උපන් හැටියේ දරුවා මරා පුලුස්සලා

උපන් හැටියේ දරුවා මරා පුලුස්සලා

ඒ පසුගිය නව වැනිදා උදෑසනයි. වෙනදාට පාසල් පැමිණි මොහොතේ සිට දඟ කරන දඟ මල්ල රාධා අද බලාගත්තු අතේ බලාගෙන සිටී. එලෙස ටික වේලාවක් නිසොල්මනේ සිටි ඇය සෙමෙන් සෙමෙන් තමා වෙත පිය නගනු පන්ති භාර ගුරුවරිය දුටුවාය. ගුරුවරියගේ අසුන අසලට ගිය ඇය යමක් කියන්නට තතනන බව දුටු ගුරුවරිය ඇය ඇමතුවාය.

“රාධා ඇයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක් ද?”

ගුරුවරිය දෙස ස්වල්ප වේලාවක් බලා සිටි ඇය සිය කටහඩ අවදි කළාය.

“ටීචර් අපේ අම්මට චූටී බබෙක් හම්බවුණා”

දැරිය කී කතාව ඇසූ ගුරුවරිය ස්වල්ප මොහොතකට ගොළු වුණේ රාධාගේ පියා මීට වසර ගණනකට ඉහතදී මියගිය බව හොඳින් දන්නා නිසාය.

“ඉතිං කියන්න පුතේ කෝ ඒ බබා”?

ගුරුවරිය ඇසූ පැනයට ඇය පිළිතුරු දුුන්නේ බියපත් ස්වරූපයෙනි.

“අපේ අම්මා ඒ බබාව මල්ලක දාලා පොල්ලකින් ගහලා කුකුල් කූඩුවේ ගිහින් තිව්වා.”

දැරිය පවසන තොරතුර එතරම් සුබ දායක නොවන බව තේරුම් ගත් ගුරුවරිය කළේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මෙම තොරතුර දැනුම් දීමයි.

පුදුකුඩි ඉරිප්පු පොලිසියට මෙම තොරතුර ලැබෙන විට වේලාව උදේ අට පසුව තිබිණි. ලද තොරතුරට අනුව මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මලියතිව්, නව වන පටුමඟ ලිපිනය වෙත පොලිස් කණ්ඩායමක් යන විට නිවැසි කාන්තාව නිවෙස ඉදිරිපිට සිටිනු දක්නට ලිබිණි.

ඇය ගොළු කාන්තාවකි. පොලිසිය කියන දෙය ඇයට වැටහෙන්නේ නැත. ඇය කියන්නේ මොනවාදැයි පොලිසියට වැටහෙන්නේ ද නැත. අවසානයේ දෙපාර්ශ්වයම අංග චලනයෙන් කතාබහ ආරම්භ කළහ.

ඇය පොලිස් කණ්ඩායම නිවෙස පිටුපසට කැඳවාගෙන ගියාය. ඇය පසුපසින් යන පොලිස් කණ්ඩායමට දකින්නට ලැබුණේ තවමත් දුම් ගසන දර ගොඩකි. ඒ ගිනි ගොඩ දෙසට අත දික්කළ ඇය අංග චලනයෙන් පවසා සිටියේ මෙම ස්ථානයේ තමා වැදූ දරුවා පිළිස්සෙන බවයි. එම ගිනිගොඩ පරීක්ෂා කළ පොලිස් කණ්ඩායම දුටුවේ බාගෙට පිලිස්සුන ළදරු මළ සිරුරයි. දුටු සැනින් පෙනී යන්නේ එය බාගෙට පිලිස්සුන කුකුලකු ලෙසිණි.

උපන් හැටියේම දරුවා මරා පුලුස්සා දැමීමේ චෝදනාව යටතේ පොලිසිය ඇය අත් අඩංගුවට ගත්තේය.

තිස් අට වැනි වියේ පසුවන ඇය උපතින්ම ගොළු කාන්තාවකි. විවාහක ඇයට වයස අවුරුදු දාහතරක දියණියක සිටී. මීට වසර හයකට පමණ ඉහත දී ඇයගේ සැමියා මිය යන අතර ඉන් අනතුරුව ඇය සිය දියණිය ද සමඟ තනිවම ජීවත් වූවාය. මේ දෙදෙනාට කාගේ වත් පිළිසරණක් තිබුණේ නැත. ජීවනෝපාය මාර්ගයක් ද නොවූ බැවින් ඇය නිවෙස ඉදිරිපිට පුංචි කඩ කෑල්ලක් දමාගෙන ඉන් ලැබෙන සොච්චමෙන් ජීවිතය ගැටගසා ගත්තාය. දියණිය පාසල් යැවීමට ද කටයුතු කළාය. ඇය අවජාතක දරුවකු බිහි කරන්නේ ඔය අතර තුරේදීය.

පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය ඇයගේ නිවෙස පරීක්ෂා කළ අතර එවිට දක්නට ලැබුණේ නිවෙස පුරාම තැන් තැන් වල රුධිරය තැවරී තිබෙන අයුරුය. වැසිකිළිය පුරා ද රුධිරය ගලාගොස් තිබිණි. ඒ අසල රුධිරය තැවරුන කතුරක් ද දක්නට ලැබිණි.

මේ සාධකත් ඇය අංග චලනයෙන් කී තොරතුරුත් අනුව පොලිසියට වැටහුණේ ඇයට එදින අළුයම් කාලයේ දරුවා ලැබී ඇති බවයි. වැසිකිලියට ගිය අවස්ථාවේ දී ඇයට දරුවා ලාබී ඇත. ඒ අවස්ථාවේ දී ඇය කතුරකින් පෙකණිවැල කපා ඇත. අනතුරුව දරුවා නිවෙසට රැගෙන එන ඇය දරුවා පෝර උරයකට දමා ඇති අතර එවිට දරුවා හඩන්නට පටන් ගෙන තිබේ. ඒ හැඩුම් ශබ්දය ඇයගේ වැඩිමහල් දියණියට ද ඇසී ඇත. දරුවා කෑගසමින් හඩන විට ඉන් කෝපයට පත් ඇය පොල්ලක් ගෙන දරුවාට පහර දෙන අයුරු ද දියණිය දැක තිබිණි.

අනතුරුව ඇය පාසල් ගියද ඇය සිටියේ දැඩි කම්පනයකිණි. ඇය පන්තියේ ගුරුවරියට ඒ බව කියන්නේ තව දුරටත් හිතේ තිබු දෙය සඟවගෙන සිටීමට නොහැකි වූ බැවිනි.

ඇය මෙලෙස ඝාතනය කළ දරුවාගේ පියා කවුරුන් ද යන පැනය ට නම් පිළිතුරක් නැත. ඒ ඇය ගොළු කාන්තාවක බැවිනි. ඒ පැනයට පිළිතුරු සෙවීම සඳහා පොලිසිය පරීක්ෂණ වල නිරතව සිටී. එහෙත් දරුවාගේ පියා තවමත් අතුරුදන්ය.

අම්මා කළ හදියෙන් යන එන මං නැති වූ දියණිය ඇය ඉගෙනුම ලබන පාසලේ නේවාසිකාගාරයේ නවත්වා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ඉඩකඩ පොලිසිය විසින් සලසා දී ඇත. දරුවකු දීමට තරම් ඇයට ආදරය කළ අයකු සිටිය ද අද රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඇය වෙනුවෙන් පෙනී සිටීමට නම් කිසිවකු ඉදිරිපත්ව නැත.