පරණ කෝන්තරයට මිනී මරාගෙන

පරණ කෝන්තරයට මිනී මරාගෙන

ඇතැමුන්ට තරුණ කාලයේ හයිකාරකමට කළ කී දෙයට තලතුනා වයසේදී වේදනාබර විදියට ප්‍රතිවිපාක විඳින්නට සිදු වේ. කුරුණෑගල පොලිස් වැයික්කියේ ගොකරැල්ල පොලිස් වසමේ යකල්ල දමුණුගොල්ලදී කපා කොටා මැරූ අනුර රත්නායකගේ මරණයත් එවැනි පසුබිමක් ඇත්තක් බව දැන් අසන්නට ලැබේ.

බරපතල අපරාධ අඩුවෙන් වාර්තාවන බොහෝදුරට සාමකාමී ප්‍රදේශයක් වශයෙන් හඳුනාගැනෙන දමුණුගොල්ලදී අනුර නමැත්තා කපා කොටා මරා දමා තිබිණ. ඇඟලුම් කම්හලක සේවය කළ බිරියව නිවෙසට කැඳවාගෙන ඒමට යමින් සිටියදී අමානුෂික අන්දමින් අනුරව මෙසේ කපා කොටා දමා තිබියදී පොලිසිය සොයා ගෙන තිබ්ණ.

දමුණුගොල්ලේ නිවෙසේ බිරිය සහ දරුවන් සමඟ ජීවත් වූ අනුර යුද හමුදාවේ සේවය කළ අයෙකි. එම සේවා කාලයේදී වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අනුර ආරවුල් ද ඇති කරගත් අයෙකි.

එක් වතාවක ඇති වූ එවන් ආරවුලකදී පසමිතුරන් වූ ඥාතී පිරිසකට එරෙහිව අනුර යුද්ධ ප්‍රකාශ කොට තිබිණ. ඒ දබරයේදී අනුරගෙන් විරුද්ධ පාර්ශවයේ සමහරුන්ට කැපුම් තුවාල සිදු වූ බවක් අසන්නට ලැබේ. කාලය ගෙවී යාමත් සමඟ අනුරට ඒ ආරවුලේ වගතුග අමතක වී ගියත් අනුර අතින් කැපුම් කෙටුම් තුවාල ලැබූ අනුරගේ ඥාතීන් නම් ඒ තරහා අමතක කළේ නැත. ඒ ආරවුලෙන් නොනැවතුණු විරුද්ධ පාර්ශවයේ මෙවර වෛරයට හේතු වූයේ වැටමායිමක ආරවුලකි. ඒ ආරවුල අනුරගේ ඇඟට හොඳ දෙයක් නම් නොවීය.

අනුරත් වැල්ලව ගමට ආයුබෝවන් කියා යකල්ලට පදිංචිය වෙනස් කලේ එවැනි අනතුරක සේයාවක් දිස් වූ නිසා වන්නට පුළුවන. හමුදා සේවයෙන් ද විශ්‍රාම ලැබූ අනුර යකල්ලේ ජීවත් වූයේ ඔහු පදිංචි ගෙවත්තේම බයිසිකල් අලුත්වැඩියා කිරීමේ වැඩපළක් ද පවත්වාගෙන යමිනි.

තරුණ වයසට එළැඹි පුතුටත් යුද හමුදාවට බැඳෙන්නට ආශිර්වාද කළ අනුර බිරිය සහ දියණියත් සමඟ දමුණුගොල්ලේ ජීවත්ව සිටියදී මෙසේ ඝාතනයට ලක්විය.

ගොකරැල්ල පොලිසිය අනුරගේ ඝාතකයන් සෙවීමේ විමර්ශන ඇරඹුවත් සැකකරුවන් පිළිබඳ හෝඩුවාවක් ලැබීම බොහෝ පමා විය. එහෙත් අනුර වැල්ලව ගත කළ ජීවිතයට සම්බන්ධ තොරතුරු පොලිසිය එකින් එක හෙළි කර ගනිමින් අනුර ඝාතනයට සම්බන්ධ වුවත් අනාවරණය කර ගැනීමට සමත් විය. ඒ අතරතුර අනුරව කපා කොටා මැරූ සැකකරුවන් අධිකරණයට බාරවන්නට සූදානම් වන බවට වන ආරංචිය ද පොලිසියට ලැබිණි.

සැකකරුවන් නීතියට බාරවන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් ගොකරැල්ල පොලිසිය දිගින් දිගටම සැකකරුවන් පසුපස ලුහු බැන්දේය. අනුර ඝාතනයට සැකකරුවන් සිව්දෙනකු පමණ සම්බන්ධ බවට පොලිසිය ඒ වනවිට දැන සිටියේය. සැකකරුවන් අතර එකම පවුලේ සොහොයුරන් තිදෙනකුම සිටීමත් කැපී පෙනෙන සිද්ධියක් විය. එයින් අයකු අත්අඩංගුවට පත් වෙද්දී ඔහුගෙන් ලද තොරතුරු මත අනුර ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන මන්නා පිහි තුනක් සොයා ගැනීමට ගොකරැල්ල පොලිසියට හැකිවිය. ඒ විවිධ ප්‍රදේශවල සැරිසරමින් දෙසතියකට ආසන්න කාලයක් තිස්සේ දැරූ පරිශ්‍රමයක ප්‍රතිඵල වශයෙනි.

ඊට ටික දිනෙකට පසුව නැවතත් කුරුණෑගල අධිකරණය අවට සැරිසරමින් සිටියදී අනුරගේ ඝාතනයට සැක කරන ඉතිරි සැකකරුවන්වත් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් කොටුකර ගත්තේය.

“අනුරත් එක්ක තිබිච්ච කොන්තරේ කාලෙක ඉඳන් තිබුණා සර්. අපි අනුරට කොටලා එතැනින් පැනගත්තා. ඊට පස්සේ අපිට බාර වෙන්නයි ඕනෑ කලේ. ඒකටයි අපි පහුවදාම කුරුණෑගල උසාවිය ළඟට ගියේ. ඒත් පස්සේ අපේ ඒ කල්පනාව වෙනස් වුණා. පස්සේ කුරුණෑගල නැතිව වරකාපොලට ගිහින් උසාවියට බාර වෙනවා කියලා අපි හිතුවා. ඊටත් පස්සේ වාරියපොළට ගිහින් උසාවියට බාර වෙනවා කියලා හිතුවා. ඒ වෙද්දී තමයි අපේ කෙනෙක් ගොකරැල්ල පොලිසියට කොටුවුණේ කුරුණෑගල පොලිසිය අපේ අනිත් අයව අත්අඩංගුවට ගත්තේ අපි උසාවියට බාර වෙනවාමයි කියලා ඉන්න කොටයි”

සැකකරුවන්ගේ පාපොච්චාරණය එවැන්නකි. අනුරත් සැකකාර පාර්ශවයත් අතර තිබූ කෝන්තරය මෙම ඝාතනයට මූලික හේතුව වී ඇති බව පොලිසිය අනාවරණය කර ගත්තේය.

අනුරව මරන්නට සූදානම්ව වැල්ලව සිට තියුණු ආයුධ රැගෙන සැකකරුවන් පැමිණ ඇති යතුරු පැදියක් ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගැණින. ඊට අමතරව ත්‍රීරෝද රථයක් ද මේ සඳහා යොදා ගන්නට ඇතැයි සැක කෙරේ.

අනුර ඝාතනයෙන් පසුව තනිවූ බිරිය සිය දියණිය ද රැගෙන යකල්ල දමුණුගොල්ල නිවෙස අත්හැර දමා පිටව ගොස් තිබිණි. ඒ ඇයට ඇති වූ බිය නිසා බව ගම්මු පවසති.

වයඹ දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගොකරැල්ල භාර සහකාර පොලිස් අධිකාරි රත්නසූරියගේ උපදෙස් මත ගොකරැල්ල පොලිසීයේ ස්ථානාධිපති අබේරත්න ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රාජකරුණා සමඟ උප පරීක්ෂක බස්නායක ද සැරයන්වරුන් වන 24575 පේ‍්‍රමරත්න සහ 22903 සමන්පාල ද කොස්තාපල් 34030 තිස්ස ආදීහු මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.