පේ‍්‍රමය අහිමිවීම මරා දමන්න හේතුව ද?

 පේ‍්‍රමය අහිමිවීම මරා දමන්න හේතුව ද?

“සෑහෙන කාලයක ඉඳලා එයාගෙයි මගෙයි සම්බන්ධයක් තිබුණා. ඒත්....මෑතක ඉඳලා එයා මගෙන් ඈත් වෙන්න උත්සාහ කරන බවක් මට තේරුණා. එයා මගෙන් ඈත් වෙලා වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලත් මට ආරංචි වුණා.”

“මම ඒ කොල්ලව හම්බවෙලා කතා කළා. ඒ කොල්ලා තරින්දිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා. ඒ තරහට තමයි මම තරින්දිව මැරුවේ.”

කොට්ටාව හොරණ පාරේ අංක 160/2 දරණ නිවෙසේ පදිංචිව සිටි එස්.ඒ තරින්දි ආලෝකා ඝාතනය කළ කසුන් නැමැති තිස් දෙහැවිරිදි තරුණයා එලෙස පාපොච්චාරණය කළේය.

තරින්දි ඝාතනය කිරීමෙන් අනතුරුව ප්‍රදේශය හැර පලාගොස් සිටි මෙම පුද්ගලයා පසුව පොලිසියට භාරවූ අතර ප්‍රශ්න කිරීමේදී ඔහු එලෙස ප්‍රේමය අහිමිවීම දරාගත නොහැකිවූ බැවින් ඇය මරා දැමීමට සිදු වූ බව පවසා සිටියේය.

කොට්ටාව හොරණ පාරේ පිහිටි රංජිත් ස්ටෝර්ස් හි හිමිකරු කෝටිපති ව්‍යාපාරිකයෙකි. කොට්ටව නගර මධ්‍යයේ හොරණ පාරේ මෙම වෙළෙඳසල පිහිටා ඇති අතර ඔවුන්ගේ නිවෙස පිහිටා තිබෙන්නේ වෙළෙඳ සලට පිට්පසට වන්නටය.

එය මහල් තුනකින් යුතු අංග සම්පූර්ණ නිවෙසකි. රංජිත් ස්ටෝර්ස් හිමිකරු දෙදරු පියෙකි. දෙදෙනාම දියණියෝය. වැඩිමහල් දියණිය තරින්දි ආලෝකා විසිහය හැවිරිදි වියේ පසුවන්නීය. බාල දියණියගේ වයස අවුරුදු දාහතකි. ඇය... පාසල් අධ්‍යාපනය ලබමින් සිටින්නීය. නිවෙස කෙතරම් විශාල වුවත් මේ අක්කයි නංගියි දෙදෙනා කල්ගත කළේ එකම කාමරයේය. ඒ.... දෙදෙනා අතර තිබු නොබිඳෙන සහෝදර පේ‍්‍රමය නිසා විය යුතුය.

පසුගිය විසි දෙවැනිදා උදෙන්ම පිබිදුන නැගණිය පාසල් යාමට සුදානම් වුවාය. ඒ වන විටද තරින්දි ඇඳට වී සිටියේ ඇය වර්ථමානය වන විට අධ්‍යාපන කටයුතු වලින් මිදී විදෙස් ගතවීමට බලාපොරොත්තුව සිටි නිසා විය යුතුය.

කඩිමුඩියේ ලක ලැහැස්ති වූ නැගණිය අක්කට සමු දී පාසල් යාමට පිටත්වුවාය. දවස ටිකෙන් ටික ගෙවී ගොස් පාසල නිම වන හෝරාව ද උදාවිය. පාසල නිම වී නිවෙසට ගොඩ වූ නංගීට වෙනදා නැති පාලු බවක් දැනේනට විය. වෙනදාට නංගී එන මඟ බලා සිටින අක්කා පෙනෙන්නට නැත. “අක්කේ” ලෙසින් හඬ නඟමින් නංගී අක්කා සොයන්නට වුවාය. පහත මාලයේ ඇය පෙනේනට නැත. දෙවන මහළට ගොඩ වූ ඇයට දක්නට ලැබුණේ වෙනදා මෙන් අක්කා රූපවාහිනිය අසල නොමැති බවයි. ඉන් අනතුරුව ඇය දෙදෙනාගේ නිදන කාමරයට පිය මැන්නේ “අක්කේ... මම ආවා.” ලෙසින් කියාගෙනය. කාමරයේ දොර රෙද්ද පසෙකට කළ නංගී දුටුවේ අක්කා ඇඳ මත මරා දමා ඇති අයුරුය. දුටු දෙයින් බියට පත් ඇය තත්ත්පර කිහිපයක් ගල් ගැසුණාසේ බලා සිට කෑගසාගෙන පහළට දිව ගියේ වෙන කළ හැකි කිසිවක් නොවු නිසාය.

“කොට්ටාව හොරණ පාරේ රංජීත් ස්ටෝර්ස් අයිතිකාරයාගේ දුව ගේ ඇතුලේ මරලා දාලා.” කොට්ටාව පොලිසියට දුරකථන ඇමතුමක් දුන් අයකු මෙම තොරතුර ලබාදෙන විට වේලාව සවස තුන පමණ වී තිබිණි.

පොලිසියේ සිට මෙම නිවෙසට ඇති දුර මීටර් පන්සියයක් පමණ වන්නට ඇත. තොරතුරු ලද වහාම අපරාධ ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමට දක්නට ලැබුණේ නිදි යහන මත උඩු කුරුව වැටී සුරූපී තරුණියක මියගොස් සිටින අයුරුය. ඒ අසල පිහියක් ද වැටී ඇත. ඇයගේ මුහුණෙහි අඩක් කෙස්වලින් වැසී ගොසිනි. ගෙල ප්‍රදේශයෙන් ද සිරුරේ තවත් ස්ථාන වලින්ද රුධිරය ගලාගොස් මෙට්ටය ද පෙඟී ඇත. පාද කහපැහැ ගැන් වී ඇති බැවින් පොලිස් කණ්ඩායමේ අදහස වුයේ ඇය මීට පැය කිහිපයකට පෙර මරා දමා ඇති බවයි.

තරින්දි මරා දැමුවේ කවුද? කුමන හේතුවක් නිසාද? මෙම ප්‍රශ්න වල පිළිතුරු සොයා පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය නුගේගොඩ සොකෝ අංශය, ඇඟිලි සලකුණු අංශය මෙන්ම නිල සුනඛයා ද කැඳවීය.

මෙම නිවෙසේ කාලයක සිට පිටස්තර පුද්ගලයකු නතරවී සිට ඇත. තරින්දි ඝාතනය වූ දිනයේ ද උදේ ඔහු එම නිවෙසේ සිට ඇතත් පසුව යන්නට ගොස් තිබිණි. තරින්දි ඝාතනයෙන් අනතුරුව ඇයගේ නැගණිය පවසා තිබුණේ නිවෙසේ ලැගුම් ගෙන සිටි පුද්ගලයා අක්කා සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්විමට උත්සාහ කළ නමුත් අක්කා ඊට අකැමතිව සිටි බවයි.

එබැවින්... තරින්දි ඝාතනය මෙම පුද්ගලයාගේ වැඩක් විය හැකි බවට පොලිසියේ මෙන්ම තරින්දිගේ පවුලේ අයගේ ද සැකය විය. අපරාධ ස්ථානයට නුගේගොඩ අපරාධ නිල සුනඛ ‘සාරා’ කැඳවූ අතර ඉවට ලබා දුන්නේ නිවෙසේ කල් ගෙවු ආගන්තුකයාට අයත් මේස් එකකි.

දුවිලි වැදී පරණ වුවද එම මේස් එක ඉව කළ ‘සාරා’ නිවෙස තුළ එහා මෙහා ගමන්කොට ඉදිරිපස දොරෙන් පිටව ප්‍රධාන මාර්ගය අසලට ගොස් නතර විය. නිවෙසත් ප්‍රධාන මාර්ගයත් අතර දුර ප්‍රමාණය මීටර් විස්සකට තිහකට වඩා නැත. කොස්තාපල් (56819) වසන්ත නිල සුනඛ සාරා ට දෙතුන් වතාවක්ම මේස් එකේ ඉව දුන්න ද සාරා ගමන් කළේ ප්‍රධාන මාර්ගය අසලට පමණි. එනම්.... එම පුද්ගලයා ප්‍රධාන මාර්ගය අසලට එනම් තරින්දි ගේ මවත් පියාත් සිටින වෙළෙඳසල අසලට පැමිණ වාහනයක නැඟී යන්නට ඇතැයි පොලිසියේ නිගමනය විය.

මේ අතර තරින්දිගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුයේ ඇයගේ සිරුර පුරා පිහිපහර වල් විසිතුනක් දක්නට ලැබුණ බවයි. ඇය මිය ගොස් තිබුණේ ගෙල ප්‍රදේශයට එල්ල කළ පිහි පහරකින් ස්වාස නාලය කැපී ඊට රුධිරය ඇතුලුවීමෙනි.

තරින්දි ආලෝකා යනු සූරූපී තරුණියකි. ධනවත් පවුලක උපන් නිසා ඇයට අඩු පාඩුවක් තිබුණේ නැත. පාසල් අධ්‍යාපනය නිමකළ ඇය රූපලාවන්‍ය පාඨමාලාවක් ද හැදෑරුවාය. සුන්දර රූපකාය නිසා ඇයට නිරූපන ක්ෂේත්‍රයට පිවිසීමේ අවස්ථාව ද උදාවිය.

ඝාතනය වන විට ඇය ඕස්ට්‍රේලියා යාමට සිහින මවමින් සිටියාය.

මේ අතර ඇය මරා දැමු බවට සැකකෙරෙන මෙම නිවෙසේ කල් ගෙවු ‘කසුන්’ යන අය සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළ අතර ඔහු මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි ඔහු තිස් දෙහැවිරිදි අයකු බවට තොරතුරු ලැබිණි.

තරින්දි ඝාතනයෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය විරහිතව තිබු අතර හක්මන නිවෙසටද ගොස් තිබුණේ නැත. ඒ අනුව මොහු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි යන සැකය තව දුරටත් තහවුරු විය.

මොහු මෙම නිවෙසට යාම් ඒම් අරඹන්නේ මීට වසර දෙකකට පමණ පෙරදීය. දඹදිව වන්දනා චාරිකා මෙන්ම රැකියා සඳහා පුද්ගලයන් විදෙස් ගත කිරීම මොහුගේ රැකියාවයි. මෝටර් රථයක් ද මොහු සතු වූ අතර කොළඹ පැමිණි විට මොහු නතර වන්නේ තරින්දිගේ නිවෙසේය. පහත මාලයේ කාමරයක් මොහුට වෙන්කර දී තිබිණි.

කල් ගතවෙද්දී පවුලේ ළඟම හිතවතකු වූ මොහු වරෙක තරින්දිගේ පියාගේ රියැදුරු ලෙස ද කටයුතු කළේය. තරින්දි ලා සමඟ විදෙස් ගමන් වලට ද මොහු සහභාගී වී තිබිණි.

සිද්ධිය වූ දිනට පෙරදින මොහු මෙම නිවෙසට පැමිණ තිබුණේ මොවුන්ට අයත් මෝටර් රථය අලුත්වැඩියා කටයුතු සඳහා ගරාජයට දමා තිබු බැවිනි.

සිද්ධිය වූ දින උදේ තරින්දිගේ පියා වෙළෙඳසලට ගොස් ඇති අතර ආහාර පිළියෙල කිරීමෙන් අනතුරුව මව ද වෙළෙඳසලට ගොස් ඇත. ඒ වන විට ද තරුණයා නිවෙසේ සිට ඇත. එය සාමාන්‍ය සිරිතය.

තරින්දි ඝාතනයෙන් අනතුරුව නිවෙසේ සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කළ පොලිසිය දුටුවේ මෙම පුද්ගලයා උදේ නවයත් නවයහමාරත් අතර කාලයේදී නිවෙසින් පිටව යන අයුරුය.

මොහු සොයා මෙහෙයුම් දියත් කළ අතර ඊට පසුදින රාත්‍රියේ නීතිඥයකු පොලිසියට දන්වා තිබුණේ සැකකරු භාරවීමට සුදානම් බවයි. ඒ අනුව පසුගිය විසිහතර වැනිදා උදේ ඔහු නීතිඥයකු සමඟ පැමිණ කොට්ටාව පොලිසියට භාර විය.

කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති සුමිත්ත කරුණරත්න ප්‍රමුඛ අපරාධ අංශයේ සැරයන් 13652 බන්දුල, කොස්තාපල් වරුන් වන 74460 ඒකනායක, 76495 ක්‍රිෂාන්ත, 84855 රොෂාන්, 81970 බණ්ඩාර, 89833 අබේසිංහ පරීක්ෂණ සඳහා එක්වුහ.