“විනිවිද භාවයෙන් රාජකාරි කිරීම පොලිස් නිලධාරියා සතු වගකීමක්”

“විනිවිද භාවයෙන් රාජකාරි කිරීම පොලිස් නිලධාරියා සතු වගකීමක්”

අපරාධ විමර්ශනය පිළිබඳ මනා දැනුමක් ඇති උපුල් කුමාර වත්මන් ඉමදුව පොලිස් ස්ථානාධිපතිවරයා ය. අහංගම හා හිනිදුම යන පොලිසිවල අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. රහස් පොලිසියේද රාජකාරියේ යෙදුණු ඔහු වසර 16ක සේවා කාලයක් ඇති පළපුරුදු නිලධාරියෙකි. 2016 වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ හොඳම පොලිස් ස්ථානධිපතිවරයා ලෙස ඔහු තෝරා ගනු ලබන්නේ තම රාජකාරිය මැනවින් ඉටු කළ නිසාය. අපි ඔහු සමඟ කළ කෙටි සාකච්ඡාවකි මේ.

එච්.වී.කේ.උපුල් කුමාර

ස්ථානාධිපති - ඉමදුව

* ඔබගේ වසම ගැන සඳහන් කළහොත්?

“ඉමදුව පොලිස් වසමට ග්‍රාම සේවා වසම් 29ක් අයත් වෙනවා. ප්‍රමාණය වර්ග කිලෝමීටර් හතළිස් එකහමාරක් විතර වෙනවා. ජනගහනය 28,454ක්. සිංහල ජනතාවට අමතරව වතු ආශි‍්‍රතව දෙමළ ජනතාව පදිංචිව ඉන්නවා. මුස්ලිම් ජාතිකයන් නැහැ. ප්‍රධාන කර්මාන්තය තේ වගාව. තේ කර්මාන්ත ශාලා පහක් මගේ වසමේ තියෙනවා. පැරැණි ඉමදුව නගරය වෙනුවෙට අලුත් නගරයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඇවිදින මං තීරු පවා එහි ඉදිවෙනවා. ඒවායේ වැඩ තවමත් නිමවෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා. අධිවේගී මාර්ගය නිසා අකුරැස්සට හා දෙනියායට යන එන වාහන පවා ඉමදුවෙන් පිටවෙලා මේ නගරය හරහා යනවා. ඒ නිසා නගරය ජනාකීර්ණ වෙලා. යක්කලමුල්ල, දික්කුඹුර හා බෝගහගොඩ ප්‍රදේශවල කුඩා පිරිස් සිය අවශ්‍යතාවයන් සපුරා ගන්න මෙහාට තමයි එන්නේ.”

* පොලිසියත් නවීකරණය වෙලා නේද?

“මේක තිබුණේ පොලිස් මුරපළක් විදිහට. 150 පොලිස් සංවත්සරයට අනුගාමිකව පොලිස්පතිතුමා මේ පොලිසිය විවෘත කළා. මේකත් තාවකාලික ස්ථානයක්. අලුත් නගර සැලැස්මේ අලුත් පොලිසියක් ඉදිවෙනවා. ඒකට පර්චස් 44ක් වෙන් කරලා තියෙනවා.”

* අපරාධ වාර්තාවීම කොහොමද?

“අපරාධ වාර්තා වීම් අඩුයි. මහ පරිමාණයේ අපරාධ ඇත්තේම නැහැ. බොහොම සාමාකාමි ජනතාවක් ඉන්නේ. හුඟාක් තියෙන්නේ රජයේ ඉඩම් බලපත්‍ර ක්‍රමයට දීපු ඒවා. මීට සතියකට උඩ දී වෙඩි තියලා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළා. ඒක පාතාල ක්‍රියාකාරකමක්. ඔවුනොවුන් අතර ඇති වූ අරගලයක් තමයි එම ඝාතනයට හේතු වෙලා තියෙන්නේ කියලා තොරතුරු තියෙනවා. ඒ හැරෙන්නට වෙනත් මනුෂ්‍ය ඝාතන වාර්තාවීම් නැහැ.”

* අපරාධ අඩුවීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තියෙනවද?

“ඇත්තෙන්ම ඔව්. අපරාධ විසඳීමට කලින් අපරාධ වැළැක්වීම තමයි කළ යුත්තේ. අපි නිරන්තරයෙන්ම වැටලීම් සිදු කරනවා. නීති විරෝධි මත්පැන් ප්‍රදේශයෙන් තුරන් කිරීම අපේ තවත් කටයුත්තක්. නීති විරෝධි මත්පැන් නිසා අපරාධයක් සිදු විය හැකියි. ඒ නිසා පවුල් ආරවුල් ඇතිවෙනවා. ඉමදුව ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය මහ පරිමාණයේ කසිප්පු ජාවාරමක් වැටලීමට අපට හැකිවුණා. එතැනදී ගෝඩා බැරල්17ක්, බෝතල් 200ක් , ගෑස් උඳුන් 06ක් ලිප් 04ක් වගේ හුඟක් දේවල් අල්ලගන්න පුළුවන් වුණා. ඒ සමඟම කසිප්පුත් අඩුවුණා.”

“ඉමදුව නගරයේ කුඩා ණය ලබාදෙන රාජ්‍ය නොවන සංවිධානයක් තිබුණා. ඒකේ ණය වාරික එකතු කරන්නේ තරුණියක්. කිසියම් පිරිසක් මේ තරුණිය ඉලක්ක කරගෙන ඇය සතු ලක්ෂ හතර හමාරක මුදලක් කොල්ල කෑවා. අපි විමර්ශනය කරලා අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. මේක සැළසුම් කරලා කරපු දෙයක්. මේකේ ප්‍රධාන සැකකරුත් මෙම ණය දෙන සමාගමෙන් ණයක් ගත්ත කෙනක්.”

“ඒ වගේම මෙරට නිෂ්පාදිත මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝලයක් අත්අඩංගුවට ගැනීමට අපට හැකි වුණා. පිස්තෝලය ළඟ තබාගෙන සිටියේ වයස අවුරුදු 18ක තරුණයෙක්. ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදී අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශවල අපරාධ රැසක සුලමුල සොයාගත හැකිවුණා.”

“ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අතරට ගිය අමුතුම ජාතියේ මත්ද්‍රව්‍යක් සොයාගැනීමට අපිට හැකිවුණා. ඒ නිසා එම මත්ද්‍රව්‍ය වර්ගය ව්‍යාප්ත වන්නට කලියෙන් ඊට අදාල පුද්ගලයන් කොටුකර ගැනීමට අපට හැකිවුණා”

“ඔන්න ඔය වගේ සිද්ධීන් නිසා ප්‍රදේශයේ අපරාධ වාර්තා වීම අඩුවුණා. අපරාධ අඩුයි කියලා අපි නිකම් ඉන්නේ නැහැ. නිලධාරින් පාරට බැහැලා තොරතුරු සොයාගෙන නිරන්තරයෙන් වැටලීම් වල යෙදෙනවා. පොලිස් නිලධාරියා පාරේ ඉන්නකොට අපරාධකරු අපරාධයක් කරන්නට පෙළඹෙනවා අඩුයි. ”

“අපරාධ අඩුවීමට තවත් එක් හේතුවක් තමයි ප්‍රජා පොලිස් සංකල්පය. ඒක පොලිස්පතිතුමාගේ දුරදර්ශි ක්‍රියාවක්. ඒ නිසා අපට මහජනයා සමීපයට යන්න වෙනවා. ඒ නිසා ඔවුන් පොලිසියත් සමඟ සුහද වෙනවා. ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කරනවා නම් ඔවුන් අපට සහය දෙනවා, තොරතුරු දෙනවා. කිසියම් පුද්ගලයෙක් කසිප්පු පෙරන්න සුදානම් වෙනවා නම් කුඩු ගංජා විකුණනවා නම් ගෙයකට පනිනවානම් ඒ අය අපට තොරතුරු දෙනවා. රාත්‍රි කාලයේ පවා අපි මුර සංචාරයේ යෙදෙනවා. නිලධාරින් එළියේ ඉන්නකොට අපරාධයක් වෙනවා අඩුයි”

* මහජන විශ්වාසය දිනාගත හැකිද?

“විනිවිද භාවයෙන් යුතුව සාධාරනව රාජකාරි කරනවා නම් මහජනයාගේ විශ්වාසය ඇතිවෙනවා. ඔවුන්ගේ හිතේ සැකයක් ඇති නොවන විදියට පොලිස් නිලධාරියා කටයුතු කරන්න ඕනේ. අපේ පැත්ත නෙමේ ගත්තේ අනිත් අයගේ පැත්ත කියලා වචනයක් අහන්න ඇති නොවන විදිහට පැමිණිල්ලක් විභාග කරනවානම් ඒක සාධාරණව විසඳනවානම් පොලිසියට ඔය දෝෂාරෝපණ එල්ල වන්නේ නැහැ.”

“අනික තමයි මහජනයාගේ සෑම ප්‍රශ්නයකටම නිලධාරියා ක්ෂණිකව ඉදිරිපත් විය යුතුයි. උදාහරණයක් හැටියට කිසියම් පුද්ගලයකු අපිට තොරතුරක් දෙනවා ගමේ අහවල් තැන කසිප්පු පෙරනවා කියලා. අපි වහාම එතැනට ගිහින් ඒ ගැන සොයා බැලිය යුතුයි. එතකොට අපිට තොරතුරු දුන්න පුද්ගලයා දන්නවා අපි ක්ෂණයකින් ක්‍රියාත්මක වෙනවා කියලා. ඉන් පස්සේ ඔහු අපි ගැන විශ්වාසයක් තියාගන්නවා. නැත්තම් මිනිස්සු අතර විශ්වාසයක් නැතිවෙනවා. පොලිසියට කියලා වැඩක් නැහැ. දැන් කී පාරක් කිව්වද. 119 එකට කී පාරක් ගැහැව්වද. මිනිස්සු එහෙම හිතනවා. අන්න පොලිසියයි මහජනයයි ඈත් වෙන තැන. ඉන් පස්සේ කියන්නේ නිලධාරියා පගාව ගහලා, නැත්තම් ඒ ජාවාරම් කරුවන් එක්ක හිතවත් කියලා. හරියට රාජකාරි කරනවා නම්, ක්ෂණයකින් ඉදිරිපත් වෙනවානම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ.”

“ ඔවුන් පොලිසියට එන්නෙත් කිසියම් ගැටළුවක් නිසා. ඒ ගැටළුව හොඳින් අසා සිටීම තමයි නිලධාරියකු හැටියට අපෙන් විය යුත්තේ. ඔහු හෝ ඇය කියන කතාව නීරස වුවත් වැදගත් නොවුවත් ඔහුගේ හිත සැහැල්ලු වනතුරු එය හොඳින් අසා සිටිය යුතු වෙනවා. එතකොට පැමිණිලිකරුගේ හිතේ තියෙන පීඩනය අඩුවෙනවා. ඉන්පසු කාරණය අවබෝධ කරදී ඊට විසඳුම් ලබාදිය යුතුයි. ඒ හැම දෙයක්ම පුළුවන් ඉක්මනින් නොකළහොත් එය අපරාධයක් දක්වා දුරදිග යන්න පුළුවන්.”

“ ග්‍රාමීය ප්‍රදේශවල හුඟ දෙනෙක් කසිප්පු පානයට පුරුදු වෙලා ඉන්නේ. කසිප්පු නිසා හුඟාක් පවුල් ආරවුල් ඇතිවෙනවා. පහරදීම් ඇතිවෙනවා. අවසානයේ එය මනුෂ්‍ය ඝාතනයක් දක්වා දුරදිග යන්න පුළුවන්. ඒ නිසා කසිප්පු මුලිනුපුටා දැමීම තමයි කළ යුත්තේ.”

* ඔබගේ පොලිසිය පොදු වැඩවලටත් දායකත්වය ලබාදෙනවා?

“ඇත්තෙන්ම ඔව්. වසමක අපරාධ විසඳීම පමණක් මදි. වසමේ ජනතාවගේ දුකට සැපට පිහිටවීමත් අපේ යුතු කමක්. ඉමදුව පදිංචි වැඩිහිටි කාන්තාවන් ඒ වගේම අඩු ආදායම් ලාභි කාන්තාවන් සඳහා අපි දිවා ආහාර වේලක් පසුගිය දා ලබාදුන්නා. අපි ඉන් බලාපොරොත්තු වුණේ සමාජයේ වැදගත් ලෙස ජීවත්වන වැඩි හිටියන් පිදිය යුත්තන් ලෙස පිදිමයි. මේ වගේ දේවල් වත්මන් තරුණ තරුණියන්ට ආදර්ශයක් වෙනවා. ඒ වගේම සමාජ ප්‍රගමනට මෙන්ම යහපත් සමාජයක් ඇතිකිරීමට වැඩිහිටියන් පිදිම හොඳ දෙයක්. අද මේවා සමාජයෙන් තුරන් වෙලා යන කාලය. පොලිසියේ මැදිහත් වීමෙන් මෙවන් සත්කාරයක් කිරීම හැමෝගේම ප්‍රශංසාවට ලක්වුණා.”

* එවන් කර්තව්‍යයන් නිසා ඔබ සම්මාන වලින් පවා පිදුම් ලැබුවා.

“ගාල්ල දිස්ත්‍රික්කයට පොලිස් ස්ථාන 17ක් අයත් වෙනවා. ඒ 17න්ම හොඳම පොලිස් ස්ථානාධිපතිවරයා විදියට සම්මාන ලබාගැනීමට මට හැකි වුණා. එය මට ඇත්තටම ආඩම්බරයක්. වසමක අපරාධ අවම කිරීම, වසමේ සාමය ඇතිකරලීම, පැමිණිලි විසඳීම මහජන විශ්වාසය, ප්‍රජා පොලිස් සංකල්පය ඔන්න ඔය වගේ කරුණු මේ සම්මානය ලබා ගැනීමට දායක වුණා.”

“ඒ වගේම ඉමදුව සංවර්ධන පදනම මගිනුත් මට සම්මානයක් ලබා දුන්නා. ඒ කළ මහජන සේවය වෙනුවෙන්”