පොලිස් ලොක්කන්ගේ ගෙවල් බින්ද සොරදෙටුවා

 පොලිස් ලොක්කන්ගේ ගෙවල් බින්ද සොරදෙටුවා

පොලිස් නිලධාරීන්ගේ නිවෙස් තුළට කිසිදු බියක් සැකක් නැතුව ඇතුළුවී ඒවායේ ඇති මුදල්, ස්වර්ණාභරණ ඇතුළු භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැලිගම පුරා පැතිර ගිය කථාව පොලීසියට එක්කර තිබුණේ කළු පැල්ලමකි.

පහළ නිධාරීන්ගේ සිට ඉහළ නිලධාරින් දක්වා තරාතිරම නොබලා ඔවුනගේ හා ළඟම ඥාතීන්ගේ නිවාස තුළට දහවලේ හෝ රාත්‍රි කාලයේදී ඇතුළුවී මෙම කි‍්‍රයාවේ යෙදීම විශේෂත්වයක්වූ අතර සොරා අල්ලා ගැනීමට නොහැකිවීම කාගෙත් අවධානයට ලක් වූ දෙයක් ද විය.

සොර දෙටුවා සොයා කොටවිල හා වැලිගම පොලිස් ස්ථාන මෙන්ම බුද්ධි අංශ නිලධාරීහු ද විමර්ශන කි‍්‍රයාත්මක කරමින් සිටියහ. මෙයට අමතරව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද මේ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළේය. මෙලෙස පැති කීපයකින් පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන කි‍්‍රයාත්මක කරද්දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට සොරදෙටුවා පිළිබඳ තොරතුරක් ලැබිණි. ඒ හොරා පාළු ගෙවල්වල හා සොහොන් කොත්වල රාත්‍රිය ගතකරන බවයි. නිලධාරීහූ ඒ පිළිබඳ දැඩි අවධානයකින් සිටියහ.

පසුගිය 08 වැනිදා මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සමන් මහතා වෙත ලැබුණු තොරතුරකින් කියවුණේ පොලිස් නිලධාරීන්ගේ නිවාස කොල්ලකන මහ හොරා වරකපිටියේ පාළු නිවසක සැඟව සිටින බවයි.

ලද තොරතුරත් සමඟ වහා කි‍්‍රයාත්මකවූ පොලිස් පරීක්ෂක සමන් ඒ සඳහා ක්ෂණික මෙහෙයුමක් සැලසුම් කළේය. සිය ඒකකයේ දක්ෂ හා පළපුරුදු නිලධාරීන් කණ්ඩායමක් ඊට එක්කර ගත් සමන් මෙහෙයුම පිළිබඳ උපදෙස් ලබාදී ආයුධ සන්නද්ධව ඔවුන් සමඟ වරකපිටිය බලා පිටත්වූහ.

ඒ වන විටත් හිරු උදාවෙමින් තිබුණි.

තොරතුරින් කියැවුණ පරිදි වරකපිටිය අකුරුගොඩ පාරේ ආඳාදොළ බෝක්කුව අසල සිට කිලෝ මීටර් එකහමාරක් දුරින් පිහිටි අක්කර එකහමාරක ඉඩමේ තිබු පාළු නිවස සොයාගත් පොලිස් කණ්ඩායම නිවස වටකිරීමේ මෙහෙයුම ආරම්භ කරද්දී හිරු උදාවී හෝරාවක් ගතව තිබුණි. ඒ වන විටත් මහ හොරා තද නින්දේ පසුවෙමින් සිටියේ තමාට තව මොහොතකින් සිදුවන්නට යන දේ පිළිබඳ සිහිනයක් හෝ නොදකිමිනි.

රාත්‍රී කාලයේ පාළු නිවාස තුළට ඇතුළුවන ඔහු රාත්‍රියේ අවදියෙන් සිට අළුයම් කාලයේ නිදාගැනීම පුරුද්දක් කරගෙන තිබිණි.

පෙරවරු 7.30 වන විට සම්පූර්ණයෙන්ම නිවස වටකළ පොලිස් කණ්ඩායම නැවත විපරමින් බැලුවේ නිවස වටකළ බව යම් හෝ ඉඟියක් මහ හොරට ලැබුණහොත් ඔහු පැනයාමට උත්සාහ දරන බැවින් එලෙස පැනයාමේ මං තියේද යන්න පිළිබඳවයි.

සියල්ල පෙර සූදානම හා පසු පරීක්ෂාව තුළ නිවරැදි කර ගත් පසු පොලිස් පරීක්ෂක සමන් හෙමින් සීරුවේ නිවස තුළට ලංව විපරම් කර බලද්දී සැකකරු පාළු නිවසේ ඉස්තෝප්පුවේ නිදාසිටින ආකාරය දුටුවේය. වහා උප පොලිස් පරීක්ෂක පතිරත්නට හා කොස්තාපල් 52590 සමන්තට අතින් සංඥා කර තමාවෙත ගෙන්වා ගත් පොලිස් පරීක්ෂකවරයා පතිරත්න හා සමන්ත සමඟ එකවරම ඉදිරියට පැන සැකකරු අල්ලාගත්තේ ඔහුට හෙලවෙන්නටවත් ඉඩක් නොතබමිනි. ක්ෂණයකින් සැකකරුගේ අතට මාංචු වැටුණේ පැනයාමට ද ඉඩකඩ අහුරමිනි.

“උඹ හැංගිමුත්තං කෙළියෙ පොලීසියෙ තරම නොදැන.

අනතුරුව පතිරත්න විසින් සැකකරුව පරීක්ෂාවට ලක් කරද්දී ඔහු ඇඳ සිටි ඇඳුමේ සඟවාගෙන සිටි ජීව අත්බෝම්බයක් හමුවිය.

“ සර් වරකපිටියෙ මහ හොරා අපි අල්ලගත්තා.”

පොලිස් පරීක්ෂක සමන් තම උසස් නිලධාරියාවූ මාතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ජී. එච්. මාරපනට මේ බව දැනුම්දුන්නේ ඊළඟට කළයුත්තේ කුමක්දැයි යන්න උපදෙස් අපේක්ෂාවෙනි.

“ ඉක්මණට මාතරට ගෙනල්ලා විමර්ශන පටන් ගන්න. ගේනකොට පරිස්සමෙන් මිනිහගේ තව එවුන් ඉන්න පුළුවන”

එස්. පී. මාරපනගේ උපදෙස විය.

ඒ අනුව සැකකරු රැගෙන මාතර බලා පැමිණි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ මෙතෙක් සිදුකරන ලද අපරාධ පිළිබඳ හෙළිදරව් කර ගන්නටය.

කොතරම් ප්‍රශ්න කළ ද ඔහු කිසිවක් කීවේ නැත. මෙසේ මුනිවත රකිමින් සිටි සැකකරුට පළපුරුදු නිලධාරීන්ගේ ඉදිරියේ එලෙස දිගටම රැඳි සිටීමට නොහැකි විය. අනතුරුව ඔහු සියල්ල හෙළිකළේ පොඩි ළමයෙක් ලෙසය.

හෙළිදරව්වූ තොරතුරු අනුව නිදංගල පදිංචිකරුවෙකු වූ සැකකරු සංජු නමැති 22 හැවිරිදි වියේ පසු වූ අයෙකි. කුඩාකලම මව විදේශගතවීම නිසා අධ්‍යාපන කටයුතු අතරමඟ අතහැර දැමු සංජු 10 වසර තෙක් අධ්‍යාපනය ලබා ඇති බව කියයි. ප්‍රදේශයේ නොමඟ ගිය මිතුරන්ගෙ ඇසුරට පත්ව මත්කුඩු පානයට පුරුදු වූ හෙතෙම කල්යත්ම ඊට තදින්ම ඇබ්බැහි වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට හොරකම් සඳහා පෙළඹී ඇත. වයස 16 දී පළමු හොරකම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත්වන විට දිනකට මත්කුඩු පැකට් 10 ක් පමණ බීමට ඔහු පුරුදුව සිට ඇත.

මෙයට අමතරව ඔහු හෙළිකළ තොරතුරු අතර නිවෙස් වලට පැන සොරකම් කරනා රන් ආභරණ වැලිගම හා කොළඹ මට්ටක්කුලියේ සිටිහ යාළුවන් මාර්ගයෙන් උකස් තබා මුදල් ලබාගත් ආකාරයද අනාවරණය විය.

එම තොරතුරු ඔස්සේ වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මක කළ පොලිස් කණ්ඩායම කොළඹ ගෝනහේනේදී “ බබී” නමැති කුජු ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන උකස් මධ්‍යස්ථාන පහක උකස්කර තිබූ රන් අභරණ සොයාගත් අතර වැලිගම හා වරකපිටියේදී අත්අඩංගුවට ගත් තවත් තිදෙනෙකු ගේ මඟ පෙන්වීම මත වැලිගම ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබූ තවත් රන්පවුම් පහහමාරක රන් අභරණ සොයාගත්තේය.

මේ අනුව සංජු විසින් ගෙවල් බිඳ සොරකම්කළ භාණ්ඩ අතරින් රන්පවුම් තිහක්, ජංගම දුරකථන දෙකක් හා කාර් කැසට් එකක් පොලීසිය විසින් සොයාගත් අතර ඔහු විසින් සොරකම් කරන ලද දේපළ වල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වන බවද කියයි. ඉන් ලක්ෂ විස්සක පමණ දේපළ මේ වන විට සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා මාතර මහෙස්ත්‍රායත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. එස්. යූ. ප්‍රනාන්දු, මාතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ජී. එච්. මාරපන, පොලිස් අධිකාරී 1 ගිනිගේ මහත්වරුන්ගේ උපදෙස් මත මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ. ඒ. සමන්, උප පොලිස් පරීක්ෂකවරුන් වන පතිරත්න හා ජයතිලක, සැරයන්වරුන් වන 666 අතුල, (13056) ගමගේ, (14354) ගුණතිලක, (25679) සෝමතිලක හා කොස්තාපල්වරුන් වන (13082) ජයනාත්, (52590) සමන්ත, (63311)කරදගොඩ, (90536) දිෂාන්ත හා (14562) සම්පත් යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සංජු යන මනඞකල්පිත නමකි.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.