නීති ශිෂ්‍යාව මරාදැමූ පොලිස් ලොක්කාගේ පුතා ජීවිතාන්තය තෙක් හිරේ

නීති ශිෂ්‍යාව මරාදැමූ පොලිස් ලොක්කාගේ පුතා ජීවිතාන්තය තෙක් හිරේ

ප්‍රියදර්ශනී මත්තු දැකුම්කළු තරුණියක් සේම කැපී පෙනුණු දස්කම් සහිත නීති ශිෂ්‍යාවක් ද වූවාය. ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ අගනුවර වූ ශ්‍රී නගර් හි පදිංචියට පැමිණි මත්තු, පල්ලියේ කන්‍යාරාමයේ ඉගෙනුම ලබා පසුව ශ්‍රී නගර් හි ර්ඒඑ යන විද්‍යාලයෙන් ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ උපාධිය ලබා දිල්ලි විශ්ව විද්‍යාලයේ නීති විභාගය සඳහා සුදානම් වෙමින් සිටියාය.

විශ්ව විද්‍යාලයේ නවක ශිෂ්‍යයකු වූ සන්තෝෂ් සිං ගේ අවධානය ඇය වෙත යොමු වී තිබූණ ද ඔහුගේ යෝජනාවට ඇය තම අකැමැත්ත ප්‍රකාශ කළාය. එහෙත් ඔහුගේ බලකිරීම හා කෙනහිලිකම් නැවතුණේ නැත. එය ඉවසා සිටීමට නොහැකි වූ තැන මත්තුගේ පවුලේ අය මේ බව පොලීසියට ද පැමිණිලි කරන්නට වූහ. ඒ සමඟම ඔහුගෙන් සිදු වූ හිරිහැර නැවතුණු නමුත් පසුකාලීනව යළිත් සන්තෝෂ්ගෙන් නොයෙකුත් කරදර විඳින්නට ඇයට සිදු විය.

මෙසේ තිබියදී සන්තෝෂ් සිං විසින් විශ්ව විද්‍යාලයීය බලධාරින් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇය උපාධි දෙකක් සඳහා ඉදිරිපත් වී සිටින බවය. එහෙත් ඒ ගැන සොයා බැලූ බලධාරීන් එය සත්‍යයක් නොවන බව ප්‍රකාශ කළේය.

මේ අතර ඇයත් සමඟ පැවති අර්බුදය විසඳා ගැනීම සඳහා සන්තෝෂ් දිල්ලියේ වසන්ත කුන්ජ් ප්‍රදේශයේ විසූ ඇගේ මාමාගේ නිවෙසට නිතර නිතර ගියේය. ප්‍රියදර්ශනී නැවතී සිටියේ ඒ මාමාගේ නිවෙසේය.

1996 ජනවාරි 24 වැනිදා මාමාගේ නිවෙසේ තිබී ඇයගේ මළසිරුර සොයා ගැනීමත් සමඟ මුළු ජම්මු කාශ්මීරය පුරාම ඇගේ මරණය ගැන කතාබහට ලක් විය. ඇය දූෂණයට ලක් වී තිබීම එයට තවත් හේතුවක් විය. විදුලි කම්බියකින් ඇයගේ ගෙල සිරකොට මරා දමා තිබූ අතර මෝටර් සයිකල් හෙල්මටයකින් ඇගේ හිසත් මුහුණත් විකෘති වන ලෙස පහර දී තිබූ අන්දමත් දැකගත හැකි විය.

මිනීමැරුම සිදු වූ අවස්ථාවේ දී සන්තෝෂ් සිං ඇගේ නිවසේ සිටි බවත් ඔහු විසින් ඇයට නොයෙකුත් කරදර හිරිහැර සිදු කරනු ලැබූ බවත් ඝාතන නඩුව විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය ඉදිරියේ සනාථ විය. එහෙත් අධිකරණ තීන්දුව ඊට හාත්පසින් වෙනස් බවක් ගෙන දුන්නේය. ඊට හේතු වශයෙන් අතිරේක විනිශ්චයකාර ජී. පී. නරේජා පැවසුවේ සන්තෝෂ් මෙම අපරාධය සිදු කළ බව තමාට වැටහී ඇතත් සැකයේ වාසිය ඔහු වෙත යොමු කොට ඔහු නිදහස් කර හැරීමට තමාට සිදු වී ඇති බවය. පිටු 450 ක් පමණ වන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිශ්චයකාරවරයා දිල්ලි පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

විත්තිකරුගේ පියා දිල්ලි පොලිස් සේවයේ නියෝජ්‍ය අධිකාරි තනතුරක් දැරීම පොලීසියේ අකර්මණ්‍ය තත්ත්වයට විශේෂයෙන් හේතු වූ බව ද නඩුවට කරුණු ඉදිරිපත් කිරීමේදි පොලීසියට විත්තිකරුගේ පියාගේ බලපෑම සිදුවන්නට ඇතැයි තමා සැක කරන බව ද විනිසුරු පවසා සිටියේය.

ප්‍රියදර්ශනීට පහර දි තිබු හෙල්මටයේ වයිසරය කැඩි ගොස් තිබූ නමුත් පොලීසිය එම තොරතුරු නොවැදගත් එකක් ලෙස ඉදිරිපත් කර තිබිණි. එසේම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින්ගේ පුතුනට නීතිය ක්‍රියාත්මක නොවන ආකාරයක් පෙන්නුම් කෙරෙන බව ද අතිරේක විනිශ්චයකාරවරයා වැඩිදුරටත් පැවසිය.

දිල්ලි පෙලීසියේ ලලිත් මෝහන් නමැති පොලිස් පරීක්ෂකවරයා පොලිස් පරික්ෂණවලදී මෙන්ම නඩු විභාගයේදී ද විත්තිකරුට උදව් කර තිබූ බවට පැහැදිලි වන බවත් ඒ අනුව උසාවියට බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙළඹී ඇති බව ද පැවසූ විනිසුරු නරේජා, ප්‍රියදර්ශනී මරා දමා තිබූ නිවසේ සේවක විරේන්ද්‍ර ප්‍රසාද් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීම අධිකරණ කටයුතුවලට බාධා කිරීමක් බව ද පැවසීය.

මියගිය තැනැත්තියගේ ශරීරයෙන් ලබාගත් ඩී. එන්. ඒ. කොටස් හරිහැටි පරීක්ෂණයට භාජනය නොකර එම පරීක්ෂණ වාර්තා ව්‍යාජ ලෙස සැකැසීම පොලීසිය විසින් සිදු කර තිබූ බව ද නඩු තීන්දුවේ දී ඔහු විසින් ප්‍රකාශයට පත් කර තිබිණ.

ඒ අනුව සන්තෝෂ් සිං නිදහස් කිරීමට තමාට සිදු වී ඇත්තේ විත්තිකරු විසින් මෙම මිනීමැරුම හා දූෂණය සිදු කළ බවට හරි හැටි ඔප්පු කිරීමට රජයේ පාර්ශවයට නොහැකි වීම නිසා බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියානු නීති ඉතිහාසයේ අති මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ මෙම නඩු විභාගයෙන් අනතුරුව සන්තෝෂ් සිං විවාහයට ඇතුළත්ව තිබූ අතර නීතිඥයකු ලෙස ද ඔහු කටයුතු කිරීම අරඹා තිබිණ.

එහෙත් මෙම නඩු විභාගය කෙරේ දැවැන්ත මහජන විරෝධයක් ඇති වූ අතර 2000 වසරේ පෙබරවාරි මස 29 වැනිදා මධ්‍යම පරික්ෂණ අධිකාරිය මඟින් ඉහත කී දිස්ති‍්‍රක් අධිකරණයේ නඩු තීන්දුවට එරෙහිව දිල්ලියේ ඉහළ අධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරන ලදි. මේ අතර මියගිය ප්‍රියදර්ශනීගේ පියා වන චාමනි ලාල් මාතු රූපවාහිනියේ පෙනී සිටිමින් තම දියණියට සිදු වූ අසාධාරණය හා ඇය ඝාතනය කළ මිනීමරුවාට නිදහස දීම පිළිබඳ නොයෙකුත් අපවාද නැංවීම නිසා දිස්ත්‍රික් අධිකරණයේ නඩු තීන්දුවට එරෙහිව මහජන මතයක් ද ගොඩ නැඟී තිබිණි.

මුල් ඇපෑල ඉදිරිපත් කොට වසර හයකට පසුව මෙම නඩුව ඉහළ අධිකරණ විනිශ්චයකාරවරුන් ඉදිරියේ දිනපතා ඇසෙන නඩුවක් ලෙසට විභාගයට ගැනිණි.

දිනපතා අසන ලෙසට නඩු විභාගයට ගැනීම ඉන්දියාවේ ඉතාම කලාතුරකින් සිදුවන්නකි. මෙම ඝාතන නඩුව දිගටම විභාග වූ අතර දින 42 කට පසුව ඉහළ අධිකරණය නව නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි.

එහිදී අධිකරණය, කළ දිස්ත්‍රික් අධිකරණයේ නඩු තීන්දුව දෝෂ දර්ශනයට ලක් කරනු ලැබූ අතර එම තීන්දුව මඟින් යුක්තිය මරා දමා ඇති බවත් නීතියේ හෘදය සාක්ෂියට තැති ගැන්මක් ඇති කිරීමට සමත් වු බවත් විනිශ්චයකාරවරුන් ප්‍රකාශ කළහ. එසේම දුෂණයට ලක්වීම පරික්ෂා කිරීම සඳහා සිදු කළ ඩි. එන්. ඒ. පරීක්ෂාවේ ප්‍රතිඵලවල අති විශාල හිඩැසක් දක්නට ලැබුණු බවත් ඒ මඟින් ඇය දූෂණයට ලක් වුණේ සන්තෝෂ් අතින් ද යන්න පැහැදිලි වී නැතත් පරිවේෂණීය හා අධිකරණ වෛද්‍ය සාක්ෂි අනුව සන්තෝෂ්ගේ සබඳතාවය පැහැදිලිව දැකිය හැකි බවත් අධිකරණය ප්‍රකාශයට පත් කරන ලදී.

මේ කරුණු සලකා බලා මධ්‍යම පරික්ෂණ අධිකරිය ඇපෑල මඟින් ඉල්ලා තිබූ පරිදි ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තියට අනුව ඇය දූෂණයට ලක් කිරිම සම්බන්ධයෙන් සන්තෝෂ් සිංට මරණ දණ්ඩනය නියම කරනු ලැබීය.

දිල්ලි උසාවිය මඟින් නියම කළ මරණ දණ්ඩන තීන්දුවට එරෙහිව සුප්‍රිම් උසාවියට සන්තෝ සිං විසින් ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබූව ද ඉහළ උසාවියේ නඩු තීන්දුව එලෙසම සුප්‍රිම් උසාවිය පිළිගන්නා බවත් එහිදී තීරණය කෙරිණි. එහෙත් ඒ වන විට සන්තේෂ් සිං කුඩා දියණියකගේ පියකු වූ බැවින් මරණීය දණ්ඩන නියෝගය වෙනස් කොට ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා දෙන බවත් සුප්‍රිම් උසාවිය නියම කරන ලදී.

එක් අධිකරණයක් දුන් තීන්දුවක් සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඊට හාත්පසින්ම වෙනස් නඩු තීන්දුවක් ලබා දීම ඉන්දීය අධිකරණ ඉතිහාසයේ කලාතුරකින් සිදු වූ සිදුවීමක් ලෙස ද සැළකේ.

අලුත් අවුරුදු නිවාඩුව නිසා අප්‍රියෙල් 18 නිකුත් වන්නේ නැත.