සැකකරු සොයා ගල්හුණ්ඩුව කන්ද තරණය කළ "බැට්"

සැකකරු සොයා ගල්හුණ්ඩුව කන්ද තරණය කළ "බැට්"

පින්නවල පොලිස් වසමේ මොරහැල, පල්ලෙවෙල පදිංචිව සිටි හිටපු පොලිස් සැරයන්වරයකු වූ ධර්මදාස පසුගියදා ගෙල කපා මරා දමා තිබිණි.

ඝාතනය වූ ධර්මදාස පොලිස් සේවයෙන් ඉවත් කළ අයෙකි. අනතුරුව අනුන්ගේ කුඹුරුවල දවසේ කුලියට සේවය කළ කාටවත් කරදරයක් නැතිචව ගමේ ජීවත් වූ අයෙකි.

දිනපතාම සවසට කුඹුරු වැඩ නිම කර රා අඩියක් ද ගසා ගෙදරට එන ඔහු සිද්ධිය වු දින මරා දමා තිබුණේ නිවෙසට එන මාර්ගයේ නිවෙසක් ඉදිරිපිටය.

සුනිල් ජයතිස්ස නම් වූ මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිට මොහු මරා දමා තිබූ අතර මෙම ඝාතනය ඔහු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසියට සැක මතු වූයේ ඔහු නිවෙසින් පලාගොස් සිටි බැවිනි.

මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ පින්නවල පොලීසිය රත්නපුර අපරාධ නිල සුනඛයා කැඳවීමට තීරණය කරන්නේ පලාගිය සැකකරු ගිය ඉසව්ව සොයා ගැනීම සඳහාය.

කොස්තාපල් (83912) අජිත් දුමින්දට දුරකථන ඇමතුමක් දෙන පින්නවල පොලීසියේ ස්ථානාධිපතිවරයා නිල සුනඛයා ද කැඳවාගෙන පැමිණෙන ලෙසට දන්වා සිටියේය.

සිද්ධිය වූ දිනට පසු දින උදේ නිල සුනඛ 'බැට්' ද සමඟ මොරහැලට යන අජිත් නිල සුනඛයාට ඉවට දීමට යමක් ඇත්දැයි විපරම් කළේය. එවිට පැමිණි කණ්ඩායම ඔහුට කමිසයක් ලබා දුන්නේය. එය ධර්මදාස ඝාතනය කළ බවට සැක කරන සුනිල්ගේ කමිසයයි.

එය හොඳින් ඉව කළ බැට් අජිත්ගේ මුහුණ දෙස බලා දීර්ඝ ගමනකට මුල පිරීය.

මේ ගමනට ගමේ තරුණයන් හතලිහක් පමණ එක්ව සිටියේ පොලු මුගුරු ද රැගෙනය. ඒ සැකකරු ඝාතනය සඳහා උපයෝගී කරගත් පොරොව ද රැගෙන පලාගොස් සිටි නිසාත්, මානසික ආබාධයකින් පෙළෙන බැවින් ඔහු සොයා පැමිණෙන අයට ඉන් පහර දීමට ද හැකියාවක් තිබෙන නිසාය.

ඝාතනය සිදු වූ ස්්ථානයෙන් ගමන් ඇරැඹූ බැට් මොරහැලවත්ත කඳු මුදුන දෙසට ගමන් කරන්නට විය. තේ පඳුරු, කටු පඳුරු, කැලෑ අතරින් ගමන් කිරීම බැට්ට එතරම් අපහසු නැත. එහෙත් ඒ ප්‍රදේශ පසු කිරීම අජිත්ටවත් පරීක්ෂණ කණ්ඩායමටවත් එතරම් පහසු කරුණක් වුයේ නැත. ගමේ තරුණයන්ට මේ කැලෑවල් හුරුපුරුදු බැවින් ඔවුන්ට ද කඳු තරණය එතරම් අපහසු වූයේ නැත.

මොරහැලවත්ත කන්දෙන් ගල්හුණ්ඩුව කන්දටත් එතනින් වෑගපිටියටත් ගිය බැට් කැලෑවේ පාලුව ගිය මඩුවක් අසලට ගොස් ඉව අල්ලන්නට විය. ඒ වන විට සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටර් අටකට වැඩි දුරක් බැට් ගොස් තිබිණි.

රාත්‍රිය ද උදා වී තිබූ අතර නිවෙස අසල ඉව කළ බැට් ආපසු හරවාගෙන ඒමට අජිත් කටයුතු කළේ තවදුරටත් රාජකාරි කිරීම බැට්ට අපහසු බව වටහා ගත් නිසාය.

ධර්මදාස ඝාතනය කළ සුනිල් වෑගපිටිය කැලෑවේ 'බැට්' ඉව කළ මඩුව අසල ගැවසෙනු ගමේ කිහිප දෙනකු දැක තිබිණි. තවමත් ඔහු අත් අඩංගුවට ගෙන නැත. ඔහු තවමත් ඒ ඉසව්වේ සිටින බවට පොලීසියට තොරතුරු ලැබේ. පොලීසිය යන විට ඔහු අතුරුදන් වෙයි.

මෙම ඝාතනය ඇසින් දුටු කිහිප දෙනකු ද සිටී. ඔවුන් පවසන තොරතුරුවලට අනුව සිද්ධිය වූ දින සවස කුඹුරු වැඩ නිම කොට රා අඩියක් ගසා ධර්මදාස පැමිණෙද්දී සැකකාර සුනිල් ධර්මදාස හා කතාවට වැටී ඇත්තේ සුනිල්ගේ නිවෙස ඉදිරිපිටදීය.

ඔහු ද බීමත්ව සිට ඇති අතර දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති විය. එය අවසන් කළ ධර්මදාස යන්නට ගිය අතර නිවෙසට දිව ගිය සුනිල් පොරොවක් රැගෙන විත් ධර්මදාසගේ පිටුපසින් ගොස් ගෙලට තදින් එක් පහරක් එල්ල කොට ඇත.

එම පහරින් ධර්මදාසගේ ගෙල වෙන් වන්නට ආසන්න තරමට කැපී ගොස් ඔහු එම මොහොතේම මියගිය අතර පොරව ද රැගෙන සුනිල් කැලෑ වැදී ඇත.

තක්‍ෂිලා ජයසේකර