සමිත්පුර ඉසුරු ඝාතනය චුටි උක්කුං කල්ලියේ වැඩක්?

සමිත්පුර ඉසුරු ඝාතනය චුටි උක්කුං කල්ලියේ වැඩක්?

සුබය අප්පු කංකානම්ලාගේ ගයාන් ජීවන්ත නොහොත් ඉසුරු සිය බිරිය සහ වැඩිමල් දරුවා ද සමඟ ගමනක් යාමට නිවෙසින් පිටවන විට වේලාව උදේ එකොළහ පමණ වී තිබිණි.

ඔහුගේ පදිංචිය මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර අංක ටී - 111 දරණ නිවෙසේය. මොවුන් මේ ගමන යාම සඳහා පිටත් වුයේ ඉසුරුට අයත් ත්‍රිරෝද රථයෙනි.

සමිත්පුරෙන් පිට වූ ත්‍රිරෝද රථය ජුබිලි මාවතේ යුද හමුදා කඳවුර පසුකරගෙන ටී හන්දිය අසලට ළඟා වන විට වාහන තදබදයක් හෝ මිනිසුන් හෝ දකින්නට නොවීය.

මාර්ගය දකුණුපස අයිනේ යතුරුපැදියක් නවතා තිබෙනු ඉසුරු ඈත තියාම දකින්නට ඇතත් ඔහුට ඒ ගැන සිතන්නට යමක් නොතිබෙන්නට ඇත. එහෙත්.... ත්‍රිරෝද රථය, යතුරු පැදිය ආසන්නයට එද්දී දුටු දෙසින් ඉසුරු කලබල වුවා සේම බිය වු බව නම් නිසැකය.

ඒ.... ටී - 56 ගිනි අවියක් රැගත් පුද්ගලයකු ඉසුරුගේ යතුරුපැදිය ඉදිරියට පැන වෙඩි තබන්නට සැරසුන නිසාය.

ත්‍රිරෝද රථයේ දකුණු පසින් පැමිණි තුවක්කුකරු රථය ඉදිරිපසින් වම්පසට ගොස් තැබු පළමු වෙඩිල්ලෙන්ම අඩපණ වූ ඉසුරු රථයේ දකුණු පසින් බිමට ඇදගෙන වැටිණි.

පුංචි දරුවා සහ බිරිය පිටුපස අසුනේ භීතියට පත්ව සිටිය දී රියැදුරු නොමැතිව හෙමින් සීරුවේ ඉදිරියට ගිය ත්‍රිරෝද රථය තාප්පයක ගැටී නතර විය.

ඒ වන විට ද ඒ අසල සිටි තුවක්කුරු ඉසුරුවෙත තවත් වෙඩි පහරක් එල්ල කොට නවතා තිබු යතුරුපැදිය දෙසට ගියේය. එහෙත්... එම වෙඩි පහර වලින් ඉසුරු මියගොස් නොතිබිණි.

තාප්පයට හේත්තුව නතර වූ ත්‍රිරෝද රථයෙන් බැසගත් බිරිය දරුවා ද තුරුල් කරගෙන බියෙන් හා වේදනාවෙන් තම දෑස් ඉදිරිපිට වූ ගේට්ටුවක් අසල කෑ ගසමින් හඬා වැටෙන අයුරු ඉසුරු යාන්තමට දකින්නට ඇත. වම් අතත් හිසත් ඔසවන්නට ඉසුරු උත්සාහ කරන්නට ඇත්තේ කෙසේ හෝ නැගිට ඔවුන් අසලට යාමට සිතා විය යුතුය. යතුරු පැදිය අසලට ගොස් ඒ දෙස බලා සිටි තුවක්කුකරුට ඉසුරු පනපිටින් තබා ආපසු යන්නට වුවමනාවක් තිබුණේ නැත. ඉසුරුගේ සිරුරේ චලන දුටු ඔහු ආපසු ඉසුරු අසලට පැමිණ හිස ප්‍රදේශයට තවත් වෙඩි පහර කිහිපයක් එල්ල කළේ බිරියගේත් දරුවාගේත් කෑ ගැසීම් හඬ ගණනකට වත් නොගෙනය.

එම වෙඩි පහර වලින් ඉසුරුගේ සිරුරේ තිබු අන්තිම හුස්ම පොදත් වාතලයට මුසුවිය. ඉසුරුගේ දේහය නිසල විය. තුවක්කරු යතුරුපැදියේ පිටුපස අසුනට ගොඩවිය. පැදිකරු එය ඉසුරු අසලින්ම ධාවනය කරද්දී දරුවාද ඇදගෙන බිරිය ඉසුරු අසලට දිව ආවේ කෑමොර දෙමිනි.

තුවක්කුකරු රැගත් යතුරුපැදිය පිටව ගියේය. ඉසුරු වැටී සිටියේ වතුර වලක් තිබු ස්ථානයකය. ඉසුරුගේ සිරුරින් පිට වූ රුධිරය වතුරට එක්ව මුලු වතුර වලම රතු පැහැයෙන් දිස්වෙද්දී ඒ අසල දණගසාගත් බිරිය ඉසුරු ඔසවන්නට උත්සාහ කළේ ඔහුගේ සිරුරේ යම් තැනක තවත් පණ පොදක් හෝ ඉතිරිව ඇතැයි යන බලාපොරොත්තුව නිසා විය යුතුය.

තුවක්කරු පිටව ගොස් විනාඩි කිහිපයකට පසු සිද්ධිය වූ ස්ථානයට පැමිණි අසල්වාසීන් ඉසුරු කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය ද ඒ වන විට ඔහු මිය ගොස් ටික වේලාවක් ගතව තිබිණි.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය ගැන මට්ටක්කුලිය පොලිසියට තොරතුරු ලැබෙන්නේ 118 හදිසි ඇමතුම් අංකයෙනි. 118 අංකයට ඇමතුමක් දුන් පුද්ගලයකු පවසා තිබුණේ මට්ටක්කුලිය ජුබිලි මාවතේ යුද හමුදා කඳවුර අසල වෙඩි තැබීමක් සිදු වී ඇති බවයි.

උදේ එකොළහයි කාලට පමණ මට්ටක්කුලිය පොලිසියට මෙම තොරතුර ලැබුණු අතර පොලිසිය එම ස්ථානයට යන විට තුවාලකරු රෝහලට රැගෙන ගොස් තිබිණි.

ඝාතනය වූ පුද්ගලයා ඉසුරු යන අනවර්ථ නාමයෙන් හඳුන්වන, රැකියාව ලෙස ත්‍රිරෝද රථයක් පැදවීමේ ද ඊට අමතරව හෙරොයින් ජාවාරමේ ද යෙදී සිටින අයකු බවට පොලිසියට තොරතුරු ලැබිණි.

කවුද... මේ ඉසුරු? සැලසුම් සහගත ලෙස ඔහු වෙඩි තබා මරා දමන්නේ කුමන හේතුවක් නිසාද?

මොහුගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ මට්ටක්කුලිය පොලිසිය මෙම ප්‍රශ්න වලට පිළිතුරු සොයා යද්දී දැනගන්නට ලැබුණේ මොහු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කුඩු රොෂාන් ගේ ගෝලයකු බවත් වෙඩි තැබීම සිදුකර ඇත්තේ චුටි උක්කුං ගේ පාර්ශ්වයෙන් බවත්ය.

ඉසුරුගේ වයස අවුරුදු විසි හතරකි. එහෙත්... ඔහු දෙදරු පියෙකි. සමිත්පුර උපන් මොහු ද ඒ ප්‍රදේශයේ ජීවත් වන අනෙක් දරුවන් සේම කුඩු ඉරීමට, පුරුදු වන්නේ යාන්තම් වයස දාසය පසුවෙද්දීය. එනම්.... ගැටවර වියේ අවසන් අදියරේදීය.

ගල්සම්පත් යනු සමිත්පුර සිටි ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කාරයෙකි. එහෙත් ඔහු එම ජාවාරම කරගෙන ගියේ තනිවමය. එනම් ඔහු කාගේ හෝ ගෝලයකු වත් අනුන්ගේ කුඩු බෙදාහරින්නකු වත් වුයේ නැත.

කුඩු ඉරීම සඳහා ගල්සම්පත්ගේ “කුඩු පොට් එක” තෝරා ගත් ඉසුරු අඩුම වශයෙන් දිනකට එක් වරක් හෝ එහි ගියේය.

ගල් සම්පත්ගේ බිරිය හෂීබා ද සැමියාගේ කුඩු ජාවාරමට පුර්ණ සහාය දැක් වු අතර ඒ වන විට මේ පවුලේ ගැටවර වියේ පසු වූ දියණියක ද වුවාය.

ඉසුරුත්... මේ දියණියත් අතර පේ‍්‍රම සබඳතාවක් ඇතිවන්නට එතරම් කාලයක් ගතවුයේ නැත.

එලෙස කාලය ගෙවී යද්දී කුඩු තොගයක් ද සමඟ ගල්සම්පත් පොලිසියට කොටුවිය. ඔහු සතුව තිබී අල්ලාගත් කුඩු තොගය මරණ දඬුවම් ලැබිය හැකි තරම් ප්‍රමාණයකි.

කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුව අවසන් වුයේ ගල්සම්පත්ට මරණ දඬුවම නියම කරමිනි.

කුඩු සමඟ සැමියා පොලිසියට කොටුවීමෙන් අනතුරුව බිස්නස් එක අතට ගත් බිරිය හෂීබා එය දිගටම කරගෙන ගියේ ඉසුරුගේ ද සහාය ඇතිවය. ඒ වන විට ඉසුරු ඇයගේ බෑණා බවට පත්ව තිබිණි.

ඒ අතර කුඩු සමඟ හෂීබා ද පොලිසියට කොටු වූ අතර වර්ථමානය වන විට ද ඇය කුඩු ජාවාරමේ යෙදී සිටින්නේ මහාධිකරණයෙන් ලැබුණු ඇප මත සිටිමිනි.

මරණ දඬුවම නියමව මැගසින් බන්ධනාගාරයේ සිටින ගල්සම්පත් කුඩු ජාවාරම මෙහෙයවන අතර වර්ථමානය වන විට මෙම ජාවාරමේ ශක්තිවන්ත පුරුක බවට පත්ව සිටියේ ඉසුරුය.

ගල් සම්පත් කුඩු ජාවාරම ස්වාධීනව කරගෙන ගිය ද ඉසුරු “කුඩු රොෂාන්” සමඟ සම්බන්ධතා පවත්වා ගනිමින් ඔහුගේ කුඩු ජාවාරමට ද හවුල් වී සිට ඇති අතර එබැවින් ඔහු මරා දමන්නට ඇත්තේ චුටි උක්කුං පාර්ශ්වය බව පරීක්ෂණ කණ්ඩායම් වල අදහසයි.

කාරියප්පෙරුම නුවන් සංජීව පෙරේරා නොහොත් චුටි උක්කුං යනු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කොළඹ ප්‍රදේශයෙ පාතාල කල්ලි නායකයකු වූ ‘බ්ලුමැන්ඩල් සංඛ‘ ගේ ගෝලයෙකි. බ්ලුමැන්ඩල් සංඛගේ විරුද්ධ පාතාල කල්ලියේ නායකයා දෙමටගොඩ චමින්දය. වර්ථමානය වන විට මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්ද දුම්බර බන්ධනාගාරයේ කල් ගෙවයි. කුඩු රොෂාන් යනු දෙමටගොඩ චමින්දගේ කල්ලියේ සමිත්පුර ප්‍රදේශයේ ප්‍රධානියාය.

චුටි උක්කුං සහ කුඩු රොෂාන් කලකට පෙර හිතවතුන්ය. බ්ලුමැන්ඩල් සංඛගේ කුඩු ජාවාරම සමිත්පුර ඇතුලු අවට ප්‍රදේශවල කරගෙන ගියේ චුටි උක්කුංය. කුඩු රොෂාන්ගේ පියා වන කුඩු සුමියා ද එම ප්‍රදේශයේම කුඩු ජාවාරම කරගෙන ගියේ දෙමටගොඩ චමින්ද ගේ ද සහාය ඇතිවය. චුටි උක්කුං සහ කුඩු රොෂාන් අතර මතභේද හටගන්නේ සමිත්පුර කුඩු ජාවාරමේ ආදිපත්‍යය සියතට ගැනීම උදෙසාය.

මීට වසර කිහිපයකට පෙර දිනයක දී චුටි උක්කුං විසින් කුඩු සුමියා ඝාතනය කරන්නේ බිලුමැන්ඩල් සංඛගේ අවශ්‍යතාවක් මතය. ඒ කුඩු සුමියා දෙමටගොඩ චමින්ද ගේ හිතවතකුගේ මළ ගමකට ආහාර පිසීමට අවශ්‍ය මාලු රැගෙන දුන් තරහටය.

එදින සවස කඩුවක් ද රැගෙන ‘කුඩු සුමියා’ ගේ නිවෙස අසලට යන චුටි උක්කුං සුමියා කපා කොට මරා දමන්නේ ඔහුගේ පුත් කුඩු රොෂාන් ඉදිරිපිටය. කුඩු රොෂාන්ගේ පිටට ද කඩු පහරක් වදින අතර බරපතල තත්ත්වයේ සිටි ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කැරණි.

එදින රාත්‍රියේම චුටි උක්කුං ගේ මව කපා කොටා ඝාතනය කළ අතර එහි චෝදනාව එල්ල වූයේ කුඩු රොෂාන්ටය. එහෙත්... ඒ වන විට රෝහල් ගතව සිටි කුඩු රොෂාන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. පසුව හෙළි වුයේ දෙමටගොඩ චමින්දගේ සගයන් චුටි උක්කුං ගේ මව මරා දැමු බවත්, එලෙස කළේ කුඩු රොෂාන්ට දක්වන සහයෝගයක් ලෙසටත් බවය.

එහෙත් ... අදවන තුරුත් චුටි උක්කුගේ මවගේ ඝාතකයන් පොලිසියට කොටු වූයේ නැත.

කුඩු සුමියා ඝාතනයට ඇතුළට ගිය චුටි උක්කුං මාස කිහිපයකින් ඇප ලබා එළියට ආවේය. කුඩු රොෂාන් ද සුවය ලබා රෝහලින් පිටව පියාගේ කුඩු ජාවාරම තව තවත් දියුණු කරගෙන කල් ගෙවන්නට විය. ඔහු සමිත්පුර මුඩුක්කුවේ තට්ටු තුනකට නිවෙසක් ඉදි කළේය. චුටි උක්කුං ද ඒ හා සමාන නිවෙසක් ඉදි කළේය.

එහෙත්.... මේ දෙදෙනාම කල් ගෙවූයේ සිත තුළ දැඩි වෛරයක් තබාගෙනය. කුඩු රොෂාන්ගේ පියාත් චුටි උක්කුංගේ මවත් ඝාතනය වුයේ එකම දිනකය. එබැවින් ඒ දිනය සැමරීමට ද මේ දෙදෙනාම කටයුතු කළහ.

දෙදහස් දාසය වර්ෂයේ ඔක්තෝම්බර් මස තිස් වැනිදා සවස චුටි උක්කුං මිතුරන් පිරිවරාගෙන මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමපුර ක්‍රීඩාංගණයට යන්නේ එම සැමරුම වෙනුවෙන් එල්ලේ තරගයක් පැවැත්වීම සඳහාය.

සිය පියාගේ ඝාතනය සැමරීමට කුඩු රොෂාන් ද සුදානම්ව සිටියේය. එහෙත්... ඔහුගේ සුදානම කුමන ආකාරයේ එකක් දැයි චුටි උක්කුං හාංකවිසියක් වත් දැන සිටියේ නැත.

එල්ලේ තරඟය අවසන් කොට හොඳ හැටි මත්පැනින් ද සප්පායම් වූ චුටි උක්කුං ඇතුලු මිතුරු කැල රාත්‍රී හතහමාරට ආසන්න වෙද්දී නිවෙස් බලා පිටත් වුහ. චුටි උක්කුං ගොඩවුයේ ඔහුට අයත් සුදු පැහැ හයිබ්‍රිඩ් මෝටර් රථයේ රියදුරු අසුනටය. ඉතිරි අසුන් මිතුරන් කිහිප දෙනකුගෙන් පිරී ගියේය.

මෙම මිතුරු කැළට අයත් ත්‍රිරෝද රථයක් ද යතුරු පැදියක් ද තිබු අතර ඉතිරි අයගෙන් කිහිප දෙනකු ත්‍රිරෝද රථයටත්, තවත් දෙදෙනකු යතුරු පැදියටත් ගොඩ වී චුටි උක්කුං ගේ නිවෙස දෙසට පැමිණෙමින් සිටියහ.

නිවෙසට යා හැකි ළඟ පාරක් තිබිය දී චුටි උක්කුං සිය මෝටර් රථය ධාවනය කළේ කුඩු රොෂාන්ගේ නිවෙස පිහිටි පාර දෙසිනි. ඒ... පෙරදා මෙන් යන අතරමඟදී රොෂාන්ට අරියාදුවක් කරගෙන යාම සඳහාය.

මෝටර් රථය කුඩු රොෂාන්ගේ නිවෙස අසලට එද්දී චුටි උක්කුං දුටුවේ කුඩු රොෂාන්ගේ නිවෙසින් එළියට බැසගත් කිහිප දෙනකු මාර්ගය ඉදිරිපිට මෝටර් රථයට මුහුණලා සිටගත් බවකි. එම පිරිස අතර කුඩු රොෂාන් ද ගිනි අවියක් අතැතිව සිටිනු දුටු චුටි උක්කුං ඇතුලු පිරිස අන්මන්ද විය.

ඒ සමඟම මෝටර් රථය දෙසට වෙඩි වරුසාවක් පතිත විය. පොලු මුගුරු රැගත් පිරිසක් ද මෙම කණ්ඩායමට ඇතුලත්ව සිටියහ.

එක දිගට වෙඩි වරුසාවක් එල්ල කළ තුවක්කු කරුවන් එම ස්ථානයෙන් ඉවත් වෙද්දී පොලු මුගුරු රැගත් පිරිස ඊළඟ ප්‍රහාරය එල්ල කළේය.

මෙම ප්‍රහාරයෙන් චුටි උක්කුං ඇතුලු පස්දෙනකු එම ස්ථානයේදීම මියගියහ.

මෙම පංච පුද්ගල ඝාතනයට කුඩු රොෂාන් අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයෙනි.

එකවර එක ස්ථානයක දී පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කිරීමේ චෝදනාව කුඩු රොෂාන්ට එල්ල වී ඇත. ඔහුගේ මවත් බිරියත් පවසන්නේ කුඩු රොෂාන් යනු වීරයකු බවයි.

“එකපාර එකතැන පහක් මරන්න කාටවත් බෑ. එහෙම කරපු මගේ පුතා රජෙක්.”

ඒ කුඩු රොෂාන්ගේ මවගේ අදහසය.

“එකපාර පස්දෙනෙක් මරපු මගේ මිනිහා වීරයෙක්.”

ඒ කුඩු රොෂාන්ගේ බිරියගේ අදහසය.

ඒ කෙසේ වෙතත් කුඩු රොෂාන් අද සිරගෙදරය. චුටි උක්කුං වළපල්ලේය. එහෙත්... දෙන්නාගේ ‘ගේම‘ අවසන් නැත. අයියා මැරු පළිය මල්ලී ගත්තා දැයි යන සැකය මතුව ඇත්තේ ඉසුරු ඝාතනයෙන් පසු චුටි උක්කුංගේ බාල සහෝදරයකු ප්‍රදේශයෙන් අතුරුදන් නිසාය.

නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක, සහකාර පොලිස් අධිකාරී රසල් ද සොයිසා යන නිලධාරින්ගේ උපදෙස් මත මට්ටක්කුලිය පොලිසියේ ස්ථානධිපති ඩී.ජී. බණ්ඩාර දෙවටගෙදර ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයම්පති, සැරයන්වරුන් වන 48876 දිපාල්, 25450 රාජරත්න ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ වල නිතරව සිටී.