අමුත්තිය

අමුත්තිය

බසයේ පිටුපස දොරටුව අසල අසුනකට බරදී සිටි මම කවුළුවෙන් පිටත බලා සිටිමි. මධ්‍යම රාත්‍රියේ පිටත්වන දුර ගමන් සේවා බස් රථ කිහිපයක්ම මා ඉදිරියේ ගාල් කර ඇත.මා අසල අසුනේ මැදිවියේ සිටින මගියා සැප නින්දකට සැරසෙමින් සිටී

බස්රිය පේරාදෙණියට ළඟා වනවිට අළුයම දෙකවත් වනු ඇතැයි මම සිතුවෙමි. පාන්දර වෙන්නට කලින් මළ ගෙදර ගියොත් පසුදාම නැවත කොළඹ බසයකට ගොඩවිය හැකිය. ළඟම මිතුරකුගේ මළ ගෙයක් නිසා එහි නොයා සිටීම නොහැකිය.

මොහොතකින් රියැදුරු පැමිණ බස් රිය පණ ගැන්විය. හිටගෙන යාමට කැමති මගීන් කිහිප දෙනෙක් වහා බස්රියට ගෙඩවූහ. බස් රිය ඉදිරියට අදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී තරුණියක් දුව එනවා මට පෙනිණ. ටී ෂර්ටයකින් සහ ඇඟටම හිරවන ඩෙනිම් කිලිසමකින් සැරසී සිටින ඇය අත බෑගයක් ද විය. බස්රියට ගොඩ වූ ඇය ඉඳගන්නට තැනක් ඇත්දැයි වටපිට බැලුවාය.

“ඉඳගන්න”

මම අසුනේ මඳක් එහාට වී ඇයට ඉඩ දුන්නෙමි. අසල සිටි මගියා මා දෙස නොරිස්සන සුළු බැල්මක් හෙලා ඉවත බලා ගත්තේය.

දෙදෙනෙකුට ඉඩ ඇති අසුනේ තුන්වැන්නෙකුට ඉඩ දීම මෙවැනි දුර ගමනකදි මහත් වදයක් බව ඔහු සිතුවා විය හැකිය.

“කොහේද යන්නේ.... නුවරද?”

“ඔව්”

“අමාරුවෙන් හරි යමු”

“දුවගෙන ආව නිසා මහන්සියි.”

ඇය කියන්නට වූවාය. ඇගේ කතාවේ ඇත්තේ කිසියම් සුන්දර බවකි.

නිට්ටඹුව පසු කරද්දි බසයේ මගීන් සිටියේ නිදිකිරා වැටෙමිනි. සමහරු තද නින්දට වැටී සිටියහ.

“අමාරුද?”

මා ඇගෙන් විමසුවේ පාළුව යන්නටත් එක්ක ඇය හා කතා කිරිමේ ආශාවෙනි. ජනේලයෙන් ඇතුළට එන ශීතල සුළඟට ඇඟේ හිරිගඩු ද පිපී ඇත. ගතට මෙන්ම සිතට දැනෙන්නේ ද අමුතුම සුවයකි. ඇය ගල්වා සිටි සුවඳ විලවුන් ඒ සතුට දෙගුණ තෙගුණ කරවයි.

“අයියා යන්නෙත් නුවරට ද?”

“නැහැ පේරාදෙණියට”

“එහෙද ගෙවල්”

“නැහැ අපේ ගෙවල් කොළඹ... මම යාළුවෙකුගේ මළගෙදර යමින් ගමන්...”

අපේ කතාව ඇරැඹුණේ එලෙසිනි. ටික දුරක් යද්දී ඇය ද නිදි කිරා වැටෙන්නට වූවාය. ඇගේ හිස මා උරහිසට නැමුණේ ඇයට ද නොදැනුවත්වමය.

“සොරි”

බසය ගැස්සෙද්දී වරින්වර තිගැස්සුණු ඇය මට

කිහිපවරක්ම එසේ කීවාය.

“කමක් නැහැ... නිදාගන්න....”

ඇය ඉන්නේ තද නින්දක අවශ්‍යතාවයෙන් බව මට වැටහුණි.

කෑගල්ල පසු කරද්දී ඇය මා තුරුලට තවත් සමීප වී සිටියාය. ඇගේ මුහුණ මා උරහිස මතය. මට දැනුණේ ද සතුටකි. ඇය අවදිකොට ඈ හා කතා කිරීමට මගේ යටි සිත කියයි. එහෙත් ඈ ඒ එනවිට තද නින්දේය.

“ශීතලයි නේද...?”

එකවරම අවදි වුණු ඇය මා දෙස බලා කියන්නට වූවාය.

“ඇයි ජනේලය වහන්නද....?”

“එපා....එපා...”

පිටතින් හමා එන සිසිල් සුළඟ මා සිත කොහෙදෝ රැගෙන යනු දැනේ. ඇයටත් එසේම සිතෙනු ඇතැයි මම සිතුවෙමි. ටිකෙන් ටික මා ඇගේ ග්‍රහණයට හසු වී තිබිණි. කිසිත් නොදත්තෙකු සේ මම ද ඇයගේ සිරුරට තද වී සිටීමි.

කෑගල්ලේ හෝටලයක් අසළ බසය නතර විය. බසයෙන් බැසගත් මගීන් එකා දෙන්නා කඩයට රිංගන්නට වූහ.

“ඔයාටත් බොන්න මොනවහරි ගේන්නද?”

“එපා”

“කෝපි එකක්”

“එපා”

ඒ වන විට අපි බොහෝ කුළුපග වී සිටියෙමු.

“ඔයා මේ රෑ කොහේද යන්නේ?”

“ ගෙදර”

“මේ රෑ”

“ඔව් දැන් තමයි වැඩ ඇරුණේ”

“ඉතින් හදිස්සියේම....”

“මගේ පුතාගේ උපන් දිනේ හෙට... ඒකයි තකහනියක් මේ දුවන්නේ...”

එසේ නම් ඇය විවාහක යුවතියකි. බැලූ බැල්මට ඒ බවක් ඇගෙන් දිස් නොවේ. මම ඇය දෙස බලා උන්නෙමි.

“ඇයි මොකද....?”

“මම හිතුවෙ ඔයා...”

“කසාද බැඳලා නෑ කියලා නේද....?”

“ඔව්”

“මොකටද බොරු කියන්නේ”

“එකත් ඇත්ත”

“එතකොට කෝ මහත්තයා....?”

ඇය මා දෙස බලමින් සුසුමක් පිට කළාය. යළි හිස බිමට නැඹුරු කරගත්තාය.

“අනිවාර්යෙන්ම මිනිහා දාලා ගිහින් ඇති..”

මම සිතුවෙමි. ගතවූයේ මොහොතකි. බිමට නැඹුරු වී තිබුණු ඇගේ හිස යළි මා දෙසට හැරිණි.

“එයා නැහැ අයියේ...”

“ඇයි මැරිලද....”

“අපෝ නැහැ...”

“එහෙනම්”

“එයා වෙන කෙනෙක් එක්ක ඉන්නේ”

“ආ.... ඇත්තද...?”

“මම ඒවා මතක් කරලා ඔයගෙ හිත රිදවන්න හිතුවේ නැහැ.”

“නැහැ ඒකට කමක් නැහැ. දැන් මගේ හිත හයියයි. මගේ හිත රිදෙන්නෙ නැහැ.”

බසය යළිත් ගමන් ඇරැඹිය. අපි බොහෝ දුරක් නිශ්ශබ්දව ගමන් කළෙමු. මොහොතක නිහඬතාව අකාමකා දමමින් මම ඇය හා යළි කතාවට වැටුණෙමි.

“ඔය බෑග් එකේ මොනවද?”

ඇය අත තිබූ බෑගය පෙන්වමින් මම ඇගෙන් විමසුවේය.

“ඇපල්. පුතා රතු පාට ඇපල්වලට හරිම ආසයි.”

“පුතා ලොකුද?”

“නැහැ. තවම අවුරුදු තුනයි.”

ඉන්පසු ඇගේ ජීවිත කතාවේ බොහෝ දේ ඇය මට කීවාය.

“ඔහොම තමයි ජීවිතේ හැටි... ලබා උපන් හැටියට කියනවනේ හැම දෙයක්ම වෙන්නේ.”

“ඔව් අයියේ... මම දැන් පහුගිය දේවල් ඔක්කොම අමතක කරලා හිත හදාගෙන ඉන්නේ.”

“ඉතින් ඔයාලා නීතියෙන් වෙන් වෙලා නැද්ද...?”

“නැහැ. උසාවි ගානෙ යන්න මට සල්ලි නැහැ. අනික දැන් එයා වෙන ගෑනියෙක් එක්කනේ ඉන්නෙ. මම දැන් ඒවා හොයන්න යන්නෙ නැහැ. දුක් මහන්සියෙන් හම්බකරලා දරුවා කොහොමහරි හොඳ මිනිහෙක් කරනවා. මට ඕන එච්චරයි.”

ඇය කියන්නේ දැඩි අධිෂ්ඨානයකිනි. ඇගේ සිත තුළ කිසියම් එඩිතර බවක් ඇතැයි මට සිතුණි. ඇය දරුවාට පණ මෙන් ආදරය කරන බව මට හැඟිණි.

“ඔයා කොහේද වැඩ කරන්නේ?”

“කොළඹ”

ඇය කෙටියෙන් පිළිතුරු දුන්නේ එතරම් ගණනකට ගෙන නොවේ.

“කොළඹ කොහේද?”

ඊට ඇය පිළිතුරු නොදී මදෙස බැලුවාය.

“ඇයි වැඩ කරන තැන කියන්න බයද?”

“නැහැ. එහෙම එකක් නැහැ.”

“එහෙනම් කොහේද?”

“කැරෝකෙ එකක”

“ආ... ඇත්තද....?”

“ඇයි ඔයත් ගිහින් තියෙනවද?”

“නැහැ... නැහැ... මගේ යාළුාවෝ යනවා.”

මම බොරුවක් ඇද බෑවෙමි.

“ගෙදර අය ඕවා දන්නවාද?”

“අපෝ නැහැ. අප්පච්චියි අම්මයි ඕවා දන්නවා නම් මාව එලවලා දායි”

“එයාලට මොනවා කරනවා කියල ද තියෙන්නේ?”

“ගාමන්ට් එකක වැඩ කියලා... මගේ රස්සාව එයාලා දන්නවනම් මාව මරයි.”

“ඇයි ඒ...?”

“මම එක පාරක් මගේ මිනිහා නිසා අමාරුවේ වැටුණා. ඒත් අම්මලා මාවයි දරුවවයි බාර ගත්තා.”

කතාවෙන් කතාවෙන් බසය පේරාදෙණියට ළඟා විය.

“ඔයා බහින්න ළඟයි නේද?”

“මට බහින්න හිතෙන්නෙ නෑ.”

මම ඇගේ ඇස් දිහා බලා පැවසුවෙමි.

“එහෙනම් ඔයා එන්න අපේ ගෙදර යන්න”

“ඔයාලගෙ ගෙදර?”

“එතකොට මළ ගෙදර?”

“ඒකට හවසට යන්න පුළුවන්නේ.... ඕනනම් මාත් එන්නම්.

මම මඳක් නිහඬව සිටියෙමි.

“එහෙනම් නුවරටම යමු නේද?”

ඇය එකවරම කීවාය.

මම හිස සොලවා එය අනුමත කළෙමි.

මහනුවර බස් නැවතුමෙන් බැසගත් අපි ඉදිරියට ඇදුණෙමු.

පලතුරු කඩපේලිය අසල දී මම ඇය නවතා කඩයක් තුලට රිංගා ගත්තෙමි. මොහොතකින් එළියට පැමිණි මම අත තිබූ පොලිතින් බෑගය ඇයට දිගු කළෙමි.

“මොනවද...?”

“රතු ඇපල්.... ඔයාටයි පුතාටයි”

ඇය මා තුරුලු කරගත්තේ දැඩි සතුටකිනි.