“මම ලොකු පවක් කරලා තියෙනවා”

“මම ලොකු පවක් කරලා තියෙනවා”

* ඇයි එහෙම කියන්නේ?

“මම අවුරුදු දහ අටේදිත් හිටියේ ගෙදර හිරකාරියක් වගෙයි. අයියට හොඳට සල්ලි තිබුණා .එයා අපිව හැදුවේ අතට පයට වැඩකාරයෝ ඇතිව.අම්මා වුණත් ගෙදර වැඩක් කළේ නැහැ.අක්කලා ඉගෙන ගෙන පිට රට පදිංචියට ගියාට පස්සේ අයියා හුඟක් කළකිරුණා. එයාට ඕන වුණේ හැමෝම එකට ඉන්න.ඒ නිසා වෙන්න ඇති අයියා මගේ ජීවිතේට ඒ තරම්ම බලපෑම් කරන්න ඇත්තේ.”

* අයියා විවාහ වෙලා හිටියේ නැද්ද?

“මට මතක හැටියට ගැනු ළමයෙක් එක්ක යාළු වෙලා හිටියා .නමුත් ඒ දවස්වල අයියට සල්ලි තිබුණේ නැති නිසා ඒ ගෙදරින් එයාට කැමතිවෙලා නැහැ. ඉන් පස්සේ අයියා විවාහ වුණේ නැහැ.අයියා ඒ අක්කට හුඟක් ආදරේ කළ බව විතරයි අපි දන්නේ. කොහොමහරි අන්තිමට අයියා තනි වුණා.ඒ අක්කා දොස්තර මහත්තයෙක් කසාඳ බැඳලා ලංකාවෙන් ගියා.

* ඔයා රස්සාවක් කළේ නැද්ද?

“ගෙදර ඉන්න කාලේ කවදාවත්ම මම රස්සාවක් කළේ නැහැ.අයියා කිව්වේ ගෙදර ඉන්න කන්න බොන්න අඳීන්න දෙන්න පුළුවන් කියලා.එත් මොන සැප සම්පත තිබුණත් මගේ හිතේ ලොකු පාළුවක් තිබුණා.”

* ඒ කියන්නේ?

“අයියා මට තනිවම ගෙදරින් එළියට යන්න දුන්නේම නැහැ.හැමදාම ගමන් ගියේ එක්කෝ අම්මා එක්ක එහෙම නැත්නම් අයියා එක්ක. අඩුම තරමේ මට කොල්ලෙක් දිහා බලන්නවත් ඉඩක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ කාන්තා පාසලක. තරුණ මගේ හිතේ ආදර හැඟුම් තිබුණා .මටත් ආස හිතුනා කොල්ලෙක් එක්ක යාළුවෙන්න.ඒ වුණාට අහළ පහළක මගෙ හිත ගන්න කොල්ලෙක් හිටියේ නැහැ. මම සල්ලිකාරයෝ හෙව්වෙ නැහැ. මට ඕන වුණේ මගේ හිතේ තිබුණ හැඟිම් කියන්න කෙනෙක්. අන්තිමට තමයි මහේෂ් එක්ක යාළු වුණේ. එතකොට මට වයස දහ අටයි.”

* කවුද මහේෂ් කියන්නේ?

“මහේෂ් කියන්නේ අයියගෙ රියදුරා. එයා අපේ ගෙදර නතරවෙලා හිටියේ. අයියා මහේෂ්ට හරි ආදරෙයි. මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති වුණා .එයා ඒ තරම්ම ලස්සන නැහැ.මම හිතුවේ නැහැ මහේෂ්ට ආදරය කිරීම මේ තරම්ම මගේ ජීවිතේ අපායකට ඇදලා දාවි කියලා.මම මහේෂ් එක්ක යාළු වුණත් .මගේ හිතේ බයක් තිබුණා .මම අයියට හුඟක් බයයි. දවසක් මම මහේෂ් එක්ක රෙස්ටුරන්ට් එකකට ගියා.කොහොම හරි අයියට ඒක ආරංචි වෙලා.අයියාමට වචනයක් වත් කිව්වේ නැහැ. ඒත් මහේෂ්ට හොඳටම ගහලා රස්සාවෙනුත් එළියට දැම්මා. මම මහේෂ්ට හුඟක් ආදරය කළා .ඒ නිසාම වෙන්නැති අයියා එයාට ගැහුවට පස්සේ මට පුදුම තරහක් අයියත් එක්ක ඇති වුණේ. මම දවස් ගානක් අයියත් එක්කත් කතානොකර හිටියා.අයියට මගෙ වෙනස දැනුණා. ඒත් එයා මට බුරුලක් පෙන්නුවේ නැහැ. මහේෂ්් අපේ ගෙදරින් ගියාට අපි අතර තිබුණ බැඳීම නැති වුණේ නැහැ. එයා මට හැමදාම කතා කළා. මේ අතර අයියා මට මනමාලයෝ හොයාගෙන ආවා. මම ඒ එක්කෙනෙකුටවත් කැමති වුණේ නැහැ. ඒ ආව මනමාලයන්ගේ වරදක් කියන්න දෙයක් තිබුණේ නැහැ.එත් මගෙ මුරණ්ඩු හිතුවක්කාරකම මාව නැති කළා. මහේෂ් අයියත් එක්ක හොඳටම තරහින් හිටියේ.අයියා මහේෂ්ට ගහපු එක ගැන මමත් අයියා එක්ක තරහින් හිටියේ. මට ඕන වෙලා තිබුණේ අයියට රිදවන්න. මම මහේෂ්ට කිව්වා අපි පැනලා යමු කියලා.ඒත් යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලා මට අරමුණක් තිබුණේ නැහැ.අයියා ගෙනාව එක මනමාලයෙක්ට මම කැමති වුණා. අයියා මඟල් ගෙදරට ලැස්ති වුණා . හැම දේම මහ ඉහළින් කරන්න සුදානම් කරලා තිබුණේ. එක අක්කා කෙනෙකුත් ලංකාවට ආවා. හැමෝම මගෙ මංගල්‍යට බොහොම සතුටින් සූදානම් වුණා. ඒත් මට සතුටක් තිබුණේ නැහැ. කෙහොම හරි මම මඟුල් ගෙදරට දවස් දෙකක් තියෙද්දී මහේෂ් එක්ක පැනලා ගියා. අපි මුලින්ම ගියේ නුවරඑළියට.දවස් ගානක් අපි නුවර එළියේ හිටියා.”

* දෙන්නා විවාහ වුණාද ?

“නැහැ. මහේෂ් මාව බැන්දේ නැහැ. අපි විවාහ වෙමු කිව්ව හැමවෙලේම මහේෂ් මඟ ඇරියා. එයා පුංචි කාමරයක් හොයා ගත්තා .ඒක ගෙදරක උඩ තට්ටුවක්. මහේෂ් ඇත්තටම මනුෂ්‍ය වේශයෙන් හිටිය අමනුෂ්‍යයෙක් කියලා මට දැනුණේ පස්සේ. එතකොට මට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.”

* ඇයි එහෙම කියන්නේ?

“මම ගෙනාව සල්ලි ඉවරවෙනතුරු අපි හොඳට කාලා බීලා හිටියා.මාස තුනක් විතර යන කොට තමයි මට තේරුණේ මං කරපු දේ හොඳ නැහැ කියලා. මගේ ජීවිතේ දුක්ඛිතම කාලය ආරම්භ වුණේ ඊට පස්සේ.”

“මහේෂ් මට කිව්වේ හැම වෙලේම අයියගෙන් සල්ලි ඉල්ලන්න කියලා. එත් මම ඒ මාස ගානම ගෙදර පළාතෙවත් ගියේ නැහැ.මම මහේෂ් එක්ක ආපු දවසේ ඉදලම කෑවේ කඩෙන්. එයා මට කිසිම දෙයක් දුන්නේ නැහැ. එයා රස්සාවකට ගියෙත් නැහැ. අන්තිමට එයා මාව එක එකාට විකුණුවා. මම ඒ දේවල් කළේ කැමැත්තකින් නෙමෙයි.මහේෂ් මාව මරයි කියන බයට. මම එයා කියන විදිහට වැඩ කළා.මට කිහිප විටක්ම ගෙදර යන්න හිතුනා. අයියා මාව එළවයි කියන බය මට තිබුණා . මහේෂ් මට බොහෝම පහත් විදිහට සැලකුවේ. කෙහොම වුණත් මහේෂ්ගෙ යාළුවෙක් අයියට කියලා මහේෂ් මාව එක එක්කෙනාට විකුණනවා කියලා. ගෙදරට දවස ගානේ මිනිස්සුන්ව එක්කගෙන ආවේ මහේෂ්මයි .මං දන්නේ නැහැ මේක කොහොම වුණාද කියලා. එදා හැන්දෑවෙත් අපේ කාමරේට කෙනෙක් ආවා.ඒ ආවේ මගේ අයියා කියලා මම දැන ගත්තේ එයා මාව දැකලා අඩන්න ගත්තට පස්සේ. අයියා මගෙ කම්මුලට ගැහුවා.අයියා ඇවිල්ලා හිටියේ වෙස්වලාගෙන . මම අයිය‍ගෙ කකුල් දෙක ළඟ වැඳ වැටිලා අඬන්න ගත්තා.’උඹ බය නොවී ඉදපන්.මම මේ අපායෙන් උඹව ගොඩ දානවා.’ අයියා එහෙම කියලා මගෙ අතට සල්ලිත් දීලා යන්න ගියා. අයියා ඇවිල්ලා ගියාට පස්සේ මගෙ හිතට ලොකු බයක් දැනුනා .මහේෂ් මට කරපු අපරාධයට අයියා පළිගන්න බව මං දැනගෙන හිටියා.වෙනදා එන අයට වඩා එදා ආව කෙනා වැඩිපුර සල්ලි දීලා ගියා කියලා මහේෂ් සතුටින් හිටියේ. එයා එදා හොඳට බිව්වා. මටත් කන්න ගෙනැල්ලා දුන්නා. අපි නිදියන්න ගියා .කවුදෝ දොරට ගහනවා ඇහුණා.මම හරි බයෙන් හිටියේ. ‘අද දවස හොඳයි වගේ’මහේෂ් එහෙම කියලා වැනි වැනී ගිහින් දොර ඇරියා. එතකොටම තමයි වෙඩි සද්දයක් ඇහුනේ මහේෂ් කෑගහගෙන බිම වැටුණා. අයියා ගේ ඇතුලට කඩාගෙන පැනලා මාවත් ඇදගෙන එළියට ආවා. ‘කාලකණ්නියා මැරිලා ගියාවේ.’ එහෙම කියලා අයියා මාව වාහනේ නග්ග ගත්තා.ගෙර ආවාම අම්මා මාව බදාගෙන අඬන්න ගත්තා.අයියා මා එක්ක මුකුත්ම කතා කළේ නැහැ. දවස් දෙකකට පස්සේ අයියා පොලීසියට බාර වුණා . ”

‘උඹ වෙනුවෙන් හිරේ යන එක මට දුකක් නෙමෙයි පොඩ්ඩියේ. අම්මව හොඳට බලා ගන්න ‘ අයියා ගෙදරින් යනකොට එහෙමයි කිව්වේ. අයියා හිරේ ගියාට පස්සේ අපේ ජීවිත හුඟක් වෙනස් වුණා.අයියගෙ බිස්නස් වැටුණා. එත් අපිට මුළු ජීවිත කාලෙටම හරියන්න අයියා සල්ලි ඉතිරි කරලා තිබුණා. කවදා හරි අයියා නිදහස් වෙලා එයි කියලා මම බලාගෙන ඉන්නවා. මම මාසයක් ගානේ අයියා බලන්න එනවා. අයියට මේ හැම දෙයක්ම වුණේ මම නිසා...”

* දැන් අයියා මොකද කියන්නේ, එයා පසුතැවිලි වෙනවද කරපු වැරැද්ද ගැන?

“අයියා පහුගිය දේවල් ගැන මුකුත්ම කියන්නේ නැහැ. ඒත් එයා මට වෙච්ච දේවල් ගැන කනගාටු වෙනවා. හැමෝම කියන්නේ මම ගිය ආත්මේ ලොකු පවක් කරලා ඇති කියලා.දැන් අයියා බොහෝම සන්සුන් චරිතයක්.”

* ඔයා මොකද කරන්නේ?

“මම අම්මව බලාගෙන ඉන්නවා. ජීවිතේ වැරදුන තැන් ආයේ හදන්න බැහැනේ.මම පසුතැවෙනවා මගේ හිතුවක්කාරකම ගැන.මම එහෙම හිතුවක්කාර වැඩක් කලේ නැත්නම් අද අයියාට හිර ගෙදර මේ විදිහට දුක් විදින්නේ වෙන්නේ නැහැ. ඒ ගැන මතක් වෙනකොට මට හරි දුකයි.මොනවා කරන්නද මේ තමයි මගේ ජීවිතේ.”