පැනලාද? මරලාද?

පැනලාද? මරලාද?

කොළඹ ජනපි‍්‍රය විද්‍යාලයක 12 ශ්‍රේණියේ ජීව විද්‍යා අංශයේ සවින්දී පබසරා (දෝණි) තවමත් අවුරුදු 17 මාස 06 ක් වන පාසල් ශිෂ්‍යාවකි. නිවැසියන් ඇය අමතන්නේ “දෝණි” යන සුරතල් නාමයෙනි.

පවුලේ වැඩිමල් දියණිය වූ දෝණි ට එක් සහෝදරයෙක් සිටී. පියා හිටපු හමුදා නිලධාරියකු වන අතර , මව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රසායනාගාරයේ සේවය කරන්නීය. දෝණි පසුගිය වර්ෂයේ පැවති අ : පො: ස සාමාන්‍ය පෙළ විභාගයෙන් “ඒ “ සාමාර්ථ 09ක් ලබාගත් දක්ෂ සිසුවියක්ද වුවාය.

පසුගියදා - ජූනි 14 වනදා නුගේගොඩ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී නැවත නිවසට පැමිණෙන අතරතුර තම මවටත් සොයුරාටත් දුරකථන ඇමතුම් ලබා දෙමින් දෝණි පවසා සිටියේ “ මම මඟ ඉන්නේ මේ දැන් එනවා” යනුවෙනි. එම වේලාව ඇතුළත ඇය සිය මිතුරියක සමඟ ද එස් . එම්. එස් පණිවිඩ හුවමාරු කරගෙන තිබුණාය.

ඒ වනවිට දෝණි ගේ පියා ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙක් සමඟ සිය නිවස අළුත් වැඩියා කරමින් සිටියහ. රාත්‍රී 8.30 ට පමණ ඔහුගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමක් නිසා ඔහු නිවසේ සිටි හිතවතුන් දෙදෙනාද සමඟ වහා හෝමාගම රෝහලට දිව ගියහ.

එහෙත් ලැබුණු ඇමතුම බොරුවක් දැයි සැකකරමින් ආපසු නිවෙසට යන්නට සුදානම් වෙද්දී රෝහලට ළඟාවන ගිලන් රථයක් දුටු ඔවුහු යළි එතැනම නතර වූහ.

ඔවුන් පුදුමයට පත් කරමින් ඇම්බියුලන්ස් එකේ තිබුණේ දෝණිගේ අප්‍රාණික වූ මළ සිරුරය. මේ අතර ඔවුනට දැනගන්නට ලැබුණේ දෝණි මියගොස් ඇත්තේ දුම්රියට හසුවීමෙන් බවය. ඇගේ ගෙල කඳින් වෙන්ව තිබිණ.

දෝණිගේ මරණය ගැන සැක සිතු ඔහුගේ පියා සිද්ධිය වූ බව කියන තැන පරීක්ෂාකර බැලුවේය. ඇය දුම්රියට හසුවීමෙන් මියගිය බව ඔහු පිළිගත්තේ නැත.

“මගේ දුව මැරුණේ දුම්රියට පැනලා නෙවෙයි. කවුරුහරි සිහිනැති කරලා හරි වංචාවෙන් හරි දුවව මෙතැනට අරගෙන ගිහින් තියෙනවා. එයාගේ මරණය දුම්රියට පැනීමෙන් වෙන්න බැහැ. ඒ නිසා මගේ දුවගේ මරණය මට සැකයි.”

මේ සිද්ධිය සම්බන්ධයෙන් දෝණිගේ පියා මෙසේ ද පැවසීය.

“ සාමාන්‍යයෙන් කුකුලෙක්ගේ බෙල්ල කැපුවම ශරීර කොටස් පිනුම් ගහගෙන පිනුම් ගහගෙන යනවා..එතකොට පණ තියෙන කෙනෙක්ගේ බෙල්ල කඳීන් වෙන් වුණාම මොකද වෙන්නේ දන්නවද...? ඒ කඳ කැරකෙනවා ..මම කලින් යුද හමුදාවේ හිටියේ මම ඒවා දැකලාත් තියෙනවා බෙල්ලක් කැඩුනම මොකද වෙන්නේ කියලා ... මේ ඒ අවස්ථාවේ ගත් පිංතුර“.

“ඕනෑම මෝඩයෙකුට වුණාත් තේරෙනවා මේ අවස්ථාවේ දරුවට පණ තිබිලා නැහැ කියලා. මේ ඇඟ මෙහෙම තිබුණා කියන්නේ පණක් තිබිලා නැහැ. අනෙක කනේ කරාබුවත් නැහැ. මිනිස්සු කතාකරන්නේ මේ ඇඟේ පේන පිටුපස කොටස ගැන විතරයි. හිස කාටවත් පෙනුණේ නැහැ. දරුවාගේ ශරීරයේ කඳ ගැන කථා කලාට මේ හිස ගැන කතාකරන්න කවුරුත් නැහැ.”

“කියන විදියට 08.17 ට තමයි කෝච්චිය බෙල්ල උඩින් ගිහින් තියෙන්නේ රෑ හතයි තිහෙන් පස්සේ මම ගත්ත කිසිම කෝල් එකකට දුව උත්තර දුන්නේ නැහැ.

ඒ වෙලාවේ දරුවා ජීවත්ව හිටියනම් ඇයි මගේ ෆෝන් එකට ආන්සර් නොකළේ. ෆෝන් එක තිබුණේ දරුවාගේ කලිසම් සාක්කුවේ. බෑග් එකේ හරි අතේ හරි මිසක් කවදාවත්ම ෆෝන් එක එයා කලිසම් සාක්කුවේ දාගෙන යන්නේ නැහැ. වැහි දිනයක් උනත් සපත්තුවක මඩ වත් ගෑවිලා තිබුණේ නැහැ.

තව එකක් මියගිය දුවගේ පොත් බෑග් එක එයාගේ උරයේ එහෙමම තිබුණා. දුම්රියට පනින කෙනෙක් බෑග් එක කරේ එල්ලගෙන පනින්නේ නැහැ. මම කියන්නේ මේ රටේ නීතියක් තියෙනවා. අපිට නීතියේ සාධාරණතත්වය ඉෂ්ට කරන්න.”

එහෙත් කැළණි වැලි දුම්රියේ රියදුරු පොලිසියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දුම්රිය පීල්ලට ඇය ගෙල තබා සිටින අයුරු තමා දුටු බවයි .

දුවගේ මරණය සැක සහිත බවට දෝණි ගේ පියා කළ ප්‍රකාශය අනුව හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල රෝහලට යවන ලෙස නියෝග කළේය. ඒ අනුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. කේ,ආර්. සංජීව මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැය හයකට ආසන්න කාලයක් පුරා සිදුකෙරුණු අතර අවසානයේ ලැබුණේ විවෘත තීන්දුවකි. පසුව දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ශලනී කරුණානායක මහත්මිය විසින් දෝණිගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කළාය.

රස පරීක්ෂක වාර්තාවෙන් අනතුරුව දෝණිගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද නැතහොත් ඇය කිසිවකු විසින් ඝාතනය කර ඇත්ද යන්න නිසැකවම දැනගත හැකිය. මේ බව නිශ්චිතව හෙළිවන්නේ අදාල රස පරීක්ෂක වාර්තාව ලැබුණු විගසය.

කොට්ටාව ආර් .ඒ සුමිත්ත කරුණාරත්න මහතා ගේ අධීක්ෂණය යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ඇත.