන විමසුවේය.

“ඇත්තමයි සර් රාජා තමයි ඇනගත්තේ.”

ඒ.ඇස්.පිට යකා නැග්ගේ ෂෙල්ටා ඒ බොරුවම තමා ඉදිරියේත්් කීම නිසාය.

“මේකව දාපන් කූඩුවට.”

ඒ.ඇස්.පී. නිලධාරියකුට කීවේය.

පසුව ඔහු ඇත්තම කීවේය.

“මං රාජාව මරන්න එහෙම කළේ නෑ සර්. ඒත් නරක වෙලාවට පිහිය රාජාගේ බෙල්ලේ වැදුණා.....”

මිතුරාගේ මරණය පිළිබඳ කම්පා වන සැකකාර ෂෙල්ටාගෙන් අසන්නට ලැබෙන්නේ එවැන්නකි. අපරාධ ස්ථානයේම තිබී සොයාගත් පිහියත් සමඟ අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ෂෙල්ටා දෙදරු පියෙකි. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග ලැබිණි.

හොරණ සහකාර පොලිස් අධිකාරි ජනක නන්දනගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රුවන් ඉන්දික සමඟ සැරයන්වරු වන (32024 ) රංජිත් හා (35574) ලලිත් ද කොස්තාපල්වරුන් වන (60030) රාජකරුණා, 37324 පුෂ්පකුමාර ආදීහු මේ පිළිබඳ විමර්ශනවල නිරතව සිටියහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.


නිවැරදි කිරිමයි

ඉකුත් මාර්තු 28 වනදා “විසිදාහේ ගනුදෙනුව දුරදිග ගිය හැටි” යන මැයෙන් මෙම පිටුවේ පළ වූ විශේෂාංගයේ සමහර විස්තර නිවැරැදි නොවන බව එම සිදුවීමෙන් මියගිය ශාන්ත පේ‍්‍රමලාල් ගේ බිරිය නිශානි මෙන්ඩිස් මහත්මිය අප වෙත දන්වා සිටි.

ඇය විසින් ගත් ණය මුදලක් ඉල්ලුවිට ඇය සැකකරුට "නපුංසකයා" කියමින් බැණ වැදුණ බවත් ඉන් පසුව ඇති වූ බහින්බස් වීමෙන් පසු ඇගේ නිවෙසට කඩා වැදුණු පිරිසක් ඇයටත් ඇගේ සැමියාටත් පහරදුන් බව විශේෂාංගයේ සඳහන් විය. ණය මුදලක් සම්බන්ධයෙන් ගනුදෙනුව සිදුවුයේ තමාගේ සැමියා සමඟ බවත් ඇය ඊට සම්බන්ධ නැති බවත් ඇය කියා සිටියාය. පියදිගම පොළ අසළ කඩයට පැමිණි එම පිරිස තම සැමියා සමඟ ඒ සම්බන්ධයෙන් ආරවුලක් ඇති කර ගත් බවත් එතැනදී ඔවුන් සැමියාට බැන වදිද්දී තමා ද ඉදිරියට පැන ඔවුන්ට බැන වැදුණු බවත් මුලින්ම පරුෂ වචනයෙන් බැන වැදුණේ ඔවුන් බවත් ඇය කීවාය. එමෙන්ම මුදල් ගනුදෙනුව රුපියල් විසිදාහක නොවන බවත් එය 12,200ක් බවත් එහෙත් එම මුදල ද සැකකරු වෙත ලබා දී අවසන් බවත් ඇය කියා සිටියාය. ඒ අනුව එම විශේෂාංගයේ සඳහන් කරුණු එසේ නිවැරැදි විය යුතු බව ඇය ප්‍රකාශ කර සිටින්නීය.