කොළ පැහැති සරමෙන් හඳුනාගත් ඝාතකයා
 පොලිස් වැඩ්ඩෝ

දින තුනක් පරණ වූ ඉවෙන් හොරා සොයා දුන් "බැට්"

යමකු තමා නියැලී සිටින වෘත්තියෙහි නිපුනයකු විය යුතුය. යමකු වෘත්තියෙන් සොරකු නම් කාට වත් හසු නොවන ආකාරයෙන් සොරකමේ යෙදීමට හැකියාව තිබිය යුතුය. ලෝකය පුරා විසිරී සිටින ලෝක හොරු සිතාගෙන සිටින්නේ කාටවත් හසු නොවන ලෙසට තමාට සොරකමේ යෙදිය හැකි ලෙසටය. ඒ සිතුවිල්ල ඇතිව දන්නා උප්පරවැට්ටි සියල්ලම දමා සොරකම් වල යෙදුන ද හොරුන්ට තරු පෙනෙන්නේ පොලිස් බල්ලා පැමිණ ඉව අල්ලා තමා අසල හිඳගත් විටය. නොනැවතී සිදුවන මෙම ක්‍රියාදාමයෙන් මිනිසුන් යමක් තේරුම් ගත යුතුය. ඒ කාගේ කනින් රිංගා ගිය ද පොලිස් බල්ලාගේ කනින් රිංගා යාමට මෙලෝ ජගතකුට නොහැකිය යන්නයි.

මෙරට සිටින සමහර” ලෝකල් හොරුන්” ට නම් මෙලෝ දෙයක් වැටහෙන්නේ නැත. තමන්ගේ රැකියාව වන හොරකම වත් හරි හැටියට කරගන්නට දැනුමක් තේරුමක් නැත. මේ කියන්නට යන්නේ එවැනි හොරකු ගැනය.

කලවාන පොලිස් වසමේ නිවෙසක් පසුගිය දිනෙක සොරුන් විසින් කඩා රුපියල් ලක්ෂයකට වඩා වටිනා රන් ආභරණ සොරාගෙන ගොස් තිබිණි. මෙම නිවෙසේ හිමිකරු ගුවන් හමුදාවේ සේවයේ නියුතු අයෙකි. නිවාඩු ලබා නිවෙසට පැමිණි ඔහු පවුලේ අය සමඟ දින තුනක විනෝද චාරිකාවක නිරතව ඇත. චාරිකාව නමවා නිවෙසට පැමිණි පවුලේ සියල්ලන්ටම තරු පෙනුණේ නිවෙස සොරු කඩා ඇති බව දුටු පසුවය.

නිවෙස කැඩූ දිනය නිශ්චිත නැත. ඒ විනෝද චාරිකාව සඳහා දින තුනක් ගතවූ නිසාය. විනෝද චාරිකාවේ සතුට කඳුලක් බවට හැරෙද්දී කලවාන පොලිසියට යන ගෘහ මූලිකයා පැමිණිල්ලක් සටහන් කරමින් කියා සිටියේ තමාගේ නිවෙස හොරු කඩා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවයි.

පැමිණිල්ල භාරගත් පොලිසිය ඔහුට පවසා සිටියේ නිවෙසේ කිසිවක් අතපත නොගා සිටින ලෙසටය. පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මුලින්ම කළේ සොරා විසින් අතහැර දමා ගිය කිසිවක් ඇත්දැයි සොයා බැලීමයි.

මුලු නිවෙසම හොරා විසින් ඇද දමා ඇත. අල්මාරියේ දොර කඩා එහි තිබූ බඩු මුට්ටු එලියට ඇද දමා ඇත. අල්මාරියේ දොර කැඩීම සඳහා නිවෙසේම තිබූ මන්න පිහියක් පාවිච්චි කර ඇති අතර එය ඇඳ මත තිබී පොලිසියට හමුවිය.

සොරකම සිදුව ඇති ආකාරය පැහැදිලිය. එහෙත් පොලිසියට ගැටලුවක් ඇත. ඒ සොරා කවුරුන් ද යන්නයි. මෙම ගෙවල් බිඳීමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා රත්නපුර නිල සුනඛ “බැට්” කැඳවන්නට පොලිසිය තීරණය කරන්නේ ඉන් අනතුරුවය.

ලද දැනුම් දීමට අනුව කොස්තාපල් (83912) අජිත් දුමින්ද "බැට්" ද සමඟ රත්නපුරේ සිට කලවානට යන විට වේලාව දහවල් දොළහ පසුවී තිබිණි. අපරාධ ස්ථානයට ගිය "බැට්" ට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ හොරා පාව්ච්චි කළ බවට සැක කළ මන්නා පිහියයි.

එය හොඳින් ඉව කළ "බැට්" අජිත් ගේ මුහුණ බලා “හරි යමු” යැයි කියන පරිදි සංඤාා කළේය.

ඉඟිය තේරුම්ගත් අජිත් "බැට්" ට කැමති දෙසකට යාමට ඉඩ දී "බැට්" ගැටගසා ඇති පටිය ලිහිල් කළේය. ගමන ආරම්භ කළ "බැට්" දොල පාරක් පසුකොට ඉදිරියට ගමන් කරන්නට විය. ඊට ඉදිරියෙන් තේ කෑල්ලකි. එය ද පසුකළ "බැට්" ඒ ආසන්නයේ වූ නිවෙසකට ගොඩවිය. පොලිසිය යන විට එම නිවෙසේ සිටියේ කාන්තාවක පමණි. නිල සුනඛයා ද පෙරටු කර ගෙන පොලිසිය සිය නිවෙසට එනු දුටු ඇය කෙරෙන් දිස් වූයේ බියට පත් ස්වරූපයකි.

“මේ ගෙදර කවුද ඉන්නේ?”

“ මමයි මගේ මහත්තයයි”

“කෝ දැන් මහත්තයා. කොහේ ගිහිල්ල ද?”

“එයා වැඩ වගේකට කුකුළේගඟ ගිහින්.”

ඇයගෙන් එලෙස පිළිතුරු ලැබෙද්දී "බැට්" සිය රාජකාරිය තමන්ට රිසි අයුරින් කරගෙන යාමට උත්සාහ කරන බවක් දක්නට ලැබිණි. එනම් "බැට්" අජිත් ද ඇදගෙන මෙම නිවෙස ට ඉහළින් පිහිටි නිවෙස වෙත යාමට උත්සාහයක යෙදිණි. අජිත් "බැට්"ට අවශ්‍ය තැනකට යාමට ඉඩ දී පටිය බුරුල් කළේය. එම නිවෙසට ගිය බැට් නිවෙස වටා ඇවිදිමින් එය හොඳින් ඉව කරන්නට විය.

“මේ ගෙයි වැඩ කරන්නේ කවුද?”

“ඒ වැඩ ටික කරන්නෙත් මහත්තයම තමයි.”

පොලිස් කණ්ඩායමට දැන් වැඩේ පැහැදිලිය. දින තුනක් වසා තිබූ නිවෙස කඩන්නට ඇත්තේ මැයගේ සැමියාම විය යුතුය. කුකුළේ ගඟට ගිය බව කී සැමියා ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කළේව ඉන් පසුවය.

මෙම පුද්ගලයා පැමිණිමෙන් අනතුරුව "බැට්" ගේ ඉරියව් වෙනස් වනු දක්නට ලැබිණි. එම පුද්ගලයා අසලට ගිය "බැට්" ඔහු හොඳින් ඉව කොට ඔහු අසල හිඳගත්තේය.

"බැට්" ගේ මෙම හැසිරීම් රටාවෙන් අජිත් ට යමක් හොඳින් වැටහිණි. ඒ මෙම හොරකම කරන්නට ඇත්තේ අනිවාර්යයෙන් මොහු විය යුතු බවය. පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නිවෙසක් බිඳ බඩු සොරාගැනීමේ චෝදනාව යටතේය. එහෙත් සැකකරු පවසා සිටියේ තමා මෙම සොරකම නොකළ බවය.