ලක්ෂ හතේ කොන්ත්‍රාත්තුව

ලක්ෂ හතේ කොන්ත්‍රාත්තුව

මංජු ලක්ෂාන් යනු කලක් කොල්ලන් හා රංචු ගැසී දඩබ්බර ලෙස හිතුවත්කාර ජීවිතයක් ගත කළ මිනිසෙකි. ඒ කාලයේ කළ හිතුවක්කාරකම් සමාජයට අහිතකරය. රංචු ගැසී කළ කී දේවල් ඔහුට කළක් යනවිට එපා විය. හොඳ මිනිසකු වී තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගෙන ජිවිතය යහපත් කර ගැනීමට ඔහු සිතුවේය. තම බිරිය වූ ක්‍රිශාන්තිගේ ආදරයේ උණුසුමින් ජිවිතය හඳුනා ගැනීමට වෙර දැරූ මංජු ලක්ෂාන් තමා මෙතෙක් කල් ගෙවූ ජීවිතය අලුතින් පටන් ගත යුතු යැයි ඔහු තීරණය කළේ දරු පැටවුන් තිදෙනාගේ අනාගතය දෙස නෙත් හෙළාය.

ඔහු කලකට පෙර සත්ත්ව ගොවිපළක් ආරම්භ කළේය. දැඩිලෙස මහන්සිවෙමින් ඔහු එහි දියුණුවට උදේ හවා ශ්‍රමය කැප කළේය. කිරි ගවයන් කිහිපදෙනෙකු ඇති කළේය. උන්ගේ පෝෂණය වෙනුවෙන් මහන්සි විය. මහන්සිය මල්ඵල ගන්වමින් දිනකට කිරි ලීටර් 75ක් පමණ නිෂ්පාදනය කිරීමට මංජුට හැකිවන්නේ දිවා රෑ නොබලා කළ කැපකිරීම් මතය. ඔහුගේ කැපවීම කෙතෙක් ද යන්න පැහැදිලි වීමට හොඳම සාක්ෂිය වන්නේ මාතර දිස්ත්‍රික්කයේ හොඳම කිරි ගොවියා වශයෙන් තේරී පත් වී කෘෂිකර්ම නිලධාරීන්ගේ ප්‍රසාදය හිමිකර ගැනීමට සමත් වීමය.

තම ගොවිපළ කටයුතු ප්‍රබල වෙද්දී මංජුට එය තනිවම නඩත්තු කරගෙන යාමට අපහසුවක් දැනිණි. ඒ නිසා ඔහු කළේ තම බිරිඳගේ සොයුරා වූ සුසන්ත ගොවිපළ කටයුතුවලට හවුල් කර ගැනීමය. දිනෙන් දින ජයටම කෙරීගෙන යන ගොවිපලේ කටයුතු කෙරෙහි ඇතැමකු පසු වූයේ ඊර්ෂ්‍යා සහගතවය. ඉන් බොහෝ පිරිසක්ම ඔහුගේ පැරුණි මිතුරෝ වූහ.

මංජුගේම ඥාති සොහොයුරකු කලක් ඔහු හා ඇති කරගත් දබරයක් මත මංජු කෙරෙහි වෛරයෙන් පසුවිය. මංජුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔහු කළේ ගෙයි වහලයෙන් බැස මංජු ඝාතනය කිරීමේ අරමුණින් ගෙට ඇතුළු වී තිබිමය. මේ සිදුවීමෙන් ඔහුට කලින් ඉක්මන් වූ මංජුගෙන් බඩපිරෙන්නට ගුටි කෑමට ඔහුට සිදුවිය. මෙයින් බද්ධ වෛරයෙන් පසු වූ ඒ ඥාතියා මංජුට නපුරක් කිරීමට කොයි වෙලේත් මාන බලමින් පසුවිය. මේ සිදුවීම මංජු ලක්ෂාන්ගේ ජීවිතයට බරපතළ අනතුරක් කිරීමට යම් බලවේගයක් ඇති කිරීමට සමත් විය.

කාලය කෙමෙන් ගත වී ගියේය. මංජු දැන් පළාතේ සැලකිය යුතු ව්‍යාපාරිකයෙකි. ප්‍රදේශයේ පිළිගැනීමට ලක් වී තිබූ මංජු නිතරම සමාජ කටයුතු සඳහා ද අනුග්‍රහය දැක්වීම සිදුවිය. ඔහුගේ සාර්ථකත්වය දෙස ක්‍රොධයෙන් වෛරයෙන් බැලූ යම් පිරිස් ඔහුගේ අවසානය දැකීමට තරම් කුරිරු චේතනාවෙන් වියරු වැටී සිටියහ. ඉවසුම් නොදෙන තරමට එය ඔඩුදුවා ගියේය. මේ නිසා අදාළ පිරිස මංජු මරා දැමීමට රුපියල් ලක්ෂ 07ක කොන්ත්‍රාත්තුවක් දුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

කොන්ත්‍රාත්තුව ලබාගත් ඝාතකයන් මංජුගේ ගමන් බිමන් පිළිබඳ මෙන්ම ඔහු යන එන තැන් ද නිරීක්ෂණය කරන්නට පටන් ගත්තේය. යතුරු පැදියෙන් මංජුගේ නිවෙස බලා පැමිණි දෙදෙනකු මංජු පිළිබඳ විස්තර ඇසුවේ ඔහු හරිහැටි හඳුනා ගැනීමටය.

“මංජු කියන්නෙ ඔයාද” ඒ මොහොතේ නිවෙස ඉදිරියට ආ මංජුගේ මස්සිනාගෙන් ඔවුන් ඇසුවේය. එහෙත් මේ කිසිවක අග මුල නොදත් මස්සිනා කීවේ, මංජු ගොවිපොළ දිහාවේ ගොස් ඇති බවය. අමුත්තන් එයින් නොනැවතී “හරක් මස් තියෙනවාදැයි” අසද්දී මංජු එතැනට ආවේය. හරක් මස් නැති බැව් පැවසූ විට ඌරුමස් කිලෝ 30ක් ඉල්ලූ ඔවූහු එය සූදානම් කර තබන මෙන් පවසා රුපියල් 2000/- ක මුදලක් ද අත්තිකාරම් වශයෙන් දී යන්නට ගියහ. මංජු යනු කවුරුන්දැයි හඳුනාගත් ඔවූහු යන්නට ගියේ සිත් තුළ සැලසුම් සකස් කරන ගමන්ය. ලක්ෂ 07ක මුදල් මිටියට බැඳි ලොබින් මංජු නම් මිනිසාගේ පණ නළ ඩැහැ ගැනීම ඔවුන්ට පහසු කටයුත්තක් වී තිබිණි. යළි දිනක ඔවුන් මංජු සොයා ආවේ සියල්ල අවසන් කිරීමටය. මාරයා හිස ඔසවමින් මංජු දෙස නෙත් හෙළීය. සැණෙකින් එකකු අත තිබූ සඟවාගත් පිස්තෝලය මංජු දෙසට එල්ලවූයේය. එයින් එක පිට එක එල්ල වූ වෙඩි උණ්ඩ මංජුගේ සිරුර හිල් කරගෙන යද්දී මංජු එතැනම මැරී වැටිණි. ඒ සමඟම මංජුගේ මස්සිනා වූ සුසන්ත ක්‍රියාත්මක වූයේ විදුලියක් වාගේය. අසළ තිබූ කිතුල් පොල්ලක් අතින් ගෙන දෑත බැඳ එල්ල කළ පහරකින් ඝාතකයා බිම හෙළීමට ඔහු සමත් විය.

කිතුල් පොලු පහර කා අඩපණ වූ එම පුද්ගලයා මෙල්ලකොට අල්වා ගැනීමට සුසන්තට හැකිවිය. සැකකරු පන්නිපිටියේ, පදිංචි කරුවෙකි. පොලිසිය එතැනට ආවේ ඉන්පසුවය. ඔහු සන්තකයේ තිබූ රිවෝල්වරයක් පිස්තෝලයක්, හා ජීව උණ්ඩ 05 ද යතුරු පැදියද පොලිසිය අත්අඩංගුවට ගනිද්දී අනෙක් පුද්ගලයා පලා ගියේය. අල්ලාගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවිය. පැන ගිය අය හබරාදූව ප්‍රදේශයේ පදිංචි කරුවකු බව අනාවරණය විය. පවුලේ ඥාතියකුගේ පැරැණි අමනාපයක් මෙසේ පළිගැනීමක් දක්වා දුරදිග ගොස් ඇති බවට මංජුගේ පවුලේ උදවිය සැක පහළ කළහ.

මංජුලගේ අකල් මරණයෙන් කම්පනයට පත්ව සිටින මව පියා මෙන්ම ආදර බිරිය හා දරුවන්ට ද මෙය අදහා ගන්නට බැරිය. තම මස්සිනා බේරා ගැනීමට දිවි පරදුවට තබා සටන් කළ සුසන්ත ද පසුවන්නේ දැඩි වේදනාවකින්ය.

“රෙද්දකින් මුහුණ වසාගෙන මෝටර් සයිකලයකින් ආව දෙන්නා මංජුට කතා කළා. ඊට පස්සේ මංජු එතැන්ට ආවා. එනකොටම බයිසිකලේ වාඩිවෙලා හිටිය කෙනා මංජුට වෙඩි තිබ්බා. මට අතට අහුවුණු කිතුල් පොල්ල අරගෙන එද්දිම මටත් වෙඩිතියන්න හැදුවා. ඒත් පත්තු වුණේ නැහැ. එතකොටම මම මිනිහගේ බඩට පයින් ගැහුවා. කිතුල් පොල්ලෙනුත් ගැහුවා. ආයිමත් මට වෙඩි තිබ්බත් මට වැදුණේ නැහැ. මං බේරුණා. මගේ කිතුල් පොලු පහරවලින් දෙන්නම බිම වැටිලා හිටියේ. එකෙක් කැලේ පැත්තෙන් පැනලා දිව්වා. එකෙක් ගහක බැඳලා තියලා පොලිසියට අල්ලලා දුන්නා. මංජු මගේ දකුණු අතවගේ. මට මංජු යාලුවෙක්. මට එයා නැති වුණා.”

ඔහුගේ දෙනෙත්වල වේදනාව පිරී ඇත.

හැඬු කඳුළින් යුතුව මංජුගේ බිරිය ද හඬ අවදි කළාය.

“මගේ මංජු ඒ වෙලාවේ කිරිදෙනුන් ගාල් කරමින් හිටියේ. කවුද දෙන්නෙක් මස් ගෙනියන්න කතාබස් කරමින් හිටියේ. මංජු එයාලත් සමඟ විහිළු කරමිනුයි හිටියේ. ඒ වෙලාවෙ මම ගෙට ගියා. එතකොටම කවුද “බුදු අම්මෝ” කියලා කෑ ගහනවා ඇහුණා. මංජු බිම වැටිලා හිටියේ. අපේ අයියා උන්ට කිතුල් පොල්ලකින් ගහනවා දැක්කා. මමත් උන්ට ගැහුවා. පස්සේ එකෙක් මාවත් පෙරළාගෙන කැලේ පැත්තෙන් පැනලා දිව්වා.”

අමු අමුවේ කළ ෙමි මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළේය. මෙහි අගමුල සොයා විමර්ශන ඇරඹූ පොලිසිය ලක්ෂ හතක මුදලකට මංජුව මරන්න කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ මෙහෙයවන්නට විය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාතර මූලස්ථානන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීමෙන් මාතර අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ජි.පී.ටී. ඉෂාන් යන නිලධාරින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.