ආදරේකට ආවත් ඔබ අමනුෂ්‍යයෙක්”

ආදරේකට ආවත් ඔබ අමනුෂ්‍යයෙක්”

තම දරුවන්ට පමණ ඉක්මවා ආදරයෙන් ඇලී සිටින මවුපියෝ ඒ දැඩි බැඳීම නිසා මරණයෙන් පසු ප්‍රේතයන් වී ඒ දරුවන් ඇසුරෙහිම උපදිති. කොයි තරම් ආදරයෙන් සිටියත් අමනුෂයන් සමීප වනවිට ඒ නිවෙස්වල වසන දූ දරුවන්ටත් නිවැසියන්ටත් එම ප්‍රේතයන් කරන්නේ අගතියකි.

නිට්ටඹුවේ චාන්දනී පනස් හැවිරිදි තුන් දරු මවකි. දියණියන්ම තිදෙනෙකි. ස්වාමි පුරුෂයා මිය ගොසිනි. දියණියන් තිදෙනාම අවිවාහකය. චාන්දනී, දෙකකුල් ඉදිමී ඇවිදින්නට අපහසුවෙන් දුක් විඳී. පවුලේ හතර දෙනාගේ මත ගැටුම් නිසා අඬ දබරවල අඩුවක් නැත. ඊට අමතරව රාත්‍රියට නිවෙසේ වරින් වර සද්ද බද්ද ඇසෙන අතර දුර්ගන්ධයක් ද පැතිර යයි. දියණියන්ගේ ඇඳන්වල යම් කිසිවෙකු හිඳගන්නා බව දැනෙන අතර ඇඳන් සෙලවෙන සද්දය ද ඇසෙයි.

මේ දුක් කරදරවලින් මිදෙන්නට වෛද්‍ය ප්‍රතිකාර කළත් කිසිදු සහනයක් නොලද බැවින් චාන්දනී සිය වැඩිමල් දියණිය නයනා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය.

අධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී පවුලේ අය පත්ව සිටින තත්ත්වයන් තමන්ගේ රෝගාබාධයනුත් විස්තර කළාය. ප්‍රථම ගවේෂණයේදීම චාන්දනී ගැහෙන්නට වූ අතර නයනා සිහිසුන්ව වැටුණාය. මොවුන්ට අමනුෂ්‍ය දෝෂයක් පවතින බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුනට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට චාන්දනී දියණියන් තුන් දෙනාම කැඳවා ගෙන පැමිණියාය. එදින ගවේෂකවරයා ඔවුන් වෙත ශක්ති කිරණ එල්ල කරන විට චාන්දනී සිහි සුන්ව ඇද වැටුණාය. චාන්දනී ප්‍රකෘති සිහියට පත් වනවිටම නයනා සිහිසුන්ව වැටුණාය. මෙසේ භූතාත්මය වරින් වර සතර දෙනාගේම ශරීරවලට ඇතුල් වී ඔවුන්ට ආවිශ්ට වූයේය.

යළිත් චාන්දනීගේ ශරීරයට භූතාත්මය ගෙන්වා ගත් ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ කරදර කරන්නේ?”

“මම මේ දූලගෙ තාත්තා” භූතයා උත්තර දුන්නේය.

“මොකක්ද නම?”

“සමන්”

“තමුන් මොනවා වෙලා ද මැරුණේ?”

“අසනීප වෙලා.”

“ඇයි මේ අයට කරදර කරන්නේ?”

“කරදර කරන්න නෙවෙයි මම ඇවිත් ඉන්නේ ආදරේට”

“ආදරේට ආවත්, තරහකට ආවත්, අමනුෂයන්ටයි මනුෂ්‍යයන්ටයි එකට ඉන්න බෑ. එතකොට මනුෂයයෝ අසනීප වෙනවා.” කී ගවේෂකවරයා භූතාත්මය චාන්දනී ගේ ශරීරයෙන් ඉවත් කොට මිය ගිය සැමියා පිළිබඳ ඇගෙන් විමසීය.

තම සැමියා සමන් මීට අවුරුදු පහළොවකට පෙර තමන්ගෙන් වෙන් වී වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වූ බවත් ඔහු වෙන්වී යනවිට බාල දුව එරන්දනීට වයස අවුරුදු පහක් බවත් චාන්දනී කීවාය. අවුරුදු පහළොවකට පෙර වෙන් වී ගිය ඔහු කිසිදිනක තමන් බලන්නට නොපැමිණි බවත්, ඔහුගේ මරණය පිළිබඳ ආරංචි වුණත් තමන් එහි නොගිය අතර දියණිවරුන්ට පවා යන්නට ඉඩ නොදුන් බවත් ඇය ගවේෂකවරයා ඉදිරියේ කියා සිටියාය.

තවත් සති දෙකක් දියණිවරුන් සමඟ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදිනද ගවේෂකවරයා චාන්දනීගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගන්වා සාකච්ඡා කළේය.

“කොහොමද? මේ අය බෝධි පූජාවට යනකොට ඔබත් ගියාද?” භූතාත්මයෙන් ඇසීය.

“ඔව් මමත් ගියා. එතැනදී සිතට පුදුම සහනයක් දැනුණා.”

“ඔබ මිය ගියේ කොහේදීද?”

“හොරණදී”

“ ගෙදර තියෙන්නේ නිට්ටඹුවේ නම් ඇයි හොරණදි මැරුණේ?”

“මහත්තයා, මම චාන්දනීගෙන් වෙන්වෙලා හොරණ පදිංචි වෙලයි හිටියේ.”

“ඒ කවුරුන් එක්කද?”

“වෙන ගෑනු කෙනෙක් එක්ක.”

“ඒ කොයි කාලෙද?”

“අවුරුදු පහළොවක කාලයක ඉඳලා.”

“ ඔය හොරණ නෝනාගේ විශේෂත්වය මොකක්ද?’

“කරුණාවෙන් කතා කරනවා. ඕනෑ එපාකම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. කටට රහට වෙලාවට කෑම ටික සපයනවා. එකට එක කියාගෙන කට ගහගෙන එන්නේ නෑ. අරපිරිමැස්මෙන් වැඩ කරනවා. බොරු විලාසිතා, නාස්තිකාර වැඩ නෑ. පිරිසිදුවට පි‍්‍රය මනාපව ඉන්නවා. ස්වාමියාට ගරු කරනවා. ඔය ටිකම මදැයි මහත්තයා, ඒ නිසා එයාට හිත බැඳුණා.”

“ඇයි ඉතින් දරුවන් බලන්න ආවෙ නැත්තේ?”

“ඉන්න තැනට හිත බැඳුණු නිසා.”

“තාත්තා කෙනෙක් වශයෙන් ඒ යුතුකම් පැහැර හැරීමක් නේද?”

“නැහැ. හැම මාසෙකම නොවරදවා මම වියදමට මුදල් යැව්වා. අඩුපාඩුවක් කළේ නැහැ.”

“ගමට එන්න හිතුනේම නැද්ද?”

“එපා වෙලා ගිය නිසා එන්න හිතුනේම නැහැ. ඒත් දරු තුන් දෙනාම නිතර මතක් වුණා. මම යනකොට චූටි දුවට වයස අවුරුදු පහයි. හුරතල් දඟකාර වයස. මට නිතරම මතක් වුණා. ඉගෙන ගන්න, ඇඳුම් පැළඳුම්වලට, කන්න බොන්න අවශ්‍ය මුදල් එව්වා.”

භූතාත්මය එසේ කියන විට දියණියන් තුන් දෙනාම අඬන්නට වූහ.

“ඔබට ඔබේ ගෙදරත් ගමත් එපා වුණේ මේ චාන්දනී නෝනා සැර නිසාද?”

“......................” භූතාත්මය නිහඬ විය.

“කතා කරන්න.”

“අපි ඒ ගැන කතා නොකර ඉමු මහත්මයා. දරු තුන් දෙනා රැකබලා ගත් එකත් මදැයි.”

“ඉතින් අවුරුදු පහළොවකට පස්සේ මැරණම එන්න හිතුණෙ මොකද?”

“මම මැරෙන වෙලාවෙ චූටි දුව මතක් වුණා. ඊට පස්සෙ මේ දරු තුන් දෙනා යන යන තැන පස්සෙන් ගියා.”

“ඔබ මේ ළමයින් කෙරෙහි ඇලිලා. දැන් ඒ හේතුව නිසා මේ අය අසනීප වෙලා. ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඔබ මේ අය අතහැර යන්න ඕනෑ.”

“ බැහැ බැහැ. මම මගේ දරුවන්ට නොවෙයි.”

“ඔබ දැන් මේ දරුවන්ගෙ තාත්තා නෙමෙයි.”

“ඇයි නැත්තේ?’

“සමන් මැරුණා. ඒ තාත්තා මැරුණා. දැන් ඉන්නේ තණ්හාව උපාදාන කරගත්ත නිසා අලුත් භවයක උපන් ප්‍රේතයෙක්. හොඳ තාත්තා කෙනෙක් වුණාට මැරුණාට පස්සෙ වෙනත් පුද්ගලයෙක්. පේ‍්‍රතයෙක්, ඔබ නිසා මේ ළමයි අසනීප වෙලා. විවාහයක් හරි යන්නෙත් නෑ. මෙතන තියෙන්නේ ආකල්පමය වරදක්. එදා ආදරේ වුණාට දැන් මේ ළමයින්ට ආදරය කරන්න ඔබට සාධාරණ අයිතියක් නෑ. ඔබ දැන් ඔවුන්ට කරන්නේ වරදක්. කරුණාකර ඔබ ඔය පේ‍්‍රත ආත්මයෙන් මිදී ඉහළට දෙවියන් අතරට යන්න. දෙවියන් අතර ඉඳගෙන මේ අයට ආශිර්වාද කරන්න.”

“මට ඒකට උදව් කරන්න මහත්තයා.”

“මම මේ අයට කියන්නම් ගෙදර සාංඝික දානයක් දී ඔබට පින් අනුමෝදන් කරන්න කියලා. ඔබ ඒ පින් අනුමෝදන් වී හොඳ සිද්ධස්ථානයකට යන්න. එතකොට ඔබේ තත්ත්වය දියුණු වේවි.” ගවේෂකවරයා භුතාත්මය දැනුවත් කළේය.

“ඔව් තාත්තේ. තාත්තා අපට ආදරේ බව අපි දන්නවා. ඒත් තාත්තා දැන් ඉන්න තත්ත්වය තාත්තාටත් හොඳ නෑ. අපටත් ලැජ්ජයි. තාත්තා ඉහළට යන්න අපි පින් අනුමෝදන් කරන්නම්.” දියණියෝ තිදෙනාම භූතාත්මය ඉදිරියේ කියන්නට වූහ.

සාංඝික දානයෙන් පසු භූතාත්මය කැමැත්තෙන්ම ඉවත් වී යෑමට සතුටු වූ බැවින් ගවේෂකවරයා චාන්දනීගේ නිවෙසේ ආරක්ෂාවට කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් කියාදී දිගටම සිය සැමියා වෙනුවෙන් පිං අනුමෝදනා කරන ලෙස දන්වා සිටියේය.