කොළ පැහැති සරමෙන් හඳුනාගත් ඝාතකයා

කොළ පැහැති සරමෙන් හඳුනාගත් ඝාතකයා

මහනුවර පොලිස් කොට්ඨාශයට අයිති වෙළම්බොඩ පොලිස් වසමේ දහයේ ලැයිමේදී පසුගියදා අමානුෂික මිනිස් ඝාතනයක් සිදුවිය. පසුගිය මාර්තු තිස් එක් වැනිදා රෑ මැදියමට ආසන්න මොහොතකදී සිදු කළ බවට සැක කෙරෙන ඒ අපරාධයට ගොදුරු වූයේ ආරුමුගම් පන්නීර් සෙල්වම් නමැති පනස් නව හැවිරිදි දෙදරු පියෙකි. කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් දෑත් පිළිස්සී එයින් ඇති වූ ආබාධයක් නිසා හරිහැටි දෑතින් වැඩක් කරගත නොහැකිව සිටියදී පන්නීර් පොරෝ පහරටත් ලක්විය. ඒ වනවිටත් ඔහු පිළිකා රෝගී තත්ත්වයෙන් ද පීඩා විඳිමින් සිටියේය. වීදුරු බෝතල් විකිණීම ජීවිකාව කරගත් පන්හීර්ව නිදි පැදුරේදීම මරා දමා තිබුණේ මුනින් අතට නිදා සිටියදීය.

එදා වෙනදාටත් වඩා කලින්ම පන්නීර් නින්දට ගොස් තිබුණේය. එවිට වේලාව රාත්‍රී හතයි තිහට පමණ විය. පන්නීර් නිදා උන් තැනට මඳ දුරකින් පන්නීර්ගේ බිරියත් දරුවාත් නිදා සිටියහ.

එහෙත් හදිස්සියේම පන්නීර්ගේ බිරිය නින්දෙන් ඇහැරුණාය. ඒ දඩස් දඩස් හඬින් ඇසුණු ශබ්දයක් නිසාය. ඇහැරී බලද්දී ඇය දැක්කේ පොරොවක් අතින් ගත් අයෙකු ඇයට පිටුපා අඩියට දෙකට නිවෙසින් පිටවන අයුරුය. ඔහු කවුරුදැයි එකවර හඳුනා ගන්නට පන්නීර්ගේ බිරියට හැකි වූයේ නැත. එහෙත් ඒ පුද්ගලයා හැඳ සිටින්නේ කොළ පැහැති සරමක් බව නම් ඇය හොඳින් දුටුවාය. ඒ දසුනින් තැතිගත් පන්නීර්ගේ බිරිය මරහඬ නැඟුවාය. ඒ සද්දයට අහල පහළ ලැයිම් කාමරවල සිටින අය ද පන්නීර්ගේ ලැයිමට දිව ආහ.

සියල්ලෝම එක්ව පන්හීර්ට කතා කළහ. එහෙත් ඔහු නැගිටින පාටක් නොවීය. රෝහලට රැගෙන ගියද පන්නීර් ඒ වන විටත් මෙලොව හැර ගොස් තිබිණ.

දහයේ ලැයිමේදී වූ මේ සිද්ධිය ඒ රෑම වෙළම්බොඩ පොලිසියටත් සැළවිය. වෙළම්බොඩ පොලිසියේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයනන්ද ඇතුළු පිරිසක් අපරාධ ස්ථානයට ළඟා වූහ.

පසුදින දැල් වූ විදුලි බුබුළු එලෙසම දැල්වෙමින් තිබිණ. පන්නීර්ලා නින්දට යනවිට වසා දැමූ කාමරයේ ඉදිරිපස දොරටුව තවමත් විවෘතය. ඒ හැරෙන්නට තවත් සිතා බලන්නටම වටිනා දෙයක් පන්නීර්ගේ නිවෙස් විය. ඒ රෙදි පටියක ආධාරයෙන් බැඳ දමා තිබුණු වීදුරුව බිඳුණු ඒ නිවෙසේ ජනේලයකි. මේ අපරාධයත් සමඟ විවරව තිබුණේය. එහෙයින් පොලිසියය අනුමාන කලේ අපරාධකරු ගෙතුළට ඇතුළු වූයේ ඒ ජනේලයේ බිදුණු වීදුරුව වෙනුවට රැඳවූ කාඩ්බෝඩ් කැබැල්ල ඉවත් කරගෙන බවය. එතැනින් ගෙට එබී බලා ඉක්බිති ජනේලය බැඳ දමා තිබුණු රෙදි කඩ කැඩී යන අන්දමට ජනේලය තල්ලු කර දමා සැකකරු ගෙට ඇතුළු වූ බවක් පොලිසිය හඳුනා ගත්තේය.ඊටත් වඩා වැදගත් හෝඩුවාවක් මහනුවර අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ උප පරීක්ෂක ජයසේකර ඇතුළු නිලධාරීහු සොයා ගත්හ. ඒ ජනෙල් රාමුවේ රැඳී තිබූ කෙස් රොදකි. එය අපරාධකරුගේ විය හැකි බව පොලිසිය කීය. වෙළම්බොඩ පොලිසිය දහයේ ලැයිමේ සිදුවූ මේ අපරාධය පිළිබඳ විමර්ශන ඇරඹූ අතර ඊට අමතරව පන්නීර්ගේ ඝාතනය පිළිබඳ කිසියම් හෝඩුවාවක් සොයා ගැනීම සඳහා ලැයිමේ තැනින් තැනට ඔත්තුකරුවන් ද යෙදවීය. ඒ සැකකරු කොළ පැහැති සරමකින් සැරසී සිටි බව පන්හීර්ගේ බිරිය කළ ප්‍රකාශය නිසාය. එවැන්නකු ලැයිමේ සිටිත් දැයි සෝදිසි කරන ලෙස ද ස්ථානාධිපතිවරයා එම ඔත්තුකරුවන්ට උපදෙස් දී තිබුණේය. එම පුද්ගලයා ලැයිමේ අයකු ද නැතහොත් පිටස්තරින් ලැයිමට ආ අයකු ද යන්න වහා සොයා බලන ලෙස ස්ථානාධිපතිවරයා ඔවුනට දන්වා සිටියේය.

එයින්ද ටික වේලාවකට පසුව පොලිසියට තවත් කදිම ඔත්තුවක් ලැබිණ. ඒ දහයේ ලැයිමේම අයෙකුගෙනි. ඔත්තුවෙන් කියැවුනේ සරමකින් පමණක් සැරසුණු අයකු ලැයිම් කාමරයක නිදා සිටින බවය.

එතැන විපරම් කළ පොලිසියේ සැකය තවත් වැඩි වූයේ ඔහු නිදා සිටියේ අනුන්ගේ ලැයිමක වීම නිසාය. තවත් හොඳින් සෝදිසි කිරීමේදී ඔහු හැඳ සිටින්නේ කොළ පැහැති සරමක් බව දැකගත හැකිවිය. ඒත් පොලිසිය කලබල වුයේ නැත. නිදා සිටින පුද්ගලයා දහයේ ලැයිමට පැමිණි වේලාවත් අපරාධය සිදුවූ බවට අනුමාන කෙරෙන වේලාවත් අතර සමානකමක් ඇති බවද නිලධාරින්ට වැටහිණ.

ඒ සැකය මත සෙල්වා නැමැති පනස් හය හැවිරිදි එම පුද්ගලයා පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගැනුණේ පසුදිනට එළිය වැටීගෙන එනවිටය.

සොයා බැලීමේදී ඔහු මරා දැමූ පන්හීර්ගේ ළඟම ඥාතියෙකු බවත් අනාවරණය විය. ඔහු පන්හීර්ගේ පුංචි අම්මාගේ පුතකුවිය. ඒ කතාවේ ඉතිරිය එළියට ආවේ පසුදින උදෑසන සූර්මත සිදී සැකකාර සෙල්වා හොඳ සිහියට පත් වූ විටය. එවිට පොලිසිය හමුවේ කිසිවක් වසන් කරන්නට උත්සාහ නොකළ ඔහු කලේ මෙවන් පාපොච්චාරණක්ය.

“මගේ ගෑනිගෙයි පන්නීර්ගෙයි සම්බන්ධයක් තියෙනවා. ඒ දෙන්නා කතාබහ කරනවා. මගේ ගෑනි පන්නීර්ගෙන් අතමාරුවට සල්ලි එහෙමත් ඉල්ලා ගන්නවා සර්. ඒ නිසා ගෑනි මාත් එක්ක එච්චර ආශ්‍රයක් නෑ. මං ඒ ගැන හිතලා දුක්වුණා. මට දිවි නහගන්න හිතුණා. මං ලණුවකුත් හොයාගෙන මැරෙන්න යන්න කියලා හිතුවා. ඒත් ටිකක් වෙලා යද්දී මට වෙන කල්පනාවක් ආවා සර්.”

“මට හිතුණා මං මොකටද මැරෙන්නේ මං අරූව මරනවා කියලා. මං ඒ වෙලාවෙම පොරොවත් අරන් ඒකගේ ගෙදරට ගියා. මිනිහා නිදාගෙන ඉන්නවා මට ඒ ගෙදර ජනේලෙන් එබිලා බලද්දි පෙනුණා. මං ජනේලෙන් ගෙට පැන්නා සර්. ඒ ගිහින් මුලින්ම ගෙයි දොර ඇරියා. ඊළඟට පන්නීර් ළඟට ගිහින් මිනිහාගේ බෙල්ලට පොරොවෙන් ගැහුවා. එතකොට මිනිහාගේ ගෑනි ඇහැරිලා කෑ ගැහුවා. මං පැනලා ගිහින් පොරොව බෝංචි කොටුවක හංගලා යාළුවෙකුගෙග් ලැයිමට ගියා. ඒ ගිහින් මං කළ දේ ඒ අයට කිව්වා. ඒත් එයාලා ඒක එච්චර ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ මං එයාලට කිව්වා මාව හෙම්මාතගම ඉන්න අපේ අක්කලෑ ගෙදරකට ගිහින් ඇරලවන්න කියලා. ඒත් යන්න වාහනයක් නැහැයි කියලා එයාලා නිදා ගත්තා.. මටත් නින්ද ගියා සර්. එතකොටයි සර්ලා එතැනට ඇවිත් මාව ඇහැරවලා අල්ල ගත්තේ....”

පන්නීර්ගේ මරණයට හේතුව පොරෝ පහර නිසා සුසුම්නාව කැඩී යාමත් ඒ මොට ආයුද පහර නිසා ඇති වූ අභ්‍යන්තර තුවාලත් බව මහනුවර රෝහලේදී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. සැකකරු මේ අපරාධයට පෙළඹී ඇත්තේ ඔහුගේ සිතේ වූ සැකය මත බව පරීක්ෂණ වලදී තහවුරු විය.

මහනුවර කොට්ඨාංශය භාර පොලිස් අධිකාරි එඩ්මන් මහේන්ද්‍රගේ අධීක්ෂණය යටතේ වෙළම්බොඩ බාර සහකාර පොලිස් අධිකාරි දියකෙළිනාවලගේ උපදෙස් මත වෙළම්බොඩ පොලිසියේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී.එච්.එම් ජයනන්ද සමඟ සැරයන් 2635 රත්නායක ද කොස්තාපල් 47199 කරුණාරත්න ද මේ පිළිබඳ වැඩිදුර විමර්ශනවලට එක්ව සිටියහ.