“අපේ ලිස්ට් එකේ තව තුන්දෙනෙක් හිටියා”

“අපේ ලිස්ට් එකේ තව තුන්දෙනෙක් හිටියා”

“බලපිටිය උසාවිය ඉස්සරහදී ජයරත්නට වෙඩි තියපු 'කෙනඩි' ගාල්ල හිරගෙදර ඉන්නේ. මමයි (සොබනහන්දි සනත් ද සිල්වා නොහොත් රාජු) අයියයි (සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් සුද්දා) පොඩිලසියි (අරුමාහන්දි ජනිත් ද සිල්වා) හිටියෙත් ගාල්ල බන්ධනාගාරයේ.”

කෙනඩිට නිතරම ප්‍රියන්තට කෝල් කරලා කතා කළා. ප්‍රියන්ත කෙනඩිට කියලා තිබුණා පොඩි ලයීටයි සුද්දටයි හිරගේ ඇතුලෙදි සයනයිඩ් දිලා මරන්න කියලා. මේක පොඩිලසීට හිතවත් කවුරුහරි අහගෙන ඉඳලා කොස්ගොඩ සුජීට (දැනට විදෙස්ගතව සිටින සුජීත් සොයිසා) කියනවා. සුජී තමයි ප්‍රියන්ත මරවන්න ප්ලෑන් කරන්නේ.”

අප්‍රේල් මාසේ හතර වෙනිදා මට

බලපිටිය උසාවියෙන් ඇප ලැබුණා. මාව එක්කගෙන යන්න රණා (තඹවිට ගුරුන්නාන්සේලාගේ ලසන්ත පද්මලාල්) බයික් එකෙන් ඇවිත් හිටියා. මම කොස්ගොඩ රණලාගේ ගෙදර ගියා. රණාට සුජී විතරක් නෙවෙයි රට ඉඳලා මදුෂුත් කෝල් කරලා කතා කරනවා. ‘ඉමෝ’ වලින් තමයි කෝල් ගන්නේ. පි‍්‍රයන්ත මරන්න වුවමනාව සුජීට වගේම මටත් තිබුණා. පොඩිලසීටත් වුවමනාව තිබුණා. මොකද පොඩිලසී ගේ තාත්තා මරන්න ඔත්තු බලලා තිබුණේ ප්‍රියන්ත. මමයි රණයි ඒ ගැන සාකච්ඡා කළා.”

“හිරේ ඉඳලා ආවට පස්සේ මම ගෙදර හිටියේ අප්‍රේල් දහතුන් වෙනිදා ඉඳලා දාසය වෙනිදා වෙනකම් විතරයි. දාසය වෙනිදා ආපහු රණාගේ ගෙදර ගිහින් ප්‍රියන්ත මරන්න ප්ලෑන් කළා. මම සුජීට කිව්වා ප්‍රියන්තට මම ගහන්නම්. මට බඩු එවන්න කියලා.”

“හරි මම උඹට බයික් එකකුයි වෙපන් එකකුයි එවන්නම් කියලා සුජි කිව්වා. පස්සේ සුජි අයියා රතුපාට බයික් එකකුයි, බෑග් එකක දාලා ටී-56 වෙපන් එකයි සල්ලි රුපියල් ලක්ෂයකුත් එවලා තිබුණා. කොස්ගොඩ ආරණ්‍ය කැලේ ළඟට ගිහින් ගන්න කියලා සුජි අයිය රණාට කියලා තිබුණා.”

“මැයි හය වෙනිදා වැඩේට ලෑස්ති වෙන්න කියලා පස් වෙනිදා ප්‍රියන්ත ගැන තොරතුරු හොයලා දුන්නා. ප්‍රියන්ත දික්කුඹුරේ පදිංචි බව සුජි කිව්වා. මම ඒ පැත්ත දන්නවා. කොස්ගොඩ ඉඳලා දික්කුඹුරට දුර වැඩි නිසා පස්වෙනිදා රෑ මමයි රණයි වෙපන් එක අරගෙන බයික් එකේ මීටියාගොඩ අපේ ගෙදර පැත්තට ගියා. ඒත් අපි ගෙදර ගියේ නෑ. අපේ ගෙට පිටිපස්සේ තියෙන පාළුවට ගිය ගෙට බයික් එක දාලා අපේ ගෙදර අයටත් නොදැනෙන්න අපේ වත්ත පිටිපස්සේ තිබුණ පාළුවට ගිය ලොකු කුකුල් කූඩු දෙකේ වෙපන් එකත් තියාගෙන නිදාගත්තා. පාන්දර පහට විතර නැගිටලා දික්කුඹුරට ගියා.”

“පි‍්‍රයන්ත හැමදාම උදේට කොළපාට ත්‍රිවිල් එකෙන් හරි ස්කූටි එකකින් හරි දික්කුඹුර පැත්තට එනවා කියලා සුජීට තොරතුරු ලැබිලා තිබුණා. අපි එදා උදේම පි‍්‍රයත්තලාගේ ගෙවල් පැත්තට ගිහින් සුජී අයියව ෆෝන් එකෙන් කන්ටැක් කරගෙන පි‍්‍රයන්ත එනකම් හිටියා.”

“බයික් එක පැද්දේ රණා. වෙපන් එක තිබුණේ රණා පිටේ එල්ලාගෙන හිටපු බෑග් එකේ. මම පිටිපස්සේ වාඩිවෙලා හිටියේ. පි‍්‍රයන්ත කොළපාට ත්‍රිවිල් එකෙන් එන බව සුජී අයියා කිව්වා. අපි ඒ ත්‍රිවිල් එක පස්සේ පන්නගෙන ගිහින් මඟදී ඉස්සර කරලා හරියටම ඒ පි‍්‍රයන්ත ද කියලා බැලුවා. මම පි‍්‍රයන්තව අඳුරනවා. ඒ පි‍්‍රයන්ත තමයි.”

“අපි බයික් එක ස්ලෝ කරලා ත්‍රිවිල් එකට යන්න දීලා පස්සෙන් ගියා. එහෙම ටික දුරක් ගිහින් පි‍්‍රයන්ත සිග්නල් දාලා පාර අයිනට කරලා ත්‍රිවිල් එක නතර කළා. රණා බයික් එක ත්‍රිවිල් එක ළඟට අරගෙන ගිහින් පි‍්‍රයන්ත ළඟම නැවතුත්වා. මම රණාගේ පිටේ තිබුණ බෑග් එකේ සිප් එක ඇරලා වෙපන් එක අරගෙන බයික් එකෙන් බහින ගමන්ම පි‍්‍රයන්තට වෙඩි තිබ්බා.”

“ඒ ෂොට් එක කාගෙන පි‍්‍රයන්ත පැනලා දුවන්න හැදුවා. ඒ එක්කම මම ත්‍රිවිල් එක ඉස්සරහින් ෂොට් එකක් තිව්වා. ඒකට මිනිහා බිම වැටුණා. ඊට පස්සේ ආපහු ඔලුවට ෂොට් කිහිපයක් තියලා අපි යන්න ගියා. “

“අපි කෙලින්ම ගියේ කොස්ගොඩ ආරණ්‍ය කැලේට. සුජී කොල් කරලා කිව්වා. වෙපන් එකයි බයික් එකයි දාලා යන්න කියලා. අපි ඒ දෙක දාලා පයින්ම රණා ගේ ගෙදර ගියා. එතැන ඉඳලා රණාගේ ගෙදරට දුර කිලෝමීටර් දෙකක් දෙක හමාරක් විතර ඇති.

“ඊට පහුවෙනිදා මමයි රණයි කුරුණෑගල ගියා. අපි කුරුණෑගල ටවුමේ බැංකුව ළඟ ඉන්දෙද්දී සුජී කෝල් කරලා අපිට රතුපාට ඇලියන් කාර් එකක් එව්වා. ඒක අරගෙන අපි හලාවත නුවර පැතිවල රවුම් ගගහ හිටියා. ඔය අතරේ මට ආරංචියක් ආවා කොස්ගොඩ ලොකුයි, තාරකයි රණාව මරන්න ප්ලෑන් කරනවා කියලා. අපි කොස්ගොඩ ලොකුව මරන්න ප්ලෑන් කළේ ඊට පස්සේ”

මසකටත් අඩු කලායක දී දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන පහක් සිදුකළ රාජු බස්නාහිර උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසයට කොටුවීමෙන් අනතුරුව ඝාතන පහේ තොරතුරු එකින් එක සැකෙවින් එලෙස විස්තර කරන්නට විය.

රාජු සමඟ රණා ද අත්අඩංගුවට පත් වූ අතර දෙදෙනා කළ පාපොච්චාරණයෙන් හෙළි වුයේ පි‍්‍රයන්ත හැර අනෙක් සිව් දෙනාටම වෙඩි තැබුවේ රණා බවයි.

“මට සුජී අයියයි, මදුෂුයි දෙන්නම රට ඉඳලා ඉමෝ වලින් කෝල් දීලා කතා කරනවා. මදුෂ් මට කියන්නේ තාරකලාට ගහන්න එපා කියලා. සුජී මට කිව්වා උඹ මදුෂ් එක්ක සම්බන්ධ වෙන්න එපා. එයා උඹට ලංවෙන්න හදන්නේ හොඳකට නෙවෙයි. මම කියන විදියට වැඩ කරපං කියලා. මමයි රාජුයි එකතුවෙලා පි‍්‍රයන්තව මැරුවේ ඊට පස්සේ.”

“සරා මල්ලි කියලා අපේ යාළුවෙක් ඉන්නවා. කොස්ගොඩ ලොකු සරා මල්ලිට කියලා තිබුණා. මට (රණා) ගහන්න ඕන කියලා. සරා මල්ලි ඒක සුජීට කෝල් කරලා කියලා තිබුණා. සුජී මට කෝල් කරලා කිව්වා ලොකු උඹට ගහන්න ඉන්නවා කියලා. මම කිව්වා සරා මල්ලි හරහා ලොකුව ගෙන්නලා දෙන්න කියලා.”

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට කොටු වූ රණා පුද්ගලයන් පස් දෙනකු ඝාතනයට තමා දැක් වු දායකත්වයත්, එලෙස ඔවුන් මරා දැමීමට මුල් වු හේතුන් විස්තර කළේය.

මේ දෙදෙනාගේ පාපොච්චාරණයට අනුව මැයි මස අට වැනිදා රණා සහ රාජු කලුතර බෝධිය අසල උද්‍යානයට ගොස් සිටින්නේ සරා මල්ලි පැමිණෙන තුරුය. එලෙස සිටිය දී සරා මල්ලි යතුරු පැදියකින් පැමිණි අතර එය පි‍්‍රයන්ත ඝාතනය සඳහා කොස්ගොඩ සුජී ලබාදුන් යතුරු පැදියයි. ඒ සමඟ බෑගයේ දැමු ටී - 56 අවිය ද රැගෙන විත් තිබිණි.

සරා මල්ලිගේ පදිංචිය වැලිපැන්න ප්‍රදේශයේය. ඔහු රණා හා රාජු සමඟ වැලිපැන්න බලා පිටත් වුහ. සරා මල්ලි යතුරු පැදියේ යයි. රණා සහ රාජු මෝටර් රථයෙන් ඔහු පසු පස යති. එලෙස වැලිපැන්නේ සරා මල්ලිගේ නිවෙස අසලට තිදෙනාම යන අතර රාජු ලා ගිය මෝටර් රථය නිවෙස අසල පාළු නිවෙසක දමා සැලසුමේ ඉතිරි කොටස සඳහා තිදෙනාම යතුරු පැදියේ යාමට තීරණය කළේය.

ඊට පෙර සරා මල්ලි කොස්ගොඩ ලොකුට දුරකථන ඇමතුමක් දුන්නේය.

“අද අපි සෙට්වෙලා රණාට ගහන්න ප්ලෑන් කරමු.”

හිතවත් විශ්වාසවන්ත මිතුරාගේ කීමට එකඟ වූ කොස්ගොඩ ලොකු “හා හරි මම එන්නම්” ලෙසින් සරා මල්ලිට පවසන්නේය.

ලොකු තව ටික වේලාවකින් පැමිණෙනු ඇත. දුරකථන ඇමතුමෙන් අනතුරුව රාජු බයික් එකට ගොඩවන්නේ එය පැදවීමේ වගකීම බාරගනිමිනි. සරා මල්ලි මැද හිඳුවා රණා පිටුපස හිඳගන්නා අතර රාත්‍රී අටහමාර නවය පමණ වෙද්දී මේ තිදෙනා වැලිපැන්නේ පාලු රබර් වත්තක් අසලට ගොස් කොස්ගොඩ ලොකුගෙන් පළිගන්නට අවශ්‍ය වටපිටාව සකසන්නට වුහ.

ලොකු මරා දැමීමේ වුවමනාව ඇත්තේ රණාටය. ඒ අනුව ටී - 56 අවිය අතට ගන්නා රණා වෙඩි තැබීමට සුදානම් වන අතර රාජු යතුරුපැදියේම හිඳගෙන සිටියේය. ඒ අතර සරා මල්ලි දුරකථන ඇමතුමක් දී ලොකු සිටින ස්ථානය විමසන්නට විය.

“මම තව එකෙක් එක්ක එන්නේ. බෝතලයකුයි බයිටුයි ගත්තා. ඉක්මනට එනවා.”

මෙම ඇමතුමෙන් අනතුරුව ටී - 56 අවිය අත ඇති රණා රබර් කැලේ සැඟවිණි. රාජු යතුරුපැදිය පණගන්වාගෙන සිටි අතර සරා මල්ලි මාර්ගය අසල කොස්ගොඩ ලොකු පැමිණෙන තුරු බලා සිටියේය.

ස්වල්ප වේලාවක් ගතවෙද්දී යතුරුපැදි ලයිට් එළියක් ඈතින් දිස්විය.

“හරි ඔන්න ලොකු එනවා...”

එලෙස පවසනාවත් සමඟම යතුරු පැදියක් සරා මල්ලි අසල නතර විය. ඒ කොස්ගොඩ ලොකුය. එය පැදගෙන ආවේ ඔහුය. පිටු පස ද අයකු සිටින බව කලුවරේම දිස්විය.

ඒ වන විට යතුරු පැදිය පණ ගන්වාගෙන සිටි රාජු එහි ලයිට් එක හරවා ලොකුලාට නොපෙනෙන ලෙස වෙඩි තැබීමට රණාට අවශ්‍ය වටපිටාව සකසා දුන්නේය.

ඒ සමඟම රණා වෙඩි තැබීම ආරම්භ කළ අතර පළමු වෙඩි පහර වදින්නේ ලොකු රැගෙන ආ අරක්කු බෝතලයටය. දෙවැනි පාර ලොකුට වදින අතර පිටුපස සිට දෙදෙනකු දිව යනු රණා ඇතුලු තිදෙනා දුටුවෝය. පසුපස එලවාගෙන ගිය රණා ඒ දෙදෙනාට ද වෙඩි තැබීය.

එහෙත්... මාර්ගය දිගේ තවත් ලයිට් එළි ඉදිරියට එනු දුටු තිදෙනා වෙඩි තැබීම පසෙකලා යතුරු පැදියට ගොඩවි සරාගේ නිවෙස දෙසට යන්නට තීරණය කළේ අවශ්‍ය ඉලක්කය වූ ලොකු වෙඩි වැදි මියගිය බව ප්‍රත්‍යක්ෂ වූ බැවිනි.

මොවුන් කෙලින්ම ගියේ මෝටර් රථය සැඟ වු ස්ථානයටය. එතැනදි යතුරු පැදිය හා ගිනි අවිය සරා මල්ලිට බාරදෙන රාජු සහ රණා මෝටර් රථයේ නැගී නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල පැත්තේ විනෝද චාරිකාවක නිරත වුහ. වියදම් සඳහා පි‍්‍රයන්ත ඝාතනය සැලසුම් කළ දිනයේ සුජී එවා තිබු රුපියල් ලක්ෂයේ ඉතිරි මුදල් පාවිච්චි කළේය.

රණා විසින් වෙඩි තබා ඝාතනය කළ නුවන් චාමර අබේසේකර නොහොත් කොස්ගොඩ ලොකු විසිහතර හැවිරිදි තරුණයෙකි. ඔහු සමඟ යතුරු පැදියේ ගොස් තුවාල ලැබුවේ බලපිටිය රේවත පාරේ පදිංචි විසි දෙහැවිරිදි දිල්ෂාන් මදුසංඛ සහ දර්ගා නගරයේ පදිංචි තිස්නව හැවිරිදි සුමිත් චන්දන නොහොත් ‘මැණිකා’ ය.

කොස්ගොඩ ලොකු මරා දැම්මේ සරා මල්ලි ගේ මැදිහත් වීමෙන් බව දිල්ෂාන් සහ මැණිකා පොලිසියට පැවසූ අතර පොලිසිය ඔහු සොයා මෙහෙයුම් දියත් කරද්දී ඔහු ප්‍රදේශය හැර පලා ගියේය.

“කාර් එක නෝන්ඩි වෙලා තියෙන්නේ. ඒක බාර දෙන්න.”

සීතල පළාත්වල සංචාරයේ යෙදී සිටි රණාට ඇමතුමක් දෙන සුජී එලෙස පවසා සිටි අතර හොරණ ප්‍රදේශයේ මෝටර් රථය අතැර යන ලෙස ද දන්වා සිටියේය.

“අපි කාර් එක හොරණ දාලා ඇඳුම් බෑග් අරගෙන ත්‍රිවිල් එකකින් කොස්ගොඩ ආරණ්‍ය සේනාසන කැලේට ගියා. කැලේ තිබුණ මඩුවක අපි දෙන්නා නතර වුණා. කෑම බීම, ඩේටා කාඩ්, ෆෝන් කාඩ්, සිගරට්, වගේ අපිට ඕන කරන හැමදේම සුජී එව්වා. ෆෝන් බැට්රි චාජ් කරලත් අපිට එවල තිබුණා. අපි සජිත් මරන්න ප්ලෑන් කළේ කැලේ ඉඳලා.”

“දෙදාස් පහළොව අවුරුද්දේ දෙසැම්බර් මාසේ දයානන්දගේ පුතා ලොකුව වෙඩි තියලා මැරුවා. එකට ඔය සජිත් සම්බන්ධවයි. ඔත්තු බැලුවෙයි, වෙපන් තියාගෙන හිටියෙයි සජිත්. අපි සජිත්ව මරන්න ප්ලෑන් කළේ ඒ නිසයි.”

හික්කඩුව බද්දේගම මාර්ගයේ ඩිජිටල් පි‍්‍රන්ටින් ආයතනයක් පවත්වාගෙන ගිය යක්දෙහි සජිත් ඉමාල් ඝාතනය කළ අයුරු හා ඊට මුල් කරුණු රාජු සහ රණා එලෙස හෙළි කළහ.

සජිත් ඝාතනය කිරීමට අවශ්‍ය තොරතුරු, ආයුධය සහ යතුරු පැදිය සපයන්නේ සුජී විසිනි.

“සජිත් ෂොප් එකේ ඉන්න වෙලාවක් බලලා කියන්නම් වැඩේට ලෑස්ති වෙන්න”

“ඉමෝ’ ඇමතුමක් දී සුජී එලෙස රණාට පවසන අතර ආරණ්‍ය සේනාසන කැලැවේ සිටි දෙදෙනා ඉන් අනතුරුව සජිත් ඝාතනයට සුදානම් වුහ.

සුජී ගේ කීමට අනුව මේ දෙදෙනා ත්‍රිරෝද රථයක නැගී ගෝනාපීනුවල හන්දියට යන විට යතුරුපැදිය නවතා තිබිණි. එහි බෑගයක් ද විය. ඒ යතුරුපැදිය පි‍්‍රයන්ත හා කොස්ගොඩ ලොකු ඝාතනය සඳහා උපයෝගී කරගත් යතුරු පැදියයි. බෑගයේ ටී - 56 ගිනි අවිය තිබිණි.

“එදා අපි හවස හතරට විතර සජිත් ගේ කඩේට ගියා. රාජු බයික් එක පැද්දා. මම පිටිපස්සේ ගියේ. බයික් එක කඩේ ළඟ නවත්තලා අපි දෙන්නම පඩි පෙළ නැගගෙන උඩට ගියා. වෙපන් එක මම අරගෙන ගියේ. මම සජිත්ව අඳුරන්නේ නෑ. රාජු අඳුරනවා.”

“රාජු දොර ඇරලා මට සජිත්ව පෙන්නුවා. ඒ වෙලාවේ සජිත් දොර පැත්තට පිටුපාලා හිටියේ. රාජු සජිත්ව පෙන්වද්දීම මම ෂොට් එකක් තිව්වා. පිටිපස්සේ හිටපු කොල්ලට වැදුණේ. ඒ එක්කම සජිත් පිටිපස්ස හැරිලා බැලුවා. සජිත්ගේ ඔලුවට ෂොට් දෙක තුනක් තිව්වා.”

“ඒ වෙලාවේ කඩේ තව කීප දෙනෙක් හිටියා. වෙඩි තියද්දී ඒ කට්ටිය පැනලා දිව්වා. වෙඩි තියලා අපි පහළට ඇවිත් බයික් එකේ නැගලා කොස්ගම ආරණ්‍ය සේනාසනයේ කැලෑවට ගියා. යද්දී බයික් එක දෙතුන් පලකම නතර වුණා. අපි සුජීට ඒ බව කිව්වා.”

“සුජී කිව්වා බයික් එක මඟ දාලා යන්න කියලා. අපි වෙපන් එකයි බෑග් එකයි අරගෙන බයික් එක දාලා කැලේට පයින් ගියා.” මොවුන්ගේ ඊළඟට මරා දමන්නේ අහුංගල්ලේ පොලිස් වසමේ මාකුඹුර,අමරමෝලි මාවතේ පදිංචිව සිටි දේමුණි ප්‍රියංජන සොයිසාය. “කොස්ගොඩ සංජීවයි, පැටීයි, තාරකයි මරන්න සුජීට වුවමනා වෙලා තිබුණා. සුජීගේ ස්පයිසි ගාඩ්න් එකක් කොස්ගොඩ තියෙනවා. පි‍්‍රයංජන සොයිසා ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් මිනිහා සංජීවලාගේ හොඳම යාලුවෝ. ඥාතීත් වෙනවා. සංජීවලා,පැටී ලා ඉස්සර සුජීට සෙට්වෙලා හිටියේ. ඒත්.... පස්සේ වෙන් වුණා.” “පි‍්‍රයංජනට ගහන්න කියලා කිව්වෙත් සුජී. තිස් වෙනිදා හවස සුජී වෙන බයික් එකක් එව්වා. අහුංගල්ලේ සුද්දගේ ගෙදර පි‍්‍රයංජන තව යාලුවෝ කට්ටියක් එක්ක බොන්න සෙට් වෙලා කියලත් සුජී කිව්වා. ඒ මර්ඩර් එකත් ගැහුවේ මම. බයික් එක පැද්දේ රාජු”

පි‍්‍රයංජංන ඝාතනය පිළිබඳ තොරතුරු එලෙස රණා හෙළි කළේය.

“සුද්දගේ ගේ ළඟටම ගිහින් රාජු බයික් එක නතර කළා. මම වෙපන් එක අරගෙන බැස්සා. සාලෙට යද්දී හපාකන බල්ලෝ දෙතුන් දෙනෙක් බුරාගෙන එලවාගෙන ආවා. ඉස්සරහට ආපු බල්ලට ෂොට් එකක් තිව්වා. ඒ එක්කම බිබී හිටපු කට්ටිය දිව්වා. මම පස්සෙන් පන්නගෙන ගිහින් පි‍්‍රයංජනට වෙඩි තිව්වා.” රණා එලෙස හෙළි කළේය.

“රණා ඇතුලට ගියාට පස්සේ මම බයික් එක ආපහු හරවාගෙන ස්ටාර්ට් එකේ තියාගෙන හිටියා. වෙඩි සද්ද තුනක් ඇහුණා.

රණා දුවගෙන ඇවිත් බයික් එකට නැංගා. අපි ආරණ්‍ය සේනාසනයේ කැලෑවට ගියා. තාරක, කොස්ගොඩ සංජීව, පැටී අපේ ඊළඟ ටාකට් එක වෙලා තිබුණේ.”

“ඒත්... දවස් ගාණක් කැලේ හිටපු නිසාත්, ගමට ගියොත් නෝන්ඩි වෙන නිසාත් අපි ගමෙන් මඟ ඇරලා ජාඇලට ඇවිත් දවස් දෙක තුනක් විවේක අරගෙන ආපහු වැඩේට බහින්න හිටියේ. රණා මේ පැත්ත ගැන හොඳට දන්නවා. ඒකයි අපි ජා ඇලට ආවේ.”

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට කොටුවූ රාජු සහ රණා එලෙස ඝාතන පහක සුලමුල හෙළි කළහ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එච්. සමුද්‍රජීව යන නිලධාරින්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක , උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. පියසිරි ඇතුලු කොස්තාපල්වරුන් වන 48949 නන්දන, 15343 සුජීව, 69598 අනිල් 70133 චමින්ද, 36968 විජේසිංහ පරීක්ෂණ සඳහා එක්වුහ.