කවුද මේ...? රණා - රාජු

කවුද මේ...? රණා - රාජු

දින විසිතුනක කාලයකදී පුද්ගලයන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කළ දකුණු පාතාලයේ අබිරහස් වෙඩික්කරුවන් දෙදෙනා කවුරුන්ද යන්න මේ වන විට හෙළි වී අවසානය.

දැන් ඔවුන් දෙදෙනා සිපිරිගෙදරය. එලියේ හිටියා නම් තවත් කිහිප දෙනකුම අද වන විට වලපල්ලේය. මොවුන්ගේ ඝාතන ලැයිස්තුවේ නම් සඳහන්ව සිටි අය අද සැනසුම් සුසුම් හෙළනවා ඇත. එහෙත් පාතාල ලෝකයේ වෙඩික්කරුවන් එකෙකු වලපල්ලටත් තව කෙනෙකු ඇතුළටත් ගිය පලියට ඉලක්ක අතහැර දමන්නේ නැත. එකෙකු ඇතුළට යන විට තව වෙඩික්කරුවන් බිහිවීම පාතාල ලෝකයේ ක්‍රමවේදයයි. එලෙස එකෙකු වලපල්ලට යන විට ඊට සම්බන්ධ වූ හැම එකාම වලපල්ලට යැවීම ද පාතාල ලෝකයේ සිරිතය. එබැවින් මේ දෙදෙනා ඇතුළට ගිය ද දකුණු පාතාලයේ ඝාතන දාමය කිසි විටකත් අවසන් නොවනු ඇත.

පෑලියගොඩ අපරාධ කොට්ඨාශයෙන් අත් අඩංගුවට ගත් මේ වෙඩික්කරුවන් දෙදෙනා වූයේ සොබනාහන්දි සනත් ද සිල්වා නොහොත් රාජු සහ තඹවිට ගුරුන්නාන්සේලාගේ ලසන්ත පද්මලාල් නොහොත් රණාය.

රාජුගේ වයස අවුරුදු තිස් හතරකි. පදිංචිය මීටියාගොඩ මහවත්ත අංක 289/4 දරණ ලිපිනයේය. විවාහකයෙකි. දෙදරු පියෙකි.

දෙදහස් දෙක වර්ෂයේදී කොස්තාපල්වරයකු ලෙස පොලිස් විශේෂ කාර්යය බලකායට එකතුවන රාජුට එහි සේවයේ නිරතවීමට හැකි වූයේ වසරක කාලයක් පමණි. දෙදහස් තුන වර්ෂයේ මොහු විශේෂ කාර්යය බලකායෙන් නෙරපා දමන්නේ පසුබිම් වාර්තාවේ අසත්‍ය තොරතුරු සඳහන් කිරීම නිසාය.

ඔහු එලෙස සේවයෙන් නෙරපා හැරිය ද ඔහුට ලබා දුන් යුද පුහුණුව සහ අවි පුහුණුව ආපසු ලබා ගැනීමට කිසිවෙකුටවත් හැකි වූයේ නැත.

යුද බිමට යාමේ අරමුණ ඇතිව පෙරට තැබූ පළමු පියවර ආපස්සට ගැනීමට සිදු වූ නමුත් රාජු පසුබට වූයේ නැත. අනතුරුව ඔහු දෙදහස් හතර වර්ෂයේ යුද හමුදා සේවයට එක් වන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළකු ලෙසටය. දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණු රාජු දෙදහස් එකොළහ වර්ෂයේ ඔක්තෝම්බර් මාසය දක්වා සේවයේ යෙදී සිටියේය. මොහුට යුද හමුදා සේවය අහිමි වන්නේ දෙදහස් එකොළහ වර්ෂයේදී කරන්දෙණිය දොස්තර හොඳ හිත ඝාතනය කිරීමේ සිද්ධියට අත් අඩංගුවට පත්වීම හේතුවෙනි.

රණා යනු නව වන ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අයෙකි.

මොහු ද හිටපු යුද හමුදා සෙබළෙකි. 1999 වර්ෂයේ යුද හමුදා සේවයට එකතුවන මොහු පුහුණුවෙන් අනතුරුව හත්වන පාබල හමුදාවට අනුයුක්ත කෙරිණි.

වසර හයකට ආසන්න කාලයක් යුද හමුදා සේවයේ නිරතව සිටි මොහු දෙදහස් පහ වර්ෂයේ මැයි මස තිස් එක් වැනිදායින් අනතුරුව යුද හමුදා සේවයට වාර්තා කළේ නැත. එනම් එදින සිට මෙහු නොදන්වා සේවයට නොපැමිණීමේ ලේඛනයට එනම් ‘ඇබ්සන් ලිස්ට්’ එකට එකතු වූ සෙබළකු බවට පත් විය.

හමුදා සේවයට සමු දුන් මොහු පෞද්ගලික බස් රථ රියැදුරකු ලෙස රැකියාවක් සොයා ගත්තේය. සූරියවැව දෙබරවැව ප්‍රදේශයේ පදිංචිකාරියක සමඟ විවාහ දිවියට එළැඹෙන මොහු කොස්ගොඩ, ගොඩගම අංක 319 ඒ දරන ලිපිනයේ පදිංචි විය.

සුජීව සොයිසා නොහෙත් කොස්ගොඩ සුජී රණාගේ පාසල් මිතුරෙකි. ගමේ යාලුවෙකි. ඒ වන විට ද අපරාධ ලෝකයට පිවිස සිටි කොස්ගොඩ සුජීට යුද හමුදා පුහුණුව ලබා සිටින රණා තමාගේ වැඩවලට දායක කර ගැනීම වාසිදායක බව සිතෙන්නට ඇත. දෙදහස් අට වර්ෂයේදී සුජී, රණාට මනුෂ්‍ය ඝාතන කොන්ත්‍රාත්තුවක් බාර දෙන්නේ ඒ නිසා විය යුතුය.

“තරහකාරයෙක් ඉන්නවා. ඌත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඌව අයින් කරන්න පොඩ්ඩක් උදව් කරපං” ලෙසින් සුජී කරන ඉල්ලීමට රණා පිටුපෑවේ නැත.

ඒ අනුව දෙදහස් අට වර්ෂයේදී කොස්ගොඩ ප්‍රදේශයේදී ප්‍රීති කුමාර යන අය වෙඩි තබා ඝාතනය කරන්නේ රණා විසිනි. එම ඝාතනයෙන් අනතුරුව මංකොල්ලවලටත් තවත් මනුෂ්‍ය ඝාතන සඳහාත් දායක වන රණා අත් අඩංගුවට පත්වන අතර සුජී ඇතුළට යන්නේ ප්‍රීතිකුමාර ඝාතන සිද්ධියටය.

මෙලෙස ඇතුළට ගොස් ඇප මත එලියට එන රණා ඉන් අනතුරුව කොල්ල කල්ලියක් සාදා ගත්තේය. මිරිස්සේ ප්‍රියන්ත, ලලිත් පින්තු, රංහොටි ගෙදර වජිර පුෂ්කුමාර, නුවර රත්නායක ඇතුලු කණ්ඩායමක් එක්ව ජාඇල, මීගමුව, කටුනායක, සීදූව ප්‍රදේශවල කොල්ලකෑම්වල යෙදිණි.

මෙලෙස කොල්ලකෑම්වල යෙදෙමින් ඇතුළට යමින් එලියට එමින් කල් ගෙවන රණා දෙදහස් එකොළහ වර්ෂයේදී තවත් මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ විය. ඒ උදේශ් චන්දිමාල් යන අය සමඟ එක්ව කරන්දෙණියේ කපුවා ඝාතනය කිරීමයි.

මේ වකවානුව වන විට මාකඳුරේ මදුෂ් ද කොල්ලකෑම්වල යෙදී සිටියේය. වත්තල ප්‍රදේශයේ නිවෙසක් කොල්ලකෑමට ගිය අවස්්ථාවක ඇති වූ ගැටුමකදී මදුෂ් කල්ලිය එම නිවෙසේ සිටි තරුණයකුට වෙඩි තැබූ අතර එම වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

මේ අතර රණා අත් අඩංගුවට පත් වන්නේ මදුෂ්ගේ ගෝලයකු වූ තාරක යන අයගේ මිතුරකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවටය.

වත්තලදී මදුෂ් කල්ලිය තරුණයකු ඝාතනය කළ සිද්ධියෙන් අනතුරුව මදුෂ් කල්ලියේ දෙදෙනකු වෙඩි තබා ඝාතනය කරන අතර එම ද්විත්ව ඝාතනයට සැකපිට ලලිත් පින්තු අත් අඩංගුවට ගනු ලබන්නේ කොළඹ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසිනි.

මදුෂ් කඹුරුපිටියේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කරන අතර මෙලෙස මිනිස් ඝාතනවලත්, කොල්ලකෑම්වලත් යෙදුණ මදුෂ් අත් අඩංගුවට පත්වන්නේ වෙනත් නඩුවක වරෙන්තුවකටය.

රක්ෂිත බන්ධනාගාර ගත වූ මදුෂ් ද ත්‍රස්ත විමර්ෂණ ඒකකය භාරයට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කළේය. ඒ සමඟ ඇතුළේ සිටි රණාත් මිරිස්සේ ප්‍රියන්තත් රඳවා ප්‍රශ්න කිරීමේ නියෝග මත ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසය භාරයට ගන්නා අතර දෙපාර්ශ්වයෙන්ම කළ දීර්ඝ ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අවි ආයුධ රැසක් සොයා ගැනීමට හැකි විය. මේ අතර කරන්දෙණිය දොස්තර හොඳ හිත ඝාතන සිද්ධියට ඇතුළට ගිය රාජු මෙන්ම ඔහුගේ සහෝදරයා වූ සුද්දා ද ඇප මත එලියට එන අතර මේ දෙදෙනා යළි ඇතුළට යන්නේ දෙදහස් පහළොව වර්ෂයේ අම්බලන්ගොඩ පොලිස් වසමේදී සුසන්ත මෙන්ඩිස් යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියටය. මෙම ඝාතනයට සුද්දා සහ රාජුට අමතරව මාදම්පේ වසන්ත සොයිසා සහ මාදම්පේ සජිත් සමන් ද සම්බන්ධ වන අතර මොවුන් අත් අඩංගුවට පත්වන්නේ දෙදහස් දහසය වර්ෂයේය.

ඒ වන විට පොඩි ලසී, රණා ඇතුලු කොස්ගොඩ සුජී කල්ලි සාමාජිකයන් රාජු සහ සුද්දාගේ හොඳ මිතුරන් බවට පත්ව තිබිණි. දෙදහස් පහළොව වර්ෂයේදී රණාට මෙන්ම මදුෂ්ටත්, සුජීටත් ඇප ලැබිණි. ඇප මත එලියට ආ මදුෂ් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවන අතර ඊට සති කිහිපයකට පසු කොස්ගොඩ සුජී ද ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස් ගත විය.

කොල්ලකෑම්වලින් උපයාගත් මුදල්වලින් රණා තිස්සමහාරාමයේ ඉඩම් මිලදී ගෙන නිවෙස් ද සාදා තිබිණි.

ඇප මත එලියට ආව ද රණාට ඇතුළේ සිටින මිතුරන් අමතක කිරීමට පුලුවන්කමක් තිබුණේ නැත. රාජුට ඇප ලැබෙන්නේ අපේ‍්‍රල් මස හතර වැනිදාය. එදා රාජු කැඳවාගෙන යාමට එන්නේ රණාය. ගිනි අවියට අතහුරු මිතුරන් දෙදෙනා එක්ව දින විසි තුනක කාලයකදී විරුද්ධවාදීන් පස් දෙනකු මරා දමා අනෙක් පිරිස මරා දැමීමට පෙර පුංචි විවේකයක් ගැනීමට එදින ජාඇලට එන්නේ රණාට එම ප්‍රදේශය ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසාය. ඒ ඔහු මීට වසර කිහිපයකට පෙර කොල්ලකෑම්වල යෙදුණේ මෙම ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල බැවිනි.

ඝාතන සඳහා භාවිත කළ ටී-56 ගිනි අවිය මිට මෙන්ම බඳ ද කපා කෙටි කොට කුඩා බෑගයක දමා ගෙන යා හැකි ලෙස සකසා තිබියදී සොයා ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාශය සමත්විය.