ෆේස් බුක් එකෙන් මතු වූ හොර දොස්තරවරිය

ෆේස් බුක් එකෙන් මතු වූ හොර දොස්තරවරිය

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින් මුහුණුපොත හරහා දුම්මලසුරිය ප්‍රදේශයේ තරුණයකු හා පේ‍්‍රම සම්බන්ධතාවයක් ගොඩනගා ගත් තරුණියකු පසුගියදා දුම්මලසුරිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඊට හේතුව වුණේ මැය හොර වෛද්‍යවරයකු වීමයි.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඇයව අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ ඇය සමඟ විවාහ වීමට සිටි තරුණයා පොලිසියට දුන් උදව් නිසයි.

ඇය සමඟ පේ‍්‍රම සබඳතාවයක් ඇරැඹු ඒ තරුණයා මේ ගැන කියන්නේ පුදුමාකාර කතාවක්

“මුලින්ම මට එයාගෙන් ලැබුනේ .. හායි .... කියලා මෙසේජ් එකක් .. ඊට පස්සේ කොහොමද කියල ඇහුවා. මම හොදයි කිව්වා. ඊට පස්සේ එයා කිව්වා එයා දොස්තර කෙනෙක් කියල ඒක හින්ද මම එයාට කිව්වේ මිස් කියල . මම මගේ ඔක්කොම විස්තර එයාට කිව්වා .දින, එකෙන් දෙකෙන් අපි ගොඩක් හිතවත් වුණා ...”

කුලියාපිටිය දුම්මලසුරිය ප්‍රදේශයේ ජිවත් වන විසි හත් හැවිරිදි එක් දරු පියෙකු වන අමිත් විජේසිංහ මේ බව කිව්වේ දුම්මලසුරිය පොලිසියේදී. බිරිඳ මියගිය අමිත් නිතරම මුහුණු පොතේ සැරිසැරුවෙක්.පසුගිය මාර්තු මාසයේ දිනයක එම් .ඕ. කෞශල්‍යා නමැති මුහුණු පොතේ ගිණුමකින් අමිත්ට ලැබෙන්නේ ආරාධනාවක් .මේ ආරාධනාව පිළිගත්ත අමිත් ට මේ ගිණුමේ හිමිකාරියගෙන් ලැබෙන්නේ “හායි “ කියන වචනය පමණයි. ඒ ඔස්සේ දින කීහිපයක් මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන අමිත් සිංහලඅවුරුද්දට පෙර දින ඇගෙන් අවුරුද්ද ගත කරන හැටි විමසුවා ..

“මට නම් ඉතින් අවුරුදු නැහැ. මගේ අම්මයි, තාත්තයි දෙන්නම නැහැනේ. මම ඉතින් බෝඩිමට වෙලා ඉන්නවා. මොනවා කරන්නද ..” ඇය අමිත්ට එහෙම කිව්වා.”

“අයියෝ .. එහෙනම් අපේ ගෙදරවත් එන්න ඇවිල්ල දවල්ට කාලා යන්න පුළුවන්නේ.”

අමිත් ඇයට එළෙස ආරාධනා කළා.

“මට දැන්ම කියන්න බැහැ ..මම දැන් හදිසි සර්ජරියකට යන්න ඕනෑ පස්සේ කියන්නම්කො.” ඇය ඊට පිළිතුරු දුන්නා.

එතැන් පටන් අමිත් පොලිස් නිලධාරින් ඉදිරියේ ඇගේ විස්තරය මෙසේ කියන්නට වුණා.

“මම හිතුව ගෙදර එන්න අකමැති නිසා එයා එහෙම කියන්න ඇති කියලා. එයා මොකද දොස්තර කෙනෙක්නෙ. පැයක් විතර ගියා. මෙන්න මෙයා මට කියනවා “මම ඔයාලගේ ගෙදර එන්න බස් එකට නැග්ග කියලා.” මට දෙවියෝ සිහි වුණා . මම කොහොමද අම්මලට මේ ගැන කියන්නේ. නමුත් මම එඩිතර වුනා. මම කිව්වා මාදම්පෙන් බහින්න, මම එක්කන් යන්න එන්නම් කියලා. එතකොට වේලාව තුනට විතර ඇති. මම මුලින්ම අම්මට කිව්වා මේ ගැන. හැබැයි ගැනු කෙනෙක් කියලා කිව්වේ නැහැ. තාත්තට කිව්වා ගැහැනු දොස්තර කෙනෙක් කියලා. දොස්තර කෙනෙක් කිව්වම තාත්තා පුදුම උනා. මම මාදම්පේට ගිහින් දොස්තර නෝනව එක්ක ගෙන ආවා. මට හරිම සතුටුයි. අපි එදාම රාති‍්‍රයේ අඹු සැමියන් විදිහට හිටියා. මාව බඳින්නත් මේ දොස්තර නෝනා කැමති වුණා. පහුවදා අපේ අම්මා මේ දොස්තර නෝනාගෙන් විවිධ දේ ඇහුවා. එයා හැම එකටම උත්තර දුන්නා. ඒ උනත් අපේ අම්මට එයා ගැන සැකයි, දොස්තර කෙනෙක් ඇයි මේ විදිහට ආවේ කියලා .”

“සිංහල අවුරුදු ඉවර වුනා. දින එක දෙක ගෙවිලා ගියා. ඔය අතරේ තමයි මම ආයේ වැඩට යන්න පටන් ගත්තේ. එතකොට දොස්තර නෝනා ගෙදර තනි වුනා. මේ වෙලෙවේදී තමයි අපේ අම්මගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ ගැටුම ඇති වුනේ.”

එතැන් පටන් සිද්ධිය විස්තර කළ අමිත්ගේ මවයි. ඇය මෙසේ කියන්නට වුණා.

“මට හොදටම සැකයි මේ ගෑනී ගැන ..මම අහන දේට නෙමෙයි උත්තර දුන්නේ. අනික දොස්තර කෙනෙක් අපේ වගේ පැලකට ඇවිල්ල ඉඳියිද. බැලු බැල්මට වයස පනහක් වගේ පෙණුනා. නමුත් අපිට දුන්න හැදුනුම්පතේ තිබුනේ උපන් දිනය අසු හතරේ කියලා. ඒකේ තමයි විශේෂඥ ‍වෛද්‍යවරයා කියලා තිබුනේ. හැදුනුම්පතේ තියන නිසා අපිට කිසි දෙයක් කරන්න පුළුවන් වුනේ නැහැ .මේවා අහන නිසා ගැනී අපිත් එක්ක රණ්ඩුත් කර ගත්තා. පස්සේ බැරිම තැන තමයි මේ ගැන ග්‍රාමසේවකට කිව්වේ එයත් ඇවිල්ලා ප්‍රශ්ණ කළා. නමුත් ඒ සියල්ලට මේ ගෑනි ලඟ උත්තර තිබුනා . අපි පොලිසියේ මේ ගැන පැමිනිල්ලකුත් කළා. පොලිසිය දෙන්නම ගෙනල්ලා ප්‍රශ්න කලා. විවාහ වෙන්න ඉන්නේ කිව්වම දෙන්නගෙම කැමැත්ත නිසා යන්න ඇරියා. මේ අතරේ මේ ගැනී අපෙන් රුපියල් පනහ සියය පවා ඉල්ලා ගත්තා. පුතාගෙනුත් සල්ලි අරගෙන තිබුණා. උදේ යන ගැනී සවස එනවා. කොළඹ ජාතික රෝහලේ වැඩ කරනවා නම් කොහොමද මෙහෙම එන්නේ යන්නේ කියල තමයි අපේ ඊලග ගැටලුව වුනේ. මේ ගැන ඇහුවම කිව්වා මේ දවස් වල වැඩට යන්නේ නැහැ කියලා. එතකොට අපි ඇහුව දොස්තර කෙනෙක් නම් පඩි හම්බ වෙනවනේ අපේ සල්ලි මොකටද කියලා. පඩි දහවෙනිදා හම්බවෙන්නේ රුපියල් දෙලක්ෂ තිස්පන්දහසක් හම්බ වෙනවා කිව්වා.“

“අපි හැම තිස්සෙම මේ විදිහට ප්‍රශ්න කරන නිසා මේ ගැනී ඊට පස්සේ බැලුවේ පුතාව මේ ගෙදරින් අරන් යන්න. මට ඇහුණා පුතාගෙන් අවස්ථා කීපයකදීම ඒ ගැන අහනවා. මේ අතරේ පුතා වැඩකට ගිය දවසක අපි මේ ගෑනීගේ ඇදුම් බැග් එක එළියට දාලා 119 වලට කතා කරලා ගෙදරට පොලිසිය ගෙන්නුවා. පොලිසිය ආවාම කිව්වා එයාව අපි එලියට දැම්ම කියලා. මේ විදිහට අපිට ඉන්න බැරිම තත්ත්වයක් ආවා. මේ අතරේ තමයි මම දුම්මලසුරිය පොලිසියේ ලොකු මහත්තයා හමුවෙලා අපේ දුක් ගැනවිල්ල කිව්වේ. අපේ සැකය ගැනත් කිව්වා. සාවධානව අපේ දුක් ගැනවිල්ලට ඇහුම්කන් දුන්නු ලොකු මහත්තාය දෙන්නටම පොලිසියට එන්න කීවා.”

දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම් ජයවීර මේ අපුබංශ කතාව ගැන විස්තරයක් කළේ මෙහෙමයි.

“මේ පැමිණිල්ල ආව ගමන් මටත් සැකයක් ආවා. මම දෙන්නටම එන්න කිව්වේ ඒකයි.මම මේ කාන්තාවගෙන් ප්‍රශ්න කළේ එයාව අපි සැක කරනවා කියලයි නොසිතෙන විදිහට. මට ඕනෑ වුණේ මේ හැඳුනුම්පතේ තියෙන්නේ ඇත්ත දැයි දැනගන්නයි. මම ඊට පස්සේ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට මේ කාන්තාව යොමුකළා. සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට ගිහින් ලියකියවිලි අරගෙන එනවා කියලා මෙයා හීන් සැරේ මාරු වුණා. එතැන් සිට මගේ සැකය තහවුරු උනා. මම ඉතා සුක්ෂමව මේ කාන්තාව නැවත දුම්මලසුරිය ප්‍රදේශයට ගෙන්වා ගැනීමට සැලසුමක් සකස් කළා. මේ සඳහා මට අමිත් සහය දුන්නා. මගේ උපදෙස් පරිදි අමිත් මේ කාන්තාව දුම්මල්සුරිය වතුවත්ත ප්‍රදේශයට ගෙන්නවා ගත්තා.

අපි සිවිල් ඇදුමෙන් ගිහින් මේ කාන්තාව අත්අඩංගුවට ගත්තා. පරික්ෂා කිරීමේදී තමයි ජාතික හැදුනුම් පත් දෙකක් තියෙනවා කියලා හෙළිවුණා. වේද නලාවකුත් තිබුණා දොස්තරලාට අයිති ලියකියවිලි කිහිපයකුත් තිබුණා. කාන්තාව පැමිණි ත්‍රිරෝද රථයත් එකේ සිටිය දෙදෙනාත් පොලිස් භාරයට ගත්තා.” ස්ථානාධිපතිවරයා කිව්වා මුහුණුපොතෙන් ඇරැඹි ඒ ආදර අන්දරය අන්තිමට නිමා වූණේ හිරගෙදරින්.

එකම ආකාරයේ හැඳුනුම්පත් දෙකක් සදා ගත් ආකාරය පිළිබඳව හා විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් තවත් අපරාධ සිදු කළේද යන්න පිළිබඳව මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඇය කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපති ආර්. එම. ජයවීර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් සරත්චන්ද්‍ර (5326 ) පොලිස් කොස්තාපල් කරුණාරත්න (32098 )කාන්තා පොලිස් කොස්තාපල් සජිවා පිරිස මේ පිළිබඳ විමර්ශන සිදුකළහ.