“මම අනුන් වෙනුවෙන් හිරේ ආව කෙනෙක්”

“මම අනුන් වෙනුවෙන් හිරේ ආව කෙනෙක්”

ඔහු ඉගෙනීම අතර මඟදී කඩා කප්පල් කර ගත්තේය. ඒ සිය පියාගේ හදිසි අභාවයෙන් අසරණ වු තම පවුල ගොඩ ගැනීම සඳහාය. නමුදු අවසානයේ ඔහුට කිසිවෙකු නැතිව ගියේය.

ඔහු තනි විය. මේ ඒ තනිවු මිනිසාගේ කතාවය.

“කුරුල්ලෙක් වගේ නිදහසේ හිටපු මම හිරේ වැටුණේ මගේම වරදින්.මම දන්නවා මම වැරදියි කියලා.ඒ වගේම මම ඒ හැම වරදක්ම කළේ දැනමයි.නමුත් මට ඒ හැම දෙයක්ම කරන්න වුණේ මගේ පවුලේ අය වෙනුවෙන්.අන්තිමට මට කිසිම කෙනෙක් නැති වුණා.අඩුම තරමේ මට මගේ අම්මත් නැති වුණා”

මැදිවිය පසුකරමින් සිටි මිනිසා දෑස පිසදමින් මා ඉදිරියේ එසේ පවසන්නට වුයේය.ඉන් පසු ඔහු එක වරම නිහඬ විය. යළි හිස එස වූ ඔහු තම කතාව ඇරඹුවේ හීන් සිරූවේය.

“මම උසස් පෙළ විභාගය කරලා ප්‍රතිඵල එනතුරු හිටපු කාලේ තමයි තාත්තා පලංචියෙන් වැටිලා මැරුණේ. අපේ ගෙදර නංගිලා මල්ලිලා ඔක්කෝම හතර දෙනයි. ඒ අතර දෙන්නෙක් නිවුන්නු. ඒ දෙන්නටම අවුරුද්දයි තාත්තා මැරෙනකොට. නෑයෝ කවුරුවත් අපේ පිහිටට ආවේ නැහැ.අම්මා කිව්වේ කවුරුහරි හිටියනම් දරුවෝ ටික බාර දීලා රට යනවා කියලා. තාත්තා වැඩකරපු තැනින් පොඩි වන්දි මුදලක් ලැබුණා.ඒ මුදලින් අම්මා ගෙයි වහලේ පොල්අතු ඉවත් කරලා තහඩු හෙවිල්ලා ගත්තා.මාස තුනක් විතර යනතුරු අපිට අහල පහල කවුරුත් බැලුවා . ඒත් ටික ටික ඒ මිනිස්සු අපෙන් ඈත් වුණා. අම්මා මගෙන් ඇහුවේ “ලොකු පුතේ මොකද කරන්නේ” කියලා. මල්ලිලා දෙන්නම පුංචියි. නංගිලා දෙන්නා ඉස්කෝලේ යනවා.තාත්තා නතර කරපු තැනින් මට ගෙදර අය වෙනුවෙන් දෙයක් කරන්න වුණා.අම්මා කිව්වේ ඉගෙන ගන්න එක නතර කරන්න එපා කියලා. අම්මව රස්සාවකට යවන්නත් බැරි නිසා මම රස්සාවකට යන්න තිරණය කළා. හැම තැනම ගිහිල්ලා රස්සාවල් හෙව්වා.ඒත් පලක් වුණේ නැහැ. අන්තිමට මම තිරණය කළා තාත්තා වැඩ කරපු තැනටම යන්න.මම ඒ ගමන ගියේ අම්මට හොරෙන්. මුලදි නම් එතැන අය කැමති වුණේ නැහැ මට රස්සාවක් දෙන්න. තාත්තාගේ මරණයත් එක්ක අසරණ වුණ අපේ ජීවිත වල තියෙන දුක කිව්වට පස්සේ මාව රස්සාවට ගත්තා. මමත් බදාම තාච්චි උස්සන්න පුරුදු වුණා.ඇත්තටම මට ඊට කලින් එහෙම දේවල් කරලා පුරුද්දක් තිබුණේ නැහැ.නමුත් මම වැලි තාච්චි උස්සන්න,බදාම අනන්න හැම දේම පුරුදු වුණා.හැන්දෑවට මම ගෙදර යනකොට අම්මා හැමදාම වෙනිවැල්ගැට තම්බලා තියෙනවා.ඒ වගේම තමයි පුංචි මල්ලිලා දෙන්නා බහ තොරන්න ගත්තට පස්සේ ඒ දෙන්නා මට තාත්තේ කියන්න පුරුදු වුණා.නංගිලා තමයි මල්ලිලාට එහෙම පුරුදු කරලා තිබුණේ.කොහොම හරි මම ඒ රස්සාවෙන් හම්බ කරපු හැම සතයක්ම අම්මට දුන්නා.”

උසස් පෙළ ප්‍රතිඵලය කොහොමද?

“මම කෙරුවේ කලා විෂයන් .මම ඒ ලෙවල් පාස් වෙලා තිබුණා. ඉස්කොලෙන් ගෙදරට පණිවුඩ එවලා තිබුණා මට එන්න කියලා. කොහොම හරි මට සිංහල උගන්නපු ගුරුතුමියට ආරංචි වෙලා මට උන දේ. මිස් මට කිව්වා උදව් කරන්නම් දිගටම ඉගෙන ගන්න කියලා.එත් මම මිස්ට කිව්වා පවුලේ ප්‍රශ්න ගැන.ඊට පස්සේ මට මිස් වෙන රස්සාවක් හොයලා දුන්නා. ඒක කොළඹ කන්තොරුවක්. එතැනදි තමයි මට මංජුලව හ½දුනා ගන්න ලැබුණේ.”

කවුද මංජුල කියන්නේ.?

“මංජුල කියන්නේ අපේ වැඩපලේ හිටපු කෙනෙක්.එයාට හොඳට සල්ලි තියෙනවා. ඒ වුණාට එයා ඒතරම් දුරට ඉගෙන ගෙන නැහැ. මම සමහර දවස් වලට අතමාරු කරගත්තේ එයාගෙන්.මංජුල මගේ හැම ප්‍රශ්නයක් ගැනම දන්නවා. දවසක් මංජුල මට කිව්වා ගමනක් යමු කියලා .මම මගේ නැති බැරිකම් කියලා තිබුන නිසා එයා මට කිව්වා යාළුවෙකුට කියලා මට අමතර රස්සාවක් හොයලා දෙන්නම් කියලා. එයා මට රස්සාව හොයලා දුන්නේ රාතී‍්‍ර සමාජ ශාලාවක. මම ගමේ ගියේ මාසයකට සැරයක්.මම හිටියේ බෝඩිමක. මම රෑ තිස්සෙත් නිදිමරාගෙන වැඩ කළා. ලැබෙන ලැබෙන හැම සතයම ගෙදරට යැව්වා. අම්මා කවදාවත් ඇහුවේ නැහැ කොහෙන්ද පුතේ ඔය තරම් සල්ලි කියලා. හැබැයි නංගිලා දෙන්නා හොඳට ඉගෙන ගත්තා දෙන්නම පේරාදෙණිය කැම්පස් තෙරුණා . මල්ලිලා දෙන්නත් ඉගෙන ගන්න දක්ෂයි .ඒ දෙන්නා ශිෂ්‍යසත්ව විභාගයට සුදානම් වුණා. විභාගේ පාස් වුණා. නමුත් වෙලාවකට මට මං ගැනම දුකක් ඇති වුණා. පවුලේ අය ඒගොල්ලෝ ගැන හිතුවත් මා ගැන හිතන්නේ නැහැනේ කියලා.ඒ වුණාට කමක් නැහැ කියලා හිතලා මම මගේ යුතුකම් ටික කළා.”

හිරේ එන්න වුණේ ඇයි?

“මට අවුරුදු විසි හය වෙද්දිත් ගැනු ළමයෙක් හිටියේ නැහැ. හැමෝම ඇහුවේ ඇයි තමන් ගැන හිතන්නේ නැත්තේ කියලා. ඇත්තම කිව්වොත් මටත් ආදරයක් ගැන නෙ‍ාහිතුනාම නෙමෙයි. මම හිතා ගත්තා නංගිලා දෙන්නව බන්දලා දීලම මම කසාදයක් ගැන හිතනවා කියලා. ඔහොම ඉන්න අතරේ තමයි මට රිචඩ් හමු වු‍ණේ . රිචඩ් මම වැඩකරපු ක්ලබ් එකට නිතර ආව ගිය කෙනෙක්.මම උදේට වැඩට ගිහිල්ලා ,හවසට ක්ලබ් එකට යනවා. සමහර දවස්වලට රිචඩ් ගැනු එක්ක නටලා බීලා වැඩිවෙලා ක්ලබ් එක ළඟ පේව්මන්ට් එකේ වාඩි වෙලා ඉන්නවා. එහෙම දවසට මම තමයි එයාව ගෙදර ගිහින් ඇරලන්නේ. මිනිහට මාලිගාවක් වගේ ගෙයක් තියෙනවා.පහුවදාට රිචඩ් කාව හරි එවලා එයාගේ කාර් එක අරගෙන යනවා. එක දවසක් මට රිචඩ් කිව්වා එයාගේ ගෙදර නතර වෙන්න කියලා. මම එදා එයාගේ බල කිරීමට නතර වුණා. පහුවදා උදේ මම එයත් එක්ක කතා කළා. එයා මං ගැන ඇහුවා . මට බොරු කියන්න බැරි වුණා.මම ඇත්තම කිව්වා. අන්තිමට රිචඩ් මට කිවේ උඹ වරෙන් මගෙ ගෙදර. ඔය ගන්න පඩියට වඩා පඩියක් දෙන්නම් කියලා.”

රිචඩ් ගාවට ගියාද?

“ඔව් මම ගියා. මම දැනගෙන හිටියේ නැහැ එයා මොනවද කරන්නේ කියලා. මම ඒ ගෙදරදි හොඳ සුඛෝපභෝගි ජීවිතයක් ගතකළා. ඒ වගේම මට රිචඩ් හොඳට ගෙව්වා. මගේ පවුලේ සියළු ප්‍රශ්න විසදුනේ ඒ ගෙදරට ආවාට පස්සේ.”

රිචඩ් ළඟ කරපු රස්සාව මොකක්ද?

“මම මුලදි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. රිචඩ් කියන්නේ කලින් කසාද බැඳපු කෙනෙක් . පවුල එයාව දාලා ගිහිල්ලා . ඊට පස්පේ එයාට ගැහැනු කිහිප දෙනෙක්ම ඉඳලා. මම ගියාට පස්සෙත් එහෙම තමයි. එයා කුඩු ව්‍යාපාරිකයෙක් කියලා මම දැන ගත්තේ ගොඩක් පස්සේ. එතකොට මම ඒ ජීවිතේට හුරුවෙලා ඉවරයි .මගේ පවුල ගොඩදාපු රිචඩ්ට විරුද්ධ වෙන්න මට හිතක් තිබුණේ නැහැ. මම ඒ නිසා එයාට විරුද්ධ වු‍ණේ නැහැ. මම ඔහුගේ විශ්වාසවන්තම ‍කෙනා වුණා”.

ගෙදර අය කොහොමද?

“ඒ අය මේ මොකවත්ම දන්නේ නැහැ. එයාලා දියුණු වුණා. නංගිලා විවාහ වුණා. මම රිචඩ්ට කියලා මල්ලිලා දෙන්නව රට යැව්වා. වැඩිදුර ඉගෙන ගන්න. ඒ හැමෝගෙම ජීවිත සුන්දර වුණා. අම්මා කවදාවත් මට එරෙහි වේවි කියලා මම දැනගෙන හිටියේ නැහැ. තාත්තා මැරෙන්නත් ඉස්සෙල්ලා ඉදලා අම්මා තාත්ත‍ාගේ යාළුවෙක් එක්ක සම්බන්ධයක් තියාගෙන ඉදලා. අම්මා ඒ සම්බන්ධය නතර කරලා නැහැ .හැමෝම ගෙදරින් ගියාට පස්සේ අම්මා ඒ මිනිහව ගෙදර නතර කරගෙන. නංගිලා මල්ලිලාගේ ජීවිත මම හැදුව‍ට ඒ අය මාව ළංකර ගත්තේ නැහැ. මම දන්නේ නැහැ ඇයි එහෙම වුණේ කියලා. හැමෝම මාව අමතක කළා. මම වෙනස් වුණා . මමත් රිචඩ් වගේම සල්ලාල ජීවිතයකට හුරු වුණා.මම දවස ගාණේ ක්ලබ් ගියා. මට පිරිහෙන්න වැඩි දවසක් ගියේ නැහැ.දවසක් රිචඩ්ව පොලිසියෙන් අල්ලා ගත්තා මමත් හිටියේ එයාත් එක්ක කොහොම හරි මම රිචඩ්ට කිව්වා බේරෙන්න කියලා. ඇත්තටම පොලිසියේ ඉහල සහාය ඇතිව රිචඩ් ‍බේරුණා”.

රිචඩ් වෙනුව‍ට හිරේ ආවේ ඔයාද?

“ඔව් මම අවුරුදු දහයක් හිරේ හිටියා. ඒ අවුරුදු දහයම රිචඩ් මාව බලන්න ආවා. මම හිරේ ඉන්දැද්දි රිචඩ් රට ගියා. වරින් වර ආවා ගියා. තව සුමානයකින් මම ත් එළියට යනවා. රිචඩ් මට කියලා තියෙන්නේ එයත් එක්කම රට යමු කියලා. මා ගැන හොයන්න බලන්න කෙනෙක් නැති එකේ මම රිචඩ් එක්ක යන්න තිරණය කරලා තියෙන්නේ. අම්මට දැන් තව දරුවෙක් ඉන්නවා කියලා ගමේ කෙනෙක් මට ලියලා එවලා තිබුණා . ඇත්තම කිව්වොත් ඒ ගැනිට අම්මා කියන්නවත් මම කැමති නැහැ. නංගිලා මට පිටු පෑවට කමක් නැහැ. මම ඒ අයගේ ජීවිත හැදුවා. මම ඒ අයට කරපු තරම ඒගොල්ලෝ දන්නවා. ඒ අයගේ හිතට බොරුකරන්න ඒ අයට බැහැ.අම්මා එක්ක දැන් කවුරුවත් සම්බන්ධ නැහැ. රට ගිය මල්ලිලා දෙන්නා සුද්දියෝ දෙන්නෙක් බැඳගෙනලු .ම‍ට ඒ බව කිව්වේ රිචඩ්. නිතී විරෝධී බිස්නස් එකක් කළත් රිචඩ් මට සහෝදරයෙක් වගේ පිහිට ‍වුණා. මම ඒ නිසාමයි රිචඩ් වෙනුවට හිරේ ගියේ. මේ රටින් පිට වෙලා ගිය දවසට මම අලුත් ජීවිතයක් පටන් ගන්නවා.”

ඔයා හොඳ කෙනෙක් ද?

“අපෝ නැහැ. මම කුඩු විකුණුවා. මම ගෑනු පස්සේ ගියා.ඒත් මම කාවවත් අතරමං කළේ නැහැ. නමුත් මෙතනින් ගියදාට මගේ ජිවීතේ අලුත් වෙනවා. ඒක සත්‍යයි. රිචඩ් මට පොරොන්දු වෙලා තියෙන්නේ රස්සාවක් හොයලා දෙනවා කියලා.මං හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවා.”