කොස්ගොඩ ලොකූව මරන්න යන්න බයිසිකලය ගෙනාවේ බඩි ලොරියකින්

කොස්ගොඩ ලොකූව මරන්න යන්න බයිසිකලය ගෙනාවේ බඩි ලොරියකින්

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සමීර අබේසේකර නොහොත් කොස්ගොඩ ලොකු ඉකුත් මැයි 8 වනදා වැලිපැන්න මීගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මෙය පාතාලයේ වැඩක් බව බොහෝ දෙනා කීහ. සැළසුම්සහගත ලෙස ලොකුව මඟට ගෙන්වා මරා දැමූ බව පොලීසිය සැක කළේය.

කෙසේ වෙතත් කෙස්ගොඩ ලොකුගේ ඝාතනය පිළිබඳ විමර්ශන පැවරුණේ වැලිපැන්න පොලීසියටය. වැලිපැන්න පොලීසියේ ස්ථානාධිපති රාජමන්ත්‍රි හා අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති කරුණාරත්න මහත් වෙහෙසක් ගනිමින් ලොකු ඝාතනය කළේ කවුදැයි සොයන්නට උත්සාහ ගත්හ. ඒ අතරතුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ආරියරත්න මේ පිළිබඳ විමර්ශන කළුතර කොට්ඨාශ බාර අපරාධ විමර්ශන ඒකකයට ද පැවරුවේය. එහි ස්ථානාධිපති බන්දුල ප්‍රනාන්දු, උප පරීක්ෂක සමන් පද්මලාල් ඇතුළු කණ්ඩායමක් ද ලොකු ඝාතනය කළේ කවුදැයි සොයන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

කොස්ගොඩ ලොකු ඝාතනය වෙද්දී ඔහු සමඟ සිටි තවත් දෙදෙනකු ද තුවාල ලැබීය. සුමිත් චන්දන ඉන් එක් අයෙකි. ඔහු මැණිකා නමින් හඳුන්වනු ලැබීය. අනෙකා ඩිල්ෂාන්ය. නිලධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ලොකු ඝාතනයට ලක් වූයේ මන්දැයි දැනගන්නටය. එහිදී ඔවුන් නිලධාරීන්ට පවසන්නේ අලුත්ගම ප්‍රදේ්ශයේ ඇති වූ ‘රා’ ප්‍රශ්නයක් නිසා ලොකු මරා දමන්නට ඇති බවය. අලුත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන යන රා ස්කාගාරයක් සඳහා කෘත්‍රිම රා සැපයීම මහා පරිමාණයෙන් සිදු කරන්නේ එම ප්‍රදේ්ශයේම පදිංචි ව්‍යාපාරිකයකු විසිනි. ඒ හා සමානව රා සපයන තවත් ව්‍යාපාරිකයෙක් ද සිටී. රා සැපයීම හේතු කොට ගෙන දෙදෙනා අතර විරසකයක් ඇතිවිණි. අලුත්ගම ව්‍යාපාරිකයා තම සහය සඳහා කලක් තිස්සේ කොස්ගොඩ ලොකු ගෙන්වා ගෙන සිටි අතර ලොකු ද ඊට නොදෙවෙනි සේ එම ව්‍යාපාරිකයාගේ ආරක්ෂකයකු ලෙස ළඟින්ම සිටි අතර මේ නිසා ලොකුටද වෙනත් කණ්ඩායම්වලින් මරණ තර්ජන එල්ල වී තිබිණි.

එහෙත් විමර්ශන නිලධාරීන් රා ප්‍රශ්නය මොවුන් ගොතන බොරුවක් බව අනාවරණය කරගත්තේ ඔවුන්ගේ දුරකථන දත්ත පිරික්සීමෙන් පසුවය. එහිදී අනාවරණය වන්නේ ලොකු, මැණිකා හා ඩිල්ෂාන් පැමිණ ඇත්තේ වැලිපැන්නේ සරා මල්ලි හමුවීමට බවය.

සරා මල්ලි සිය මිතුරා වූ සුමිත් චන්දන නොහොත් මැණිකාට දුරකථන ඇමතුමක් දෙමින් කියන්නේ මත්පැන් පානය කිරීම සඳහා මීගමට පැමිණෙන ලෙසය. මැණිකා මීගමට යන්නේ ලොකු හා ඩිල්ෂාන් ද සමඟය. ඒ එකම මෝටර් බයිසිකලයෙන්ය. සරා මල්ලි ඔවුන් එනතුරු මීගම නගරයේ රැඳී සිටින්නේ තවත් දෙදෙනකු සමඟින්ය.

ඒත් මැණිකාත් ලොකුත් පිටස්තර දෙදෙනා හඳුනන්නේ නැත. සරා මල්ලි මෙන්ම ලොකු ද මැණිකාව හඳුනා ගත්තේය. ලොකු දුටු සරා මල්ලි එකවරම තමන් සමඟ සිටි මිතුරන් දෙදෙනා දෙස බලමින් “හරි ගහපන්” යයි කීවේය. ඒ සමඟම වෙඩි ප්‍රහාරය එල්ල විය. ලොකු එතැනම මැරී වැටුණු අතර මැණිකාත් ඩිලෂානුත් තුවාල ලැබූහ. ඔවුන් මොහොතක් මියගියවුන් සේ සිටි අතර සරා මල්ලි හා අනෙක් දෙදෙනා ඉන් පසුව එතැනින් පලා ගියහ.

ඒ අනුව සරා මල්ලිගේ ආරාධනාව මත ලොකු මීගමට පැමිණි බව අනාවරණය කර ගැනීමට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට හැකි විය. ඉන් පසුව තුවාලකරුවන්ගේ දුරකථන දත්ත ඔස්සේ වැඩිදුර විමර්ශනය කළ නිලධාරීන්ට සොයා ගත හැකි වුණේ ලොකුගේ ඝාතනය ගාල්ල බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇති බවය. පාතාල නායකයකු වන ලසී සහ සුද්දා නමැත්තා විසින් මෙහි සියලු සම්බන්ධීකරණය කර ඇති බවත් ඔවුන්ට උපදෙස් දී ඇත්තේ දැනට විදේශගතව සිටින කොස්ගොඩ සුජී විසින් බවත් විමර්ශන නිලධාරීහු හෙළි කර ගත්හ.

ලොකු ඝාතනය සඳහා අවශ්‍ය මෝටර් සයිකලය හා ටී පනස් හය ගිනි අවිය අලුත්ගමට එවා ඇත්තේ සුජි ගේ කීම මත ලසී විසින් බවට ද අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය.

සමන් ලසීගේ ඥාතියකු මෙන්ම හිතවතෙකි. ඔහු ගාල්ල බන්ධනාගාරය අසළ ත්‍රීරෝද රියක් පදවයි. ලසීගේ බොහොමයක් කටයුතු කරන්නේ සමන් විසිනි. බන්ධනාගාරයේ බොහොමයක් නිලධාරින් සමන් හඳුනන්නේය. ඔවුන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ ද සමන්ය. ඒ ලසීගේ උපදෙස් මතය. හිරගෙදර ඇතුලේ සිටියද ජංගම දුරකථන මාර්ගයෙන් තමන්ට අවශ්‍ය දේ ලසී සිදු කරනු ලබන්නේ සමන් හරහාය.

අලුත්ගම පදිංචි කපිලට ලොකු ඝාතනය සඳහා අවශ්‍ය මෝටර් සයිකලය ගෙන දෙන්නේ සමන්ය. ඔහු ඒ සඳහා ලොරියක් කුලියට ගෙන ඇත. ලොරිය තුළ දමා ගත් මෝටර් සයිකලය අලුත්ගම කපිලට බාර දුන් සමන් ඉන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ යළි ගාල්ලට යන්නේය. ලොකු ඝාතනයට අවශ්‍ය ටී පනස් හය කපිලට ගෙන එන්නේ බස් රථයක එන පුද්ගලයකු විසින්ය. එහෙත් කපිල මේ කිසිවෙක් හඳුනන්නේ නැත. ලසීගේ උපදෙස් මත පමණක් කපිල ක්‍රියා කරන්නේය.

“උඹ හම්බ වෙන්න කාර් එකක් එයි. ඒ එන කෙනාට මේක දීපන්”

ලසී ගාල්ල බන්ධනාගාරයේ සිට කපිලට කියන්නේ ඉන් පසුවය. ඒ අනුව සුපිරි මෝටර් රියක් කපිල හමුවීමට පැමිණෙන අතර එහි සිටින පුද්ගලයන් කපිල කිසිදා දැක තිබුණේ නැත. ටී පනස් හය ගිනි අවිය ඔවුන්ට ලබා දෙන කපිල හිතේ තිබූ සැකය නිසාම පැමිණි රථයේ අංකය තම සාක්කුවේ තිබූ මරණ දැන්වීමක සටහන් කර ගත්තේ නිකමට මෙන්ය.

ඉන් පසුව ගාල්ලට ගිය නිලධාරීන් ලොකු ඝාතනය සඳහා මෝටර් සයිකලය රැගෙන බඩී ලොරියෙන් පැමිණි සමන්ව අත් අඩංගුවට ගත්තේය. සමන්ගෙන් ද ප්‍රශ්න කිරීමෙන් අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෝටර් සයිකලය අලුත්ගම පදිංචි කපිලට ගෙනවිත් දුන් බවය.

ඉන් පසු අලුත්ගම පදිංචි කපිල අත් අඩංගුවට ගන්නා නිලධාරිහු ලොකු ඝාතනයේ සුලමුල සොයන්නට ගාල්ල බන්ධනාගාරයට යා යුතු බව තීරණය කළහ.

ඒ අනුව ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත ගාල්ල බන්ධනාගාරය තුළ රිමාන්ඩ් ගත වී සිටින ලසීගෙන් හා සුද්දාගෙන් ප්‍රශ්න කිරීමට කොට්ඨාශ විමර්ශන නිලධාරීහු ගාල්ලට ගියහ. ඒ කොළඹ බන්ධනාගාර මුලස්ථානයේ විශේෂ කණ්ඩායමක් ද සමඟය. මේ සියල්ල කෙරුණේ රහසිගතවය.

ගාල්ල බන්ධනාගාරයට ගිය ඔවුන්ට ලසී හා සුද්දා ද හමු විය.

“සර්ලා එනවා කියලා අපි කලින්ම දන්නවා. අපි ලෑස්ති වෙලයි හිටියේ”

සුද්දා කොට්ඨාශ විමර්ශන නිලධාරියකුට කීවේය. වැඩේ වැරැදී ඇති බව විමර්ශන නිලධාරින්ට තේරුණේ එවිටය. ඒ වනවිටත් තොරතුරු ඔවුන්ට ලැබී තිබිණි. උත්සාහය අපතේ බව දත් නිලධාරීහු අවශ්‍ය දත්ත ලබාගෙන යළි කළුතර බලා එන්නට වූහ.

විමර්ශනයේදී අනාවරණය වන්නේ ලොකු ඝාතනය සඳහා බන්ධනාගාරයේ සිට එක් ජංගම දුරකථනයකින් ඇමතුම් හත් දහස් ගණනක් දින කිහිපයක් පුරා ගෙන තිබූ බවය. එම දත්ත කළුතර නිලධාරින් සතුය.

ලොකු ඝාතනය කළේ බන්ධනාගාරය තුළ සිට දුන් නියෝග මත බවත් ඝාතනය සඳහා රාජු හා රණා වැලිපැන්නට පැමිණි බවත් සොයාගත් නිලධාරින් ඊට සම්බන්ධ වූවන් සොයන්නට වෙහෙසෙද්දී ලොකු ඝාතනයට යොදා ගත් මෝටර් රථය නවගමුව පොලීසියට සොයා ගත හැකි විය. ලොකු ඝාතනයට රණා හා රාජු මුලින්ම යන්නේ එම රථයෙනි. එය අතරමඟ නතර කොට ඉන් පසුව ඔවුන් දෙදෙනා සරා මල්ලිත් සමඟ එකම බයිසිකලයෙන් මීගමට ගොස් තිබිණි.

ඉන් අනතුරුව ලොකු ඝාතනයට සම්බන්ධ වූ බව කියන රාජු සහ රණා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයෙන් ජාඇලදී අත් අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී ලොකු ඝාතනය පමණක් නොව තවත් ඝාතන වැලක තොරතුරු ඔවුන් හෙළි කරන්නට විය.

කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බන්දුල ප්‍රනාන්දු ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක සමන් පද්මලාල් සැරයන්වරුන් වන ජයන්ත (17668) දයාසේන (26019) ගුණවර්ධන (4492) හා කොස්තාපල්වරුන් වූ විතාන (65063) මුණසිංහ (50880) ජයරත්න (79325) සමීර (74053) ගයාන් (76034) හා කාන්තා පොලිස් කොස්තාපල් දිලූපා (2678) යන පිරිස මේ පිළිබඳ පරික්ෂණවලට එක්ව සිටියහ.

පොලිස් පරික්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.