මරා දැමුණු දරු දෙදෙනාට වීර සම්මාන

මරා දැමුණු දරු දෙදෙනාට වීර සම්මාන

දිල්ලි සංවර්ධන අධිකාරියේ සේවය කළ ඉන්ද්‍රජිත් සිං එදින වැඩ අවසන් කොට මෝටර් සයිකලයෙන් ගමන් කරමින් සිටියදී විලිංඩන් රෝහල අසල වේගයෙන් ගමන් කරන මෝටර් රථයක් නෙත ගැටිණි. ඔහුගේ අවධානය එම රථය වෙත යොමු වුණේ එහි ළමයින් දෙදනකු මහ හඬින් කෑ ගැසීම නිසාය. රිය පැදවූ රියදුරාගේ හිසකෙස්වල ගැහැනු දරුවකු එල්ලි ඔහු සමඟ සටනක යෙදී සිටින ආකාරයත් පිරිමි දරුවා අනෙකා සමඟ පොර බදින ආකාරයත් සිංට හොඳ හැටි දැකගත හැකිවිය. පිරිමි දරුවා දෑත් දිගුකොට තමා බේරා ගන්නා ලෙස අයැද සිටි අන්දම දුටු සිං සිය මෝටර් සයිකලයෙන් එම රථය පසුකර යාමට උත්සාහ කළේය. එහෙත් මාර්ගයේ පැවති රථවාහන තදබදය නිසා ඔහුට රථය පසු කර යාමට අපහසු විය. ඔහු වහාම සිය දුරකථනයෙන් මේ බව දිල්ලියේ රාජේන්ද්‍ර නගර් පොලිසියට කීවේය. එහෙත් එම ප්‍රදේශය රාජේන්ද්‍ර නගර පොලිසියෙන් පිටත වීම නිසා ඉහළ උසාවියේ නියෝගයක් නොමැතිව ඒ පිළිබඳ සොයා බැලීමට නොහැකි බව පොලිසිය සිංට පවසන්නට විය.

පැහැරගෙන යන දරුවන් දෙදෙනාගෙන් එක් අයකු දහසය හැවිරිදි ගීතා චොප්රා හා අනෙක් දරුවා දහහතර හැවිරිදි සන්ජේ චොප්රාය. ඉන්දිය නාවුක හමුදාවේ කපිතාන් වරයෙකු වූ මදන් මොහන් චොප්රා ගේ දරුවන් වූ මොවුන් සමස්ථ ඉන්දිය ගුවන් විදුලි ආයතනයේ පැවති විශේෂ වැඩසටහනකට සහභාගි වීම සඳහා යමින් තිබිණි.

ගුවන් විදුලි වැඩසටහන උදේ හතට පැවැත්වීමට නියමිතව තිබූ නිසා ඔවූහු උදේ 6.15 ට නිවසින් පිටත් වූහ. ඒ අවස්ථාවේ මඳ වැස්සක් පැවති නිසා ඔවුන් ගුවන් විදුලි ආයතනය වෙත ගියේ පියාගේ හිතවතකුගේ මෝටර් රියකිනි.

මේ අතර උදේ 8 ට පමණ දරුවන්ගේ දෙමාපියන් ගුවන් විදුලි වැඩසටහන ඇසීමට සූදානම් වුවත් එම වැඩසටහනට ඔවුන්ගේ දරුවන් වෙනුවට වෙනත් දරුවකු ඊට සහභාගි වී ඇති අයුරු අසන්නට ලැබීමත් සමඟ වහාම ගුවන් විදුලි මධ්‍යස්ථානය වෙතගිය දෙමාපියන් ඒ පිළිබඳව විමසා සිටි නමුත් ඔවුන්ට දැනගන්නට ලැබුණේ දරවන් ගුවන් විදුලි මධ්‍යස්ථානයට නොපැමිණි බවකි. දරුවන් ආපසු නිවසට නොපැමිණීම ගැන සැක කළ දරුවන්ගේ පියා වූ චොප්රා, ගීතා හා සන්ජේ ගේ අතුරුදන් වීම ගැන මන්දිර් මාර්ග් පොලිස් ස්ථානට දන්වා සිටියේය.දරු දෙදෙනාගේ හදිසි අතුරුදන් වීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙද්දී ඊට දින දෙකකට පසු දිල්ලියේ තණ බිමක නාඳුනන දරුවන් දෙදෙනෙකු ගේ මළ සිරුරු දෙකක් ඇති බව පොලිසියට වාර්තාවිය. හමු වූ සිරුරු මදක් නරක් වී තිබිණ. පොලීසිය මේ බව චොප්රා පවුලට දැනුම්දීමත් සමඟ එතැනට පැමිණි නාවික හමුදා කපිතාන්වරයා සහ පවුලේ උදවිය එම මළ සිරුරු ගීතාගේ හා සන්ජේ ගේ බව හඳුනා ගත්තේ හඬා වැළපෙමිනි.

මළ සිරුරු සම්බන්ධයෙන් පවත්වන ලද මරණ පරික්ෂණවලට අනුව පිහියෙන් අනින ලද තුවාල රැසක් මළ සිරුරුවල තිබූ බවටත් ගැහැනු දරුවාගේ හකු ප්‍රදේශය බිඳී ගොස් තිබූ බවටත් හෙළි විය. සිරුරු ඉතාම නරක් වී තිබූ නිසා දැරිය දූෂණය කර ඇත්ද යන්න හරිහැටි ප්‍රකාශ කළ නොහැකි බව මරණ පරීක්ෂකවරයා කීවේය.

මෙම අපරාධය පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා මදන් මෝහන් චොප්රා විසින් දරුවන්ගේ හා ඔවුන් මරා දමා තිබූ අන්දම සහිත ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරන්නට පියවර ගත්තේය. මෙම අපරාධය පිළිබඳ තොරතුරු ලබා දුන් අයට මුදලින් ත්‍යාග දෙනු ලබන බවද මාධ්‍ය ප්‍රකාශ කර සිටියේය. මෙම අපරාධයට පුළුල් ප්‍රචාරයක් ලැබුණු අතර එය දුටු එම්.එස්. නන්ද නමැත්තෙකු දරුවන් පැහැරගෙන ගිය බව කියන මෝටර් රථයේ හැඩරුව

පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලබා දෙන්නට වීම පරීක්ෂණවලට මහඟු ධෛර්යක් ගෙන දුන්නේය.

නන්ද විසින් දෙනු ලැබූ තොරතුරුවලට

ගැලපෙන රථයක් මජ්ලිස් පාක් නැමැති ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගනු ලැබූ නමුත් එහි තිබූ නොම්මරය වැරදි එකක් වූ අතර නියම නොම්මරයට අනුව එම රථය අශෝක් ශර්මා නැමැත්තෙකුට අයත් වූ එකක් බවත් එය සති හයකට පෙර අශෝක හෝටලය අසල නවතා තිබියදී සොරකම් කරනු ලැබූ බවත් විමර්ශනයේදී අනාවරණය විය. එසේම රථයේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රය හා වෙනත් භාණ්ඩ ගලවා තිබූ අතර ඉදිරිපස ගි‍්‍රල් එකද වෙනස් කර තිබිණ.

මධ්‍යම අධිකරණ වෛද්‍ය රසායනාගාරය මඟින් මෙම රථය පරීක්ෂණයට භාජනය කරනු ලැබූ පසු එම රථයේ තිබී ඇඟිලි සලකුනු, සිගරට් කොටයක්. කෙස් රොද කිහිපයක් හා ලේ පැල්ලම් ද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. එසේම වාහනයේ තිබී නොම්මර තහඩු කිහිපයක් ද හමු වූ අතර රථයේ තිබී හමුවූ පස් කොටස් දරුවන්ගේ මළ සිරුරු හමු වූ ස්ථානයේ පැවති පස් වලට සමාන වූ බවද පරීක්ෂණවලින් හෙළිවිය.

මෙම අපරාධය බලහත්කාරයෙන් පැහැරගෙන යාමෙන් අනතුරුව මරා දැමීමක් ලෙස සනාථ වී තිබිණ. ඒ නිසාම ඊට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි පොලිසියේ විශේෂ අවධානය යොමුවිය.

මේ අතර වෙලිඩෙන් රෝහලේ එක්තරා වෛද්‍යරයෙකු විසින් එම රෝහලට පැමිණි තුවාල කරුවන් දෙදෙනෙකු පිළිබඳව පොලිසියට දන්වන දැනුම් දෙනු ලැබුවේ ඔය අතරය. කුල්ජිට සිං හෙවත් රංග හා ජස්බීර් සිං හෙවත් බිල්ලා යන මොවුන් දෙදෙනා රෝහලට පැමිණියේ ගොල් දක් ඛානා ප්‍රදේ්ශයේදී සිදු වූ රිය අනතුරකදී ඇති වූ තුවාල වලට ප්‍රතිකාර ගැනීම සඳහා බව වෛද්‍යවරයා පොලිසියට දන්වා සිටියේය.

එම හෙළිදරව්වට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් රංග හා බිල්ලා යන අන්වර්ථ නම් වලින් හඳුන්වනු ලැබූ මෙම පුද්ගලයින්ගේ ඉතිහාසය ගැන සොයද්දී ඔවුන් නම ගිය අපරාධකරුවන් බවට හෙළි කර ගැනීමට හැකිවිය. ඉහතකී රථයෙන් සොයා ගනු ලැබූ අධිකරණ වෛද්‍ය තොරතුරු මෙම දෙදෙනාට සම්බන්ධ වීම නිසා මෙම අහිංසක දරුවන් දෙදෙනා දරුණු වධ දී මරා දැමීමේ අපරාධය මොවුන් විසින් සිදු කරනු ලැබූ බවට සනාථ කෙරිණ. ඒ අනුව ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කරන ලදී.ඊට සති කිහිපයකට පසු මෙම රංග හා බිල්ලා යන අපරාධකරුවන් පලා යාම සඳහා කල්කා නමැති තැපැල් දුම්රියට ගොඩ වූහ. ඒ මොහොතේ හමුදා භටයින් රැසක් එම දුම්රියේ ගමන් කරමින් සිටි අතර ඔවුන් මෙම අපරාධකරුවන් හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පොලිසියට ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

සිදු කරනු ලැබූ පරීක්ෂණ වලට අනුව ඔවුන් ළඟ තිබූ සික් ජාතිකයින් සතුව පවතින කර්පාන් යනුවෙන් හඳුන්වනු ලබන කිනිස්සක්ද, ලේ පැල්ලම් සහිත ඇඳුම් කිහිපයක් දසොයා ගැනීමට පොලිසිය සමත් විය. එසේම ඔවුන්ගේ ඇඟිලි සලකුනු රුධිර සාම්පල, ඛේට සාම්පල් ආදිය ගනු ලැබු පසු දෙදෙනා සිරමැදිරි දෙකක් තුළ රඳවා ගැනීමට බලධාරිහු පියවර ගත් අතර දෙදෙනාගෙන් ගනු ලැබූ කෙස් කොටස්, රුධිර සාම්පල, ඇඟිලි සලකුනු මළ සිරුරු වල පැවති කොටස් සමඟ මැනැවින් ගැලපීමත් සමඟ මොවුන්ට විමර්ශනවලින් ගැලවී යාමට අපහසු වූහ. ඉන් අනතුරුව රංග කැමැත්තෙන්ම පාපොච්ඡාරණයක් කළ නමුත් පසුව තමාට පොලිස් නිලධාරින්ගේ බලපෑම් නිසා එසේ සිදු කළ බව ඔහු උසාවියට පැවසිය. බිල්ලා ද ඒ අයුරින්ම ක්‍රියා කළේය. එහෙත් ඔවුන්ට ප්‍රතිකාර කළ විලිංඩන් රෝහලේ වෛද්‍යවරයා ඇතුළු තවත් කිහිපදෙනෙකු මොවුනට එරෙහිව සාක්ෂි දීමත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ කරුණු සලකා බැලූ උසාවිය මොවුන් දෙදෙනාට මරණ දඬුවම නියම කළේය. ඊට හේතුව වුයේ මෙම දරුණු අපරාධකරුවන් මීට පෙර සිදු කර තිබූ දරුවන් පැහැර ගැනීම්,රථ වාහන පැහැර ගැනීම්, අරාබි ජාතිකයින් දෙදෙනෙකු මරා දැමීම ඇතුළු අපරාධ රැසක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබීමය.

ඔවුන්ගේ පාපොච්ඡාරනවලට අනුව ගීත සහ සන්ජේ යන දරුවන් දෙදෙනා ඔවුන්ට හමු වී ඇත්තේ දිල්ලි නගරයේදීය. මොවුන් දෙදෙනා ධනවත් පවුලකින් පැවතෙන බවට සැක පහළ කළ රංග හා බිල්ලා ඔවුන් තම රථයට නංවා ගත්තේ ගුවන් විදුලි මධ්‍යස්ථානයට ගෙනගොස් ඇරලවන පොරොන්දුව මතය. එසේ ගමන් කරමින් සිටියදී බිල්ලා රථයේ දෙරගුල් ගලවා ගත්තේ ඇතුලතින් දොරවල් විවෘත කර නොහැකි වන ලෙසටය. එය දුටු දරුවන් අරගල කරවීමට , කෑ ගැසීමට පටන් ගත් අතර කිර්පාන් කිනිස්ස අමෝරගත් බිල්ලා ඔවුන් මර්දනය කරගන්නේ මරා දමන බවට තර්ජනය කරමින්ය. මේ අතර මොවුන්ගේ පියා නාවික නිලධාරියෙකු දරුවන් බව ප්‍රකාශ කළ විට රංග බිල්ලාට පවසා ඇත්තේ මොවුන් ධනවත් අයෙකුගේ දරුවන් නොවන බවත් නාවික නිලධාරියෙකුගේ දරුවන් නිසා අපිට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට හැකි නිසා දරුවන් නිදහස් කරන ලෙසටය. එහෙත් බිල්ලා ඊට අකැමැති විය.

මේ අතර දරුවන් දෙදෙනා රථයෙන් බිමට ඇදගත් බිල්ලා කර්පාන් කිනිස්සෙන් සන්ජේට කිහිප වරක් ඇන ඇති අතර පසුව ගීතාව ද දූෂණයට ලක් කර තිබිණ. ඉන්පසුව රංගා ද දූෂණය ගීතාව දූෂණය කර ඇති අතර පසුව පිහි පහර දි ඇයව ද මරා දමනු ලැබීය.

මරණ දඬුවම ලැබීමත් සමඟ දිල්ලි ඉහළ උසාවියේ තීන්දුවට එරෙහිව සුපි‍්‍රම් උසාවියටත්, ජනාධිපතිවරයාටත් පෙත්සම් කිහිපයක්ම රංගා හා බිල්ලා විසින් ඉදිරිපත් කරනු ලැබූ නමුත් ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අනුව රංග හා බිල්ලා, නමැති නමගිය අපරාධකරුවන් දෙදෙනා එල්ලා මරනු ලැබීය.

පසුව මියගිය සන්ජේ හා ගීතා යනු දරුවන්ට ඉන්දිය රජය මඟින් “කීර්ති චතු වීර සම්මානය” පිරි නැමීමත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය. එසේම සෑම වසරක් පාසාම පවත්වනු ලබන ජාතික වීර සම්මාන පිරිනැමීමේ උළෙලෙ දී සන්ජේ චොප්රා සම්මානය හා ගීතා චොප්රා සම්මානය ද වීරත්වය පිළිබිඹු කරන පුද්ගලයන් දෙදෙනෙකුට ලබා දීම ද මෙම අපරාධයේ නිසා සිදු වූ විශේෂ ප්‍රතිඵලයකි.