"අපරාධයක් විසඳීමට වඩා වැළක්වීමයි කළ යුත්තේ"

"අපරාධයක් විසඳීමට වඩා වැළක්වීමයි කළ යුත්තේ"

* ඔබගේ කොට්ඨාශය ගැන සඳහන් කළහොත් ?

“පොදුවේ ගත්තොත් මගේ වසම පටන් ගන්නේ බෙන්තර ගඟෙන්. අවසන් වන්නේ හික්කඩුව තොටගමුව පාලමෙන්. ඒ ගාලුපාර පැත්තෙන්. අභ්‍යන්තරව ගත්තොත් පිටිගල බද්දේගම හා තෙලිකඩෙන් මායිම් වෙනවා. මට පොලිස් ස්ථාන 12 ක් භාරවෙනවා. මුළු කොට්ඨාශයේම ජනගහනය ලක්ෂ පහහමාර ඉක්මවලා තියෙනවා.”

“මේ කොට්ඨාශයට ප්‍රධාන නගර කිහිපයක්ම අයත් වෙනවා. අම්බලන්ගොඩ නගරය ඉන් සුවිශේෂී තැනක් ගන්නවා. ඒ වගේම මුහුදු වෙරළ තීරය ගත්තොත් සීනි ගම ඉඳලා බෙන්තර දක්වාම සංචාරක කර්මාන්තය වගේම ධීවර කර්මාන්තයත් තියෙනවා. ගාලුපාර මුහුදු බඩ ප්‍රධාන දුම්රිය මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ දේවලුත් මගේ කොට්ඨාශයට අයත් වෙනවා.”

“ගම ආශි‍්‍රත බොහෝ දෙනා ජීවත් වන්නේ කුරුඳු වගාවෙන්. ඊට අමතරව තේ,පොල් ආදිය ද තියෙනවා. අද සංචාරක කර්මාන්තය ඒ හැම දෙයක්ම අභිබවලා තියෙන්නේ. සංචාරකයෝ මුහුදු වෙරළ අවට ලැගුම් ගන්නවාට වඩා ගමේ අභ්‍යන්තරයට ගිහින් තියෙනවා. “විලා” සංකල්පය ඒකට හොඳම උදාහරණයක්. ඒ නිසා ගම ඇතුළේ නවාතැන්වල හුඟාක් විදේශීය සංචාරකයන් දැක ගන්නට පුළුවන්. මාදු ගඟ තියෙන්නෙත් මගේ කොට්ඨාශයේ. එතැනට දේශීය හා විදේශීය සංචාරකයන් බොහොමයක් එනවා. ඒ වගේම ප්‍රසිද්ධ ආරන්‍ය සේනාසන කිහිපයක්ම මගේ කොට්ඨාශයේ තියෙනවා. කඩොලාන ආශි‍්‍රත ප්‍රදේශ ඒ අතින් විශේෂයි. ලස්සන මුහුදු තීරයක් වගේම බෙන්තර ගඟ දෙපස මනරම් හෝටල් රැසක් ද ඉදිකර තියෙනවා.”

* ඒ වුණාට ඔබගේ වසම තුළ මිනීමැරුම් කිහිපයක්ම වාර්තා වුණා නේද?

“මම මේ කොට්ඨාසය බාර ගත්තේ 2016 දෙසැම්බර් මාසයේ. 2016 ජනවාරියේ ඉඳලා මැයි මාස වෙනකොට මිනිස් ඝාතන 11 ක් වාර්තා වුණා. 2017 ඒ කාලය තුළ වාර්තා වුණේ 7 යි. ඒ ඝාතනත් පෞද්ගලික හේතුන් මත සිද්ධ වුණ දේවල්. සැමියා විසින් බිරියව මරලා. මිනිහා වයිෆ්ව මරලා මිනිහම එල්ලිලා මැරිලා තිබුණා. කොස්ගොඩ වසමේ එකක් වාර්තා වුණා. අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් නිසා. අනික බාප්පයි පුතයි බීලා ගහගත්ත එකක්. “

“වාර්තා වුණු හැම මිනිස් ඝාතනයක්ම මේ වන විට අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වුවන් නීතියේ රැහනට ගෙනත් තියෙන්නේ. එක මිනිස් ඝාතනයක් හැරෙන්න. ඒකෙත් කරුණු අනාවරණය කරගෙන තියෙනවා.”

“අම්බලන්ගොඩ ප්‍රදේශයේ ත්‍රිත්ව ඝාතනයක් වුණා. ඒකේ අපරාධකරුවන් අල්ලගත්තා. මෑතකදී කොස්ගොඩ මිනිස් ඝාතනයක් වුණා. ඒකට සම්බන්ධ තුවක්කුකරුයි අනෙකායි දැන් අත්අඩංගුවේ ඉන්නේ.”

* ඒ කියන්නේ අපරාධ විසඳීම අතින් ඔබගේ කොට්ඨාශය ඉහළ මට්ටමක තියෙනවා?

“ඇත්තෙන්ම. ඔව්. මේ පළාතේ සිදු වූ අපරාධ දෙස සාපේක්ෂ්ව බැලුවොත් ඇල්පිටිය කොට්ඨාශය හොඳ මට්ටමක පවත්වාගෙන යන්නට අපිට හැකිවෙලා තියෙනවා. දේපල සම්බන්ධයෙන් විසඳීම 70% ක් දක්වාත් ශරීරිය සම්බන්ධයෙන් 97% දක්වාත් අපරාධ විසඳීමේ ප්‍රතිශතයක් පවත්වාගෙන යන්නට මේ වෙනකොට අපිට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මුළු කොට්ඨාශයේම සමස්ථයක් හැටියට අපරාධ විසඳීමේ ප්‍රතිශතය 77%ක්. මින් තවත් ඉදිරියට යන්නයි අපේ ප්‍රයත්තය.”

* එතැනින් ඉහළට යන්න නම්?

“අපරාධ විසඳීමට වඩා අපරාධ සිදුවීම වළක්වාගැනීමයි කළයුතු වෙන්නේ. මම මේ කොට්ඨාශය බාර ගත්තේ 2016 දෙසැම්බර්. ඉන් පස්සේ මාස තුනකින් සිංහල අවුරුද්ද. ඒ කාලයට මගේ කොට්ඨාශයේ හැම ගමකම වගේ අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, බයිසිකල් රේස් වගේ දේවල් පවත්වනවා. මෙහෙ ඉන්න බොහොමයක් රැකියාව කරන්නේ කොළඹ හා ඒ අවට. ඔවුන් ගමට එන්නේ සිංහල අවුරුද්දට. ආයෙත් කොළඹ යන්නේ දවස් දහය පහළොව මෙහෙ ගත කරලා. ඒ කාලය තුළ ඔවුන් හොඳට විනෝද වෙනවා. මත්පැන් පානය කරනවා. සංගීත සංදර්ශනවලට යනවා. නොයෙකුත් විනෝදකාමී ලෙස කාලය ගත කරනවා. ඒ හින්දා ඒකරාශීවීම වැඩියි. ඔන්න ඔය වගේ තැනකදී කිසියම් ආරවුලක් ඇතිවෙලා අපරාධයක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගැනීම සඳහා අපි විශාල නිලධාරින් කණ්ඩායමක් ඔය හැම තැනකටම යොදවනවා. ඒක කරන්නේ අපරාධයක් සිදුවුණාට පස්සේ ඒ පිළිබඳ විමර්ශන කිරීම විශාල කාර්යභාරයක් වෙන නිසා. ඒ නිසා ඊට කලින් ඒ වන්නට යන අපරාධය වළක්වා ගැනීම තමයි හොඳම දේ. පොලිස් නිලධාරින් එවැනි ස්ථානවල රාජකාරි කිරීම, ගැවසීම තුළින් අපරාධයක් කිරීමට ඇති ඉඩකඩ අවම වෙනවා. ඒ නිසයි අපි එවැනි තැන් වලට නිලධාරීන් යොදවනවා.”

“ඊළඟට එන්නේ වෙසක් මාසය. ඊළඟට ජුනි පොසොන්.මේ මාස දෙක තුළ කොළඹ හා අනුරාධපුරය වගේ ප්‍රදේශවලට අපේ නිලධාරින් විශේෂ රාජකාරි සඳහා යොමු කළ යුතු වෙනවා. මේ කාලය තුළ නිලධාරින් හරිම කාර්ය බහුලයි. ඒත් අපි පුළුවන් තරම් උත්සාහයෙන් කොට්ඨාශයේ සාමය රැකීමට කටයුතු කරනවා. දැන් ජුනි මාසයෙන් බාගයක් ඉවරයි. ඉදිරියේදී මේ අපරාධ විසඳීමේ ප්‍රතිශතය තවත් වර්ධනය කරගන්නට අපට හැකිවේවි.”

* අපරාධයක් සිදුවීම වැළැක්වීමට හා විමර්ශනය අතර ඇත්තේ කුමන පරතරයක් ද ?

“අපරාධයක් සිදුවීමත් සමඟ ඒ සඳහා දැවන්ත කාර්යභාරයක නිරත වන්නට පොලිස් නිලධාරියාට සිදුවෙනවා. අපරාධයක් සිදුවුණු වහාම එහි විමර්ශන සඳහා විශාල නිලධාරින් සංඛ්‍යාවක් යොදවන්න වෙනවා. අපරාධය සිදු වු ස්ථානය ආරක්ෂා කිරීම පටන් අධිකරණ ක්‍රියාවලිය තෙක්. සාක්කි සටහන් කරගැනීම, විද්‍යාත්මක හෝ පර්වේෂණ සාක්කි සොයාගැනීම සැකකටයුතු පුද්ගලයන් අනාවරණය කරගැනීම සඳහා දායක වීම, බුද්ධි නිලධාරින්, සොකෝ නිලධාරින් ඇඟිලි සටහන්, සුනඛයන්, ප්‍රකාශ ලබා ගැනීම්, අධිකරණ රාජකාරි, රස පරීක්ෂක රාජකාරී, ච්ව්ඒ රාජකාරී,මරණ පරීක්ෂක රාජකාරි. ඔන්න ඔය වගේ ලොකු කාර්යභාරයක් නිරත වෙන්න වෙනවා. ඒ සෑම කටයුත්තකටම නිලධාරින් යෙදවිය යුතුයි. අනෙක .තමයි නඩු විභාග සඳහා ඒ විමර්ශන නිලධාරින්ට පැමිණෙන්නට සිදු වෙනවා. ”

“සමහර විට ඔවුන් කාලයා ඇවෑමෙන් වෙනත් පොලිසියක රාජකාරි කරන්න පුළුවන් එහෙත් අදාල නඩු විභාගය සඳහා සාක්කි ලබාදීමට ඔහුට අදාල අධිකරණයට පැමිණිය යුතු වෙනවා. ඒ වගේම එම නිලධාරින් වෙනත් රාජකාරියක් සඳහා යොමු කරගැනීමේ අපහසුතාවක් ද මේ නිසා ඇති වෙනවා. අනෙක වියදම, රජය ඒ සඳහා විශාල වියදමක් දරනවා. කාලය ඊට වඩා. අන්න ඒ නිසා අපරාධයක් සිදුවනතුරු බලා නොසිට අපරාධයක් සිදුවීම වැළැක්වීමයි කළ යුත්තේ. එය හැම රාජකාරියටම පහසුදෙයක්. ඒක තමයි කියන්නේ ර්‍ථපඥමඥදබඪධද ඪඵ බඩඥ ඕඥඵබකියලා. ”

* ඒ සඳහා කළ යුත්තේ ?

“නිලධාරියා හැමවිටම වසම තුළ ගැවසිය යුතුයි. පළාතේ සංචාරය කළ යුතුයි. වසමේ මහජනයා දැනුම්වත් කළ යුතුයි. ”

“ඒ සඳහා ප්‍රජා පොලිස් සංකල්පය ඉතා වැදගත් වෙනවා. එමගින් වසම තුළ පාලනයක් ඇති කරගත යුතුයි. එතකොට වියදමත් අඩුයි. කාලයත් ඉතිරියි. අනෙක තමයි අපරාධ පාලනය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. සමහර ප්‍රදේශවල අපරාධ ඇත්තෙම නැහැ. ඒත් සමහර ප්‍රදේශවල සංවිධානාත්මකව කෙරෙන අපරාධ ක්‍රියාත්මක වෙනවා. ඒවා පාලනය කිරීමට නොයෙකුත් ක්‍රම උපයෝගි කරගන්න වෙනවා.”

* අපරාධයක් සිදුවුවහොත් නිලධාරියා කළ යුතු කාර්යභාර්ය කුමක්ද?

“ඒ අපරාධය සිදු වූ ස්ථානය ආරක්ෂා කිරීම තමයි මුලින්ම කළ යුත්තේ. එතැනට පිටස්තර පුද්ගලයන් පැමිණිම වළකා ගත යුතුයි. එහෙම කරන්නේ ඒ අපරාධය සිදු වු ස්ථානය තුළ තියෙන සාක්කි විනාශ වීමට ඉඩ නොතබන ආරක්ෂා කරගන්නයි. අපි හිතමු ඒ අපරාධය සිදුකළ තැනැත්තා පානය කළ සිගරැට්ටුවක කොටසක්, බීඩියක කොටසක්, බස් ටිකට් පතක්, දුම්රිය ටිකට් පතක්, වෙනත් දෙයක්, වැනි දෙයක් එතැන වැටිලා තිබුණහොත් මිනිස්සු එතැනට යාම තුළින් ඒවා ඔවුන්ගේ පයට පෑගිලා හෝ විනාශ වන්නට පුළුවන්. ඇඟිලි සලකුණු නැතිවෙන්න පුළුවන්. ඒවා ආරක්ෂා කිරීම සඳහා මුලින්ම ස්ථානය ආරක්ෂා කරගත යුතු වෙනවා. ”

“ඉන් පස්සේ නිලධාරියාගේ දැනුම - හා බුද්ධිය අනුව විමර්ශනයේ යෙදිය හැකියි. ඊට හැකියාව වගේම පළපුරුද්දත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම හොඳින් කැපවීම හඹාගෙන යාම විමර්ශනයක් සාර්ථක කරගන්න උපයෝගී වෙනවා.”

“වර්තමානය වෙනකොට අපරාධකරුවන් ඉතා සුක්ෂ්ම ලෙස අපරාධවල නිරත වෙනවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වල තියෙන සමහර උපක්‍රම මේ කල්ලි ලබාගන්නවා.ඒ නිසා විමර්ශන නිලධාරියාට ඒ ගැන අවබෝධයක් තිබිය යුතුයි. දැනුමක් තිබිය යුතුයි. අපරාධකාරයා නිතරම බලන්නේ විමර්ශකයා නොමඟ යවන්නයි. අපි උදාහරණයක් විදිහයට හිතමු අද පාතාලයේ මිනිස් ඝාතනයක් සිදු වුණාම ඒක හොයාගන්න මහත් උපක්‍රමශීලි විය යුතු වෙනවා. තුවක්කුකරුට තුවක්කුව ලබාදෙන්නේ වෙන කෙනෙක්. ඔහුට මෝටර් සයිකලය දෙන්නේ තවත් පුද්ගලයෙක්. මුදල් දෙන්නේ තවත් කෙනෙක්. ඒ තුන්දෙනා හඳුනන්නේ නැහැ. ඒ වුණාට එතැන ලින්ක් එකක් තියෙනවා. මේ ලින්ක් එක සොයාගැනීම තමයි විමර්ශකයා කළ යුත්තේ.”

“අධිකරණයේදී සාක්කි මෙහෙයවනවිටදී සිය පළපුරුද්ද හා දැනුම අනුව මේ විමර්ශනය මෙහෙයවිය යුත්තේ. අපරාධකරු බලන්නේ සාක්කි නැතිවෙන විදියට ක්‍රියාකරන්නයි. සමහරවිට ප්‍රායෝගිකවම හා අවස්ථානුකූල සාක්කි මෙහෙයවීමක් සිදුකරන්නට පුළුවන්. කරුණු හඳුනාගෙන එය අවස්ථානුකූල කරගත හැකියි. අනෙක ඒ සෑම සිද්ධියක්ම එකිනෙකාට වෙනස්. තමන්ගේ ප්‍රායෝගික අත් දැකීම් තුළින් එය හඳුනාගෙන විමර්ශනයේ යෙදීම තුළින් සාර්ථක ගමනක් යා හැකියි. එතැනදි නිලධාරියා අවස්ථානුකූල විය යුතුයි. අන්න ඒක තේරුම් ගත යුතු වෙනවා.”

“අපරාධයක් සිදුකරන පුද්ගලයා දන්නවා මම මේක මේ විදිහට කළොත් අහු වෙන්න පුළුවන් කියලා. සමහරවිට ඔහු කලක් අපරාධ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා විමර්ශකය දැනගන්න ඕන ඒක හඳුනාගන්න. නොනත්වාම විමර්ශනය යෙදීම තමයි ඊට වැදගත් වෙන්නේ.”

“මෙතනදි සාක්කි ඉතා වැදගත් වෙනවා. ඒ සාක්කි වෙනස් වෙන්න පුළුවන්. විනාශ වෙන්න පුූළුවන්. ඒ නිසා ඊට වඩා දුරක් විමර්ශකයා යා යුතුයි. ඒ නිසා දක්ෂ විමර්ශකයා තුළ හඹායාමේ හැකියාව තිබිය යුතු යි. අවංකව සාධාරණව රාජකාරි කිරීමත් ඊට අදාල වෙනවා. “