රන් මාලය කඩා ගන්න වක් පිහියෙන් බෙල්ල කපලා

රන් මාලය කඩා ගන්න වක් පිහියෙන් බෙල්ල කපලා

මෙලොව කාටවත් කරදයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත්වන මිනිසුන්ට ද සතුරන් ඇති බව සැබෑ කරුණකි. සොරසතුරන්, අන්සතු දෙයට ආසා කළ නරුමයන්ගෙන් පවා ඇතැම් විට මේ මිනිසුන්ට දුක් කම්කටොළු උරුම වන බව අපට පෙනෙන්නට ඇත. බොහෝ මිනිසුන් අන්සතු දෙයට ලොබ බඳින්නේ පාපතර සිතිවිල්ලෙන් යුතුවය. තමන්ට නොමැති අනුන්ගේ දෙයක් කඩාවඩා ගැනීමට ඔවුන් මාන බලන්නේ තෘෂ්ණාව ඉහවහා ගිය විටදීය. ජීවිතයක් වනසා දමා හෝ වටිනා යමක් උදුරා ගැනීමට මේ අමන මිනිසුන් පසුබට වන්නේ නැත. ජීවිතයක් වනසා දමා ලබාගත් වටිනා කියන දෑ තුළින්, තම ජීවිතය සංතර්පණය කිරීමට මඟ පාදා ගන්නා මෙවන් නොමිනිසුන් ගෙන් අප ජීවත්වන සමාජය කවරදාටත් නිර්මාණය වී තිබුණි. එහෙත් තමන් වැනිම මිනිසකු මරා දමා නීතියෙන් ගැලවී සිටියත් ලෝක නීතියෙන් ගැල වී කිසිවකුට යා නොහැකිය. අපරාධයක් කොට කිසිදා සැඟව සිටිය නොහැකි බව කියන්නේ ඒ නිසාය.

නිවිතිගල පොලිස් වසමේ ජීවත් වූ ගාමිණී තම ජීවනෝපාය සලසා ගත්තේ ස්වීප් ටිකට් අලෙවි කිරීමෙනි. ඔහු තම දරු පවුල රැකගෙන මහන්සියෙන් ජීවිතය ගෙන ගිය මිනිසකු විය. නිවිතිගල ටවුමේ ලොතරැයි අලෙවි කුඩුවක් පවත්වාගෙන යමින් ලොතරැයි රැකියාව යහමින් කරගෙන ගිය ගාමිණී කාගේත් හිතවතකු විය. රන්මාලයක් නිරතුරුවම ඔහුගේ ගෙලෙහි විය. නිරතුරුව මුදල් පරිහරණය වන නිසා ඔහුගේ අලෙවි කුටිය තුළ මුදල් ද යහමින් ගැවසුණි. ගාමිණී කා සමඟත් කුළුපගව සිටියේ ඔහුගේ වෘත්තිය නිසාමය. එහෙත් අවාසනාවක තරම, හිටි හැටියේම දිනක මහමඟදී ගාමිණී ඝාතනය වන්නේ ගෙල හරහා වැදුණු දරුණු කැපුම් පහර කිහිපයක් හේතුකොට ගෙනය. 2012 වසරේ ජුලි 24 වැනි දින දහවල් 11.30ට පමණ නිවිතිගල දොළොස්වල වත්ත පාරේදි මෙලෙස ගාමිණි ඝාතනය කොට තිබණි. එවකට ඔහු නිවිතිගල උඩකරවිට පදිංචිව සිටියේය.

ගාමිණීගේ ඝාතනය කොයිකාටත් විසඳුමක් නොමැති පැනයක් විය. ගාමිණී මරා දැමුණේ ඇයි? මිනීමරුවන් කවුරුන් ද යන්න කාටත් ගැටලුවක් ගෙන දුන්හ. පොලිසිය ද සිය විමර්ශන කටයුතු අරඹමින් ගාමිණීට සතුරන් සිටියේද යන්න සොයා බලන්නට විය. කාගේත් හොඳ හිත දිනාගෙන සිටි මිනිසකු වු ගාමිණීට මේ අපරාධය කරන්නට වුවමනාව තිබුණේ කාටද? පොලිසිය ගාමිණී පිළිබඳ තොරතුරු රැස් කළේය. මේ අතර අනියම් සබඳකමක් හේතුවෙන් ගාමිණී මරා දැමුවාද? යන්න සැක සංකා මතුවිය. එහෙත් ගාමිණී එවැන්නකු නොවන බවද තහවුරු විය. අන්තිමේදී ගාමිණී සතු මුදල් හා ගෙල බැඳි රන්මාලය පැහැර ගැනීමේ වුවමනාවෙන් මේ අපරාධය සිදුකරන්නට ඇති බවට පොලිසිය නිගමනයකට එළැඹිණි. පොලිසිය තවත් උපක්‍රමයක් යෙදුවේය. ගාමිණීගේ ගෙල කපා තිබුණේ තේ ගස් කප්පාදු කරන වක් පිහියකිනි. වැඩිපුරම මේ වක්පිහි පාවිච්චි කරන්නේ කම්කරුවන් විසිනි. වතු කම්කරුවන් වැඩිපුරම සිටියේ දමිළ මිනිසුන්ය. ඒ නිසාම මේ ඝාතනය සිදු කරන්නට ඇත්තේ ද්‍රවිඩ කම්කරුවකු විය හැකි බව පොලිසීය කල්පනා කළේය.

මේ අතර අපරාධ අංශයේ නිලධාරීන් ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවල සාමාජිකයන් හමුවී සිද්ධිය පිළිබඳ දැනුවත් කරන්නට විය. සිද්ධිය සම්බන්ධ යම් තොරතුරක් දන්නේ නම් වහා දැනුම් දෙන ලෙසට පොලිසිය ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කළේය. ඔවුන් බොහෝ දෙනකු තමන් දන්නා සැක සහිත තොරතුරු නොපමාව දන්වා සිටියේය. තව දුරටත් ක්‍රියාත්මක වූ නිලධාරින් ලයිම් කාමරවල සිටින සියලු සාමාජිකයින්ට එක්තරා දිනයක පස්වරු දෙකට වත්තේ දලු මඩුව ළඟට රැස්වන ලෙසට ප්‍රකාශයක් නිකුත් කළේය.

එහි එක්තරා අරමුණක් ද විය. යම් අයකු එසේ නොපැමිණ එම අවස්ථාව මඟ හැර සිටියේ නම් ඔහු පිළිබඳ යම් සැකයක් ඇතිව කටයුතු කළ හැකි වීමය. එහෙත් එවැන්නක් සිදු නොවීය. ලැයිම්වල සියලු දෙනාම ඒ මොහොතේ එතැනට රොක් වී සිටියහ. පොලිසියේ නිරීක්ෂණයට ඒ සියලු දෙනාම හසුවිය. පිරිස පෙළ ගස්වා නිලධාරීන් වෙන වෙනම ප්‍රකාශ ලබාගත්තේ උපක්‍රමශීලිවය. උස් ගලකට නැඟගත් පොලිසියේ නිලධාරිහු සුක්ෂ්ම ලෙස මේ පිරිස ජංගම දුරකථනයෙන් රූගත කර ගත්හ. ඒ අතර රැස්ව සිටි පිරිස පිළිබඳ නිරීක්ෂණයක් ද කළේය. එක්තරා පුද්ගලයකු තවත් අයකුට මුවාවෙන්නට තැත් කරමින් පෝලිමේ සිටින අයුරු රූප රාමුවල පෙනෙන්නට තිබිණ. ඔහු සිටියේ කිසියම් තැතිගැන්මකින් යුතුවය. එය වීඩියෝ ගත වී තිබිණ. යළි යළිත් එම පටිගත කිරීම නැරඹු පොලිස් නිලධාරිහු පුද්ගලයකු අත්අඩංගුවට ගත්හ. ඔහු වත්තේම පදිංචි කරුවකු වූ පෙරුමාල් නමැත්තාය. ඔහුගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කළේය. ඒ මොහොතේ පෙරුමාල්ට බොරු කීමට හැකියාවක් නොවීය. එතෙක් සැඟව තිබූ අබිරහසක් එළියට එන්නේ පෙරමාල්ගේම ප්‍රකාශය තුළිනි. ඝාතනය සඳහා යොදාගත් වක් පිහිය ද ලේ තැවරුණු රබර් සෙරෙප්පු කුට්ටමක් ද ලේ වැකුණු කමිසයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවුයේ. පෙරමාල්ගේ පාපොච්චාරණයට අනුවය.

“වැස්ස නිසා දවස් ගානකින් වැඩ තිබුණේ නැහැ. ඒ නිසා අතේ සල්ලි තිබුණේ නැහැ. මොනව කරන්නද කියලා හිතාගන්න බැරිව මං වත්ත පල්ලෙහාට බැස්සේ තේ කපන පිහියත් අරගෙන. උදේ කුලී වැඩක් හරි හෙව්වා ඒත් හම්බවුණේ නැහැ. මම ආපහු ලැයිමට ආවා. බඩගින්නෙත් හිටියේ කරන්න දේකුත් නැහැ. සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියා. ටිකක් වෙලා ඉන්නකොට මට ස්වීප් කාරයව මතක් වුණා. මම දැකලා තියෙනවා මිනිහා ගාව දාහේ දෙදාහේ සල්ලි කොළ තියෙනවා. මාලේ කඩාගෙන සල්ලි ටික උදුරගත්තා නම් ටික දවසක් ජීවත්වෙන්න ඇති කියලා හිතුණා. මම මේ ගැන නාදන්ටත් කිව්වා. එයත් කැමැති වුණා. ඊට පස්සේ අපි දෙන්නම වැඩේට බහින්න හිතා ගත්තා. මං පාරේ පාළු තැනකට වෙලා හැංගිලා හිටියා.”

“ස්විප් ටිකට් ගන්න විදිහට පාර අයිනට වෙලා ඉන්න කියලා මං නාදන්ට කිව්වා. ස්වීප් කාරයා බයිසිකලේ පැදගෙන වත්ත පාර දිගේ ඉස්සරහට ආවා. නාදන් ස්වීප්කාරයාව නතර කර ගත්තා ස්වීප් ගන්න වගේ. මම එක පාරටම මිනිහගෙ කරේ තිබ්බ මාලේ කඩාගන්නා හැදුවා. මිනිහා කෑ ගහගෙන පොරබදන්න පටන් ගත්තා. කෑගහන සද්දේ ඇහිලා මිනිස්සු දුවගෙන එයි කියලා මං බය වුණා. අනික ස්වීප්කාරයා මාව අඳුරගත්තා කියලත් මට හිතුණා. බේරෙන්න ඕනෑ නිසා මං දෙපාරක් හිතුවේ නැහැ. අතේ තිබ්බ පිහියෙන් ස්වීප් කාරයාගේ බෙල්ලට කොටුවා.” ඊට පස්සේ මොකද්දෝ වාහනයක් එනවා ඇහිලා අපි දෙන්නා පැනල දිව්වා.”

පෙරුමාල්ගේ අමානුෂික කතාව එලෙස විය. තේ ගස් කප්පාදු කරන පිහියකින් පහර දී ස්වීප් අලෙවිකරුවකු වූ ගාමිණී නමැති අය මෙලෙස ඝාතනය කර තිබුණේ පෞද්ගලික එදිරිවාදී කමකට නොවන බව පැහැදිලි වූ අතර සැලසුම් සහගතව, ගෙල බැඳි මාලය සහ මුදල් මංකොල්ල කෑමේ අරමුණින් මෙය සිදු කර ඇති බවට පොලිසිය තහවුුරු විය. ඒ අනුව පෙරුමාල් මෙන්ම නාදන්වද අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

අන්සතු දෙයට ලෝභ කිරීම, අනුන්ගේ දේ පැහැරගැනීම එලොවටත් මෙලොවටත් පළදෙන පාප කර්මයක් බව පෙරුමාල් මෙන්ම නාදන් ද නොසිතන්නට ඇත. ගාමිණී ද සංසාරයේ ගිවිස ගත් පරිදි දන්නා හඳුනන පෙරුමාල් අතින් අවසන් ගමන් ගියේය. අනුන්ගේ රත්ත්‍රන් හා මුදල් වලට ලෝභයෙන් ජීවිතයක් පරලොව යැවු පෙරුමාල්ටත් ඒ අපරාධයට උඩගෙඩි දුන් නාදන්ටත් රිමාන්ඩ් බන්ධනාගාරය උරුම විය. කෙදිනක හෝ නීතියෙන් ඔවුනට දඬුවම් නියම වනු ඇත. නීතියෙන් ගැළ වී ගිය ද ඔවුන් දෙදෙනාටම සමාජයෙත් තැනක් නැති බව වටහාගත යුතුයි.

රත්නපුර වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේරසිංහ, සහකාර පොලිස් අධිකාරී ඩී.ගුරුසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත නිවිතිගල පොලිස් ස්ථානාධිපති සනත් නන්දලාල් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂන් අබයවික්‍රම. පොලිස් පරීක්ෂකවරුන් වන ජයරත්න, එම්. පියසේන, පොලිස් සැරුයන් පේ‍්‍රමරත්න (30071) පොලිස් කොස්තාපල් අසංක (89420) පොලිස් කොස්තාපල් විජේරත්න (88969) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවති.