“ඔබ දැන් මෙයාගේ අම්මා නෙමේ මළ පෙරේතියක් ”

“ඔබ දැන් මෙයාගේ අම්මා නෙමේ මළ පෙරේතියක් ”

මරණසාන්න මොහොතේ දූ දරු ඥාතින්ට හෝ වෙනත් පුද්ගලයකුට හෝ වස්තු සම්පත් දේපළකට හෝ ආහාර පානයකට හෝ දැඩි සේ සිතින් ඇලීමක් ආදරයක් ඇති වුණොත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම සතර අපාගත වෙයි. බොහෝ දුරට පේ‍්‍රතයෙක් වී අවුරුදු දහස් ගණනක් කෙළ, සෙම්, සොටු කකා දුක් විඳින්නට සිදුවෙයි. දූ දරුවන් අතහැර යන්නට නොහැකි තරම් දැඩි ලෙස ආදර බන්ධනයෙන් වෙළුණු අය මරණයෙන් පසු ඒ දූ දරු පිරිස අතරම පේ‍්‍රතයන්ව උපදිති. “තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව” ලෙස දහමෙහි සඳහන් වන්නේ එයයි. කාම ලෝකය යනු “කැමැත්ත” නිසා පවතින ලෝකයයි. ඇස - කන - නාසය - දිව - ශරීරිය යන ඉන්ද්‍රියයන් පහ පිනවීමට සිතේ කැමැත්ත ඉපදීම මේ ලෝකයේ ස්වභාවයයි. මව් පියෝ දරුවන්ට ආදරය කිරීමත් දරුවෝ මව් පියන්ට ආදරය කිරීමත් ස්වභාවයකි. එහෙත් ඒ ආදරයම මේ, සංසාර ගමන දිගු කිරීමට හේතු වෙයි. දුකට ද හේතු වෙයි.

හඳපාන්ගොඩ අමරසේන තිස් දෙහැවිරිදි අවිවාහකයෙකි. රජයේ සෞඛ්‍ය සේවයේ රැකියාවක යෙදෙයි. ඔහුගේ ශරීර ශක්තිය හීන වී ඇත. දකුණු අත සහ දකුණු කකුල අප්‍රාණිකය. කෑම අරුචිය නිසා ශරීරය ද කෙට්ටු වී ඇත. විනාඩි දහයකට වඩා නිදා ගන්නට නොහැකිය. මිියගිය මෑණියන් හීනෙන් පෙනෙන්නට වී බියට පත් වී ගැස්සී අවදි වෙයි. විවිධ ශාන්ති කර්ම හා වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොවීය. ඔහුට රෝගයක් නැතැයි වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල අනුව වෛද්‍යවරු පවසා ඇත.

කරන්නට දෙයක් නැති තැන අමරසේන සහෝදරියන් දෙදෙනකු සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා පැමිණ ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී ප්‍රතිකාර පැතීය.

ප්‍රථම දිනයේ ම ඔහුට භූතාත්මයක් ආවිශ්ට වී අඬන්නට විය. ඔහුගේ ශාරීරික දුර්වලතා නිසා වැඩිදුර පරීක්ෂා නොකොට ආරක්ෂාවක් යොදා පෝෂ්‍යදායී ආහාර ගෙන, දින විිසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද රෝග පරීක්ෂාවේ දී අමරසේන භූතාවිශ්ට වුයේය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.

“කවුද මේ ?”

“මම මේ පුතාගෙ අම්මා”

“මොකක්ද නම?”

“සුමනා”

“ඇයි මේ පුතාට කරදර කරන්නේ?”

“මම කරදර කරන්නේ නෑ. මේ මගේ එකම පුතා. එකම පිරිමි දරුවා. මම පුතා ළඟට වෙලා ඉන්නවා. එච්චරයි.”

“තමුන් මැරුණෙ මොනවා වෙලාද?”

“පිළිකාවක් හැදිලා”

“කොයි කාලෙද?”

“මීට අවුරුදු පහකට කලින්”

“තවත් දරුවෝ නැද්ද?”

“ඉන්නවා. දූලා හතර දෙනෙක්. ඒ ඔක්කොටම වඩා මම මේ පුතාට ආදරෙයි.”

“ඔය ආදරේ නිසා පුතා දැන් ලෙඩෙක් වෙලා. කරුණාකර මේ පුතා අතහැරලා යන්න.”

“බැහැ... බැහැ... එහෙනම් මම පුතා මගේ ලෝකෙට අරගෙන යනවා.”

“කොහොමද අරගෙන යන්නේ?”

“අවස්ථාවක් ලැබුණු හැටියේ අරගෙන යනවා. කීපවතාවක්ම එයා පදින මෝටර් සයිකලය හප්පන්න හැදුවා ඒත් බැරි වුණා. කොහොම හරි මම පුතාව මරාගෙන මගේ ළඟට ගන්නවා.”

“පුතා මැරණාම ඔබේ ළඟට ඒවිද? මරණාසන්න මොහොතේ එළඹෙන චුති සිතට අනුවයි ඊළඟ උපත සිදු වෙන්නේ. ඔබේ ළඟටම එනවමයි කියලා නියමයක් නැහැ.”

“ඔබ මොනවා කිව්වත් මගේ මතකයේ ඉන්නේ පුතාම විතරයි.”

“ඔබ පුතාට ආදරය කළාට පුතා දැන් ඔබට ආදරේ නැහැ. දැන් පුතා ඉන්නේ ඔබ ගැන තරහෙන්. ඔබ මැරිලත් කරදර කරනවා කියලා. පුතා මැරුණත් ඔබට වඩා බලගතු යක්ෂයෙක් වෙලා ඒවි ඔබෙන් පළි ගන්න. ඔබ දැන් අමරසේනගෙ අම්මා නොවෙයි. දැන් මළ පෙරේතියක්, පුතා ඔබට ආදරේ නෑ.”

ගවේෂකවරයා කියන විටම භූතාත්මය අඬන්නට වුවාය.

තවත් දෙසතියක් බෝධි පූජා පවත්වා අම්මට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුනට කීවේය.

ඊළඟට පැමිණි දිනයේද අමරසේනට මවගේ භූතාත්මය ආවිශ්ට වී අ¾ඩන්නට වුවාය.

“ඇයි මේ අඬන්නේ?’ ගවේෂකවරයා ඇසීය.

“මට දුකයි. මගේ පුතා මට ආදරේ නැති නිසා.”

“ඔබ මුළා වෙලා ඉන්නේ, ඔබට මෙයාව අරගෙන යන්න බෑ. මම ඒකට ඉඩ දෙන්නෙත් නෑ. ඔබ දැන් කළ යුතු හොඳම දෙය පුතාව අත හැර යාමයි.”

“අනේ මහත්තයෝ මම මගේ පුතාට ආදරෙයිනෙ.”

“එහෙම නම් ඔබ කළ යුතු හොඳම දෙය පුතාගෙ දරුවෙක් වෙලා උපදින්න ප්‍රාර්ථනා කරන එකයි.”

“එහෙම පුළුවන්ද?”

“පුළුවන්, හැබැයි ඔබ පුතාගෙ ශරීරයෙන් ඉවත් වෙන්න ඕනෑ. ඔහු නිරෝගී වෙලා විවාහයක් කරගන්න ඉඩ දෙන්න ඕනෑ. ඔබ එයා ළඟ හිටියොත් ඒක කරන්න ලැබෙන්නේ නෑ. ඔබ ඉවත් වෙලා යන්න. ඊළඟට ඔබ යහපත් භවයකට යන්න හිතන්න.”

“කොහොමද යහපත් ආත්මයක් ලබන්නේ?”

“මම පුතාට කියලා ගෙදර සාංඝික දානයක් දී ඔබට පින් දෙන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා ඔය පේ‍්‍රත ආත්මයෙන් මිදී ඉහළ තලයකට යන්න. ඔබ පුතාගෙ දරුවෙක් වෙලා උපදින්න ඕනෑ යි කියන හැඟීමෙන් ම අධිෂ්ඨානයෙන් ඒ පින් අරගෙන හොඳ සිද්ධස්ථානයකට වෙලා පිනට දහමට හිත යොමු කරගෙන ඉන්න. පුතා විවාහ වෙනතුරු එතැනට වෙලා ඉන්න.”

එලෙස භූතාත්මයට නියම කළ ගවේෂකවරයා අමරසේන ප්‍රකෘති සිහියට පත් කළේය. සහෝදරියන් හතර දෙනා ද සමඟ එක් වී මැණියන් වෙනුවෙන් නිවෙසේ දානයක් පිරිනමා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

දානය පිරිනමා නැවත එන විට ඔහුගේ අත පය අප්‍රාණිකත්වය සුව වී තිබුණි. එදින ද ගවේෂකවරයා ඔහු දිෂ්ටි ගන්වා කතා කළේය.

“කොහොමද දැන් ඔබගේ අදහස?”

“මම යන්න කැමතියි මහත්මයා. අනුරාධපුරය වගේ තැනකට වෙලා පුතා විවාහ වෙනකම් බලා ඉන්නවා පුතාගෙ දරුවෙක් වෙලා උපදින්න. මට ඒකට උදව් කරන්නැ” භූතාත්මය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.

කිරිපැකට් දහසක් අනුරාධපුරයට රැගෙන ගොස් ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කරන්නට පැමිණෙන සැදැහැවතුන්ට තමන් අතින්ම පූජා කරන ලෙසත් එසේ පිරිනමන සෑම කිරි පැකට්ටුවක්ම දෙන විට “මා බිව් මව් කිරිවල ණය ගෙව්වා. මගේ මව මගේම දරුවෙක්ව උපදිවා” කියා ප්‍රාර්ථනා කරන ලෙස ගවේෂකවරයා අමරසේනට නියම කළේය.

එම දානය පිරිනමා නැවත ප්‍රතිකාර පිණිස පැමිණෙන විට ඔහු සම්පූර්ණයෙන් ම සුවපත් වී නැවත රැකියාවට යන තත්ත්වයට පත්ව තිබුණි. ඒ වන විට ඔහුට විවාහ යෝජනාවක් ද ගෙනැවිත් තිබුණු බව ද ඔහුගේ සහෝදරිය ගවේෂකවරයාට කීවාය. ඔහුටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂාවක් යෙදූ ගවේෂකවරයා මවට නිතරම පිං දෙන ලෙස ද කියන්නට විය.