කළු අයියාගේ ඝාතනයට අඹු සැමි යුවළක් රිමාන්ඩ්

කළු අයියාගේ ඝාතනයට අඹු සැමි යුවළක් රිමාන්ඩ්

ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා එම නිවසේ හිමිකාරියන් අතර ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට ලැබී තිබු පැමිණිල්ලක් විභාග කිරීමට දිනද නියම කර තිබිණි එහෙත් ඊට කලින් ඇතිවූ සිදුවීමක් නිසා එක් පුද්ගලකු මරණයට පත්විය. ඉංගිරිය පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. නම්බපාන එම නිවෙස හා ඉඩමේ හිමිකාරිය පදිංවිව සිටින්නේ ඉංගිරිය පොලිසියට යාබදවය. ඔවුන්ට අයත් එම නිවෙස බදු ක්‍රමයට කොස්තාපල්වරයාට ලබා දී තිබිණි. ඔහු සිය බිරිය හා දරුවා සමඟ එහි පදිංචිව සිටියහ. ඒ මීට වසර දෙක හමාරක සිටය.

කෙසේ වෙතත් කුලි නිවාසයේ හිමිකාරියගේ දියණිය සිය නිවෙස යළි ලබාදෙන්නයි කොස්තාපල් පුංචි බණ්ඩාට මෑතක සිට නිතර නිතර පවසන්නට වුවාය. පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින පුංචි බණ්ඩා මේ වන විට සතොස ආයතනයේ රියදුරෙකු ලෙස සේවය කළ අතර නිවසේ හිමිකාරියගේ කී පමණින් ඇයට නිවෙස ලබාදීමට පුංචි බණ්ඩා කැමැත්තක් දැක්වුයේ නැත. ඔහු කීවේ නිවෙසක් සොයාගත් වහාම එතැනින් යන බවය. ඊට තවත් හේතුවක් ද විය. ඒ නිවසේ බදු ඔප්පු කාලය නිම වන්නේ නොවැම්බර් මාසයේ නිසාය.

“මම නොවැම්බර් මාසෙ ගේ දෙන්නම්”

පුංචි බණ්ඩා ගේ කතාව ගෙදර හිමිකාරිය කැමැත්තක් දැක් වුයේ නැත. අවසානයේ මෙය පොලිසිය දක්වා දුරදිග ගියේය. දෙපර්ශවයෙන්ම පොලිසියට පැමිණිලී ලැබිණි. පොලිසිය පැමිණිල්ල විභාග කිරීමට දිනයක් ද ලබා දී තිබුණේය.

ඉකුත් 29 වනදා උදැසන නිවස හිිමිකාරියගේ දියණිය හා ඇගේ ස්වාමියා ඉංගිරියේ සිට නම්බපාන කුලි නිවෙස ඇති ඉඩමට පැමිණියේ තවත් පිටස්තරයන් දෙදෙනකුද සමඟය. ඔවුන් නිවෙසට එනවිටත් පුංචිබණ්ඩා සිය බිරිය හා දරුවාද සමඟ නිවසේ සිටියහ. නිවෙසේ හිමිකාරියගේ දියණිය හා සැමියා සමඟ පැමිණි පිටස්තරයන් දෙදෙනා එම ඉඩමේ කුඩා ගරාජයක් සකස් කරන්නට වුහ.

හවස් කාලය එළැඹිමත් සමඟ පුංචි බණ්ඩා සිය බිරියගෙන් ඇසුවේ ගංවතුර ද නැති නිසා දිය නෑමට කළු අයියාගේ ගෙදර යමුද යන්නය. බිරිය ද ඊට එකඟ විය. කළු අයියා යනු පුංචි බණ්ඩාගේ බිරියගේ සොහොයුරිය විවාහ වී සිටින පුද්ගලයාය. ඔහු පදිංචි වී සිටින්නේ ඉංගිරිය අක්කර විස්සේය. පුංචි බණ්ඩා දරුවාද බිරිය ද සමඟ සිය මෝටර්සයිකලයෙන් අක්කර විස්ස කළු අයියාගේ නිවෙසට එන්නේ ඉන් පසුවය.

කළු අයියාගේ නිවෙසට පැමිණි පුංචි බණ්ඩාට දැනගත හැකි වුයේ කළු අයියා නිවෙසේ නැති බවය.

“සමහර විට නම්බපානට ගියාද දන්නෙත් නැහැ” කළු අයියාගේ බිරිය පුංචි බණ්ඩාට කීවාය.

“කෝකටත් මම ගිහින් බලලා එන්නම්”

බිරිය හා දරුවා කළු අයියාගේ ගෙදර නතර කළ ඔහු පැමිණි මෝටර්සයිකලයෙන්ම නැවතත් නම්බපාන පිහිටි සිය කුලී නිවෙසට ගියේකළු අයියා තමා සොයාගෙන නම්බපානට ගියාදැයි දැනගන්නටය. එහෙත් ඉඩමට ඇතුළුවන්නට ගිය ඔහුට දැකගත හැකිවුයේ ඉඩමේ සිටි අය බිම දාගෙන කළු අයියාට පහර දෙන ආකාරයයි.

“යකෝ උඹලා මොකද ඔය කරන්නේ”

පුංචි බණ්ඩා කෑගසමින්එතැනට දිව්වේය. පොලු පහර කෑ කළු අයියා බිම ඇද වැටි සිටි අතර වහා ඉදිරිපත්වු පුංචි බණ්ඩා ඔහුව රෝහලට රැගෙන ගියේය. ඒ අතර තුර පුද්ගලයකුට බිම දමාගෙන පහරදෙන බව කියමින් ඒ අවට පදිංචිකරුවකු ද 119 හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් දුන්නේය. සිද්ධිය ඉංගිරිය පොලිසියට දැනුම් දෙනු ලබන්නේ ඉන් අනතුරුවය. නිලධාරින් නම්බපාන ප්‍රදේශයේ සිද්ධිය වූ ස්ථානයට යන්නේ ලැබුණු එම දුරකථන පණිවිඩය අනුවය.

පොලිස් නිලධාරින් සිද්ධිය පිළිබඳ සොයා බැලිය. ඒ වන විට කළු අයියා රෝහලට රැගෙන ගිය පුංචි බණ්ඩා ද ඉංගිරිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නට විය. ඒ පහරදීමට ලක් වූ සිය මස්සිනා වූ කළු අයියා රෝහලට ගෙන යද්දීත් මියගොස් ඇතිබව කියමින්ය. පොලිසිය ඒ වනවිටත් නම්බහන සිද්ධිය වු ස්ථානයේ සිටි එහි හිමිකාරිගේ දියණිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. කළු අයියාට පහරදීමට උප යෝගිකරගත් යකඩ පොල්ලක් හා මුගුරක් සිද්ධිය වු ස්ථානයේ තිබි පොලිසිය සිය භාරයට ගෙන තිබුණේය. ඒ වනවිට සැකකාරියගේ සැමියා පලාගොස් තිබිණ.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉංගිරිය පොලිසියට රැගෙන එද්දීත් පුංචි බණ්ඩා පොලිසියේ සිටියේය.

සිද්ධියෙන් මියගියේ සරත් නිමල්සිරි නොහොත් කළු අයියා නැමැති පනස් එක් හැවිරිදි අයෙකි. පලාගොස් සිටි සැකකාරියගේ සැමියා එදිනම හවස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු තිස්නව හැවිරිදි අයෙකු වන අතර බිරිය තිස් හය හැවිරිදි ය. සැකකාර කාන්තාව වරලත් වාස්තු විද්‍යා ශිල්පිනියක් බවත් පිරිමි අය ඉංජිනේරුවරයකු බවත් පොලිසිය කීය. හිමිකරුවන් කුලී නිවැසියන්ගෙන් එම නිවෙස නැවත ඉල්ලා ඇත්තේ එම නිවෙසට යාබද ඉඩමේ අලුතින් ආරම්භ කිරීමට සුදානම් වන එක්තරා පෞද්ගලික ආයතනයක පහසුව සඳහා බව පොලිසිය කියයි.

සැකකරුගේ සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

හොරණ ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරි ජනක නන්දන මහතාගේ උපදෙස් මත ඉංගිරිය පොලිසිය වැඩබලන ස්ථානාධිපති සංජීව ප්‍රමුඛ සැරයන් ලක්ෂමන් හා කොස්තාපල් අශෝක (64581) යන නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සකස් විය.