අයගම හඬා වැටුණු දා?

අයගම හඬා වැටුණු දා?

සුදු අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ අවධියේ ප්‍රදේශයේ ආදායම් එක් රැස්කල මධ්‍යස්ථානයක් පිහිටි ගම් ප්‍රදේශය මෙය නිසා පසුකාලීනව “අයගම” නමින් මෙම ප්‍රදේශය හඳුන්වනු ලැබීය. අතීතයේ මුරපළක් ලෙස ආරම්භ වූ අයගම පොලිස් ස්ථානයට ස්ථිර පොලිසියක් තවමත් නැත. ඒ සඳහා ගැසට් පත්‍ර නිකුත්ව ඇති නමුදු එය ස්ථාපිත කිරීම පිණිස ඉඩ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති වීම ඊට හේතුව විය.

අධිරාජ්‍යවාදී පාලකයන් සමයේදී සංචාරක බංගලාවක් ලෙසින් පැවති ගොඩනැගිල්ල තුළ පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලය තුළ මෙතෙක් පැවති පොලිස් ස්ථානය පවත්වාගෙන එනු ලැබීය.

අයගම නගරය ආසන්නයේ පිහිටි “බණ්ඩාරවත්ත” නම් වූ උස් කඳු ප්‍රදේශයක ස්ථාපිත කර තිබු පොලිසිය ආසන්නයේම පොලිස් නිල නිවාස ද පිහිටා ඇත.

විසිපස්වනදා ආරම්භ වූ වර්ෂාව 26 උදෑසන වෙද්දී තෝරතෝංචියක් නැතිව මුළු අයගම පුරාවටම ඇද හැලිණි. මහ හඬින් ඇද හැලෙන මුරුසන් වරුසාව එන්න එන්නම රළු ස්වභාවයක් ගත්තේය. සිය නිල නිවෙසේ නිදා සිටී ස්ථානාධිපතිවරයා අවදි වුයේ “දඩෝං” ගා ඇසුණු විදුලි කෙටීමකටය. ඔහු වහා වට පිට බැලීය. මහ වරුසාව හෙන හඬ නගමින් ඇද හැලේ. නිල නිවාසයත් පොලිසියත් පිහිටි පිටුපස කන්දෙන් වෙනදා නොදුටු මහ ජල දහරාවක් පහළට ගලා එනු දුටු හෙතෙම වහා පොලිසිය වෙත දිවගොස් නිලධාරින්ට මේ බව දැනුම් දෙන්නට විය. ඒ වනවිටත් සමහර නිලධාරින් සිටියේ රාජකාරි නිමකොට තද නින්දකය. ඔවුන්වද අවදිකොට වහා පොලිස් ස්ථානයෙන් පිටවන ලෙස දැනුම් දුන් ස්ථානධිපතිවරයා ඒ අවට නිවෙස්වල පදිංචි පිරිසද ඉවත් කරන්නට කටයුතු කරන්නැයි උප පොලිස් පරීක්ෂක කෝසලටත් ප්‍රජා පොලිස් ඒකකයේ නන්දනටත් කීවේය. කඩිසර වූ නිලධාරින් වහා ගම්වාසීන් දැනුම්වත් කොට නිවෙස්වලින් පිටවයන ලෙස කීවද සමහරු ගෙවල් දොරවල් දමා යන්නට කැමැත්තක් දැක්වුයේ නැත. එහෙත් ස්ථානාධිපතිවරයාගේ ස්ථාවරය වෙනස් නොවිය. මහ වැස්සේ තෙමෙමින් කෑ ගසමින් ඔවුන් නිවෙස් තුළින් ඉවත් කොට ගතවුයේ නිමේෂයකි.

මහ හඬක් නගමින් බණ්ඩාරවත්ත කන්ද පහළට රූටා ආවේ නොසිතූ ලෙසය. ගෙවල් දොරවල් ව්‍යාපාරීක ස්ථාන ගණනාවක් කන්දට යට වී ගිය අතර අයගම හරහා බුලත්සිංහලට මං තීරු දෙකක් සහිතව සංවර්ධනය කරන ලද මාර්ගයේද විශාල ප්‍රමාණයක් ගංවතුරෙන් සම්පුර්ණයෙන් වැසී ගියේය. ස්ථානාධිපතිවරයාගේ ස්ථානෝචිත ප්‍රඥාව් ක්‍රියාත්මක නොවුණානම් ජීවිත ගණනාවක් මහ කන්දට වැලළි යනවා නොඅනුමානය.

“ඩෝං” ගාන සද්දෙට මම ඇහැරුණා. වටපිට බලනකොට මහා වැස්ස. මම හිටපු තැන ඉඳලා පොලිසියට මීටර් විස්සක් විතර ඇති. මම පොලිසිය දිහා බැලුවා කන්ද පැත්තෙන් ලොකු වතුර පාරක් පහළට එනවා. කන්ද තියෙන්නේ පොලිසිය පිටිපස්සේ. ලොකු ගස් සුළඟට වැනෙනවා. මම ඉක්මනට ගිහින් එස්.අයි.කෝසලට කතා කරලා එහා පැත්තේ තිබුණු කඩවලට ගිහින් කිසිදෙයක් කතා නොකර ඉක්මනින් මිනිසුන්ව ඉවත් කරන්න කියලා කිව්වා. සමහර අය අදිමදි කලා. එතකොට ටිකක් තදින් කිව්වා. සමහර අය එළියට ආවේ මගෙත් එක්ක තරහෙන්. විනාඩි දහයක්වත් ගියේ නැහැ. කන්ද ලොකු ශබ්දයකුත් එක්ක එකපාරට පහතට වැටිලා අර කිව්ව ගෙවල් කඩ සේරම යටකරගෙන ගියා. මගේ කාර් එක නතර කරලා තිබුණේ පාරේ. මම ඒක ගැනවත් බලන්නේ නැතිව මිනිස්සුන්ව අයින් කළා. කාර් එක යට වුණා. ඒත් මිනිස්සු බේරුණා.”

සිද්ධිය පිළිබඳ විමසිමේදී අයගම පොලිස් ස්ථානාධිපති රංග පෙරේරා මහතා කීවේය. සැඩ පහරට ගසාගෙන ගිය ඔහුගේ මෝටර් රථය තැලි පොඩි වී විනාශ වී ගියේය.

වරුසාවෙන් අයගමට වු මෙම හානිය පිළිබඳ මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සමඟ නාය යාමෙන් විපතට පත් වූ පිරිසට ආධාර උපකාර කිරීමට බොහෝ පිරිස් අයගමට පැමිණියහ.

අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වන ගලතුරේද එවන් දුෂ්කර ප්‍රදේශයකි. ඉන් කොටසක් අයගම පොලිසියටත් තවත් කොටසක් කිරිඇල්ල පොලිස් වසමටත් මායිම් වේ. පවුල් හය සියයක් පමණ ගලතුරේ පදිංචිව සිටිති. තේ ඔවුන්ගේ ප්‍රධාන ආදයම් මාර්ගයයි. රබර් හා කුරුඳු මෙන්ම මැණික් රස්සාවෙන්ද සමහරු ජීවත්වෙති. ඔවුනගේ සියලු ජීවනෝපායන්ද ගංවතුරෙන් අහිමි වී ගොසිනි. ගලතුරු ගම, කඩපොළ මෙන්ම පාසලටද දැඩි අලාහභානි සිදුවී ඇත. දරුවන් 190ක් පමණ අධ්‍යාපනය ලබන සිහලගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ සංගීත පන්තිය පවත්වාගෙන ගියේ මඩුවකය. වරිච්චි බිත්ති මත ඉදිව තිබු පංති කාමරය ද ගංවතුරට ගැලවී ගියේ දරුවන්ගේ සිත් සතන් දුකට පත්කරමින්ය. මේ පිළිබඳ කම්පාවට පත්වූ පොලිසිය මෙන්ම ජයසුරිය ගමේ පිරිස් ද දන්නා අයට මේ බව කීහ. ප්‍රංශ, ඉංගී‍්‍රස,ි ජර්මන් ජාතික මාර්ගෝපදේශක වරයකු වූ සුදුසිංහ මහතාට ද මේ බව සැලවිය. ඔහු ඒ වනවිට සිටියේ සිය ගම වූ තිස්සමහාරාමයේය. මාධ්‍ය මඟින් අයගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දුටු සැණින් ඔහු වහා අයගමට පැමිණියේය.

“මට මේ ගැන දැනගන්න ලැබුණු ගමන්ම මමත් තීරණය කළාඅයගමට ඇවිත් ගලතුරේ ගමට උදව් කරන්න. ඒ පාසලට උදව් කරන්න. මගේම මුදලින් ලුණු කැටේ ඉඳලා ගෙදරකට අවශ්‍ය සෑම වියළි ආහාරයක්ම අරගෙන අපි ගමට ආවා. ගමේ පවුල් පනහකට අපි ඒ මොහොතේම ඒවා ලබා දුන්නා. ගලතුරේ පදිංචි මධුජිත් ජයසුරිය මහතා ලොකු සහයක් අපිට දුන්නා. එයා තමයි මේ ගමනට අපිට මාර්ගෝපදේශකයා වුණේ. මගේ දුවෙක් මීට ඉහතදී නැතිවුණා. එයා සිහි වෙන්න ඒ ඉස්කෝලෙ දියණියකගේ අධ්‍යාපන වගකීම සම්පූර්ණයෙන් මම බාර ගත්තා. මගේ මිතුරන් දෙදෙනකු වූ සන්දීප සොයිසාත් විජේන්ද්‍රත් මගේ පුතා ජනක ජයදේවත් මේකට මට සහය වුණා.”

මේ පිළිබඳව කළ විමසීමකදී සී.ජේ. සුදුසිංහ මහතා “මාංචු”වට කීවේය. ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ අතර ඩ 302 යටතේ මාර්ගෝ පදේශකවරයකු ලෙසින් සංචාරක මණ්ඩලයේ ලියා පදිංචි අයෙකි.

අවතැන් වූ කුඩා දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට උදව් කිරීමට ද ඔහු එකඟ විය.

කෙසේ වෙතත් අයගම පොලිස් ස්ථානය පිහිටි කන්ද ඉරිතලා යාම හේතුවෙන් පොලිසිය එතැනින් ඉවත්කර ඇති අතර එය අයගම බස් නැවතුම් පළේ පිහිටි ගොඩනැගිල්ලක ඉහළ මාලයේ විවෘත කර ඇත. කුඩා ඉඩක් සහිත ප්‍රදේශයක ජංගම පොලිස් ස්ථානයක් ලෙසින් පත්වාගෙන යන මෙම ස්ථානයේම පැත්තක ස්ථානාධිපතිවරයා ද ලැගුම් ගෙන සිටි. “ඉන්න තත්ත්වේ මෙහෙම වුණාට මට සතුටක් දැනෙනවා. ඒ කන්ද නාය යන්න ඉස්සෙල්ලා අහිංසක මිනිසුන්ගේ ජීවිත ටික බේරගත්ත එක ගැන.” ඔහු එසේ කියන්නේ ඉමහත් සතුටිනි. ජීවිත ගණනාවක් බේරාගැනීමට ඔහු කල සේවය අගය කරමින් අයගම ජනතාව ප්‍රශංසනාත්මක පුවරු හා බැනර් ප්‍රදේශය පුරා ප්‍රදර්ශනය කර ඇත.

අයගම පොලිස් ස්ථානය පහසුකම් සහිත තැනක ස්ථාපිත කරන ලෙස අයගම ජනතාව කලක සිට බලධාරින්ගෙන් ඉල්ලීම් කර ඇත. එය සෑම සම්බන්ධීකරණ රැස්වීමකදීම කතා බහට ගැනුණද අද වනතුරු එය ඉෂ්ට නොවීය. ජංගම පොලිස් ස්ථානයක් බවට පත්ව ඇති අයගම පොලිස් ස්ථානය සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට මෙය හොඳම කාලය බව ප්‍රදේශවාසීහු කියති.