ඩර්නිගේ සිරුර හිමෙන් වැසුණු ගැඹුරු කුහරයක දාලා

ඩර්නිගේ සිරුර හිමෙන් වැසුණු ගැඹුරු කුහරයක දාලා

2003 නොවැම්බර් 22 වැනිදා වේලාව පස්වරු 04යි. ඩර්නි, සාප්පු සංකීර්ණයෙන් එළියට ආවෙ ඉක්මනට කාමරයට ගිහින් ටිකක් වෙලා හාන්සිවෙලා ඉඳලා රාත්‍රී වැඩට යන්න ඕන නිසයි. ඒ යන අතරමඟ ඇය ටිකක් නතර වුණා. ඒ පර්ස් එකක් මිලදී ගන්න ඕනෑ නිසයි. පර්ස් එක ගත්ත ඩර්නි ඉක්මන් ගමනින් පිය නැගුවෙ ඇගේ රතුපාට පුංචි කාර් එක ළඟට.

ඒ අතරමඟදී ඇයට ඇමතුමක් ආවා. ඒ ක්‍රිස්ගෙන්. ක්‍රිස් ඇගේ පෙම්වතා.

“හලෝ ඩාළිං”

“මං කාමරයට යන ගමන්”..

එතැනින් එහාට ඇය කියන දේ ක්‍රිස්ට ඇහුණෙ නෑ. ඒත් ඔහු දිගටම දුරකථනයට සවන් දීගෙන හිටියා.

“නෑ... නෑ...එපා.... මයි ගෝඩ්” ක්‍රිස් ට ඇහුණෙ ඒ වචන ටික විතරයි. ක්‍රිස්ට මේ දේ ප්‍රහේළිකාවක්. ඔහු කල්පනා කරමින් මේ ගැන යාළුවෙක්ටත් කිව්වා. නැවත රාත්‍රී 7.45ට විතර ක්‍රිස්ගේ දුරකථනය නාද වුණා. නැවත ඩර්නිගෙන් කෝල් එකක්. ඒත් කටහඬ ඇහෙන්නේ නෑ. මිනිත්තුවකින් ඇමතුම විසන්ධි වුණා.

කි‍්‍රස්ට දැන් බයයි. ඔහු ඩර්නිගේ මිතුරිය මෙග්ට කතා කර ඩර්නි ගැන ඇහුවා. එතකොටයි ඔවුන් දැනගත්තේ ඩර්නි රාත්‍රී සේවා මුරයට ඇවිත් නැහැ කියලා.

ඩර්නි සෝඩ්න් ඇමෙරිකාවේ උතුරු ඩැකෝටා සරසවි සිසුවියක්. හවස සාප්පු සංකීර්ණයක වැඩ කරන ඇය රාත්‍රී සමාජ ශාලාවක වේටර්වරියක ලෙසත් සේවය කළේ කරන්නේ තවත් කීයක් හෝ සොයාගන්නයි. ඩර්නි කවදාවත් දැනුම් දෙන්නේ නැතිව රාත්‍රි වැඩට එන්නේ නැතිව ඉන්නේ නෑ. ඒත් එදා ඩර්නි ආවෙ නෑ. මෙග්ට මේ ගැන බයයි. සැකයි. ඇය වහාම පොලිසියට මේ ගැන දැනුම් දුන්නා.

පසුවදාට එළිවුණා. පොලිසිය ඩර්නි ගැන හොයන්න පටන් ගත්තා. පොලිසිය ඩර්නිගේ මෝටර් රථය සාප්පු සංකීර්ණයක් ළඟ තිබී හොයාගත්තා. ඇගේ සාක්කු දින පොතත් අලුතෙන් ගත් පර්ස් එකත් මෝටර් රියේ තිබුණත් රියේ යතුරු හා දුරකථනය හොයා ගන්න ලැබුණේ නැහැ. රිය පරීක්ෂා කරද්දී පොලිසියට තවත් දෙයක් හමුවුණා. ඒ පිහියක කොපුවක්, හැබැයි ඒක වැටිලා තිබුණේ රියැදුරු අසුනට අනිත් පැත්තේ දොර ළඟ එලියේ . ඒ දොර ලොක්කරලා තිබුණෙත් නැහැ.

පොලිසිය මීළඟට කළේ සාප්පු සංකීර්ණයේ රථගාලේ සවිකර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමයි.

ඩර්නිට අනතුරක් වේය යන බියෙන් ඇගේ දෙමවුපියෝ මාධ්‍ය හරහා මහජනතාවගෙන් ඇය ගැන තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලීමක් කළා. ඒ සමඟම ඩොලර් 20,000ක මුදල් ත්‍යාගයක් දෙන බව ද පැවසුවා. කාරුණික අයෙක් ඊට අමතරව තවත් ඩොලර් 2000ක් පිරිනමන්නත් ඉදිරිපත් වුණා.

ඩර්නි පදිංචි ව හිටියෙ මිනසෝටාවෙ ග්‍රෑන්ඩ් ෆෝක්ස් ප්‍රදේශයේ යි. වයය අවුරුදු 22 යි. හරිම ලස්සනයි. ඇය අතුරුදහන්ව ඇති පුවත මාධ්‍ය මඟින් ඇගේ දැනගත් වහාම පළාතේ අය වැල නොකැඩී ඇය සෙවීමට එකුත වුණා. ඇය ගැන සඳහන් දැන්වීම් පුවරු, බැනර් සහ සේයාරූ හැමතැනම ප්‍රදර්ශනය කළා.

“ඩර්නි ගෙදර එන්න” ඇගේ දෙමවුපියෝ මෙලෙස සඳහන් පත්‍රිකා හැමතැනම බෙදා හැරියා.

ඩර්නිගේ පෙම්වතාට ඇගෙන් අන්තිම දුරකථනය ලැබුණේ කුමන ප්‍රදේශයක සිටියදී ද යන්න පොලිසිය සොයා ගත්තා. ඒ ෆිෂර් සහ කෲක්ටත් ප්‍රදේශයේ දී යි. ඒ සියලු පළාත ආවරණය වන ලෙස පොලිසිය සැතපුම් ගණනක ප්‍රදේශයක පුරා ඩර්නිව සෙව්වා. අන්තිමේදී පොලිස් සුනඛයන් හා හෙලිකොප්ටර් ද යෙදව්වා. ඒත් ඇය ගැන කිසිම තොරතුරක් නැහැ.

ඩර්නි පැහැර ගැනීමකට ලක්ව ඇති බැවින් ඒ ලිංගික අපහරණය සඳහා විය හැකි බවටත් පොලිසියට සැක සිතුණත් පොලිසිය ඒ ගැන මාධ්‍යයට හෙළි කරන්න ඉක්මන් වුණේ නැහැ. මේ අතර වාරයේ පොලිසියට ඩර්නිගේ රථය අවසන්වරට නතර කර තිබු සාප්පු සංකීර්ණයේ තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ වීඩියෝ පටිය පරීක්ෂා කරන්න ලැබුණා.

මේ වීඩියෝ පටයට අනුව ඔවුන්ට එක්තරා පුද්ගලයෙක් ගැන හෝඩුවාවක් ලැබුණා.

ඔහු අල්ෆොන්සෝ නමැති කාම අපරාධකරුවෙක්. වයස අවුරුදු 55 යි. ඩර්නි අතුරුදන් වූ දිනයේ ඒ වෙලාවේ අල්ෆොන්සේකා සාප්පු සංකීර්ණයේ සිටි බව කැමරා පද්ධතියේ වීඩියෝ පටයෙන් හෙළි වුණා. මේ මත පදනම් ව පොලිසිය අල්ෆොන්සෝ අත්අඩංගුවට ගත්තා.

දරුණු අපරාධ ඉතිහාසයක් ඇති මේ පුද්ගලයා පොලිසියට අමුත්තකු නොවේ. කාන්තාවන් ලිංගික අපහරණයට පත් කිරීමේ සිද්ධි කීපයක්ම ඔහුට එරෙහිව තිබුණා. මොහු ඩර්නි අතුරුදන්වීමට මාස 08කට පෙර එවැනි චෝදනා ගණනකට වරදකරු වී වසර කීපයක් මිනසෝටා හිරගෙදර කල්ගත කර නිදහස්ව පැමිණි අයෙකි.

කාන්තාවන් ළඟට කිට්ටු වී ගෙලට පිහියක් තබා මරණ බවට තර්ජනය කර ඔවුන් ලිංගික අපහරණයට ලක් කළ අවස්ථා කීපයක් සම්බන්ධයෙන් අල්ෆොන්සෝ සිර දඬුවම් ලබා තිබුණා. අවසන්වතාවට ඔහු සිරගත වුණේ 68 හැවිරිදි කාන්තාවකට අතවර කිරීමට තැත්කර ඇයට පිහියෙන් ඇන තුවාල සිදුකරද්දී. ඒ කාන්තාව ඔහුගෙන් බේරී පලාගොස් ඔහුගේ හැඩරුව පොලිසියට දැන්වීමෙන් පසු ඔහු කොටුකර ගැනීමට පොලිසියට හැකිවුුණා. එලෙස අවුරුදු 23ක් හිරේ සිට පැමිණ ඔහු නිදහස් වුණේ ඩර්නි අතුරුදන් වීමට හයමසයකට පෙරයි.

අතුරුදන් වූ තරුණීය ගැන තොරතුරක් නැතත් පොලිසිය අල්ෆොන්සෝට විරුද්ධව ඕනෑතරම් සාක්කි සොයා ගත්තා. ඉන් බොහොමයක් සාක්කි ලැබුණේ අල්ෆොන්සෝගේ මෝටර් රථයෙනුයි. එහි වූ රුධිර සාම්පල සහ පිහියක් ඉන් විශේෂයි. එම රුධිරය ඩර්නිගේ බවට ඩී.එන්.ඒ. පරීක්ෂණ මඟින් තහවුරු වුණා. ඩර්නිගේ රිය අසල තිබී සොයාගත් පිහියා කොපුවේ පිහිය ඔහුගේ බවද සොයා ගත්තා.

ලැබුණු තොරතුරු අනුව පොලිසිය නිගමය කළේ ඩර්නි තවදුරටත් ජීවතුන් අතර සිටිය නොහැකි බවයි. පොලිසිය මේ ගැන ඩර්නිගේ මව්පියන්ට දැනුම් දුන්නත් ඩර්නි ජීවතුන් අතර නැතැයි පිළිගැනීමට ඔවුන් පසුබට වුණා.

අත්අඩංගුවේ පසුවන අල්ෆොන්සෝ මේ අතර පැවසුවේ ඩර්නිගේ අතුරුදහන් වීමට තමාගේ සම්බන්ධයක් නොමැති බවයි. එසේම ඔහු නීති නිලධාරීන් හා කතා කිරීමත් ඩර්නි සිටිනා තැනක් ගැන තොරතුරු පැවසීමත් ප්‍රතික්ෂේප කළා. මේ අතරතුරදී මූලික නඩු විභාගයේදී ඩොලර් මිලියන 5ක ඇපයකට ඔහු නිදහස් කිරීමට අධිකරණය තීරණය කළත් මහජනයාගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා ඔහුගේ ආරක්ෂාව ගැන සලකා අල්ෆොන්සෝ අත්අඩංගුවේ ම තබා ගැනීමට අධිකරණය නියෝග කළා.

මේ වෙනකොට පොලිසිය ඩර්නි සොයා මිනසෝටාවේ ග්‍රාන්ඩ් ෆෝල්ක් ප්‍රදේශයේ වර්ග සැතපුම් 30ක ප්‍රමාණයක් පීරා තිබුණා. ඇය සොයන්න එක් වූ අය සිතා සිටියේ ශීත කාලය එළඹීමට පෙර ඇය සොයා ගත හැකිවනු බවයි. අවසානයේ ශෝකජනක අවසානයකට ළඟා වුණා. ඒ බටහිර කෲක්සටන් ප්‍රදේශයේ තිබී ඩර්නිගේ නරක් වූ සිරුර සොයා ගැනීම සමඟයි. බ්ලැන්කේට්ටුවකින් ඔතා තිබු ඇගේ සිරුර හිමෙන් වැසුණු ගැඹුරු කුහරයක් තුළ වළ දමා තිබී පොලිසිය සොයා ගත්තා. මේත් සමඟ ඩර්නිගේ පවුලේ අය මෙතෙක් දරා ගෙන සිටි සියලු වේදනා දෝරෙ ගලා ගියා. ඔවුන් හඬා වැළපුණා. ඩර්නිගේ පෙම්වතා ක්‍රිස් ද ඔවුන් හා එක්ව වැළපුණේ අවසන් වරට ඇය ඔහු හා කතා කළ අන්දම කියමින්. එදාම ඔවුන් ඇගේ අවමඟුල් උත්සවය පැවැත්වුවා. ඉන්පසු සුදු පැහැති පරෙවියෙක් අහසට මුදා හළ ලින්ඩා සිහිසුන්ව ඇද වැටුණා. අල්ෆොන්සෝට විරුද්ධ මුලික නඩු විභාගය ඇරැඹුණේ ඉන් පසුවය. නීතිය නඩු විභාගය ද අධිකරණය පිරී ඉතිරී ගියේ වෙනත් නඩුවලට නොසිටි තරම් සෙනඟ කන්දරාවක් නිසායි. නඩු විභාගයෙන් පසු ජුරියේ තීරණය අනුව අල්ෆොන්සෝට මරණ දඬුවම දීමට අධිකරණය තීරණය කළා.

එසේ වුවද නඩුව ඇසු උතුරු ඩැකෝටා ප්‍රාන්තයේ මරණ දඬුවම අහෝසි කර තිබුණා.

යම්කිසි ලෙසකින් අල්ෆොන්සෝගේ දඬුවම ක්‍රියාත්මක වුවහොත් එය ඒ ප්‍රාන්තයේ වසර සියගණනකට පසු ක්‍රියාත්මක වන ප්‍රථම දඬුවම වෙනවා.

අල්ෆෝන්සෝ වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් මේ නඩුවේ විද්‍යාත්මක සාක්ෂි තහවුරු කළ වෛද්‍ය පර්යේෂකයන්ගේ වැරැදි නිගමන සොයමින් ඔහු බේරා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටිනවා. එසේ වුවත්, පැමිණිල්ලේ නීතිඥවරුන් කියන්නේ,

මෙවැනි කාම අපරාධකරුවන් නිදැල්ලේ තැබීම සමාජයට කරන හානියක් බවයි.

කෙසේ වෙතත් අල්ෆොන්සෝ වැනි නම ගිය ලිංගික අපරාධකරුවන් ගේ නාම ලේඛනයක් ජාතික අන්තර් ජාල දත්ත ගබඩාවේ ඇතුළත් කරන ලෙසට නීතියක් ඩර්නිගේ මරණයෙන් පසු අමෙරිකාවේ නීතිගත වුණා. ලිංගික අපරාධකරුවන් පිළිබඳ වත්මන් තොරතුරු අදාළ දත්ත ගබඩාවට ඇතුළත් කර ජනතාවට දැන ගැනීම සඳහා යාවත්කාලීන නොකරන නිලධාරීන්ට විරුද්ධව ද මේ නීතිය යටතේ දඬුවම් ලැබෙනවා. ඒ නීතිය නම් කර ඇත්තේ ද මේ අහිංසක කෙල්ලගේ නමිනුයි.