“තාත්තා මිනීමරුවෙක් කියලා දැනගන්නවට කැමැති නෑ”

“තාත්තා මිනීමරුවෙක් කියලා දැනගන්නවට කැමැති නෑ”

“මහතුන් අයියා හැමදාම පිට පාරෙන් යනවා විතරයි. එන්නේ නැහැනේ අපේ ගෙදර.”

සුනිතා මුලින්ම මා එක්ක කතාවට ආවේ ඒ විදිහට. එයා අපේ නැන්දගෙ දුව. ලස්සනයි. හැඩයි. නමුත් සුනීතා විවාහ වෙලා ගමෙන් පිට ගිහිල්ලා හිටියේ. අවුරුදු දෙකකට විතර පස්සේ සුනීතා ආයෙත් මහගෙදර ආවේ දීගේ අත් ඇරලා. හැමදාම ඔහොම කියද්දී මම දවසක් එයා එක්ක කතාවට වැටුණා.

“එහෙ ඉන්න බැහැ අයියා. සරත් බීලා ඇවිල්ලා මට හොඳටම ගහනවා.”

“හේතුව“

“ඒක මගේ අහේතුව අයියේ. මම කිසිම වරදක් කරලා නැහැ. ඒ අම්මා නංගිත් මුකුත් කියන්නේ නැහැ. මං හුඟක් ඉවසුවා. ඒත් ඉතිං ඉන්නම බැරි තැන තමයි ආවේ.”

සුනීතා මට එහෙම කිව්වේ අඬ අඬා.

“පුංචි කාලේ ඉඳලම සුනීතයි මමයි හරි එකමුතුයි. අපේ පවුලේ ගෑනු ළමයි හිටියේ නැහැ. ඒ නිසා අපේ තාත්තා සුනීතාට හරි ආදරෙයි. ඒ වුණත් නැන්දා බැන්දේ සල්ලිකාරයෙක්ව. සල්ලිකාර මාමා දුප්පත් අපිට කැමති වුණේ නැහැ. ඒ නිසා මගේ හිතේ සුනීතා ගැන ආදරයක් ඇති වුණත් මං ඒ ආදරේ එයාට පෙන්වන්න ගියේ නැහැ. නමුත් සුනීතා මං ගැන විශේෂ ඇල්මක් දක්වපු බව මං දන්නවා. සුනීතා කසාද බැඳලා යන දවසේ මං හිටියේ හිතේ අමාරුවෙන්. ඒත් සුනීතා බැන්ද කෙනත් මාමගේ උවමනාවට හොයා ගත්ත කෙනෙක්. ටික දවසක් යද්දී තමයි දැන ගත්තේ ඒ මිනිහා බේබද්දෙක් කියලා. නැන්දා කැමති වුණේ නැහැ සුනීතා අයෙත් ඒ ගෙදරට යනවට. ඒ නිසා ඒගොල්ලෝ සුනීතාගේ කසාදේ කටුගාලා දැම්මා. දරුවොත් නැති නිසා ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.”

“ පුතේ උඹ නැන්දලාගෙ ගෙවල් පැත්තේ එහෙම යන්න එපා. “

අපේ අම්මා නිතරම මට කිව්වා. මං අම්මා දිහා බැලුවේ පුදුම වෙලා.

ඇයි. මම අම්මගෙන් ඇහැව්වා.

“මං මෙච්චර දවස් පුතාට කිව්වේ නැහැ. තාත්තගෙ නම් හිත තිබුණේ පුතාට සුනීතා දුවව බන්දලා දෙන්න. ඒත් ඉතිං එයාගේ නංගිගේ මනුස්සයා කැමති වුණේ නෑනේ. තාත්තා එයාගේ නංගි එක්ක ඔය ගැන කතා කරලත් තිබුණා. දැන් ඕවායින් වැඩක් නැහැ. සුනීතා දුව කසාදේ ඇරිලා ගෙදර ඇවිත් ඉන්නේ. අනවශ්‍ය දේවල් වල පැටලෙන්න එපා. දැන් නම් නැන්දලා වුණත් අකමැති වෙන එකක් නැහැ පුතා සුනීතා එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නවට. එක අතකට ඒ දරුවත් පව්. “

අම්මා එහෙම කිව්වේ තරහින් නෙමෙයි. කොහොම වුණත් මං හැමදාම හිටියේ සුනීතා මඟ හැරලා. ඒත් එයා මාව හොයාගෙන අපේ ගෙදර ආවා. ඊට පස්සේ තමයි හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තේ.

සුනීතට ඔය තරම් දෙයක් වෙලත් මාමගේ අහංකාරකම නැති වුණේ නැහැ. මාමා සුනීතට තවත් මනමාලයෙක්ව හෙව්වා. ඒ මනමාලයා ටිකක් වයසයි. සුනීතා එයාට කොහොමවත් කැමති වුණේ නෑ.

සුනීතා වහ බිව්වේ ඔය අතර. එයාට හුඟාක් අමාරු වුණා. දොස්තරලගෙ හොඳකමට සුනීතා සනීප වුණා. ඊට පස්සේ අපේ අම්මලා, මාමලා එක්ක තියෙන සම්බන්ධය අත්හැරියා. ඊට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තා. අම්මා මට මනමාලියක් හෙව්වා. නමුත් විවාහය කරගන්න ඕන කියලා මං හිතුවේ නෑ. ඒ වෙනකොට සුනීතා ගැන මගේ හිතේ ආදරය වැඩි වෙලා තිබුණේ. සුනීතා ගැන ආදරයක් හිතේ තිබුණට වැඩක් වෙන්නේ නැති බව මං දැනගෙන හිටියෙ.් ඒ මගේ අම්මා තදින්ම විරුද්ධ නිසා. ඒ නිසාම මට සිද්ධ වුණා අම්මා කියන දේකට කැමති වෙන්න.

* එතකොට ඔයා වෙන කෙනෙක් එක්කද විවාහ වුණේ?

“ඔව් අම්මා හොයලා දුන්න රමණි එක්ක මම විවාහ වුණා.”

* රමණි කොහොම කෙනෙක්ද?

“වරදක් නැහැ. රමණි, සුනීතා තරම් ලස්සන නැහැ. ඒ වුණත් මොකක්දෝ හැඩක් තිබුණා. ඒ නිසාම මං කැමති වුණා. අම්මා සනසන්න තමයි මං රමණිව බැන්දේ.”

* එතකොට සුනීතා මොකද කිව්වේ?

“මගේ මඟුල් ගෙදර සුනීතා ආවෙ නැහැ. මං ඒ ගැන තරහා වුණෙත් නැහැ. මං විවාහ වෙලා මාස දෙකකට විතර පස්සේ තමයි මාමා මැරුණේ. නැන්දත් ලෙඩ වුුණා. මට සිද්ධ වුණා මාමගෙ මළගෙදර හැම දෙයක් ගැනම හොයලා බලන්න. ඒ වෙනකොට තාත්තත් ලෙඩගානේ හිටියේ. මං එහෙ හිටපු කිහිපදවසට සුනීතා මට හුඟාක් ළං වුණා. මං වැඩට ගිහිල්ලා හැම හැන්දෑවකම ගෙදර ආවේ නැන්දලගෙ ගෙදරට ගොඩ වෙලා.”

* රමණි ඒක දන්නවද?

“මුලදී රමණි දන්නේ නැහැ. පහුවෙනකොට දැනගත්තා. ඒ වෙනකොට සුනීතයි මායි අතර සම්බන්ධය හුඟාක් දුර ගිහිල්ලා තිබුණේ.”

* ඊට පස්සේ මොකද වුණේ?

“මොනවා වෙන්නද. අපේ පවුලේ නිතර නිතර ප්‍රශ්න ඇති වුණා. අම්මා මා එක්ක නිතරම රණ්ඩු. දවසක් අම්මා ගෙදරට ගිහින් සුනීතට ගහලා ඇවිත් තිබුණා. සුනීතා අම්මට කියලා මාව රමණිගෙන් වෙන් කරනවා කියලා. මේ අතර තමයි මගෙ තාත්තා මැරුණේ. තාත්ත මැරුණට පස්සේ අම්මා මල්ලිගෙ ගෙදර නතර වෙන්න ගියා. හැම ප්‍රශ්නයක්ම වැඩි වුණේ ඊට පස්සේ. මම සුනීතා බලන්න යන එක අත්හැරියේ නෑ. නිතර නිතර රමණි මා එක්ක රණ්ඩු වෙන්න ගත්තා. සමහර දවස්වලට රමණි මගෙන් ගුටි කෑවා.”

* එතකොට සුනීතා?

“සුනීතට දරුවෙක් ලැබෙන්න ආවා. සුනීතා කිව්වේ දරුවා නැති කරමු කියලා. ඒත් මම ඒකට අකමැති වුණා. අම්මා කොයිතරම් බැන්නත් කමක් නැහැ කියලා හිතලා මං අම්මට ඇත්තම කිව්වා. සුනීතට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. අම්මා මට නොසෑහෙන්න බැන්නා.”

* එතකොට රමණි?

“බැඳලා අවුරුදු දෙකක් පහු වුණත් රමණිට දරුවෙක් ලැබුණේ නැහැ. දවසින් දවස අපි අතර ප්‍රශ්න වැඩි වුණා. ඒ රණ්ඩුවල අවසානය වුණේ මම ගහපු පහරකට රමණි මැරුණ එක. ඒත්... මං හිතලා ඒ දේ කළේ නැහැ. නමුත් රමණි මැරුණා.”

* සුනීතට දරුවා ලැබුණා ද?

“ඔව් සූනීතට දරුවෙක් ලැබුණා. ඒ දරුවා මගේ. නැන්දයි සුනීතයි දරුවා හදනවා. දැන් පුතා ලොකුයි. අපේ පවුල් දෙක අතර අමනාපයක් නැහැ. ඒත්... මට තේරෙන්නේ නැහැ. රමණි මැරුණ එක මට දුකක්. ඒ ගෑනීගේ වරදක් නැහැ. රමණි අහිංසකයි. මට මැරෙනතුරුම ඒ සිද්ධිය අමතක කරන්න බැරි වේවි.”

* සුනීතා ළඟදී බලන්න ආවද?

“සුනීතා හැම මාසයකම වගේ එනවා. මං කිව්වා දරුවා අරගෙන එන්න එපා කියලා. මං කැමති නැහැ එයාගේ තාත්තා මිනීමරුවෙක් කියලා දරුවා දැන ගන්නවට.”

* හිර ගෙදරදී මොකද කරන්නේ?

“විශේෂ දෙයක් නැහැ. මං ඇතුලේ ඉඳගෙන මගේ ජීවිතේ තරුණ කාලේ කරපු කියපු දේවල් සුනීතා එක්ක ගත කරපු ලස්සන දවස් ගැන සිහිකර කර ඉන්නවා.”