එකම පවුලේ තිදෙනකු මැරූ සැකකරු වසර 11කට පසු මාට්ටු

එකම පවුලේ තිදෙනකු මැරූ සැකකරු වසර 11කට පසු මාට්ටු

අහුංගල්ල පොලිස් වසමේ මිද්දරමුල්ල, අංක 334 දරණ ලිපිනයේ පදිංචි සමන් සුජීව පසුගිය දාසය වැනිදා අනුරාධපුරයට ගියේ සිය මව බැලීම සඳහාය. ඔහුගේ මව පදිංචි සිටින්නේ කහටපුලියන්කුලම, පරසන්ගස්වැව ප්‍රදේශයේය. මොහු මව බැලීමට පැමිණ තිබුණේ බිරියත් සමඟ ත්‍රිරෝද රථයකිනි. එම රථය බිරියගේ ඥාති සහෝදරයකුට අයත් එකක් බැවින් එය පදවාගෙන ආවේ එම සහෝදරයාය. වෙසක් සතිය ඉක්ම ගිය වහාම සමන් සුජීව මව බැලීම සඳහා පැමිණ තිබුණේ මව කෙරෙහි හදවතේ ඇති ආදර භක්තිය නිසා යැයි කාට වුව සිතෙනු ඇත. එහෙත්... ඔහු එලෙස පැමිණ තිබුණේ වෙනත් කරුණකටය. ඒ... මවට අයත් අක්කර පහක ඉඩමක් තමන්ගේ නමට හරවා ගැනීම සඳහාය.

මවගේ නිවෙසට ගිය සමන් සුජීව ඉඩමේ ඔප්පුව තමාට දෙන ලෙස පවසා සිටියේ තර්ජනාත්මක ස්වරයෙනි. මව ඊට එකඟ වුයේ නැත. මව තමාගේ කීමට එකඟ නොවීම හේතුවෙන් සමන් සුජීවට යකා නගින්නට ඇත. අනතුරුව ඔහු කළේ අතේ පයේ හයිය සිය මවට පෙන්වීමයි. ඔහු.... මව සතුව තිබු ඉඩම් ඔප්පුව බලහත්කාරයෙන් අරගෙන බිරිය ද සමඟ ත්‍රිරෝද රථයට ගොඩ වී අහුංගල්ල බලා පිටත්වන විට හිරු අවරට යමින් තිබිණි.

ත්‍රිරෝද රථය ඉදිරියට ඇදේ. රාජාංගණය හන්දිය අසල සිටි පොලිස් කණ්ඩායමක් සමන් සුජීව ගමන් ගන්නා ත්‍රිරෝද රථයට අත දමා නවත්වන ලෙස සංඥා කළේය. එය පැද වු ඥාති සොයුරා පොලිස් අණට කීකරු වී ත්‍රිරෝද රථය නතර කළේය.

රථයේ පිටුපස අසුනට එබුණ පොලිස් නිලධාරියකු “තමන් සමන් සුජීව නේද” යැයි විමසීය. ඒ තමන් බව ඔහු පිළිගත්තේය. පොලිස් නිලධාරියකු ඔහුගේ දෑත් එක්කොට මාංචු දමද්දී බිරියත් ඥාති සොයුරාත් තුෂ්නිම්භූතව බලා සිටින්නට වුහ.

“ඇයි...සර්. මේ මොකද?”

බිරිය හා බිරියගේ පවුලේ අය හමුවේ “හොඳ චරිතයක්” වී සිටි සමන් සුජීව පොලිස් නිලධාරින්ගෙන් එලෙස විමසුවේය.

“එක්දාස් නවසිය අනුනවය අවුරුද්දේ එකම පවුලේ තුන්දෙනෙක් මරලා ඇප පිට එළියට ඇවිත් ආපහු උසාවියට නොගිය නිසා තමුන්ට දැන් විවෘත වරෙන්තු නිකුත් වෙලා තියෙන්නේ. අනෙක මහාධිකරණය තමුන්ට මරණ දඬුවම නියම කරලාත් තියෙනවා අපි තමුන්ව අත්අඩංගුවට ගන්න හේතුව ඒකයි”

“නෑ සර්... මම එහෙම දෙයක් කරලා නෑ.”

ඔහු තමා නිර්දෝෂී බව කියා සිටිය දී පොලිසිය ඔහුගේ දෑත්වලට මාංචු දැම්මේ අපරාධයක් කොට සදා සැඟව සිටිය නොහැකිය යන ධර්මතාව පහදා දෙමිනි.

අක්කර පහක ඉඩමක හිමිකාරකම ගන්නට මව හමුවට ආ සමන් සුජීව බලහත්කාරයෙන් එම ඔප්පුව ද රැගෙන යද්දී මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වුණේ කිසිදා නොසිතූ ලෙසය. මොහුට යළි කිසි දිනෙක අක්කර පහේ ඉඩමට උරුමකම් කීමට ඉඩකඩ නොලැබෙනු ඇත. අඩුම තරමින් ඒ ඉඩම බලා සැනසෙන්නට වත් එහි යාමට අවස්ථාව නොලැබෙනු ඇත. ඒ... ඔහුට මරණ දඬුවම ද නියමව තිබීම නිසාය.

සමන් සුජීව යනු හිටපු යුද හමුදා සෙබළෙකි. පළමුවන සිංහ රෙජිමේන්තුවේ සේවය කළ මොහුට 1999 වර්ෂය වන විට වයස අවුරුදු විසි දෙකකි. වර්ථමානයේ මොහුගේ වයස අවුරුදු හතලිහකි.

මොහුගේ උපන්ගම වුයේ කහට පුලියන්කුලම, පරසන්ගස්වැව ප්‍රදේශයයි.

වයස අවුරුදු දහ අට වෙද්දී එනම් 1995 වර්ෂයේ යුද හමුදාවට එක් වු සමන් සුජීව 1998 වර්ෂයේ නොවැම්බර් මස විසි හතර වැනිදා නිවාඩු ලබා නිවෙසට පැමිණීමෙන් අනතුරුව යළි සේවයට වාර්තා කළේ නැත. යුද හමුදා සේවය අත්හළ ඔහු ඉන් අනතුරුව රැකියාවක් සොයා ගත්තේය. ඒ .... රියැදුරකු ලෙසය.

අනුරාධපුර තුන්වන පියවරේ පිහිටි “සේනානි” වෙළෙඳසලේ තාවකාලික රියැදුරකු ලෙස රුකියාව ලබාගත් ඔහුට යුද හමුදාවෙන් සැඟව සිටීමට හැකිවිය.

එවකට මොහුගේ නිවෙසට ඉදිරිපස නිවෙසේ පදිංචිව සිටියේ විසිහය හැවිරිදි මෙවන් මහින්ද මුතුගල. ඔහුගේ බිරිය වූ කේ.එම්. ශිරෝමි මුතුගල සහ වයස මාස හයහමාරක් වූ ඔවුන්ගේ එකම දියණිය මදුවන්ති මුතුගලය.

සමන් සුජීවත්, මහින්ද මුතුගලත් අතර කාලයක සිට හිත් නොහොඳ කමක් පැවිතිණි.

මුහුණට මුහුණලා පිහිටි නිවෙස් දෙකේ පදිංචිව සිටියදී මොවුන් එකිනෙකාගේ මුහුණට මුහුණ නොබලන තරමට විරසකව සිටියහ.

ඒ..... 1999 වර්ෂයේ මැයි මස තිස් වැනිදා දිනයයි. එම වර්ෂයේ වෙසක් පොහොය දිනය යෙදී තිබුණේ මාසයේ අවසන් දිනවලට ආසන්නයේය. එබැවින්... මාසය අවසන් වනතුරුම රට පුරා වෙසක් උත්සව පැවැත්විණි.

එදින සවස මහින්ද මුතුගල, සමන් සුජීවට චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ තමාගේ මුදල් පසුම්බිය අස්ථාන ගතව ඇති බවත් එය සොරාගෙන ඇත්තේ සමන් සුජීව බවත්ය.

එම චෝදනාව හේතුවෙන් සමන් සුජීවට දැඩි කෝපයකින් ඇති වුවද ඔහු ඉවසා සිටින්නට ඇත්තේ තමා වරද කළ නිසාද නොඑසේ නම් මහින්ද සමඟ ගෝරියට යාම ඇඟට සුදුසු නොවන නිසා දැයි පැහැදිලි නැත.

එදින රාත්‍රී දහයට පමණ යළිත් මේ දෙදෙනා අතර ආරවුලක් ඇතිවිය. මිතුරන් කිහිප දෙනකු සමඟ වෙසක් බැලීමට ගොස් ආපහු එමින් සිටි මහින්ද ට මඟදී සමන් සුජීව හමුවිය.

ඒ අවස්ථාවේදී මහින්ද යළි ආරවුලකට මුල පිරුවද සමන් සුජීව මඟ හැර යන්නේ පිරිසක් සමඟ තමාට සටන් කළ නොහැකි නිසා විය යුතුය.

ඉන් අනතුරුව සමන් සුජීව සිය නිවෙසට ගියේය. මහින්ද ද නිවෙසට යන්නට ඇත. වේලාව රාත්‍රී දොළහ පමණ වෙද්දී සමන් සුජීවගේ නිවෙසේ දොරට යම් කිසිවකු ගසන ශබ්දයක් ඇසිණි. ඒ.. මහින්ද බවත්, ඔහු සමඟ පිරිසක් පැමිණ යුද්ධ ප්‍රකාශ කරන බවත් සමන් සුජීවට වැටහිණි.

“මහින්ද කට්ටයක් එක්ක ඇවිත් අපිට ගහන්න හදන බව මට තේරුණා. ඒ වෙලාවේ මමයි, අම්මයි, මල්ලියි බාප්පයි ගෙදර හිටියේ. අපි පිටිපස්ස දොර ඇරගෙන හෙමීට එළියට ගිහින් ගෙයි පිටිපස්සේ කැලේට වෙලා හැංගිලා හිටියා”

“එහෙම ටික වෙලාවක් යද්දී මහින්දලා ගේ සද්ද නැතුව ගියා. ඒ කට්ටිය යන්න ඇති කියලා හිතුණා. දිගටම මහින්ද මට චන්ඩිකම් දාද්දී මම ඉවසගෙන හිටියේ තනියම කරන්න දෙයක් නැති නිසා”

“ඒත්...රෑ උං කට්ටිය අපේ ගෙදරට ආවට පස්සේ මට යකා නැංගා. මම ආමි එකේ ඉන්න කාලේ හෑන්ඩ් ග්‍රේනේඩ් එකක් ගෙනත් හංගලා තියලා තිබුණා. එක අරගෙන ගිහින් මහින්දට ගහන්න ඕන කියලා මම තීරණය කළා.”

“උං අපේ ගේ ළගින් ගියා. කියලා දැනුණට පස්සේ මම අම්මවයි මල්ලිවයි නැදෑ ගෙදරකට යැව්වා. යවලා මම ගෙදරට ගිහින් උදෑල්ල අරගෙන වළදාලා තිබුණ බෝම්බය හරලා ගොඩ ගත්තා. මම එක ප්ලාස්ටික් බෝතලේක දාලා ආරක්ෂාකාරී විදියටයි වළ දාලා තිබුණේ”

“මම බෝම්බේ අරගෙන මහින්දලාගේ වත්තට පැන්නා. පැනලා ගලක් අරගෙන මහින්ද ලා නිදාගන්න කාමරේ ජනේලේ වීදුරුවට ගැහුවා. ඒත් වීදුරුව කැඩුණේ නෑ. ඊට පස්සේ දකුණු පැත්තේ වීදුරුවට පාරක් ගැහුවා. ඒ පාරට වීදුරුව කැඩුණා.”

“මම හෑන්ඩ් ග්‍රේනේඩ් එකේ පින් එක ගලවලා කාමරේ ඇතුළට විසිකළා. විසි කරලා බෝම්බෙ පුපුරන්න කලින් ජනේලේ ළඟින් පැන ගත්තා.

“ඊට පස්සේ මම ගියේ මම වැඩකරපු ‘සේනාධි’ කඩේ මහත්තයා හම්බවෙන්න. මම මහත්තයාට විස්තරේ කිව්වම මහත්තයා කිව්වා ගිහින් ආමි එකට බාර වෙන්න කියලා. මම බෝම්බේ ‘පින්’ එකත් අරගෙන ගිහින් මගේ යුනිට් එකට බාර වුණා. මාව පොලිසියට බාර දුන්නේ යුනිට් එකෙන්”

අත්බෝම්බයක් ගසා මහින්ද මුතුගල ඇතුලු තිදෙනා ඝාතනය කළ සමන් සුජීව එදා අත්අඩංගුවට පත් දිනයේ පොලිසියට එලෙස කටඋත්තරයක් ලබා දී තිබිණි.

බෝම්බයක් ගසා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතවන මොහුට ඇප ලබා ගැනීම සඳහා වසර එක හමාරක පමණ කාලයක් ගතවිය.

අනුරාධපුර මහාධිකරණයට නඩුව යොමු කිරීමෙන් අනතුරුව ඇප ලබා ගත්තා මොහු නඩු වාර දෙකක් සඳහා මහාධිකරණයේ පෙනී සිටියේය. ඉන් අනතුරුව මොහු අධිකරණය පැත්ත පළාතේ පස් පාගන්නට ගියේ නැත.

අනුරාධපුර පළාත්බඳ මහාධිකරණයේ එච්.සී. /30/2001 නඩු අංකය යටතේ මෙම ත්‍රිපුද්ගල ඝාතන නඩුව විභාගයට ගත්ත ද චුදිතයා පෙනී සිටියේ නැත. අනතුරුව චුදිතයා අත්අඩංගුවට ගැනීම සඳහා මහාධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේය.

එහෙත්... චුදිතයා සොයා ගැනීමට හැකි වුයේ නැත. මොහු අල්ලන ලෙසට රටපුරා සියලුම පොලිස් ස්ථාන වලට දැනුම් දී තිබුණි මොහු අල්ලා ගැනීමට හැකි වුයේ නැත.

අනතුරුව චුදිත නොමැතිව නඩුව විභාග කොට දෙදහස් හය වර්ෂයේ ඔක්තෝම්බර් මස දහ වැනිදා මොහුට මරණ දඬුවම නියම කැරිණි. මොහු මෙලෙස පොලිසියට කොටු වන්නේ මරණ දඬුවම් නියම වී වසර එකොළහක් ඉක්ම යාමෙන් අනතුරුවය. එනම් අධිකරණය මඟ හැර වසර දාහතරක් පමණ ගෙවී ගිය පසුවය.

පසුගිය දාසය වැනිදා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු ගෙවී ගිය කාලය ගත කළ අයුරු පොලිසියට පාපොච්චාරණය කර තිබිණි.

ඒ අනුව ඇප මත එළියට එන මොහු නඩුවාර දෙකකට පමණක් පෙනී සිටීමෙන් අනතුරුව උසාවිය මඟ හැර අතුරුදහන් වන්නේ නඩුව අවසානයේ තමාට මරණ දඬුවම නියත බව වැටහුණු නිසාය. එනම්.... මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකළ බවට තමාද නඩු භාණ්ඩ සහිතව කටඋත්තර ලබාදී ඇති බැවින් කිසිදා ගැලවීමක් නොමැති බව හොඳින් තේරුම් ගිය නිසාය.

එලෙස ගමෙන් පැන යන මොහු හොර රහසේම විදෙස් ගතවිය. මැද පෙරදිග රටකට ගොස් රැකියාවක් කළ මොහු වසර තුනකට පමණ පසු මෙරටට පැමිණිය ද ගම් පළාතට ගියේ නැත.

අනතුරුව අහුංගල්ල ප්‍රදේශයේ කාන්තාවක විවාහ කරගන්නා මොහු එම පළාතේම පදිංචි විය. මොහු විවාහ කරගත් කාන්තාව මීට පෙර විවාහ වී සිටි අයෙකි. දෙදරු මවක වූ ඇයගේ දරු දෙදෙනාගේ වගකීම ද බාරගත් මොහු බස් රථ රියැදුරකු ලෙස රැකියාවක් ද සොයා ගත්තේය.බිරියගේ ඉඩකඩම් වල වගා කටයුතු වලද යෙදුණ මොහු කල් ගතවෙද්දී එම ප්‍රදේශයේ කාගෙත් හිතවතකු බවට පත්විය.

මීට වසර කිහිපයකට පෙර මොහුට පියපදවියද උරුම විය. පොලිස් අත්අඩංගුවට පත්වන විට මොහු එක්දරු පියෙකි. මොහුගේ බිරිය තුන්දරු මවකි.

ත්‍රිත්ව ඝාතන සිද්ධිය වී වසර දහ අටකි. දැන් මේ වන විට මේ සිද්ධිය ගැන කාට කාටත් අමතක වී ඇතැයි සමන් සුජීව සිතන්නට ඇත. මොහු පසුගිය සිංහල අවුරුද්දට පසුව දිනයේ මව බැලීම සඳහා පරසන්ගස්වැවට එන්නේ ඒ නිසා විය යුතුය. එහෙත්.... මොහුගේ අරමුණ වී තිබුණේ මව බැලීමට වඩා මවට අයත් අක්කර පහේ ඉඩම තම නමට ලියවා ගැනීමය.

අවුරුද්දෙන් පසු මොහු ගමට පැමිණි සිටිනු දුටු ගැමියකු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම් දී තිබිණි. ඔහු....එම පුද්ගලයාට පවසා තිබුණේ යළි ඔහු පැමිණය හොත් තමාට දන්වන ලෙසටය.

ඒ අනුව පසුගිය දාසය වැනිදා සවස එම පුද්ගලයා අපරාධ අංශ ස්ථානධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී කියා සිටියේ මොහු නිවෙසට පැමිණ සිටින බවය. ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බැවින් ඔහු එම ත්‍රිරෝද රථයේ අංකය පොලිසියට ලබා දී තිබිණි. පොලිසිය රාජාංගනය හන්දියේ රැක සිට මොහු අත්අඩංගුවට ගත්තේ ත්‍රිරෝද රථයේ අංකය පරීක්ෂා කිරිමෙන් අනතුරුවය.

අනුරාධපුර පොළොන්නරුව කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී පීරිස් යන නිලධාරින්ගේ උපදෙස් මත අනුරාධපුර මුලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.එස්.කුමාරසේන ඇතුලු උපපොලිස් පරීක්ෂක එච්.විදානගමගේ සැරයන් 20566 සෝමසිරි, කොස්තාපල්වරුන් වන 16446 චන්දන, 47852 කුමාර, 35525 දේශපි‍්‍රය මෙම මෙහෙයුමට එක්වුහ.