“නහයෙන් කනෙන් ලේ එන නිසා බෙඩ් ෂිට් එකෙන් මුළු ඔළුවම එතුවා”

“නහයෙන් කනෙන් ලේ එන නිසා බෙඩ් ෂිට් එකෙන් මුළු ඔළුවම එතුවා”

අපරාධයක් සදා වසන් කළ නොහැකිය. එළෙසම අපරාධයක් කළ කිසිවකුට සැමදා සැඟව සිටිය ද නොහැක. එය මේ ලෝකයේ පොදු ධර්මතාවයයි. අපරාධයක් කොට වසර කිහිපයක් සැඟව සිටිය ද ඔහු කවදා හෝ නීතියේ රැහැනට හසුවනු නොඅනුමානය.

මෙයද එවැනි කතාවකි. සැමියා ඝාතනය කොට එය වසන් කිරීම සඳහා ගෙය පිටුපස වැසිකිළි වළට දමා සැඟවූ ඔහුගේ කසාද බිරිය එම අපරාධය කොට මාස තුනක් යන්නට ද මත්තෙන් පොලිසියට කොටුවුවාය.

සිය බිරිය අතින් ඝාතනය වන්නේ විරසිංහ ආරච්චිගේ පි‍්‍රයන්ත හෙවත් “මිල් ගොයා” නැමති තිස්පන් හැවිරිදි සිවු දරු පියෙකි. මොහුගේ සිරුර පසුගියද තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරිය හා පොලිස් නිලධාරින් ඉදිරියේ ගොඩ ගැනිණි. සැමියා මරා දැමු බවට ඇය පොලිසියට දුන් පාපොච්චාරණයක් අනුව එළෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අංජලිකා ජිනාදරි නමැති විසිහත් හැවිිරිදි මවකි.

ජිනාදරි පි‍්‍රයන්ත හා විවාහ වන්නේ මීට වසර ගණනාවකට කලියෙනි. ඇය පිටගම් කාරියකි. ඇය ඔහු හා විවාහ වන්නේ පේ‍්‍රම සබඳතාවක් මතිනි. මුලින් ඇය හා විවාහ වන්නට පි‍්‍රයන්ත ගේ එතරම් කැමැත්තක් නොතිබිණි. එහෙත් ඇය හා පෙමින් බැඳි සිටයදී ඇය එකවර ගැබ් ගැනීම නිසා පි‍්‍රයන්තට ජිනාදරි හා නින්‍යානුකූලව විවාහ වන්නට සිදුවිණි. ඒ වන විට ජිනාදරිගේ වයස අවුරුදු දහ හතරකි. වැඩිවයසක් යොදාගෙන විවාහ ජිවිතයට එළඹි ඇය පි‍්‍රයන්තට අයත් තිස්සමහාරාම යෝධ කණ්ඩිය උද්දගන්දර ප්‍රදේශයේ පංදිංචි වුණි.

උද්දගන්දර පි‍්‍රයන්තගේ නිවසේ පදිංචි වුවද පි‍්‍රයන්තගේ නොමනා හැසීරිම් ගැන ඇය එතරම් සතුටක් නොදැක්වුවාය. මත්පැනට මෙන්ම සුදුවටද ඇබ්බැහි වූ ඔහු තමාට එතරම් ආදරය දක්වන්නකු නොවන බව ජිනාදරි වටහා ගත්තාය. 2005 ඔක්තෝම්බර් 08 වනදා ඔහුට දාව ඇයට ලොක පුතා උපන්නාය. එහෙත් පි‍්‍රයන්ත ස්ථිර රැකියාවක් කළේ නැත. සමහරදාට ඔහු ගෙදරට එන්නේ සතියකට දෙකකට වරක්ය. ගංජා හේන් ඇති ප්‍රදේශවලට යන පි‍්‍රයන්ත ගෙදර ගැන එතරම් සැලකිල්ලක් දැක්වුයේ නැත. මේ නිසා ඇති වූ ආරවුල් බොහෝය.

පි‍්‍රයන්ත මත්පැනටත් සුදුවටත් ඇබ්බැහි විම නිසා ඔහු දස අතේ ණය විය. එය බේරා ගන්නට බැරි තැන ඔහු ජිනාදරිට අපූරු යෝජනාවක් කළේය. ණය කරුවන් වන තම මිතුරන් සමඟ යහන් ගත වන ලෙස පි‍්‍රයන්ත සිය බිරියගෙන් ඉල්ලා සිටියේය. ජිනාදරීට ඔහුගේ කතාව රිස්සුවේ නැත. ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඒත් පි‍්‍රයන්ත ඇයට ඊට බලකරමින් ඇය ගණිකා වෘත්තියේ යෙදෙව්වේය. මේ නිසා ජිනාදරි සිටියේ මහත් කළකිරිමෙන්ය.

දෙවැනි වරට ඇයට ලැබුණේ නිවුන් දරුවෝය. එක් කෙනෙක් ගැහැනු දරුවෙක් වුවාය. අනෙකා පුතෙකි. දරුවන් ලැබීමත් සමඟ ආර්ථික අතින් එන්න එන්නම කඩා වැටීම නිසා ඇය ලොකු පුතා මහණ කළාය. අනුරාධපුරය පැත්තේ විහාරස්ථානයක මහණ වූ ලොකු පුතා එතැන ඇති දැඩි විය. නිවුන් දරුවන් දෙන්නා සමඟ නිවසේ තනි වූ අයට දරුවන් පෝෂණය කරන්නට තරම් හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා පි‍්‍රයන්ත ඇයට කලින් යෝජනාවම ගෙනාවේය. ඒ ඇය සළෙළුන්ට විකිණිමය.

කරන්නම දෙයක් නැති තැන ජිනාදරිද ඊට එකඟ වුවාය. සිය සැමියාද සමඟ මොනරාගල, බුත්තල, සියඹලාණ්ඩුව ප්‍රදේශවලට ගිය ඇය අනියම් පුරුෂයන් සමඟ යහන්ගත වුවාය. ඇගේ තනි නොතනියට පි‍්‍රයන්ත සිටියේය. පි‍්‍රයන්ත ඇය සළෙළුන්ට විකුණන්නට තරම් ගුණමකු සැමියකු විය. එමඟින් ලැබෙන මුදලන් ඔහු බුරු ගැසුවේය. මත්පැන් බීවේය.

කාලයක් යද්දී ජිනාදරිට එම ජීවිතය තිත්ත විය. සැමියා සමඟ එලෙස ජිවත්වනවාට වඩා වෙනත් රැකියාවක් කොට සාධාරණව කියක් හෝ උපයාගන්නට ඇයට අවශ්‍ය විය. දරිද්‍රතාවයෙන් දුප්පත්කමින් මෙන්ම කාලකණ්ණි සැමියකු ලැබීමෙන් අසරණ වූ ඇය අවසානයේ තීන්දුවක් ගත්තාය. ඒ අනුව ඇය මැදපෙරදිග රටක රැකියාවකට ගියාය. ඒ මඟින් ලැබෙන මුදල් ද ඇය සිය සැමියාට එව්වේ දරුවන්ගේ නඩත්තුව සඳහාය. කපරාදු නොකළ ජනෙල් නොඇල්ලු ගෙදර හරිහැටි සකසන ලෙස ද ඇය පි‍්‍රයන්තට දුරකථනයෙන් කිවාය.

ඒත් ප්‍රියන්ත ඇගේ කිම සතේකට මායිම් කළේ නැත. එවන මුදලෙන් ඔහු සුදු කෙළීය. යාළුවන් සමඟ අරක්කු බිවේය. වසර එකහමාරක ජෝර්දානයේ ගත කළ ඇය ලංකාවට එද්දී සිය සැමියා සියලු සේසතම බේබදුකමට වියදම් කර තිබිණි. එයද ඉවසිය හැකිවිය. ඇයගේ දේලෝ රත්වුණේ පදිංචි නිවෙසද පි‍්‍රයන්ත උගස්කොට ඇති බව දැනගත් විටය.

සියල්ල ඉවසා දරා සිටි ඇය හරි හම්බ කළ මුදලින් උගස් කළ ගෙය බේරා ගත්තාය. පි‍්‍රයන්ත ගත් ණය ද ඇය බේරා දැමුවාය. දැන්වත් ඔහු හැදේවි යැයි ඇය සිතුවාය.

ඇය යළිත් ගැබ් ගත්තේ ඔය අතරය. ඒ සිවුවෙනි දරුවා ලැබීමටය. හතරවෙනි වතාවට ඇයට ලැබුණේ දියණියකි. දරුවන් දෙන්නකු ජීවත් කරන්නට නොහැකි වු ජිනාදරිට තවත් දරුවකු ලැබීමෙන් තව තවත් අසරණ වුවාය. බාල වයසේදී සිතුවක්කාර විවාහකයට ගිය ඇයට මෙය තේරුම් කර දෙන්නට කවුරුත් සිටියේ නැත. ඇගේ මෙන්ම පි‍්‍රයන්තගේ ඥාතිගෙන් ද ඇයට කිසි හව්හරණක් ලැබුණේ නැත. ඇය අන්ත අසරණතාවට පත්වුවාය. ජීවත්වීමට නොහැකි තැන ඇය යළිත් සිය සැමියාගේ කීමට අන් පිරිමින් සමඟ යහන්ගත වුවාය. එමඟින් ලැබෙන මුදල පවා පි‍්‍රයන්ත ලබාගත්තේ මත්පැන් බොන්නට හෝ සුදු සෙල්ලමටය. මේ නිසා ඇය පි‍්‍රයන්ත ගැන හිටියේ වෛරයෙනි.

දරුවන්ට කන්න බොන්න දෙයක් නැති තැන පිටි පැකට්ටුවක් ගන්නට මුදල් නැති තැන බිමතින් ගෙදර එන සිය සැමියා කෙරෙහි ඇය බලාසිටියේ යටි සිතේ ඇති වෛරයද සමඟය.

“මුව මරාගෙන මාත් මැරෙනවා”

ඇය එසේ සිතු වාර අනන්තය. ඇයට දරුවන් ගැන ඇය දහස් වාරයක් සිතුවාය. එහෙත් තීරණයක් ගත්තාය. හැමදාමත් එක එකා සමඟ යහන් ගතවන්නට ඇගේ සිත ඉඩ නොදුන්නාය. එසේ නම් කළ යුත්තේ කුමක්ද?

ඒ පෙබරවාරි මස 16 වනදාය. වේලාව උදේ දහයට පමණ ඇත. පි‍්‍රයන්ත උදෑසන ගෙදරට ආවේ හොඳහැටි බිමත්වය.

“යකෝ මට බඩගිනියි කන්න මොනවාහරි දීපන්”

පි‍්‍රයන්ත වෙරි මරගාතේ ජිනාදරිට කීවේ තවත් කුණුහරුප දෙක තුනක් ද සමඟය. දරුවන් පාසල් ගොසින්ය. චුටි දරුවා පමණක් ගෙදර සිටී. කන්න දෙන්නට ගෙදර කිසිවක් නැත.

“කන්න මුකුත් නැහැ.”

ඇය පි‍්‍රයන්තට කීවේ තරහින්ය. ඇගේ කතාවට පි‍්‍රයන්තට යකා නැග්ගේය. පි‍්‍රයන්ත ඇයට දොස් දොවොල් තියද්දී ඇය ද ඊට එකට එක කීවේය. පි‍්‍රයන්ත ඇයට ගහන්න පැන්නේය. ඇය පි‍්‍රයන්තව තල්ලු කළේය. පි‍්‍රයන්ත බිම ඇද වැටිණි. පාසල් නිම වී දරුවන් එද්දී ඇය සුදු හාලේ බතකට පොල් සම්බෝලයක් හදා තිබ්බාය. රාත්‍රිය ද ඇය දරුවන් සමඟ ගත කළාය. පසුදා ද දරුවන් පාසල් යන්නට සුදානම් කළ ඇය සුපුරුදු පරිදි නිවසේ කාලය ගත කළාය.

සතියක් දෙකක් තුනක් ගෙවී ගියේය. ගමේ කාටත් පි‍්‍රයන්ත දැකගත නොහැකි විය.

“කෝ අක්කේ අයියා”

“එයා ඔය හේනකට යන්න ඇති”

පි‍්‍රයන්ත පෙනෙන්න නොසිටීම ගමේ කාටත් එතරම් ලොකු සැකයක් ගෙන දුන්නේ නැත. ගංජා හේන්වලට යන පි‍්‍රයන්ත සති දෙක තුනක් ගෙදර එන්නේ නැත. ඒ ඔහුගේ හැටිය. ඒ බව ගම්මුද දැන සිටියහ.

එහෙත් පි‍්‍රයන්ත පෙනෙන්නට නොවීම ඔහුගේ සොහොයුරන්ට තදබල සැකයක් ගෙන දුන්නේය. ඔවුහු ඒ බව තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපතිවරයාට සැල කළහ.

“අයියා මෙච්චර කල් ගෙදර නොඇවිත් ඉන්නේ නැහැ අපිට සැකයක් තියෙනවා“

ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ කීම අසා පි‍්‍රයන්තගේ බිරිය ගෙනවිත් ප්‍රශ්න කළේය.

“ඔහොම සති දෙක තුනක් එයා එන්නේ නැතිව ඉන්නවා. ඔය ගංජා හේන් පැත්තේ ගිහින් මාසයක් විතර ඉඳල ආයෙත් එනවා.”

ජිනාදරි ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය. මාස එකහමාරක් ගෙවී ගියේය. ජිනාදරි තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් කරමින් සිය සැමියා මාස එකහාමරක් තිස්සේ ගෙදර නොආ බව කීවාය.

“එයා පෙබරවාරි 16 වනදායින් පස්සේ ගියා ගියාමයි ආයෙත් ආවේ නැහැ. බැරිම තැන තමයි මේ පැමිණිල්ල කළේ”

ඇයගේ පැමිණිල්ල පොතේ සටහන් කරගත්තද පි‍්‍රයන්ත ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට තිස්සමහාරාම පොලිසියට නොහැකි විය.

පැමිණිල්ල තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලැබිණි. ඔහු මේ පිළිබඳ විමර්ශනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට බාර දුන්නේය. සිද්ධිය පිළිබඳ සොයා බැලීම කොස්තාපල් මංජුලට පැවැරුණේය.

මංජුල දක්ෂ නිලධාරියෙකි. සිය ප්‍රධානින්ගෙන් අවසරය ඔහු සිවිල් ඇඳුමෙන්ම උද්දගන්දරට ගියේය. උද්දගන්දර පිහිිටියේ සිතුල් පව්වට යන පාෙර්ය. ගම වටා කරක් ගසමින් ඔහු තොරතුරු සෙව්වේය.

“ඔය ගැනී එතරම් හොඳ කෙනෙක් නෙමේ. සමහරවිට ඔතැන අපරාධයක් වෙලාත් ඇති.”

මංජුලට තොරතුරු දුන් බොහෝ දෙනෙක් එසේ කීහ. ඇය මුදලට අලෙවි වන බවද ගම්මු මංජුලට කිහ. සිය පළපුරුදු රාජකාරිය නිසාම ඔහු ද තීරණය කළේ මෙතැන කිසියම් අපරාධයක් සිදු ව ඇති බවය. ඔහු මේ සියලු තොරතුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් හා තිස්සමහාරාම ස්ථානධිපති බස්නායක මහාතාටත් දැනුම් දුන්නේය. ඔවුන්ගේ උපදෙස් පරිදි කොස්තාපල් මංජුල ඉදිරි විමර්ශන සිදු කරන්නට විය. තොරතුරුවල ඇත්ත නැත්ත දැන ගැනීමට නම් කළ යුත්තේ එකම දෙයකි. ඒ පි‍්‍රයන්තගේ බිරිය ජිනාදරි හමුවීමය. 2017 අපි‍්‍රයෙල් දෙවැනිදා මංජුල උදේ පාන්දරම ගොස් ජිනාදරි හමු විය.

“මම මුකුත් දන්නේ නැහැ. මහත්තයෝ. එයා එදා ගෙදරින් ගියා ඔහොම ඉඳහිට යනවා ගියාම සති දෙක තුන ඉන්නවා. ඒත් මේ පාර ආවේ නැහැ. එකයි මම පොලිසියට පැමිණිල්ලක් දැම්මේ.”

ජිනාදරි කොස්තාපල් මංජුල ඉදිරියේ කියන්නට වුවාය. ඒත් මංජුලගේ යටි සිත කීවේ .මැය කියන්නේ බොරුවක් බව ය. රාජකාරි පළපුරුද්දෙන් ඔහු ඒබව දැනසිටියේය.

“එහෙම නෙමේ. මට ඇත්ත කියන්න. මම ඔයාව අමාරුවේ දාන්නේ නැහැ. අපිට තොරතුරු ඇවිල්ල තියෙන්නේ. ඔයා බොරු කිව්වොත් ඔයාමයි අමාරුවේ වැටෙන්නේ”

මංජුල ඒ වන විට ඇගේ හදවතට බොහෝ ළංවී සිටියේය. පිළිතුරක් දීමට නොහැකි තැන ඇය ඉකි ගසන්නට වුවාය. එය සංවේදී මොහොතක් විය.

“අසරණ මගේ පුංචි දරුවෝ”

මංජුලට ද වවාගත නොහැකි සිතක් විය. සැමියාගේ කාලකණ්ණිකම නිසා අසරණ වු ඇයට දරුවන් මතක් වී වැලහින්නියක ලෙස මංජුල ඉදිරියේ හඬා වැටුණාය. ඇගේ සිත තුළ ඇති වේදනාව පහව යන තුරු රාජකාරිය පසෙක තබා සංවේදී මනසකින් යුතුව මංජුල ඇය දෙස බලා සිටියේය.

කළයුත්තක් නැත. නීතිය කාටත් පොදුය. මිනීමරන්නට කාටත් ඉඩදිය නොහැකිය. රාජකාරිය දේවාකාරිය බව දත් මංජුල සංවේදීකම පසෙකලා ඇයට නීතියේ ආදීනව කියා දුන්නේය.

“ඔව් සර්. මම ඇත්තම කියන්නම්. මේකා මහ තිරිසනෙක්. බැරිම තැන තමයි මම මෙහෙම දෙයක් කළේ”

එසේ කියමින් ඇය හඬන්නට වුවාය. සිද්ධිය වහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නේය. ඔහුගේ උපදෙස් මත ඉදිරි විමර්ශන තිස්සමහාරාම පොලිස් ස්ථානධිපතිවරයා වෙත භාර කෙරිණි. ඒ අනුව පි‍්‍රයන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ජිනාදරි සැකපිට අත්අඩංගුවට ගත් තිස්සමහාරාම පොලිසිය ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එය සටහන් කරගත්තේ කොස්තාපල් මංජුල විසින්ය.

“මම උපන්නේ 1990 මාර්තු 26 වනදා මාතර රෝහලේදී. මගේ තාත්තා සුනිල් ජයරත්න, මගේ අම්මා ජැනට් පි‍්‍රයංගිකා. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා ලොකු නංගි විවාහ වෙලා අවිස්සවේල්ලේ ඉන්නේ. දෙවෙනි නංගි පිළියන්දල ඉන්නවා. බාල නංගි මගේ අම්මා ළඟ ඉන්නේ. මගේ මහගෙදර තියෙන්නේ පිළියන්දල සුවාරපොළ. මම කුඩා කාලයේදීම මගේ පියා මාව අතහැරලා ගියා. මම පියාව දැක්කේ මට වයස දහඅටක් වුණාට පස්සේ. එයා කිරින්ද පැත්තේ මාළු රස්සාව කරනවා. ”

“මම හය වසර දක්වා තමයි ඉගෙන ගත්තේ මට වයස අවුරුදු 14ක් වෙද්දී මම උද්දගන්දර පි‍්‍රයන්ත එක්ක පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගත්තා. මොකද මම පාසල් යෑම නතර කළාට පස්සේ අම්මා දෙවෙනි විවාහයක් කරගත්තා. ඒ යෝධකණ්ඩියෙන්. මට පි‍්‍රයන්තත් එක්ක අඹු සැමියන් ලෙස හිටියා. එ නිසා මට දරුවෙක් ලැබෙන්න ආවා. කුසට මාස හයක් සම්පුර්ණ වුණාට පස්සේ වැඩි වයසක් දාලා මම පි‍්‍රයන්ත එක්ක නිත්‍යනුකූලව විවාහ වුණා. මට 2005 දී ලොකු පුතා ලැබුණා. එයාට දැන් අවුරුදු 12ක් වෙනවා. එයා මහණ වෙලා ඉඳලා සිවුරු ඇරලා දැන් ගෙදර ඉන්නේ. මට ලොකු පුතා හම්බ වෙන්න ඉන්න කොට මගේ පුරුෂයා මාව වෙනත් අයට විකුණන්න උත්සාහ කළා. මාව පෙන්නලා ඔවුන්ගෙන් මුදල් අරගෙන තියෙනවා. නමුත් මම ඒවට කැමති වුණේ නැහැ.”

“මම 2008 දී නැවත ගැබ් ගත්තා. මට නිවුන් දරුවෝ ලැබුණා. දුව දැන් තුන්වෙනි වසරේ. පුතා මහණ වුණා. නිවුන් දරුවෝ ලැබුණට පස්සේ මට දරුවෝ හදාගන්න වියදමට සල්ලි වල අඩුපාඩුවක් ඇතිවුණා. ඒ නිසා එයා යාළුවන් ගෙන් සල්ලි අරගෙන එයාලත් එක්ක මට ඉන්න යෝජනා කළා. අවසානයේදී මම පි‍්‍රයන්තගේ යෝජනාවට එකඟ වුණා. මම ඒ අය සමඟ අඹු සැමියන් ලෙස හිටියා”

“පස්සේ මට ජෝර්දාන් ගියා. එහේ ගිහින් හොයපු සල්ලි පි‍්‍රයන්ත නැති කරලා තිබුණා. මම ලංකාවට ආවට පස්සේ පිටත් වෙන්න විදිහක් නැති නිසා පි‍්‍රයන්ත මාව සල්ලි වලට විකුණුවා”

“ කලින් වගේම පි‍්‍රයන්තගේ ගෙවල්වලට ගිහින් මාව විකුණුවා එහෙම හොයන සල්ලි වලින් පි‍්‍රයන්ත අරක්කු බොනවා. බුරුවා ගහනවා. මට පහරදෙනවා. මට මේ දේවල් ඉවසගන්න බැරිවුණා.”

ඇය එසේ කියමින් හඬා වැටෙන්නට වුවාය. එය සංවේදී අවස්ථාවක් විය. අවසානයේ කොස්තාපල් මංජුලට ඇගේ ප්‍රකාශය ලබාගැනීම අසීරු විය. පසුව මේ සම්බන්ධයෙන් තිස්සමහාරාම ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරිමෙන් අනතුරුව ඇයට මේ බව යළි පහදා දී ප්‍රකාශ සටහන් කරගැනීම ඇරඹිණි. ඒ ස්ථානාධිපතිවරයා ඉදිරියේය.

“එදා 2017 පෙබරවාරි 15දා. මම උදේ හයයි තිහට අවදිවෙලා දුට ලැස්ති කරලා පාසල් යැව්වා. උදේ 8ට විතර ලොකු පුතා අල්ලපු ගෙදරට ගියා. ගෙදර හිටියේ මමත් අවුරුදු හතරේ දුවත් විතරයි. අටයි දහයට විතර පි‍්‍රයන්ත හොඳටම බීලා ගෙදර ආවා. ගෙදර ඇවිත් උදේට කන්න ඉල්ලුවා. උදේට කන්න උයලා තිබුණේ නැහැ. ඒ නිසා පි‍්‍රයන්ත මට බනින්න ගත්තා. කුණුහරුපයෙන් බැන්නා. මට ඉවසන්න බැරිවුණා. ගෙදර වතුර ටැංකිය ළඟදි මට ගහන්න හැදුවා. මම පි‍්‍රයන්තව තල්ලු කළා පි‍්‍රයන්ත ටැංකියේ බිත්තියේ වැදිලා බිමට වැටුණා. ඒත් එක්කම මම කිතුල් පොල්ලක් අරගෙන පි‍්‍රයන්තගේ ඔළුව පිටිපස්සට පාරවල් තුනක් ගැහැව්වා. තුන්වෙනි පාර ගහනකොට පි‍්‍රයන්තගේ කනෙන් ලේ විද්දා. පස්සේ පි‍්‍රයන්තව මම ගේ ඇතුළට ඇදගෙන ගියා. පස්සේ අපි නිදාගන්න කාමරේ මැස්ස යටට තල්ලු කළා. එත් කනෙන් නහයෙන් ලේ ආවා. ලේ ගලන නිසා සුදු පාට බෙඩ්ෂිට් එකෙන් ඔළුව ඔතලා මැස්ස උඩට රෙද්දක් දාලා වහලා තිබුණා. ”

“දහවල් පුතාලා ගෙදර ආවා. රෑ ලොකු පුතයි දුවයි නිදාගත්තා. මම රෑ එකොළහට විතර නැගිට්ටා. මැස්ස යට තිබුණු ප්‍රියන්තව ඇදගෙන ගිහින් කුස්සිය පිටි පස්සේ කපලා තිබුණු ටොයිලට් වළට තල්ලු කළා. ඊට පස්සේ උදැල්ලෙන් පස්දාලා තද කරලා වළ වැහැව්වා. ඊට පස්සේ දිගටම කුණු දැම්මා. පි‍්‍රයන්ත ගෙදරින් ගියාම සති ගණන් එන්නේ නැති නිසා මම හිතුවා ගමේ අය සැකයක් හිතන්නේ නැහැ කියලා. “

ඇයගේ ප්‍රකාශය එසේ සටහන් කර ගැනීමෙන් පසුව මේ පිළිබඳව තිස්සමහාරාම ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කළේය. පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය ඉදිරියේ වළ දැමු පි‍්‍රයන්තගේ සිරුර ගොඩගනු ලැබීය. සිද්ධිය දැකබලා ගන්නට බොහෝ පිරිස පැමිණ සිටියහ.

සිද්ධිය වූ ස්ථානයට ජිනාදරි ගෙනවිත් තිබූ අතර ඇයට ආරක්ෂාව ලබාදී තිබුණද පැමිණි පිරිසගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විණි. ඇගේ ප්‍රකාශයට අනුවම පි‍්‍රයන්තගේ සිරුර ඇය දැමු අයුරින්ම වළේ තිබිණ. සිරුර දිරාපත් වී ඇත.

ගොඩගන්නා ලද පි‍්‍රයන්තගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ගෙන යනු ලැබීය.

සැකකාර ජිනාදරි තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතාගේ අධීක්ෂණය මත හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති චන්දන බස්නායක මහතාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල් මංජුල (44974) සැරයන් සුමනසිරි (22879) ඇතුළු නිලධාරිහු මෙම පරීක්ෂණවල එක්ව සිටියහ. තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති වරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග ඇතුළු කණ්ඩායමක් ඉදිරි විමර්ශන පවත්වයි.

පි‍්‍රයන්ත ඝාතනය ජිනාදරි විසින් තනිවම සිදු කළේද ඇය මරා දැමීමෙන් පසු වැසිකිළි වළට ඔහුගේ සිරුර දැමීම සඳහා ඇයට කිසිවකු උදව් කර ඇත්ද යන්න සෙවීම සඳහා ඉදිරි විමර්ශන සිදු කෙරෙන අතර ඇය සමඟ සබඳකම් පැවත් වූ අනියම් සැමියකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව මේ පිළිබඳ කළ විමසිමකදී තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති චන්දන බස්නායක මහතා “මංචු’වට කීවේය.