“ඇඳ උඩට වැටුණු මහත්තයාගේ උගුරු දණ්ඩම කැපුවා”

“ඇඳ උඩට වැටුණු මහත්තයාගේ උගුරු දණ්ඩම කැපුවා”

මිනුවන්ගොඩ, පත්අඬුවන අංක 14 දරණ නිවෙසේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටි විජේසූරිය ආරච්චිගේ සිසිර විජේසූරිය හැටතුන් හැවිරිදි අවිවාහකයෙකි.

එම නිවෙසේ අනෙක් කොටස් වසා දමා තිබූ අතර මසකට රුපියල් තුන්දහසක මුදලකට මොහුට දී තිබුණේ නිවෙසේ ඉදිරිපස කන්තෝරු කාමරයයි. මොහු මෙම කාමරය කුලියට ගන්නේ පසුගිය වසරේ අවසන් කාලයේදීය. උදේ ආහාරය අසල්වැසි නිවෙසකින් ලබාගත් ඔහු දිවා සහ රාත්‍රී ආහාර පාරෙන් එහා පැත්තේ පිහිටි හෝටලයෙන් ලබා ගත්තේය.

ඔහුට ආහාර සපයන්නන් ඒවා රැගෙන විත් ජනේලයේ එල්ලා යාම සාමාන්‍ය සිරිතය. සතියකට දින දෙකක් හෝ තුනක් ගම්පහ යන ඔහු එහි වූ හෝටලයකින් මත්පැන් පානය කොට එහි කාමරයක රාත්‍රිය ගෙවා ඊට පසුදින මිනුවන්ගොඩ කාමරයට යාමට ද පුරුදුව සිටියේය.

මැයි මස දොළොස්වැනිදා උදේ ඔහුගේ උදේ ආහාරවේල රැගෙන ආ අය එය ජනේලයේ එල්ලා යන්නට ගියේය.

දිවා ආහාරය රැගෙන ආ හෝටලයේ කොල්ලා දුටුවේ උදේ කෑම පාර්සලය තවමත් ජනේලයේ එල්ලා තිබෙන අයුරුය. ජනේල හැර දමා ඇත. විවරව ඇති ජනේලයෙන් ඔහු දුටුවේ සිසිර ඇඳමත මුනින් අතට නිදා සිටින අයුරුය. ඔහු ගෙල ප්‍රදේශයේ කොට්ටයක් තබාගෙන සිටී. කාමරයේ විදුලි බුබුලු ද නිවා දමා නැත.

රැගෙන ගිය දිවා ආහාර පාර්සලය ද ජනේලයේ එල්ලූ කොලුවා යන්නට ගියේ සිතේ ඇති වූ යම් කුකුසක් ද සමඟය.

එදින සන්ධ්‍යා භාගය උදාවෙද්දී ද සිසිර කෑම ගෙන තිබුණේ නැත. 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මෙම තොරතුර ලැබෙන්නේ එදින සන්ධ්‍යාවේදිය. 119 අංශය ඒ බව මිනුවන්ගොඩ පොලිසියට දන්වන අතර එම නිවෙසට ගොස් පරීක්ෂණ අරඹන පොලිස් කණ්ඩායමට දක්නට ලැබුණේ කාමරයේ සිටි පුද්ගලයා ගෙල කපා මරා දමා ඇති බවය.

මොහු කවුරුන්දැයි හඳුනා ගැනීමට පොලිසියට මහත් උත්සාහයක් දැරීමට සිදුවිය. ඒ.... මොහු කවුරුන් ද යන්න කිසිවකුත් දැන නොසිටි නිසාය. නිවෙසේ හිමිකරු පවා මොහුගේ තොරතුරු දැන සිටියේ නැත.

දින ගණනක් මළ සිරුර මෝචරියේ තිබූ අතර අවසානයේ මොහුගේ අනන්‍යතාව තහවුරු කරගන්නේ මොහුට මෙම කාමරය සොයා දුන් පුද්ගලයාගෙනි.

ඔහු පැවසූ තොරතුරු වලට අනුව සිසිර ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මොහුට සහෝදරයකු සහ සහෝදරියක සිටී. සහෝදරයාගේ පදිංචිය එංගලන්තයේය. සහෝදරිය කොහි සිටිනවාදැයි කියන්නට මොහුට නිවෙස සොයා දුන් පුද්ගලයා දන්නේ නැත.

මේ පවුලට අයත් ගම්පහ නගරයේ තිබූ ඉඩකඩම් දෙදහස් පහළොව වර්ෂයේදී විකුණා දැමීය. ඒ... රුපියල් කෝටි ගණනකටය.

ඉන් රුපියල් කෝටියකට වැඩි මුදලක් සිසිරගේ කොටස ලෙස ලැබී තිබිණි. ගම්පහ සිටින කාලයේ පටන් මොහු “අඩියක් ගැසීමට” යන්නේ නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකටය. ඔහුගේ සහෝදරයා ද මෙරට සිටි සමයේ බොන්නට සිතුන විට යන්නේ ද එම හෝටලයටය.

ඉඩම් විකිණීමෙන් අනතුරුව ලැබුණ මුදල “ස්ථාවර තැන්පතු” වල දමා ලැබෙන පොලිය ඉතිරිකිරීමේ ගිණුමකට ඔහු බැර කළේ්ය. වියදමට අවශ්‍ය මුදල් එම ඉතිරිකිරිමේ ගිණුමෙන් ලබා ගත්තේ බැංකු කාඩ් පතකිනි.

නිවෙස අහිමි වීමෙන් අනතුරුව කුලී කාමර කිහිපයක කල් ගෙවූ සිසිර ඒ කාලයේදීත් බොන්න සිතුන විට ගම්පහ සුපුරුදු ස්ථානයට යාමට අමතක කළේ නැත. මිනුවන්ගොඩ කාමරය කුලියට ගැනීමෙන් අනතුරුව ද මොහු මත්පැන් පානය සඳහා මෙම හෝටලයටම ගිය අතර එම ගමනට ඔහු ත්‍රිරෝද රථයක් යොදා ගත්තේය. මොහුගේ මළ සිරුර හමු වූයේ වෙසක් පෝයට පසු දිනයේදීය.

ඝාතකයා සොයා පරීක්ෂණ ආරම්භ කළ මිනුවන්ගොඩ පොලිසියට දැනගන්නට ලැබුණේ මොහු ජංගම දුරකථනයක් පාවිච්චි කළ නමුත් එය අතුරුදනව ඇති බවයි. එම සිම් පතේ අංකය සොයාගෙන දුරකථන දත්ත වාර්ථා ද රැගෙන පරික්ෂණ වල නිරත වූවද ඝාතකයා සොයා ගැනිමට පොලිසියට හැකිවූයේ නැත.

සිසිර විජේසූරිය ඝාතනයේ පරීක්ෂණ බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට ලබා දෙන්නේ මැයි මස අවසන් භාගයේදීය. ඒ...ඒ වන විටත් මිනුවන්ගොඩ පොලිසියට මෙම ඝාතනය සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබීම නිසාය.

නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නියෝග මත සිසිර ඝාතනයේ පරීක්ෂණ ආරම්භ කළ බස්නාහිර උතුර (පෑලියගොඩ) අපරාධ කොට්ඨාසය මුලින්ම කළේ වටපිටාවෙන් තොරතුරු සොයා බැලීමයි. එම සොයා බැලීම් වලදී සැලකිය යුතු තොරතුරු කිසිවක් හමු වූයේ නැත.

ඉන් අනතුරුව පරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වූයේ සිසිරගේ ජංගම දුරකථන දත්ත වාර්ථාව දෙසටය. එම අංකයට අවසන් වරට පැමිණි දුරකථන ඇමතුම් පරික්ෂාවේදී සැක කටයුතු අංකයක් හමුවිය. සිසිරගේ මළ සිරුර හමු වූ දිනට පෙර දින රාත්‍රියේ එම දුරකථන අංකයෙන් සිසිරට ඇමතුම් රාශියක් ලබා දී තිබිණ. දුරකථන කුලුණු පරීක්ෂාවේදී හෙළි වූයේ එම අංකය යක්කල සිට මිනුවන්ගොඩට ගොස් ඇති බවයි.

රාත්‍රී දහය පමණ වෙද්දී ඔහුගේ ඇමතුම් ගැනීම නතර වී ඇති අතර ඊට පසු සිසිරගේ ජංගම දුරකථනයට වෙනත් අංකයකින් ඇමතුමක් ලැබී තිබිණි. ඊට පසුදින අලුයම් කාලයේ සිට සිසිරගේ ජංගම දුරකථනය කි‍්‍රයා විරහිතය.

සිසිර මරා දමන්නට පෙර දිගට හරහට ඇමතුම් දුන් අංකය සෙවූ පෑලියගොඩ ඒකකයේ කණ්ඩායමට එම පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකිවිය.

ඔහු... ගම්පහ ප්‍රසිද්ධ හෝටලයේ වේටර් කෙනකු ලෙස රැකියාවේ නිරත රුවන් දර්ශන නමැති අයෙකි. මාතලේ, රන්තොට මුවන්දෙනිය, වැටස්යාය ගමේ පදිංචි කරුවෙකි.

මොහු සොයා ගම්පහ හෝටලයට ගිය පොලිසියට දැනගන්න ලැබුණේ මොහු මැයි මස විසි වැනිදා සිට නිවාඩු ලබාගෙන ගිය බවත් අද වන තුරුත් සේවයට වාර්ථා නොකළ බවත්ය.

පොලිසිය මොහු සොයා ඒම හෝටලයේ කළමනාකරුට ද ප්‍රශ්නයක් විය.

මිනුවන්ගොඩ සිද්ධියක තොරතුරු සොයා යද්දී මොහුගේ ජංගම දුරකථන අංකය ද හමු වූ බැවින් දුරකථන සම්බන්ධතාව කුමක්දැයි සොයා ගැනීමට මොහු සොයන බව පොලිසිය හෝටල් කළමනාකරුට දැන්වීය. ඔහු පවසා සිටියේ මොහු කාටවත් කිසිම වරදක් නොකරන ඉතාම අහිංසක පුද්ගලයකු බවත් ජීවිතේට කිසිම අපරාධයකට සම්බන්ධ නොවන අයකු බවත්ය.

සිසිර සතුව තිබී අතුරුදන් වූ ඩුවෙල් සිම් ජංගම දුරකථනයේ එමි අංකය උපයෝගී කරගෙන සිදු කළ පරීක්ෂාවේදී එය මාතලේ තිබෙන බව හෙළිවිය. එනම්.... සිසිරගේ නවීන පන්නයේ ජංගම දුරකථනය සොරාගත් පුද්ගලයා නොඑසේ නම් සිසිරගේ ඝාතකයා දැන් සිටින්නේ මාතලේය.

පෑලියගොඩ ඒකකයේ කණ්ඩායමක් පසුගිය දෙවැනිදා මාතලේට යන්නේ ඔහු වර්ථමානයේ පදිංචිව සිටින බිරියගේ නිවෙස සොයාගෙනය. එදින රාත්‍රියේ දී මාතලේ ගම්මඩුව, ඕපල්ගලවත්ත ලිපිනයේ පිහිටි නිවෙස වට කළ පොලිස් කණ්ඩායම රුවන් දර්ශන අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අතර මොහු පොලිසියෙන් සැඟවීමට උත්සාහ කළේය. ඒ වනවිට නිවෙස වටලා තිබූ බැවින් මොහුට පොලිස් ඇසින් පැනයාමට හැකිවූයේ නැත. පොලිසිය මොහුගේ දෑත් එකතුකොට මාංචු දැමීමේ සිසිර විජේසූරිය ඝාතනය කිරීමේ චෝදනාවටය.

මොහු සතුව තිබී සිසිරට අයත් ඩුවෙල් සිම් ජංගම දුරකථනය හමු විය. මොහු නිවාඩු ගෙන පැමිණ තිබුණේ මොහුගේ බිරියගේ නැගණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවය සඳහාය. එම උත්සවය මොහු සිසිරගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබිණි.

මොහු නිදාසිටි ඇඳෙහි මෙට්ටය යට තිබී කොළ පැහැති ටී ෂර්ට් එකක් හමුවිය. එය ඇඳ යට සඟවා තිබීම පොලිස් කණ්ඩායමට සැක උපදවන්නට විය.

“ඇයි මේක ඇඳ යට හංගලා තිබ්බේ?”

“සිසිර මහත්තයව මරපු දවසේ මම මේ ටී ෂර්ට් එක තමයි සර් ඇඳගෙන සිටියේ.”

ඔහු... ටී ෂර්ට් රහස එලෙස හෙළි කළේය.

පෑලියගොඩ ඒකකයට කැඳවාගෙන විත් ප්‍රශ්න කිරිමේදී මොහු සිසිර ඝාතනයත් ඊට මුල් වූ හේතු සාධකත්, සිය ජිවිත කතාවත් හෙළි කරන්නට විය..

“හොටෙල් කෝස් එකක් කළා. ඊට පස්සේ දිගටම මම හෝටල්වල වැඩ කළේ. ගම්පහ හෝටලේ ස්ටුවට් කෙනෙක් විදියට වැඩට ගියේ දෙදහස් හතර අවුරුද්දේ.”

“එදා ඉඳලම මම සිසිර මහත්තයව අඳුනනවා. කල් ගත වෙද්දී මහත්තයාගේ හොඳම ගෝලයා වුණේ මම.

“බොන්න එන්න කලින් මට කෝල් කරලා කියනවා කාමරයක් වෙන් කරලා තියන්න කියලා.”

“අපේ අම්මා දිගටම රට හිටියේ. දෙදාස් දොළහ අවුරුද්ද වෙද්දී එයා ලංකාවට ඇවිත් සිටියා. මම ඒ අවුරුද්දේ රට යවන්න ට්‍රයි කළා. අම්මගේ රත්තරං බඩු ටික අරගෙන අම්මත් එක්ක ගෙදරින් ඇවිත් මම අම්මව බස් එකේ අතරමං කරලා රත්තරං බඩු ටිකත් අරගෙන ගියා. ඒත්.... මට රට යන්න ලැබුණේ නෑ. ඊට පස්සේ අද වනතුරුත් අම්වව බලන්න ගියේ නෑ.”

රට යන වැඩේ වැරදුණාට පස්සේ මම ආපහු ගම්පහ හෝටලයට ගිහින් වැඩ කරගෙන සිටියා.”

“මම හබරණ හෝටලයක වැඩ කරපු කාළේ ලෙස්ලි රේමන් පෙරේරා කියලා ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් හඳුනගෙන සිටියා. එයාගේ ගෙවල් මාතලේ ඕපල්ගල වත්තේ. එයා තාවකාලිකව නතර වෙලා හිටියේ ජා ඇල.”

“මම නිවාඩු යන වෙලාවට එයා එයාගේ ගෙදරට පඩි සල්ලි යවන්නේ මගේ අතේ. මම පඩි සල්ලි දෙන්න ඒ ගෙදරට ආව ගිය ගමන් වල දී එයාගේ ලොකු දුවත් යාලුකමක් ඇති වුණා. ලෙස්ලිගේ පවුල දෙමළ. යාපනය පැත්තේ පදිංචි කාරියක්.”

“මගෙයි ප්‍රමිලගෙයි සම්බන්ධයට ලෙස්ලිලා කැමති වුණා. මම ඒ ගෙදර නිතරම ආවා ගියා. අපි බඳින්න ලෑස්ති වුණා.”

“ඔය අතරේ මැයි මාසේ ප්‍රමිලගේ නංගි ලොකු ළමයෙක් වුණා. ඒ උත්සවේ හොඳට ගන්න ප්‍රමිලගේ අම්මට වුවමනා වුණා. මමත් ඒකට කැමති වුණා. ඒත්... මට ඒකට අතපය දිග ඇරලා වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. එක නිසා හෝටලේට බොන්න එන මාත් එක්ක හිතවත් මහත්වරුගෙන් මම සල්ලි ඉල්ලුවා.”

“සිසිර මහත්තයගෙනුත් මම රුපියල් පන්දාහක් ඉල්ලුවා. මහත්තයා මට දෙන්න කැමති වුණා.”

“උත්සවේ යෙදිල තිබුණෙ මැයි මාසේ විසි ගණන්වල. වෙසක් පෝය දවස්වල බාර් වහලා නිසා මම ප්‍රමිල ගේ ගෙදර ගියා. ඒ යද්දී ප්‍රමිලගේ අම්මා පරමේෂ්වරි උතුරේ නෑදෑයන්ට නංගිගේ කොටහලු මඟුලට ආරාධනා කරන්න යන්න ලෑස්තිවෙලා සිටියේ. පස්සේ මම අම්මව උතුරට එක්කරගන ගියා.”

“පරන්තන්වලයි, වවුනියාවෙයි ඉන්න ඥාතීන්ට ආරාධනා කරලා පහුවෙනිදා (11) අපි ආපහු ආවා. මම අම්මව යවලා, කොළඹ එන බස් එකක නැගලා වැඩට යන්න හිතාගෙන ආවා.”

“ඒ එන ගමන් මට සිසිර මහත්තයව හම්බවෙන්න යන්න හිතුණා. මම යක්කලින් බැහැල සිසිර මහත්තයට කොල් කරලා සල්ලි ටික ගන්න පුළුවන් ද කියලා ඇහුවා. පන්දාහක් දෙන්නම් කියලා කිව්වා.”

“මිනුවන්ගොඩ ඉන්නවා කිව්වට මම සිසිර මහත්තයා ඉන්න තැන හරියටම දන්නේ නෑ. මම යක්කලින් ත්‍රිවිල් එකක නැගලා මිනුවන්ගොඩට ගියා. යන ගමන් සිසිර මහත්තයට දිගටම කෝල් අරගෙන ගේ තියෙන තැන අහගත්තා. පත්අඬුවනට යනකම්ම කෝල් ගත්තා. ගේ තියෙන තැන හරියටම දැනගත්තට පස්සේ මම බැහලා ගාස්තුව රුපියල් එක්දාස් දෙසීයක් දීලා, ත්‍රීවිල් එක පිටත් කළා.”

“මම ඒ ගෙදරට යද්දී වෙලාව රෑ නවයහමාර විතර වුණා. සල්ලි ඉල්ලුවම දුන්නේ නෑ. දැන් රෑ වෙලානේ. ඔයා දැන් ඉඳලා හෙට උදේ යන්න මම උදේට සල්ලි දෙන්නම් කියලා කිව්වා.”

“ඊට ටිකකට පස්සේ සිසිර මහත්තයා මට කිව්වා කඩේට ගිහින් බීම බෝතලයක් ගෙනත් දෙන්න කියලා. මම බීම බෝතලයක් හොය හොයා කිලෝමීටර් එකහමාරක් විතර පයින් ඇවිදගෙන ගියා.”

“ ඒ කාමරේ එකම ඇඳයි තිබුණේ. ඒක සිසිර මහත්තයාගේ. එයා ඇඳේ නිදාගත්තා. මම ඇඳ ළඟ නිකං බිම නිදාගත්තා. රෑ මට එක පාරටම ඇහැරුණා. බලද්දි සිසිර මහත්තයා ඇවිත් මගේ ඇඳුම් පහත් කරනවා.”

“මම කිව්වා මහත්තයා... ඔයා මොනවද මේ කරන්න හදන්නේ.... පිස්සුද... මාත් එක්ක ඕව කරන්න එන්න එපා කියලා. ඒ පාර එයා ඇඳට ගියා. මම ආපසු බිම නිදාගත්තා.”

“ආපහු පාන්දර මම ගැස්සිලා වගේ ඇහැරුණා. බලද්දී සිසිර මහත්තයා පිහියක් අතේ තියාගෙන මගේ ළඟ ඉන්නවා. මම බය වුණා. ඇයි කියලා ඇහුවම මරනවා කියලා මාව ලිංගික ක්‍රියාවකට යොදව ගන්න උත්සාහ කළා.”

“මම නැගිටලා පිහිය අරගන්න පොර කද්දී එයා ඇඳ උඩ වැටුණා. මම ඒ පිහිය අරගෙන සිසිරගේ උගුරු දණ්ඩ කැපුවා. ඒ පාර කාගෙන එයා නැගිටින්න වගේ හදපු නිසා තව පිහි පාරවල් දෙකක් බෙල්ල දෙපැත්තට ඇන්නා.”

“දැන් මට හරි අප්සට්. මම එහෙමම ටික වෙලාවක් සිටියා. කාමරේ ලාච්චුවල සල්ලි තියනවා කියලා බැලුවා. ඒත්... සල්ලි තිබුණේ නෑ. මම පිහියත් සාක්කුවේ දාගෙන, එයාගේ ෆෝන් එකත් අරගෙන කාමරෙන් එළියට බැහැලා, මිනුවන්ගොඩ ටවුමට පයින්ම ගියා. යන අතර රබර් කැල්ලට පිහියයි, ෆෝන් එකේ තිබුණ සිම් එකයි විසි කළා.”

“මිනුවන්ගොඩ ටවුමෙන් බස් එකක නැගලා කොළඹ ගිහින් ආපසු නුවර බස් එකක නැගලා යක්කලින් බැහැලා, උදේ හත විතර වෙද්දී හෝටලේට ගියා.”

“ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා හෝදලා, හෝටලේ වැඩ කරගෙන සිටියා. නෑනගේ මඟුල් ගෙදර යන්න විසිවෙනිදා ඉඳලා නිවාඩු ඉල්ලගත්තා. හෝටලේ අයිතිකාරයාගෙන් පඩි සල්ලිත් එක්ක රුපියල් දහඅට දාහක් ඉල්ලගෙන විසි වෙනිදා මම මාතලේ ප්‍රමිලලාගේ ගෙදර ගියා. ප්‍රමිලයි මායි බැඳලයි හිිටියේ. එයාට දැන් බබෙකුත් ලැබෙන්න ඉන්නවා.”

සිසිර විජේසූරියගේ අබිරහස් ඝාතනය එලෙස හෙළිකර ගත් පෑලියගොඩ ඒකකය සැකකරුගේ කට උත්තරය අනුව ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහිය මිනුවන්ගොඩ රබර් කැලයේ තිබී සොයා ගත්තේය.

මේ වනවිට මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත. එහෙත් පරීක්ෂණ කණ්ඩායමට විසඳා ගත නොහැකි වූ ප්‍රශ්න කිහිපයකි. ඒ.... සිසිරගේ ගෙළ කපපු පිහිය සිසිරට අයත් එකක් ද? නොඑසේ නම් සැකකරු රැගෙන ආ එකක්ද? එලෙසම සැකකරු පවසන්නේ සිසිර සතුව මුදල් නොතිබුණ බවයි. එහෙත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබුණේ රුපියල් දහතුන් ලක්ෂයක මුදලක් තිබූ ඉතිරිකිරිමේ ගිණුමෙන් සිසිර මැයි මස හය වැනිදා රුපියල් තිස් දහසක මුදලක් ලබාගෙන තිබූ බවයි.

එම මුදලින් ඔහු වියදම් කොට ඉතිරි වූ මුදල් කාමරයේ නොතිබූ අතර ඒවා සැකකරු ගන්නට ඇතැයි පොලිසියේ සැකයයි. එලෙසම සැකකරු පවසන ලෙස සිසිර ඔහුට ලිංගික අතවරයක් කිරීමට සැරසුණා ද යන්න ඔප්පු කර ගැනීමට පොලිසීයට හැකි වී නැත.බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිසියේ කපිල ජයසේකර, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි එච්.සමුද්‍රජිව සහකාර පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ජයන්ත දහනකගේ මෙහෙයවීමෙන් විමර්ශන අංක එක ස්ථානාධිපති පියසිරි වීරකෝන් ප්‍රමුඛ කොස්තාපල් වරුන් වන 48949 නන්දන, 36968 විජේසිංහ, 15543 සුජීව, 69598 අනිල්, 70133 චමින්ද පරීක්ෂණ සඳහා එක් වූහ.