“ඒකත් මගේ හිතට සැනසිල්ලක්”
“ඒකත් මගේ හිතට සැනසිල්ලක්”
තම කුසින් වැදු දරුවා හොරෙකු වුණත් රජෙකු වුණත් ඒ දරුවා කෙරෙහි මවකගේ ඇති සෙනෙහස
කිසිදා අඩු වන්නේ නැත.නමුත් දරුවන් ඊට වෙනස්ය. ඔවුන් දෙමාපියන් කෙරෙහි දක්වන සෙනෙහස
විවිධාකාරය. සුමනාවතිත් තම දරුවාට එවන් ආදරයක් සෙනෙහසක් පිදූ මවකි. ඇය මට හමු වුයේ
සිර ගෙදරට යන අතරමඟදිය. වයෝවෘද්ධ ඇගේ දෑස කඳුළින් පිරි තිබිණි.
* කොහේද මේ යන්නේ ?
“මම පුතා බලන්න යනවා.”
ඇය මා දෙස බලමින් පැවැසුවාය
* දුව ද පුතා ද හිරේ ඉන්නේ?
“පුතා. ඇත්තම කිව්වොත් මගේ පුතා නෙමෙයි. මේ දරුවගේ අම්මා තාත්තා කවුද කියන්න මම
දන්නේ නැහැ. ඒත් මම දැන් අවුරුදු ගානක් තිස්සේ මේ දරුවා බලන්න එනවා.”
* ඇයි ඒ?
“ඒක ටිකක් දිග කතාවක්. මම අම්මා කෙනෙක්. දැන් මගේ වයස අවුරුදු හැත්තෑව පැනලා. මට
පුතෙක් හිිටියා. එයා කියන දේ අහන කෙනෙක් නෙමෙයි. මහ හිතුවක්කාරයෙක්.එහෙම කියලා
ඉතින් දරුවා අත් හරින්නද. අම්මා කෙනෙකුට පුළුවන්ද තමන්ගේ කුසින් වදාපු දරුවා අයාලේ
යනවා බලාගෙන ඉන්න. ඒත් මම එහෙම බලා හිටපු අම්මා කෙනෙක්.”
* එහෙම කියන්නේ ඇයි?
“අපිට මහ ලොකු ආදායමක් තිබුණේ නැහැ. මගෙ මනුස්සයා මැරුණේ දරුවා පුංචි කාලේ. දරුවා
හදා ගන්න මට පිළිවෙලක් තිබුණේ නැහැ. මම කඩයප්පම් හැදුවා. මම දරුවා උස් මහත් කළේ
ඒකෙන් ලැබෙන ආදායමෙන්. ඒත් මගේ පුතා ඉගෙන ගත්තේ නැහැ. මම පුළුවන් විදිහට කොල්ලට
කිව්වා ඉගෙන ගන්න කියලා. ඒත් ඵලක් වුණේ නැහැ. අන්තිමට ඕන දෙයක් කර ගනින් කියලා මම
කට වහ ගත්තා. අන්තිමට කොල්ලා ගෙදරින් පැනලා ගියා. ඒකටත් සේරම දොස් කිව්වේ මට. මගේ
නොසැලකිල්ල හින්දා කොල්ලා ගෙදරින් පැනලා ගියා කියලා. ඒ කතාවේ වැරැද්දකුත් නැහැ. මම
එයාව හුරතල් කෙරුවා වැඩියි.”
* පුතා කොහාටද පැනලා ගියේ?
“ගෙදරින් ගියා කියලා දන්නවා. නමුත් දවස් කිහිපයක් යනතුරුම හොයාගන්න බැරි වුණා
කොල්ලා කොහෙද ගියේ කියලා .එයා ගෙදරින් යන කොට අවුරුදු දහ නවයක් විතර ඇති. ටික දවසකට
පස්සේ තමයි ආරංචි වුණේ කොල්ලා පීටර් ගාව ඉන්නවා කියලා. පීටර් කියන්නේ කිසිම
අංගපුලාවකට නැති මිනිහෙක්. මිනිහට සල්ලි තිබුණා. උන්දැ කළේ හොර අරක්කු පෙරන එක. මගෙ
පොඩි එකා එයැයි එක්ක එකතු වෙලා දහජරා වැඩ ඔක්කෝම කරන්න ගත්තා.කොල්ලා සිගරට් අරක්කු
බොන්න පෙළඹුණා. මම දවසක් ගිහිල්ලා පීටර්ටත් බැණලා කොල්ලව ගෙදර ගෙනාවා. නමුත් ඒක
සාර්ථක වුණේ නැහැ. පුතා ගෙදර යනවා එනවා. පීටර්ගෙ ගුබ්බෑයමටත් යනවා එනවා. දවසක්
පොලිසියෙන් ගෙදරට ආවා. ඒ ආවේ පුතාව හොයාගෙන. කොල්ලා ගෙදර හිටියේ නැහැ.දවසකට දෙකකට
පස්සේ ආරංචියක් ආවා පුතාව පොලිසියෙන් අරගෙන ගියා කියලා. මම පොලිසි ගියා.එත් ඒ
වෙනකොට කොල්ලව හිරේ දාලා. කොල්ලා එළියට ආවේ මාස තුනකට පස්සේ?”
* මොකක්ද එයා කළ වැරැද්ද?
“මොනවද ඉතිං, අර මිනිහා එක්ක එකතු වෙලා වැරදි වැඩ කරපු එක. එයාට ගෙදර අයට වඩා එයාට
පිට අයව ලොකු වුණා. ඒ නිසයි හැම දෙයක්ම වුණේ. හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ පොඩි
පුතා කෙල්ලෙක්ව ගෙදර අරගෙන ආවා. ගෑනියෙක් ගෙනාවට පස්සේවත් පුතා හැදෙයි කියලා මම
හිතුවා. නමුත් ටික දවසකින් ඒ කෙල්ල ගෙදරින් යන්න ගියා.පුතාට ඒක ගානක්වත් නැහැ.පුතා
වැඩිපුරම හිටියේ පීටර්ගෙ ගෙදර.ඔය අතරේ සැරින් සැරේ කොල්ලා හිරේ ගියා ,ආවා. පීටර්
නිසා මගෙ පුතා මට නැති වුණා. කොල්ලා හොඳටම බොන්න පුරුදු වුණා. ඔය අතර තමයි දවසක්
කොල්ලා බීලා ඉන්දැද්දි පොලිසියෙන් අල්ලගෙන ගිහින් තිබුණේ. එදා පිටර්ගෙ ගෙදර හිටපු
තවත් කොල්ලෝ දෙතුන් දෙනෙක්ම පොලිසියට ගෙනිහිල්ලා. කොල්ල හිරේට අරන් ගිය දවසෙම තමයි
කොල්ලා මැරුණා කියලා අපිට පණිවිඩයක් ලැබුණා”
* මොනවා වෙලාද පුතා මැරුණේ?
“හේතුව දන්නේ නැහැ. වෙද්‍ය වාර්තාවේ තියෙන්නේ හාර්ට් ඇටෑක් කියලා. බන්ධනාගාර බස්
එකෙන් හිරගෙදරට ගෙනිච්ච දවසෙම හවසම තමයි පුතා මැරුණේ. ඇත්තම කියනවා නම් පුතා මැරුණ
කිව්වම මගෙ හිතට පුංචි සැනසීමක් දැනුණා. දුක නොදැනුනාමත් නෙමෙයි. ඔය කොල්ලා නිසා මම
මිනිස්සුන්ගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුවා. නින්දා අපහාස වින්දා.”
* පුතා මැරුණට පස්සේ හිරේ එන්නේ කාව බලන්නද?
“මගේ පුතා මැරුණ එක ඇත්ත. මගේ පුතා හිරේ ගිය හැම වතාවකම මම එයාව බලන්න ආවා. ඒ ආ
ගමනෙදි මට තවත් පුතෙක් හමුවුණා.ඒ දරුවා මොන වැරැද්දට ආවද කියන්න මම දන්නේ නැහැ.
නමුත් ඒ දරුවා මට බොහොම ආදරෙන් කතා කළා. මම දන්නේ නැහැ ඇයි ඒ වගේ දරුවෙක් හිරේ
වැටුණේ කියලා.ඒ දරුවා ගැන මගේ හිතේ කැක්කුමක් ඇතිවුණා. මාසයකට වතාවක් ඒ දරුවව බලලා
යනවා. ඒ දරුවන් මම එනකම් බලාගෙන ඉන්නවා. මට කටපුරා මගේ අම්මේ කියලා කතා කරනවා. මගේ
ගිය ආත්මේ පුතෙක් වගේ. මට දැන් ඒ දරුවා නොදැක ඉන්න බැහැ. ඒක මගෙ හිතට සැනසිල්ලක්.”
* දැන් මොකක් කරන්නද හිතාගෙන ඉන්නේ?
“දැන් මට හුඟක් වයසයි. ජීවිතය ගැන තව බලා පොරොත්තු මට නැහැ. මට හිටිය එකම පුතත්
මැරුණා.ඒත් මගේ හිතේ තියෙන දරු සෙනෙහස මැරුණෙ නැහැ. වෙන දෙයක් වෙච්චදෙන් කියලා
හිතාගෙන ඉන්නවා. ඒත් අර හිරේ ඉන්න දරුවා ගැන මට හරි දුකයි. ඒ පුතා දකින දකින හැම
පාරම මට මගේ පුතා නිතර මතක් වෙනවා.”
* හිරේ ඉන්න පුතා මොනවද කිව්වේ?
“ඒ පුතා කිව්වෙත් එයාට කාත් කව්රුත් නැහැයි කියලා.අම්මා තාත්තා පොඩි කාලෙ මැරුණා
කියලා. ඒ පුතා කැමති නම් මම එයාව අපේ ගෙදරට එක්කගෙන එනවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඒ
පුතත් මගේ පුතත් මට එක වගෙයි.”
ඇය පවසන්නට වුයේ සැනසුම් සුසුමක් හෙළමිනි.
ඉනෝකා සමරවික්‍රම
|