'නිර්භයා'ගේ මරණයෙන් ඉන්දියාව කැළඹෙයි

'නිර්භයා'ගේ මරණයෙන් ඉන්දියාව කැළඹෙයි

ඉන්දියාවේ නැගෙනහිර උත්තර ප්‍රාන්තයේ බාල්ලියා පළාතේ සිට මේ දෙමහල්ලෝ දිල්ලියට ආවේ ජීවිතේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. එසේ පැමිණි ඔවුන් පදිංචි වුයේ නැගෙනහිර දිල්ලියේය. නව දිල්ලි ජාත්‍යාන්තර ගුවන්තොටුපළේ බඩු ඔසවන්නකු ලෙස රැකියාව කළ ඔහුගේ දිවි ගමනට සෑම අතකින්ම සහාය වුයේ දයාබර බිරියයි.

මේ කුරුලු කැදැල්ලට හා පුරා කියා එක්වුයේ දියණියකි. පසුව පිරිමි දරුවන් දෙදෙනෙක් ද ඔවුන්ගේ පවුලට එක්වුයේ දෙන්නා දෙමහල්ලන්ගේ සිහින සැබෑ කරමින්ය. සිය දරු තිදෙනාට හැකිතාක් ඉහළට උගන්වා ඔවුන් සමාජයේ ඉහළ තැනකට යැවීම මේ පියාගේ එකම අධිෂ්ඨානය විය. ඔහු දවස පුරාම දහදිය හෙළමින් දුක් වින්දේ ඒ නිසාය.

ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරමින් සිය දියණිය අධ්‍යාපන කටයුතුවල ඉහළම තැනට පත්වූවාය. ඇය භෞත චිකිත්සකවරියක ලෙස උසස් අධ්‍යාපනය ලැබීම සඳහා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ දා තරම් ඒ පවුලේ අය සතුටු වු තවත් දිනයක් නැති තරම්ය. එදා සිට ඒ පියාගේ ජීවන බර තවත් වැඩි විය. ධෛර්යසම්පන්න දියණියක වූ ඇය පියාට බරක් නොවී තම ඉගෙනීමට යන වියදම කෙසේ හෝ සොයා ගැනීම සඳහා කොමියුනිකේශන එකක වැඩට ගියාය. කාලය මෙසේ ගෙවී යද්දී ඇයට පෙම්වතකු ද මුණ ගැසුණාය.

ඒ දිල්ලියේ සාකේට් දිස්ත්‍රික්කයේ මල්්ටිෆ්ලෙක්ස් සිනමා ශාලාවේ. The life of pi  චිත්‍රපටය තිරගත වෙමින් තිබු කාලයයි. චිත්‍රපටය නරඹන්න ඇය ගියේ පෙම්වතා ද සමඟය.

රාත්‍රී දර්ශනය නරඹා ඔවුන් සිනමා ශාලාවෙන් එළියට එද්දී වෙලාව රෑ නමයත් පසු වී තිබිණි. ඉක්මනින් නිවෙස බලා යන්න බස්රියක ගොඩ වෙන්න පාරට පැමිණි ඔවුන් ඉදිරියෙන් ආ බස් රියට අත පෑවේය. බස් රිය ඔවුන් අසලම නතර විය.

බස්රියේ සිටියේ හය හත් දෙනකු පමණි. තමන් නැග ගත්තේ වැරැදි බසයකට බව තේරුම් යද්දී ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබිණ. බස්රියේ සිටි අධමයන් දිගින් දිගටම ඔවුන්ට නොයෙකුත් අශෝභන වචන කියද්දී ඔවුන් ඊට නොබැන අසා සිටියේ අසරණ බව දැනුණු නිසාය. කොතෙක් නිහඬව සිටියත් ඒ අධමයන්ගේ අසභ්‍ය විහිළු තහළු හා පහත් පෙළේ කතා අසා සිටීමට බැරි තැන තරුණයා ඊට සිය විරෝධය පළ කරන්නට විය. මෙතෙක් වදනට සීමා වූ ඔවුන්ගේ කියුම් කෙරුම් කෝප ගින්නක් වී ඔවුන් මත කඩා වැටුණේ ඉන් පසුවය.

තරුණ යුවළ වෙත කඩා පිනු මේ උන්මත්තකයන් ඔවුන්ට පහර දීමට පටන් ගත්තේ ඉතා අමානුෂික අයුරිනි. තරුණයා දිගින් දිගටම තමන්ට එල්ල වන පහර වළක්වන්න උත්සාහ ගනිද්දී තරුණිය ද දිවි දෙනක මෙන් තම ජීවිතය වෙනුවෙන් සටන් කරන්න පටන් ගත්තාය.

මෘග රැළගේ කෝපය තවත් වැඩි වී මෙතෙක් අතින් පයින් කළ පහරදීම් වෙනුවට ඔවුහු බසයේ තිබු යකඩ පොලු අතට ගත්හ. යකඩ පොලු වලින් තරුණ යුවළට පහරදෙන අතර අධම රැළ උත්සාහ කළේ තරුණියට ද අඩම්තේට්ටම් කිරීමටය. මේ අවලමුන් කරන්න යන දේ දුටු පෙම්වතා වියරු වැටී තම පෙම්වතිය බේරා ගැනීමට තැත් කළේය. තරුණියගේ සපා කෑම් සහ නියපොතු පහරින් අධමයන්ගේ මුහුණු තුවාල වී ලේ ගලද්දී තව තවත් කුපිත වූ අධමයන් යකඩ පොලු ද රැගෙන ඔවුන් වෙත කඩා පැන්නේ ලේ පිපාසයෙන් ගොදුරකට පනින වෘක රැළක් ලෙසය. වෘක රැළකට හසු වූ අහිංසක බැටළුවන් දෙදෙනකුට කළ හැක්කේ කුමක්ද? එකෙකුගේ යකඩ පොලු පහරක් වැදී පෙම්වතා සිහිසුන් වී ඇද වැටෙද්දී අධම රැළ තරුණිය වට කරගත්හ.

බස් රියේ කවුළු මුවාකර ට ඇතුළේ සිදුවන සියලු දේ අවට ලෝකයෙන් වසන් කිරීමට ඔවුිහු උත්සහ ගත්හ. බස්රියේ රියැදුරා සිටි කුටියට ඇද ගැනුණු තරුණියගේ ඇඳුම් බ්ලේඩ් තල වලින් කපා දැමිණි. ඇඳ සිටි ඇඳුම් සමඟ සිරුර ද බ්ලේඩ් වලට කැපෙද්දී ඇය තව තවත් ඔවුන් හා පොර බැදුවේ තමා සතු සියලු ශක්තිය වැය කරමිනි.

එහෙත් අධම රැළ සිය මෘග ආශාවන් ඇගෙන් සන්තර්පණය කරගත් අතර ඉන් පසු ඇය කෙසෙල් කොටයක් මෙන් පසෙකට ඇද දැමීමට ඔවුහු ක්‍රියා කළහ. අවසානයේ තරුණයා සහ තරුණිය බිමට ඇද දැමු මේ පාපතරයෝ ඔවුන් සතු මුදල් රන් ආභරණ සහ ජංගම දුරකථන පවා පැහැර ගැනීමට අමතක නොකළහ. ඉනුදු නොනැවතුණු මේ අධමයන් රියැදුරාට යෝජනා කළේ බිම වැටි සිටි ඔවුන් දෙදෙනා යට කරගෙන යන ලෙසයි.

බස් රියදුරා යකෙකු සේ ඔවුන් තලා පොඩිකර දමන්නට එද්දී මොහොතකින් සිහි ලද පෙම්වතා වහාම සිය පෙම්වතිය අහකට ඇද ගත්තේ සිදුවීමට ගිය තවත් විපතක් ඒ මොහොතේ වලකමිනි.

සිය පෙම්වතා හා චිත්‍රපටයක් නැරැඹීමට යන බව පැවසු දියණිය නිවෙසට නොපැමිණි නිසා ඇගේ පියා දියණියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තද ඉන් කිසිම ප්‍රතිචාරයක් නොවිණි.

මුළු මහත් ඉන්දියාවම කලඹවමින් මහා ජන ගංගාවක් කුපිත කරමින් මහා පාරට බසින්නට හේතු වූ ඒ භයංකාර ආරංචිය තරුණියගේ පවුලේ අය වෙත ලැබුණේ ඉන් පසුවය.

“ඔබේ දියණිය අතවරයට ලක් වී දරුණු ලෙස තුවාල ලැබ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ සිටිනවා....”

රෝහලෙන් ලැබුණු පණිවුඩයත් සමඟ ඒ පවුලේ උදවිය රෝහලට දිව ගියේ කම්පා වී අඳෙීනා නඟමිනි.

අධම තිරිසන් රැළකට හසුවු ඇය ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර සිටි අතර ් ජීවිතයත් මරණයත් අතර සටනකනියැලී සිටියාය.

සිද්ධිය සැළවීමත් සමඟම කැළඹුණු ජනතාව උද්ඝෝෂණ කරමින් වීදි බැස්සේ අතවරයට ලක් වූ තරුණිය වෙනුවෙන් සාධාරණය හා යුක්තිය ඉෂ්ට කරන ලෙසට හඬ නඟමිනි. පොලිසිය අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම නොතකද්දී ජනතාව වියරු වැටෙමින් හඬ නගද්දී රෝහල් ගතව සිටි තරුණියගේ තත්ත්වය ද එන්න එන්නම දරුණු විය. ජනතාව කුපිත වී පොලිසිය හා ගැටීම නිසා දිල්ලි පොලිස් නිලධාරියකු ද මරු මුවට පත් විය.

ඉන්දියානු නීතියට අනුව අතවරයට ලක් වූ කාන්තාවකගේ අනන්‍යතාවය හෙළි කිරීම තනහම්ය. මේ නිසා මේ විපතට ලක් වූ තරුණියගේ සහ ඇගේ පවුලේ අයගේ අනන්‍යතාව සැඟවිණි. අධම රැළකගෙන් බේරීම සඳහා අන්තිම මොහොත දක්වා නිර්භීතව සටන් කළ නිසා මාධ්‍ය රැසක්ම ඇය “නිර්භයා” නමින් හඳුන්වන්න පටන් ගත්හ.

සති දෙකක් තිස්සේ ඉන්දීය රෝහලක ජීවිතයත් මරණයත් අතර සටහක නිරතව සිටි නිර්භයාගේ තත්ත්වය අවදානම් බව දුටු වෛද්‍යවරු ඇයට වඩාත් පහසුකම් සහිත විදෙස් රෝහලක දී ප්‍රතිකාර ලබාදිය යුතු බවට තීරණය කළහ.

සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණ ද අධම තිරිසන් මිනිසුන් ඇයට කළ අමානුෂික වධ හිංසා හේතුවෙන් ඇයගේ සිරුර අභ්‍යන්තරයට ඉතා දැඩි ලෙස තුවාල වී තිබුණාය. ඒ නිසාම කොතෙක් උත්සාහ කළද වෛද්‍යවරුන්ගේ සියලු වීර්යයන් අසාර්ථක කරමින් ඇය මෙලොවින් සමුගත්තාය.

ඉන්දියානු විශේෂ ගුවන් යානයකින් සිංගප්පුරුවේ සිට නිර්භයාගේ සිරුර දිල්ලියට රැගෙන ආවේ දැඩි ආරක්ෂිත විධිවිධාන මධ්‍යයේය. ඇගේ සිරුර දිල්ලියට ගෙන එන දා රෝගාතුර වී සිහිසුන් වූ මව, දියණියගේ සිරුර බැලීම ප්‍රතික්ෂේප කළාය.

දිල්ලියේ ඇගේ නිවෙසේ දී ආගමික චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු නිර්භයාගේ ආදාහන කටයුතු සිදුවුයේත් දැඩි රැකවල් මධ්‍යයේය. මේ සියල්ලට හේතු වුයේ ජනතාව දැඩි සේ කුපිත වී සිටීමය.

තරුණියට මේ අපරාධය සිදු කළ බස්රිය සහ එහි සිටි නරුමයන් අත්අඩංගුවට ගැනිමට පොලිසියට හැකි වූයේ ඉන් පසුවය. මගී ප්‍රවාහන බස්රියක් ලෙස පෙන්වමින් රිය ධාවනයේ යෙදවු බස්රියේ හිමිකරු ද පොලිස් අත්අඩංගුවට ගනිද්දී ජනතාව උද්ඝෝෂණ කරමින් වීදි බැස්සේ අපරාධකරුවනට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස ඉල්ලමිනි.

මුළු ලෝකයම මේ සිද්ධිය නිසා කෙතරම් කම්පාවට පත් වුවාද යත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයා ද ඉන්දීය රජයෙන් එරට කාන්තාවන්ට එරෙහිව සිදුවන ක්‍රියා නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් 30 දෙනකුගෙන් සාක්කි රැස්කර තිබුණු අතර සැකකරුවන්ට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කෙරෙන ගොනුව පිටු 1000කටත් වඩා අධික විය. සැකකරුවන් වෙනුවෙන් තම සංගමයේ කිසිවෙක් පෙනී නොසිටින බවට ඉන්දීය නීතිඥ සංගමය ප්‍රකාශයක් ද කළේය.

නිර්භයාගේ මරණයත් සමඟ මුළු මහත් ඉන්දියාව පුරාම මෙතෙක් සැඟව තිබු කාන්තා හිංසනය පිළිබඳව වූ සිද්ධි අළු යට ගිනි එළියට ඒමක් වී ඇති අතර ඊට සහයෝගය දක්වමින් ලෝකය පුරා ද උද්ඝෝෂණ දියත් වෙන්නට ද පටන් ගෙන ඇත.