ගත්ත ණය දෙන්න බැහැ කිව්වම පොරොවෙන් ඔළුවටම ගහලා

ගත්ත ණය දෙන්න බැහැ කිව්වම පොරොවෙන් ඔළුවටම ගහලා

"අපේ මාමාණ්ඩිව ගේ ඇතුලේ මරල දාලා"

පසුගිය දෙවැනිදා සවස තුනහමාරට පමණ සුරියවැව පොලීසියට පැමිණි පුද්ගලයකු එලෙස මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඔහු එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කළේ හෙළ පාර, බේකරිය අසල යන ලිපිනයේ පිහිටි නිවෙසේ මාමණ්ඩිය තනිව පදිංචි වී සිටි බවයි.

පැමිණිලිකරු ද සමඟ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම සිද්ධිය වූ බව කී නිවෙස බලා පිටත් වූහ. පොලීසිය යන විට නිවෙසේ ඉදිරිපස දොර සුළඟට ඇරෙමින් වැසෙමින් තිබිණි. ප්‍රදේශය සිසාරා මිනී කුණු ගඳක් පැතිර යයි.

නිවෙසට ඇතුලු වූ පොලිස් කණ්ඩායම දුටුවේ සාලයේ සැටිය මත පුද්ගලයකු මියගොස් සිටින බවයි. ඔහු සැටියේ නිදා සිටින විට ඝාතනය කර ඇත්තේ පොරොවකින් හිසට පහර එල්ල කිරීමෙනි. පොරොව තවමත් හිසේය.

හිසේ වූ තුවාලය අසලින් ආ ඉහඳ පණුවන් මුහුණත්, සිරුරත් පමණක් නොව ඔහු මිය ගොස් සිටි සැටි පුටුවේත්, බිමත් එහා මෙහා යනු පෙනේ. මෙලෙස මරා දමා තිබුණේ හේවා අන්තෝනිගේ ප්‍රේමලාල් කුමාරසිරි නමැති පනස් පස් හැවිරිදි සිව් දරු පියෙකි. මොහු නිවෙසේ තනිවම කල් ගෙවූ අයෙකි. ඊට හේතුව මොහුගේ කරදර හිරහැර ඉවසා සිටිය නොහැකි බැවින් බිරිය මොහු හැර ගොස් තිබීමයි.

මොහු පදිංචි නිවෙසට අල්ලපු නිවසේ මොහුගේ විවාහක දියණිය දරු පවුල සමඟ පදිංචිව සිටින අතර අනෙක් පස ගරාජයකි.

නිවෙසේ තනිවම කල් ගෙවූ ප්‍රේමලාල් අධික ලෙස මත්පැනට හුරුව සිටියේය. රැකියාවක් නොමැති මොහු කසිප්පු වෙළෙඳාමේ යෙදී සිටි අතර මොහු උදේ සිට සවස් වනතුරුම කසිප්පු බීමට පෙළඹී සිටියේය. මොහුගෙන් කසිප්පු බීමට එන පුද්ගලයන් කිහිප දෙනකු ද සිටියහ. ඔවුන් සියල්ලෝම වයස අවුරුදු හතලිස් පහ ඉක්ම වූ අය වන අතර වයස අවුරුදු හැටක පමණ අයකු ද ඒ අතර විය.

ස්ත්‍රී ලෝලියකු වූ ප්‍රේමලාල් කාන්තාවන් ද නිවෙසට ගෙන්වා ගන්නා අතර පියාගේ මේ අශීලාචාර වැඩ පිළිවෙල හේතුවෙන් අල්ලපු ඉඩමේ පදිංචි දියණිය ද එතරම් සොයා බැලීමක් කළේ නැත.

පසුගිය පළමුවැනිදා උදේ දියණියට පියාගේ නිවෙස දෙසින් උස් හඬින් කතා කරන ශබ්දයක් ඇසිණි. නිවෙසින් එළියට පැමිණි ඇය පියාගේ නිවෙස වෙත කන් යොමා සිටිය ද රූපවාහිනි යන්ත්‍රයේ හඬ හේතුවෙන් ඇයට පැහැදිලිව ඇසුණේ වචන කිහිපයකි. ඒ "උඹ දන්නේ නෑ මගේ හැටි" යන වැකිය පමණි.

ඒ කටහඬ කාගේ ද යන්න ඇයට හඳුනා ගැනීමට හැකි වූයේ නැත. ඒ අතර ඇයට පියාගේ නිවෙස දෙසින් පහර දෙන ශබ්ද දෙකක් ඇසිණි. ඒ ශබ්ද ඇසීමෙන් අනතුරුව පියාගේ නිවෙසේ සිටි පුද්ගලයකු ඉදිරිපස දොරෙන් එළියට පැමිණ දොර ඇදගෙන කඩිමුඩියේ යන්නට ගියේය.

පියා ගැන හොඳින් දන්නා දියණියට සිතුණේ පියාගෙන් පහර කෑ මෙම පුද්ගලයා කඩිමුඩියේ යන්නට ඇති බවය. එලෙස සිතූ ඇය යළි සිය නිවෙසට ගියේ පියාගේ චරිතය හොඳ නැති බැවින් නිවෙසට ගොස් බැලීමට තිබූ අකැමැත්ත නිසාය.

ඇයට එදින මංගල උත්සවයක් සඳහා ආරාධනාවක් ලැබී තිබිණි. සැමියා සමඟ මංගල උත්සවයට ගිය ඇය සවස නිවෙසට එද්දී පියාගේ නිවෙසේ දොර සුළඟට ඇරෙමින්, වැහෙමින් තිබෙන අයුරු දක්නට ලැබිණි.

දිනය නිමා විය.

එදින රාත්‍රිය නිම වී ඊට පසු දින එනම් දෙවැනිදා උදා විය. එහෙත් ඇය පියා ගැන සොයා බැලීමට ගියේ නැත. ආහාරපාන ද පියාම පිළියෙල කර ගන්නා බැවින් ඒ ගැන සොයා බැලීමේ වගකීමක් ද ඇයට තිබුණේ නැත. රූපවාහිනි යන්ත්‍රයේ ශබ්දය ඇසුන ද පියා නිතරම රුපවාහිනී බලමින් සිටින බව දත් දියණිය ඒ ගැන ද සිතුවේ නැත.

හිරු අවරට ගියේය. රූපවාහිනි යන්ත්‍රය දිගටම වැඩය. ඇය නිකමට මෙන් පියාගේ නිවෙසට එබී බැලුවේ එක දිගට රූපවාහිනිය ක්‍රියාත්මක වන්නේ මන්දැයි සිතට ආ සැකය නිසාය.

විවරව තිබූ දොරෙන් එබී බැලූ ඇය දුටුවේ සාලයේ සැටිය මත පියා මියගොස් සිටින බවයි. හිස මත පොරොවක් ද තිබූ අතර බියට පත් ඇය කෑගසාගෙන ගොස් ඒ බව සැමියාට පැවසුවාය. සැමියා පොලීසියට යන්නේ ඉන් අනතුරුවය.

"ඊයේ උදේ තාත්තාගේ ගෙදර ඉඳලා කලබලෙන් ගියපු කෙනා අඳුරනවද?"

පොලීසිය දියණියගෙන් තොරතුරු විමසන්නට විය.

"මම ඒ මනුස්සයව අඳුරන්නේ නෑ. හැබැයි හැඩහුරුකම් නම් මතකයි"

"කොයි වගේද?"

"ටිකක් කලුයි. නළලේ තට්ටෙ වගේ. යටි රැවුල සුදුයි. පිටිපස්සේ කොණ්ඩේ ටිකක් රැලි වැටිලා. වයස අවුරුදු හැටකට වඩා වැඩියි වගේ. සරමයි ෂර්ට් එකයි ඇඳලා සෙරෙප්පු දාගෙන හිටියේ"

ඇය හෙළි කළ තොරතුරුවලින් අනතුරුව පොලීසිය ඒ අවට පිහිටි සී. සී. ටී. වී. කැමරා දර්ශන පරීක්ෂා කළේය. එවිට ඇය කී හැඩහුරුකම් ඇති පුද්ගලයකු හදිස්සියෙන් කලබලයෙන් යන අයුරු කැමරා දෙකක රූගතව තිබිණි.

එම රූ සටහන් දියණියට පෙන් වූ විට ඒ තමා දුටු පුද්ගලයා බව හඳුනා ගත්තාය.

ඔහු සොයා මෙහෙයුම් දියත් කළ පොලීසියට දැනගන්නට ලැබුණේ ඔහු වලස්මුල්ල ප්‍රදේ්ශයේ පදිංචි අයකු බවයි.

ඒ වන විට ඔහු නිවෙසේ නොවූ අතර ලුණුගම්වෙහෙර, අලුත්ගංආර ප්‍රදේශයේ කෙසෙල් වාඩියක සිටින බවට තොරතුරු ලැබිණි.

එම තොරතුරු ඔස්සේ කෙසෙල් වාඩියට ගිය පොලීසියට ඔහු අල්ලා ගැනීමට හැකි විය.

මොහු හැටහතර හැවිරිදි විවාහක පුද්ගලයෙකි. දෙදරු පියෙකි. ඝාතනය වූ ප්‍රේමලාල් සේම බීමට ඇබ්බැහිව සිටි අතර බොහෝ විට නිවෙසින් පිටව කල්ගෙවූ අයෙකි.

"ප්‍රේමලාල් මගෙන් රුපියල් හතලිස් දාහක් ඉල්ලගෙන තිබුණා. ඒ සල්ලි මම කෙසෙල් වාඩියක වැඩ කරලා ගත්ත ඒවා. දෙන්නම් කියලා ගත්තට දුන්නේ නෑ. ඉල්ලුවාම කීයක් හරි දෙනවා. සමහර වෙලාවට මට බැනලා ගහලා එලවනවා"

"මම මේ ගෙදරට නිතරම එනවා. ඇවිත් ඉඳලත් යනවා. ඉස්සරහ කාමරේ තමයි මම ආවම ඉන්නේ. එදත් උදේ පාන්දර පහට විතර මම ප්‍රේමලාල්ගේ ගෙදරට ගියා. රැවුල එහෙම කපාගෙන සල්ලි ටිකක් ඉල්ලගෙන යන්නයි මම ආවේ."

"සල්ලි ඉල්ලුවාම මට පයින් පාරවල් දෙකක් ගහලා එලවන්න හැදුවා. මම ඉස්සරහ කාමරේට ගියා. කාමරේ දොර අයිනේ පොරොවක් තිබුණා. ඒකත් අරගෙන දොරෙන් බලද්දී ප්‍රේමලාල් සැටියේ හාන්සිවෙලා ටී. වී. බල බල හිටියා. වම් කනත් එක්ක මුහුණ සැටියේ ඇන්දට තියාගෙන හාන්සිවෙලා හිටියේ."

මම පොරොව අරගෙන එයාට නොපෙනෙන්න පස්සෙන් ගිහින් ඔලුවට පාරක් ගැහුවා. පොරොව ඇදල අරගෙන තව පාරක් ගහලා පොරොව ඔලුවේ එහෙමම තියෙද්දී මම යන්න ගියා."

සැකකරු එලෙස පාපොච්චාරණය කළේය.

ප්‍රේමලාල් ඝාතනයෙන් අනතුරුව පොලීසිය ඔහුගේ බේබදු මිතුරන්ගෙන් කටඋත්තර ලබාගෙන තිබිණි. ඔවුන්ගෙන් ප්‍රේමලාල් ණය මුදල් ගෙන තිබූ බවත්, ඒවා ආපසු නොදුන් බවත් ඔවුහු පවසා තිබිණි. එලෙසම ඉඩමක් විකුණා රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් ලබාගෙන මොහු ඒවා බීමට වියදම් කළ බව ද පැවසූහ.

එලෙසම ස්ත්‍රී ලෝලියකු වූ ප්‍රේමලාල් කාන්තාවන් කිහිප දෙනකුම ඇසුරු කළ බවත් ඉතා ලාබාල සුරූපී තරුණියන් සමඟ මොහු ලිංගික සබඳතා පැවැත් වූ බවත් මිතුරන්ගේ කටඋත්තරවලින් හෙළි විය.

මොහු මෙම කාන්තාවන් හිතවත් කරගෙන තිබුණේ පොලට පැමිණි අවස්ථාවලදීය. යතුරුපැදි, පාපැදිවලින් පොළට එන කාන්තාවන් ඒවා මොහුගේ ගෙවත්තේ නවත්වා යන අතර එම කාන්තාවන් මිතුරු කර ගැනීමට මොහුට හැකි වී ඇත. විසිහතර හැවිරිදි සුරූපී කාන්තාවක් ද මොහු මිතුරු කරගෙන තිබුණේ එලෙසිනි.

මොහු ඇයට මුදල් ද ලබා දී තිබූ අතර මොහු මරා දැමූ දිනට පෙර දින රාත්‍රියේ අන්තිම දුරකථන ඇමතුම ලැබී තිබුණේ ද ඇයගෙනි.

පොලීසිය ඇයගෙන් ද ප්‍රශ්න කළ අතර ඇය පවසා තිබුණේ යතුරුපැදියේ පොත තබා ඔහුගෙන් පොලියට මුදල් ලබාගත් නමුත් වයෝවෘද්ධ ඔහු සමඟ තමාගේ වෙන කිසිම සම්බන්ධයක් නොවූ බවයි.

මිතුරන් පවසා තිබුණේ ප්‍රේමලාල් කාන්තාවන් නිවෙසට ගෙන්වා ගත් අවස්ථාවලදී පොලීසියෙන් හෝ දියණිය හෝ පැමිණෙනවාදැයි ඔත්තු බැලුවේ තමන් විසින් බවයි.

ප්‍රේමලාල් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

තංගල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් ධනපාල, සහකාර පොලිස් අධිකාරී තුෂාර දලුවත්ත යන නිලධාරින්ගේ උපදෙස් මත සූරියවැව පොලිස් ස්ථානාධිපති සම්පත් ක්‍රිෂාන්ත ජයසිංහ ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති හේරත් ඇතුලු කණ්ඩායමක් පරික්ෂණවල නිරත විය.