මරලා නෙමේ මැරිලලු

මරලා නෙමේ මැරිලලු

සිය අනියම් බිරිය ඝාතනය කිරිමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි පුද්ගලයකු සිය කුලී නිවසේ අබිරහස් අන්දමින් මියගොස් සිටියදී මිහින්තලේ පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඔහු මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවෙසක කුලියට ජීවත්ව ඇත්තේ තනිවමය. මොහු කහටගස්දිගිලිය මහමැන්තලාව පදිංචි දෙදරුපියකු වන චමින්ද ගයාන් ජයසේකර බව පොලිසිය කීය.සිප්පුකුලම කුලී නිවසේ තනිවම ජිවත් වූවත් ඔහුගේ දුක සැප බැලීමට මවත් පියාත් නිතර නිතර එම නිවසට ආහ. ආහාර පවා ලබා දෙන්නේ ඔහුගේ මව විසින්ය. ඉකුත් 24 වැනිදා ආහාර රැගෙන නිවෙසට පැමිණි ඔහුගේ මව සිය ඇඳ මත මියගොස් සිටින අයුරු දැක මේ බව මිහින්තලේ පොලිසියට දන්වා ඇත. එහිදී ඔහුගේ මව පොලිසියට කියා ඇත්තේ දින දෙකකට පෙර ඉඩමක් විකුණා මොහුට එක් ලක්ෂ හතළිස් හත්දාහක මුදලක් දුන් බවත් එම මුදල අතුරුදන්ව ඇති බවත්ය. එම මුදල ගන්නට කිසිවකු විසින් තම පුතා මරා දමන්නට ඇති බවත් ඇය පොලිසිය හමුවේ කීවාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලිසිය ද ඒ නිසා ගයාන්ගේ මරණය ගැන කිසියම් සැකයක් ඇති කර ගත්තේය. එම සැකය තවත් වැඩි වූයේ මියගිය ගයාන්ගේ අතක ඇඟිල්ලක් ද කැපී තිබෙන අයුරු නිරීක්ෂණය වීම නිසාය. කුලී නිවෙසේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළ බැලුව ද මව විසින් ඔහුට දුන් බව කියන මුදල සොයා ගැනීමට පොලිසියට ද හැකි වූයේ නැත.

සිය පුතාගේ මරණය සැක බවට ඔහුගේ පියාත් පොලිසිය හමුවේ පැවසීම නිසා සිද්ධිය අනුරාධපුර මහේස්ත්‍රාත් වරයාට දැන්වූ පොලිසිය මහේස්ත්‍රාත්වරයාගේ නියමය අනුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගයාන්ගේ සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන යන ලදී.

ඒ සමඟ මියගිය ගයාන්ගේ මාපියන්ගේ මෙන්ම පොලිසියේ ද එතෙක් වේලා තිබූ සැකය හෙළි විය. ඔහුගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙන යාමෙන් පසු ඔහු සිටි ඇඳ අස්පස් කරද්දී මව විසින් දුන් බව කියන එක් ලක්ෂ හතලිස් හත්දහස ඥාතීන්ට හමු වී ඇත. එම මුදල කාටවත් නොපෙනුණේ එය ඔහුගේ සිරුරට යටවී තිබීම නිසාය.

මියගිය ගයාන් සිය නීති්‍යානුකූල බිරිඳගෙන් වෙන් වූ අයෙකි. දරු දෙදෙනකුගේ පියෙකි. ඉන්පසු ඔහු තවත් කාන්තාවක් සමඟ මැදවච්චිය ප්‍රදේශයේ ජීවත් වි ඇති අතර ඇති වූ ආරවුලක් මත මොහු එම අනියම් බිරියට පහරදී ඝාතනය කොට සිරුර ද මුළුතැන්ගෙය තුළම ගිනි තබා පුලුස්සා දැමීමේ චෝදනාව මත මැදවච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ 2015 වසරේ ඔක්තෝම්බර් මස නව වැනිදාය.

පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබුණේත් මරා දැමුණු කාන්තාවගේ දියණිය හා අසල්වැසියන් හෙළිකළ තොරතුරුවලට අනුවය. අනියම් බිරිය මරා දමා නිවෙසත් ගිනිතබා සිය යතුරුපැදියේ නැගී පලා යද්දී අසල් වාසීන් මේ බව දැක ඇත. අසල්වැසියන් වහා මැදිහත්ව ගින්න නිවා දමා ඇති අතර පසුව දැක ඇත්තේ බඩු බාහිරාදිය සමඟ පිලිස්සුණු මළ සිරුරකි. එය ගෙහිමි කාන්තාවගේ බව දත් ගම්මු මේ බව පොලිසියට දන්වා සිටියහ.

වහා පරික්ෂණ ඇරඹූ මැදවච්චිය පොලිසිය පැය හතරක් ගතවීමට කලියෙන් කහටගස්දිගිලිය නගරයේ මත්පැන් හළක් තුළ මත්පැන් පානය කරමින් සිටියදී සැකකරු කොටු කරගෙන තිබිණ.

“අපි දෙන්නා අතරේ ආරවුල් තිබුණා තමයි. ඒත් මම එයාට මුකුත් කළේ නැහැ. මම උදේ ගෙදරින් එද්දී පැනඩොල් පෙති පනහකුයි හෝමෝටෙක්ස් පෙති වගයකුයි බිව්වා. මම එයාව මැරුවේ නැහැ”

සැකකරු අත්අඩංගුවට පත් වූ මොහොතේ එලෙස පොලිසියට පැවසීය. මත්ද්‍රව්‍යයට මත්පැනට ඇබ්බැහි වූ මොහු මියගිය අනියම් බිරිය සමඟ නිතර ආරවුල් ඇති කරගන්නා බවත් නිවෙස දෙසින් දිනපතාම පාහේ කෑ ගැසීම් රණ්ඩුවීම් ඇසෙන බවත් අසල්වාසීහු පොලිසියට පැවසූහ.

මියගිය කාන්තාවගේ දියණිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ. සැකකරු තම මව සමඟ නිතර නිතර ආරවුල් ඇති කරගෙන ඇයට පහර දෙන්නේ මවගේ බැංකු ගිණුමේ ඇති මුදල් ලබාදෙන ලෙස බල කරමින් බවය.

කෙසේ වෙතත් අනියම් බිරියගේ සිරුර අඟුරුවන තරමට පිලිස්සි තිබූ බැවින් ඇයගේ මරණය සිදු වූ අයුරු සෙවීම එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ අනුව වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි මොහු පසුව ඇප මත මුදා හැරිණි. ඉන්පසු සිප්පුකුලම හන්දිය අසල පිහිටි නිවෙසක් කුලියට ගෙන මොහු එහි හුදෙකලාව පදිංචිව සිට ඇත.

එලෙස තනිවම ජිවත් වූ ඔහු මිය යන්නේ ඉකුත් 24 වනදාය.

මියගිය චමින්ද ගයාන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පැවැත්විණි. එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මරණය ඝාතනයක් නොවන බවය. එය ස්වභාවික මරණයක් බව රොහල් ආරංචි මාර්ග පවසා තිබිණි.

සිය බිරිය මරා යුවළ පුලුස්සා දැමීම නිසාම ඔහුට ස්වභාව ධර්මයා ද එම දඬුවම ලබා දී ඇතැයි ගම්මු කීහ.

මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රුක්මල් විජේරත්න මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කෙරිණ.