අයියට ගහපු පළිය ගන්නට ගිය මල්ලීට අම්බානකට ගහලා මරලාදාලා

අයියට ගහපු පළිය ගන්නට ගිය මල්ලීට අම්බානකට ගහලා මරලාදාලා

චාමර පිළිබඳ සවරිගේ හිතේ ඇතිවූ ආවේගය ක්‍රම ක්‍රමයෙන් වෛරයක් බවට පෙරලෙන්නට විය. ඒ වෛරය අවසන් වුයේ මිනීමැරුමකින්ය.

පසු ගිය මස 30 වන දින දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් පුද්ගලයකු පහර කෑමට ලක්විය. එසේ පහර කෑමට ලක්ව අත්තේ නාමල් දනුෂ්ක නමැති අයෙකි.

පිරිසක් ඉදිරියේ මෙසේ පහර කෑමට ලක්වීම ලැජ්ජාවක් සේ සැලකු නාමල් පහර දුන් අයට තදින් බැණ වැදුණේය.

‘‘අද උඹලා ඔක්කොම වට කරගෙන මට ගැහැව්වනෙ. කමක් නැහැ. ඒකට තොපි මගෙ මල්ලිගෙන් කනවා ඒක ෂුවර්’’

ආවේගයටත් කෝපයටත් පත් නාමල් මේ බව සිය සොහොයුරා වූ සවරිට ද කීවේය.

‘‘ මල්ලි මට චාමරයගෙ උන් ටික එකතුවෙලා හොඳටම ගැහැව්වා..’’

නාමල්ගේ සොහොයුරා වූ සවරිගේ හිතේ චාමර පිළිබඳ දැඩි වෛරයක් ඇති වුයේ ඉන්පසුවය. අයියාට පහරදීම ගැන සවරී දැඩි ලෙස කෝපයට පත්විය.

සිය දුරකථනය අතට ගත් සවරි ඒ මොහොතේම චාමරට බැණ වදින්නට විය. එයට නොදෙවෙනිව චාමර ද පරුෂ වචනයෙන් සවරිට පිළිතුරු දුන්නේය.

‘‘අඩෝ තොගෙ කොන්ද පණ තියෙනවනම් කෙලින් වරෙන්. තොපි වගේ බයගුල්ලො නෙමේ යකෝ අපි’’ චාමරගේ අවසන් වචන කිහිපය ඇසූ සවරි කෝපයෙන් වේවලන්නට විය.

‘‘හරි යකෝ උඹ පුළුවන්නම් පිල්ලෙයාර් හංදියට වරෙන්කෝ. එතනදි බලා ගමු”

ඉන් අනතුරුව සවරි සිය බිරියද ත්‍රිරෝද රියක දමාගෙන පිල්ලෙයාර් වත්ත, මාංචෝලෙ සිය මවගේ මහගෙදරට ගියහ.

සවරි පැමිණෙනතුරු චාමර සිටියේද ඇඟිලි ගනිමින්ය. සවරිගේ සිතේ වෛරයද නිවී ගොස් තිබුණේ නැත. ඒ අතරතුර සවරිගේ දුරකථනය නාද විය.

ඒ වනවිටත් සවරි මහ ගෙදර එළිපත්තට පය තියා හමාරය. නිවසේ උළුවස්ස අසළ රුඳුණු සවරි ඇමතුමට පිළිතුරු දුන්නේය.

‘‘ඔව් මම ගමට ඇවිල්ලා තමයි ඉන්නෙ. පුළුවන්නම් වරෙන් යකෝ. මොකද තෝ හැංගි හැංගි කෝල් කරන්නේ.’’

‘‘හැංගෙන්න දෙයක් නැහැ යකෝ. අද තෝව බාවනවා කියලා විතරක් හිතේ තියා ගනින්’’

බහින්බස්වීම එන්න එන්නම වැඩි විය. ඔය අතරේ සවරිගේ පියා සහ වැඩිමහල් සහෝදරයකුද එම ස්ථානයට පැමිණියහ. ඒ නිසා සවරිගේ හිතට දැඩි ආත්ම ශක්තියක් එකතු විය.

මළ හිරු බැස යනවාත් සමඟම ගොම්මන් අඳුර කෙමෙන් කෙමෙන් වැටෙන්නට විය. නිවසේ වහළය මතින් ඒ මේ අත සැරිසරණ කණ කොකුන්ගේ විලාප හඬින් කියවෙන්නේ මරණයක පෙරනිමිත්තක් බව කිසිවකුටවත් වැටහුණේ නැත. නමුත් සවරිගේ මවට යාන්තමට මෙන් මෙහි බැරෑරුම්කම දැනෙන්නට වුවාය. එය දැනෙනවිටත් ් මාරයා සවරිව පිල්ලෙයාර් වත්ත හංදියේ පිහිටි දංගහ ළගට ගෙන ගොස් හමාරය.

වෙරි මතින් සිටි චාමර දුටු සවරි එකවරම චාමරට ඉවක් බවක් නොතකා පහර පිට පහර දෙන්නට විය. චාමරට කර කියා ගතහැකි දෙයක් නොවීය. පහර කෑමෙන් බියට පත් වූ චාමර අසල තිබූ වන ලැහැබකට රිංගා නිවස බලා කඟවේණකු මෙන් දිව ගියේය.

චාමරගේ දිවීම දුටු සවරි කොක්හඬලා සිනාසුණේය.

‘‘අඩෝ” ඒ සෙල්ලම් අයියත් එක්ක. මේ මල්ලි එක්ක ඕව්වා බැහැ. ඒක හොඳට මතක තියා ගනින් චාමර’’සවරිට එසේ වැඩි දුරටත් කෑගසන්නට ඉඩක් ලැබුණේ නැත.

පොළු කැති පිහි අමෝරාගත් පිරිසක් තමා ඉදිරියට එන අයුරු සවරි දුටුවේය. සවරිට කට උත්තර නැතිවිය. සවරි බියෙන් වෙව්ලන්නට විය. පිරිස අතර චාමරද සිටින බව සවරි දැක්කේය.

ඉනේ තිබූ කිනිස්සක් අතට ගත් චාමර ඉන් සවරිගේ ගෙල හරහා පහරක් එල්ල කළේ් ඔහුට වචනයක් හෝ කතාකරන්නට ඉඩ නොතබමින්ය. පැමිණි පිරිස සවරිගේ පියාගේ උදරය ද කපා දමා සවරිගේ සොහොයුරෙකුවද කපා කොටා දමන්නට තරම් සැහැසි වුහ. මදුවිතෙන් සප්පායම් ව සිටි චාමර ඔහුගේ සගයන් ද සමඟ එක්ව සවරිට මෝල් ගස් පහර දුන්හ.බරපතල තුවාල ලැබූ සවරි, සවරිගේ පියා හා වැඩිමහල් සොහොයුරා ද මුන්දලම රෝහලට ඇතුළත් කරන්නට ඒ අවට පිරිස කටයුතු කළේ පිරිස පලාගියාට පසුවය.

පහර කෑමෙන් බරපතල තුවාලත් සවරී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ජීවිතක්ෂයට පත්විය. සින්නපාඩුව, පිල්ලෙයාර්වත්ත, මාන්චෝලේ පදිංචිව සිටි සවරි සාගර දිල්ශාන් නමැති ඔහු විසි හැවිරිදි අයෙකි. සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි පුත්තලම දිසා අධිකරණයේ දිසා විනිසුරු බුද්ධික රාජකරුණා මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා සවරිගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේය.

පසුව පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදී සවරි සාගරගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්.ඒ.එස්.ආර්. වික්‍රමආරච්චි මහතා ඒ සඳහා දුන්නේ විවෘත තීන්දුවක්ය.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ මුන්දලම පොලීසිය සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වයඹ පළාත භාර නියෝජ්‍ය‍ පොලිස්පති රවී විජේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන යන නිලධාරින්ගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් මුන්දලම පොලිස් ස්ථානාධිපති බී.ජී.සී.ආර්.ගුණතිලක, අපරාධ අංශයේ ස්ථානාධිපති සරත්, සැරයන් වරුන්වන (25057) විජේසිංහ, (27775) පේ‍්‍රමසිරි, (32458) ජයරත්න, කොස්තාපල්වරුන්වන (33631) පේ‍්‍රමරත්න, (33514) ජයවර්ධන, (60339) ලංකාතිලක, (41342) ජයසිංහ ඇතුළු නිලධාරින් සිද්ධිය විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් කෙරිණි.